වනාන්තර මියයනවා : දිගටම වුණොත් වතුර හිඟයක් !

(හසරිදු රාජපක්ෂ)
ලෝක උරුමයක් වන ‍නකල්ස් කඳුවැටියේ (දුම්බර) ඉහළ ප්‍රදේශයේ එනසාල් වගා කිරීමට මීමුරේ වැසියන්ට ඉඩ ලබාදෙන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ හේතුවෙන් නකල්ස් සම්බන්ධයෙන් මේ දිනවල වැඩි අවධානයක් යොමුව තිබේ.
හෙක්ටර් කොබ්බෑකඩුව පුහුණු සහ පර්යේෂණ ආයතනය සිදුකළ පර්යේෂණයක් පදනම් කර ගනිමින් සහ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමත් සමග නකල්ස් කඳුකරය තුළ එනසාල් වගාව ඇතුළු මිනිස් ක්‍රියාකාරම් 2014 වසරේ සිට තහනම් කර ඇත. එසේ වුවද වරින්වර අනවසරයෙන් නකල්ස් රක්ෂිතයට ඇතුළත්ව විවිධ පරිසර විරෝධි ක්‍රියා රැසක් මේ වනවිට වාර්තා වී තිබේ.
ශී‍්‍ර ලංකාවේ ගිණිකොණ සිට වයඹ දිශාවට ලග්ගල සිට ඌරුගල දක්වා සැතපුම් 12ක් පමණ දිගට විහිදෙන දුම්බර කඳුවැටිය හෙවත් නකල්ස් කඳුවැටිය පාරිසරික වශයෙන් අතිශය වැදගත් භූමි භාගයක් වන අතර, ගොම්බානිය, නකල්ස්, කෙහෙල්පොත්දොරුවගල, කළුපහන, දෝතළුගල, වමාරපුගල, තෙළඹුගල හා ලකේගල නමැති උස් කඳු කිහිපයක් පිහිටා ඇත.
හෙක්ටයාර 28,000ක පමණ වපසරියක් වසා විහිදී ඇති දුම්බර කඳුවැටියේ පාරිසරික වටිනාකම හේතුවෙන්ම එය දැඩි රක්ෂිතයක් ලෙසද නම්කර තිබේ. නකල්ස් කඳුවැටියට ආවේණික සතුන්, ශාක විශාල ප්‍රමාණයක් සිටින අතර, ලෝකයට අලුත් ශාක සහ සතුන් සෑම වසරකදීම පාහේ මේ තුළින් හඳුනාගැනීමද සිදුකරන බැවින් මෙම වනාන්තරයේ සුවිශේෂී බව දෙගුණ තෙගුණ වී ඇත.
ලංකාවේ දක්නට ලැබෙන කුරු වනාන්තර නකල්ස් තුළින් පමණක් හඳුනාගෙන ඇති අතර, මහවැලි ගඟට ජලය සපයන ජල උල්පත් විශාල ප්‍රමාණයක් මේ හරහා වැටී තිබේ. ජලය උත්පාදනය කරන වළාකුළු වනාන්තරයක් ලෙස නකල්ස් හඳුනාගෙන ඇති අතර, වසර පුරාවට ජල උල්පත් පෝෂණය කිරීමට අවශ්‍ය ජලය නිෂ්පාදනයද මේ තුළ සිදුවේ. එමෙන්ම කළු ගඟ, මොරගහකන්ද ජලාශ සඳහා ජලය සැපයීමද සිදුවේ. මෙවන් සුවිශේෂී පරිසර පද්ධතියක් ආරක්ෂා කර ගැනීම බලධාරීන්ගේ මෙන්ම ජනතාවගේද වගකීමක් බව තහවුරුය.

වනාන්තර ආශ්‍රිතව රසායනික ද්‍රව්‍ය භාවිත කළොත් හානිය වැඩියි

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පර්යේෂණ) ආචාර්ය ධර්ම පරාක්‍රම මහතා එනසාල් වගා කිරීම සම්බන්ධයෙන් පැවසුයේ මෙවැනි අදහසකි.
“අපේ රටේ එනසාල් නිෂ්පාදනය තිබෙන්නේ බොහොම අඩු මට්ටමක. අපේ රටේ වාර්ෂික එනසාල් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 06ක් වගේ ප්‍රමාණයක්. ලෝක අවශ්‍යතාවයෙන් 0.1%ක් වගේ ප්‍රමාණයක් තමයි අපි ලෝක වෙළෙඳ පොළට එනසාල් සපයන්නේ. නමුත් ලොකු ඉල්ලුමක් තිබෙනවා. අපේ නිෂ්පාදනය අඩුයි. ඒ වගේම විවිධ හේතු නිසා අපේ රටේ එනසාල් කර්මාන්තය කඩාවැටිලා තිබෙන්නේ.
අපේ දෙපාර්තමේන්තුව යටතේ වගාකරුවන්ට ඔවුන්ගේ ඉඩම්වල එනසාල් වගා කරගන්න ආධාර කරනවා. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මීටර් 600ට වඩා ඉහළ ප්‍රදේශ එනසාල් වගාවට සුදුසුයි. සීතල දේශගුණයක් සහිත සෙවන ඇති ප්‍රදේශයක පොහොර පසක් එනසාල් වගාවට සුදුසුයි. මේ නිසා කඳුකර ප්‍රදේශ තෝරා ගන්නවා. එහෙම නැතිනම් සූක්ෂම වගාව ලෙස වගා ගෘහයන් ඇතිකරලා මේ වගාව සිදුකරන්න පුළුවන්. නමුත් එය මහා පරිමාණ වශයෙන් කරන්න බැහැ.
එනසාල් වගාවට මයිටා හානිය සිදුවීම ලොකුම තර්ජනය ලෙස දක්වන්න පුළුවන්. මයිටා එහෙම නැතිනම් පැලමැක්කා හානිය බහුල වශයෙන්ම නකල්ස් ප්‍රදේශයේ තිබෙනවා. හඟුරන්කෙත, මැදමහනුවර, නුවරඑළිය ප්‍රදේශවල මේ හානිය තිබෙනවා. මෙයට පිළියමක් ලෙස රසායනික මර්දන ක්‍රමයක් යොදාගන්න වෙනවා. අනිකුත් ස්වාභාවික ක්‍රමවලින් මෙය පාලනය කරන්න අමාරුයි. නමුත් වනාන්තර ආශ්‍රිතව රසායනික ද්‍රව්‍ය භාවිත කළොත්, ඒ සංවේදී කලාපවල  තිබෙන ජෛවවිවිධත්වය වැඩි කලාප වල අනිත් සතුන් මිය යාමේ ඉඩකඩ වැඩියි. මේ නිසා රසායනික මර්දනය නිර්දේශ කරන්න බැහැ.”

වනාන්තර මිය යනවා : දිගටම වුණොත් වතුරත් අඩුවෙයි

නකලස් සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකර ඇති මධ්‍යම පළාත් පරිසර සංවිධාන එකමුතුවේ සභාපති, පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය,
“නකල්ස් ලෝක උරුමයක් වුණාට පසුව එනසාල් වගාකිරීම සම්පූර්ණයෙන්ම තහනම් කළා. කිසිදු මානව ක්‍රියාකාරකමක් කරන්න බැහැ. නමුත් ඊට පසුව 2014දී නකල්ස් තුළ එනසාල් වගාකරන්න ජනතාවට අවස්ථාව දෙන්න කියලා දේශපාලනඥයන් කිහිපදෙනෙක් එකතුවෙලා ඉල්ලීමක් කළා. එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතා ඒ අවස්ථාවේදී හොඳ තීරණයක් ගත්තා. ඔහු එය දේශපාලන තීරණයක් විදිහට ගත්තෙ නැහැ. මේ සම්බන්ධයෙන් විධිමත් පර්යේෂණයක් කරන්න කියලා හෙක්ටර් කොබ්බෑකඩුව පර්යේෂණ ආයතනයට බාරදුන්නා. ඒ අනුව ඔවුන් මේ වනාන්තරයේ වටිනාකම සම්බන්ධයෙනුත්, එනසාල් වගාවට එය සුදුසුද නැතිද යන්න සම්බන්ධයෙනුත් සොයාබැලීමක් සිදුකළා. පසුව ඔවුන් ලබාදුන් වාර්තාව අනුව කිසිම විටක නකල්ස් වනාන්තරය එනසාල් වගාවට ලබානොදීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එවකට තීරණය කළා. 2014දී ගත්තු ඒ තීන්දුව ආපසු හරවන්න තමයි මේ 2021දී තවත් පිරිසක් උත්සාහ කරන්නේ.
කලින් ජනාධිපතිවරයෙක් තහනම් කරපු දෙයක් නැවත ක්‍රියාත්මක කරන්න යනවා නම් ඒ ගැන සොයාබැලීමක් සිදුකළ යුතුයි. අඩුම මීට පෙර සිදුකළ පර්යේෂණ වාර්තාව හෝ කියවා බැලිය යුතුයි. එහෙම කිසිම අධ්‍යයනයක් සිදුනොකර එනසාල් වගාවට ඉඩ දුන්නොත් එය අපරාධයක්.
එනසාල් වගාවට සුදුසු පරිසරයක් දැන් නකල්ස්වල නැහැ. මොකද මේ වනවිට ස්වාභාවික වානාන්තර පසුමැරීම් ක්‍රියාවලිය නකල්ස් වල ඉහළ ප්‍රදේශයේ සිදුවෙනවා. කඳුකර වනාන්තර මේ විදිහට මිය යන්නේ ඇයි කියන දේ තවම හොයාගෙන නැහැ. නකල්ස්, ශ්‍රීපාද අඩවිය ආදී ප්‍රදේශවල වනාන්තර මියගොස් තිබෙනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවුණොත් ගංගාවල ජල මට්ටම අඩු වෙනවා.
ඒ වගේම එනසාල් වගාකරන ඇතැම් අය ඉන්දියාවේ ප්‍රභේදයක් ගෙනැත් මේ නකල්ස් වනාන්තරයේ වගා කරලා තියෙනවා. ඒ තුළින් මයිටා රෝගයක් මේ වගාවට ඇතිවෙලා තිබෙනවා.
එනසාල් වගාකරපු ප්‍රදේශවල හෙක්ටයාර් 25ක් විතර නාය ගිහින් තිබෙනවා. එහෙම වෙලා තිබෙන්නේ අක්‍රමවත් පාංශු සංරක්ෂණය නිසයි. ඒ වගේම මේ වගාව නිසා ආක්‍රමණික ශාක වනාන්තරය තුළට ඇවිත් තිබෙන්නේ. වනාන්තර තුළ අක්‍රමික කටයුතු සිදුවෙනවා. වනසංරක්ෂණ කාර්යාල කිහිපයක් පමණක් තිබෙන නිසා මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන්න මේ සුළු නිලධාරී පිරිසට අපහසුයි. ඒ නිසා අනවසර ක්‍රියා රැසක් සිදුවෙනවා. ලංකාවේ ලෝක උරුම දෙකක් වන සිංහරාජයට සහ නකල්ස් කියන මේ වනාන්තර දෙකටම එනසාල් තර්ජනය ඇතිවෙලා තිබෙනවා.
පසුගිය වසර දෙකක කාලය තුළ ලංකාවේ වැඩිම පරිසර හානි සිදුවෙමින් තිබෙන්නේ සංරක්ෂිත ප්‍රදේශ තුළයි. මෙවැනි සංරක්ෂිත ප්‍රදේශ හානි කරනවා කියන්නේ රටට වෙන පාඩුව ඉතාම ඉහළයි. මේ නිසා පරිසරවේදීන්ට ඔවුන්ගේ පර්යේෂණ කටයුතු නවත්වලා සංරක්ෂණ ප්‍රදේශ ආරක්ෂා කරගන්න උසාවි යන්න, සටන් කරන්න සිදුවෙලා. සංරක්ෂණ ප්‍රදේශ ආරක්ෂා කිරීමට අදාළ ආයතන කටයුතු කළ යුතුයි. එහෙම නැතිව වනාන්තර තවදුරටත් විනාශ කිරීම නතර කළ යුතුයි. ලංකාව පුරා තිබෙන සංරක්ෂිත ප්‍රදේශ, සංරක්ෂිත ප්‍රදේශ පමණයි. ඒවා සංවර්ධන කටයුතුවලට යොදා ගැනීම ඉතාම වැරදි ක්‍රියාවක්.”

කිසිම ලෝක උරුම භුමියක ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතු බෑ

කිසිම ලෝක උරුම භූමියක ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතු හෝ කිසිම ක්‍රියාකාරකමක් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් ඒ පිළිබඳව දේශපාලන අධිකාරියට දන්වා ඇති බවත් යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය පුංචිනිලමේ මීගස්වත්ත මහතා ප්‍රකාශ කළේය.
සිංහරාජය සහ නකල්ස් ලෝක උරුම ආශ්‍රිතව සිදුවන පරිසර බලපෑම් සහ මානව ක්‍රියාකාරකම් සම්බන්ධ‍යෙන් විමසීමේදී හෙතෙම මේ බව පැවසීය.
ඔහු මෙසේ ද කීවේය.
“ලෝක උරුම අඩවියක මිනිස් ක්‍රියාකාරකම් කළොත් ලෝක උරුමය නැති වෙනවා. කිසිම ලෝක උරුම භූමියක ඉදිකිරීම් හෝ සංවර්ධන කටයුතු හෝ කිසිම ක්‍රියාකාරකමක් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියලා අපි දේශපාලන අධිකාරියට දන්වලා තිබෙනවා. එහෙම වෙන්නෙත් නැහැ. මේ රජය එයට ඉඩ දෙන්නෙත් නැහැ. ජනාධිපතිතුමා ඒ ගැන දන්නවා.
සමහර ස්ථානවල ඉදිකිරීම්, විවිධ කටයුතුවලට අවසර ඉල්ලලා ඉල්ලීම් ඇවිත් තිබෙනවා. එවැනි අවස්ථාවල අපි ඒවා ප්‍රතික්ෂේප කරනවා. අපි ඉතාම තදින් ඉන්නවා. ලෝක උරුම කිසිවක් වනසන්න බැහැ. ජනාධිපතිතුමාත් ඒ මතයේ ඉන්නවා. ලෝක උරුම වනසන්න එපා කියලා ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ට දැනුම් දීලා තියෙනවා.”

එනසාල් වෙනුවට ගම්මිරිස්

එනසාල් වගාකිරීමේ තීරණය සම්බන්ධයෙන් කුඩා වැවිලි භෝග ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුයේ මෙවැන්නකි.
“අපි මීමුරේට ගිහින් ජනතාව හමුවුණා. නකල්ස් රක්ෂිතය තුළ තිබෙන එනසාල් කඩන්න රක්ෂිතයට ඇතුළු වෙන්නත් එපා,  රක්ෂිතය ඇතුළෙ එනසාල් වවන්න දෙන්නෙත් නැහැ කියලා ජනතාවට පැහැදිලිවම කිව්වා.
එනසාල් වෙනුවට ගම්මිරිස් වගාකරන්න කියලා මේ ජනතාවට කියලා තියෙනවා. ගම්මිරිස් වගාකරන්න කියලා කිව්වට ඔවුන්ට ක්‍රමවේදය කිය‍ල දීලා නැහැ. මේ සම්බන්ධයෙන් අපි ඔවුන්ට පුහුණුවත්, උපකරණත් ලබාදුන්නා. ඒ වගේම කහ, ඉඟුරු, බුලත් වගාකරන්න අවශ්‍ය පහසුකම් ලබාදෙන්නත් අපි පොරොන්දු වුණා.
මේ ජනතාව නකල්ස් රක්ෂිතයට යන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත්, කුළුබඩු සංස්ථාව සහ රජය මැදිහත්වෙලා මීමුරේ එනසාල් වැඩි මිලට ගන්න පුළුවන් කියලා අපි කිව්වා. හැබැයි එහෙම කරන්නේ මේ මිනිස්සු රක්ෂිතයට යන්නේ නැතිනම් පමණයි. නකල්ස් රක්ෂිතය ආරක්ෂා කරගන්නයි අපි එහෙම කරන්නේ. මිනිස්සු හැමෝම ඒකට එකඟ වුණා. මේ නිසා මීමුරේ නමින් ගම්මිරිස් වෙළෙඳ පොළට නිකුත් කරන්න අපි කටයුතු කරනවා. මේ හැමදේම අපි කරන්නේ නකල්ස් රක්ෂිතය ආරක්ෂා කර ගන්නයි.
ඒ වගේම වනසංරක්ෂණය සමග අපි සාකච්ඡා කළා. ඒ අය කිව්වා 2013 සිට නකල්ස් වෙත යන එක වළක්වලා තිබෙන්නේ කියලා. ඒ නිසා ඒ තීරණය දිගටම අරගෙන යන්න කියලා අපි කිව්වා.
රක්ෂිත නොවන ෆයිනස් වගාවන් එනසාල් වගාවට දෙන්න පුළුවන්ද කියලා අපි වන සංරක්ෂණයෙන් ඇහුවා. මේ ගැන පරීක්ෂා කරලා බලලා රක්ෂිතය නොවන ප්‍රදේශවල දෙන්න පුළුවන් කියලා වන සංරක්ෂණය කිව්වා.  පරිසරයට හානියක් වෙන්නේ නැතිනම් පමණක් එම ඉඩම් වගාවට දෙන්න කියලා අපි කිව්වා.
මහවැලියට අයත් ඉඩම්, ඉඩම් කොමිසමට අයත් ඉඩම් සහ විහාරස්ථානවල තිබෙන ඉඩම් වලින් වගා කරන්න පුළුවන් ඉඩම් අරගෙන වගා කරන්න අපි සැලසුම් කරගෙන යනවා. සුළු අපනයන භෝගවලට වැඩි ඉල්ලුමක් තිබෙනවා. සුළු අපනයනය දෙගුණයක් කරන්නයි අපේ අරමුණ. ඒ වගේම නකල්ස් රක්ෂිතය රැකගන්නත් අපි උපරිමයෙන් කැප වෙනවා.”
Previous articleවතු කම්කරු වැටුප අධිකරණයට මුවා නොකරන්නැයි ඉල්ලති
Next articleලංකාවට පක්ෂව 11යි : විපක්ෂව 22යි : ඉන්දියාවේ සහයත් නෑ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here