වතුකම්කරු වැටුප 1000 කරන්න අමතර වැඩත් කරන්න කියයි

Photo- audleytravel.com
(හසරිඳු රාජපක්ෂ)
වතුකම්රුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමට රජය යෝජනා කර තිබුණද එය සිදුකිරීමට වතු හාම්පුතුන්ගේ සම්මේලනය තවමත් කැමැත්ත ප්‍රකාශකර නොමැත.
එලෙස වැටුප් වැඩිකිරීමට තවත් අතිරේක වැඩ ප්‍රමාණයක් කළ යුතු බවට ඔවුන් දැනුම් දී ඇති අතර වසර දෙකකට වැඩි කාලයක් පුරාවට වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළද මෙතෙක් එය යථාර්ථයක් වී නැත.
මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී වතු හාම්පුතුන්ගේ සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක වීරසිංහ මහතා දැනුම් දී ඇත්තේ වැටුප් වැඩිකිරීමට නම් වතුකම්කරුවන් දෛනිකව අතිරේකව තේ දලු කිලෝ 02ක ප්‍රමාණයක් ලබා දිය යුතු බවයි. එසේම මෙම සේවකයන්ට සේවය අවසානයේ පාරිතෝෂිත දීමනා ගෙවීමේදී ඔවුන් ප්‍රමාණවත් තරම් දෛනික රාජකාරි කර නැති බැවින් සෑම සේවකයකුම වසරකට දින 180ක් අනිවාර්ය සේවයේ යෙදිය යුතු බවට හාම්පුතුන්ගේ සම්මේලනය යෝජනා කරන බවද හෙතෙම දැනුම් දී තිබේ.
වතු කම්කරු වැටුප 1000 දක්වා වැඩිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට සතියක කාලයක් කල් ලබාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හාම්පුතුන්ගේ සම්මේලනයට දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් විමසීමේදී අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය,
“වතු සේවක අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට අයවැයෙන් යෝජනා කළා. මේ ගැන සියලු දෙනා සමග පැවැති සාකච්ඡාවේදී හාම්පුතුන්ගේ සම්මේලනය යෝජනා කිහිපයක් ඉදිරිපත් කළා. ඒ අතරින් වතු සේවකයින් දිනකට තේ දලු කිලෝ එකක් ලබාදීම සහ දින 180 යෝජනාව පිළිගන්න පුළුවන්. කෙසේවුවත් වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට වන රජයේ තීන්දුව මොනම ආකාරයකින් හෝ වෙනස් කරන්න බැහැ. එසේම රුපියල් දහසේ අවම වැටුප ලබාදීමට නොහැකි යම්කිසි සමාගමක් ඇතිනම් එම වතු නැවත රජයට ලබා දෙන ලෙස අපි දැනුම්දුන්නා. එහෙම වුණොත් රජය මගින් හෝ වෙනත් කළමනාකරණ සමාගමක් මගින් හෝ එම වතු පවත්වා ගෙන යෑමට රජය සූදානම්”
වැටුප් වැඩි කිරීම පිළිබඳ සාකච්ඡාවට වතු කම්කරු නායකයන් ලෙස රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් සහභාගී වී ඇති අතර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වඩිවෙල් සුරේෂ් මහතා පැවසුවේ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් වීම අනිවාර්යෙන් සිදුවිය යුතු බවයි. ඒ වෙනුවෙන් තමා කැපවී කටයුතු කරන බවද පසුගිය රජය සහ වත්මන් රජය මේ සම්බන්ධයෙන් වතු ජනතාවට පොරොන්දු ලබාදුන්නද මෙතෙක් ඉටුකර නොමැතිවීම කණගාටුවට කරුණක් බවද හෙතෙම සඳහන් කළේය.
එසේම අමතර දලු ප්‍රමාණයක් අවශ්‍ය බව හාම්පුතුන්ගේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම පැවසුයේ කූඩ බරට හා කම්හල් අපතේ යෑම්වලට යැයි කියා වතු සේවකයන් නෙලන දලු අඩු කිරීම සාධාරණ නැති බවයි. කෙසේවෙතත් ජනවාරි මාසයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
වතු කම්කරු වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් ජනවාරි මාසයේදී නිතියක් ඉදිරිපත් කරන බව අයවැය මගින් ප්‍රකාශ කළද මෙතෙක් එම නීති සංශෝධන සිදුකර නොමැති බව කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේය. දෛනික වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමෙන් පසුව අදාළ කටයුතු සිදුකළ හැකි බවත් වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගත් පසුව එය ක්‍රියාක්මක කිරීමට රාජ්‍ය නිලධාරින් බැඳී සිටින බවද හෙතෙම කීවේය.
2021 අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.
“වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩිකිරීමට යෝජනා කරනවා. මෙම වැටුප ගෙවීමට නොහැකි වතු සමාගම්වල කළමනාකාරීත්ව ගිවිසුම් වෙනස් කර සාර්ථක ව්‍යාපාර සැලසුම් සහිත සමාගම් සඳහා ඉඩ ප්‍රස්ථා සැලසෙන ලෙස නීති රාමුවක් ජනවාරි මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදහස් කරනවා.”
වතුකම්කරු දෛනික වැටුප රුපියල් 1000ක් බවට පත්කිරීම මැතිවරණ පොරොන්දුවක්ද වු අතර වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් පසුගිය පෙබරවාරි 14 දා ඉදිරිපත් කරනු ලැබ තිබුණි. 2020 මාර්තු මස 01 දා සිට රැපියල් 1000ක වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය. කෙසේ වෙතත් මාස 09 ක් ගතවී තිබුණද මෙතෙක් එය ක්‍රියාත්මක වී නොමැත.
වතුකම්කරුවන්ගේ දෛනික වැටුප 700 ක් දක්වා වැඩිකිරීම පසුගිය රජයේ යටතේ සිදුකළ අතර 2019 ජනවාරි මස සිට එය ක්‍රියාත්මක විය.
Previous articleභූමදානයට එරෙහි මහාචාර්යවරිය භූගත ජලය පිළිබද සාක්ෂි නැතිව කතා කරයි
Next article2014 – 2018 – 2020 : සජීවී සෛලවල වැඩෙන මාරාන්තික වෛරසයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here