වතු කම්කරුවන්ගේ මූලික වැටුප එතැනමයි : හාම්පුත්තු වෙනත් යෝජනා ගෙනෙති !

(හසරිඳු රාජපක්ෂ)
වතු කම්කරුවන්ට රුපියල් දහසක මූලික වැටුප රුපියල් 700ට වඩා වැඩිකිරීමට වතු හාම්පුතුන් මෙතෙක් එකඟ වී නැති අතර, ඒ වෙනුවට විකල්ප යෝජනා කිහිපයක් වතු හාම්පුතුන් විසින් ආණ්ඩුවට යෝජනා කර තිබේ.
ඒ අනුව මූලික වැටුප දිනකට රුපියල් 700 මට්ටමේ පවත්වාගනිමින්, අර්ථසාධක මුදල් ලෙස රුපියල් 105ක්, පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 70ක්, නිෂ්පාදන දීමනාව ලෙස රුපියල් 70ක් සහ මිල කොටස් අතිරේකය ලෙස රුපියල් 75ක්ද ලෙස රුපියල් 1,025ක් දිනකට ලබාදිය හැකි බව හාම්පුතුන්ගේ සම්මේලනය සඳහන් කර ඇත. එසේ නොමැති නම් මූලික වැටුප ලෙස රුපියල් 700ක්, අර්ථසාධක ලෙස හා පැමිණීමේ දීමනාව ලෙස රුපියල් 150ක්, නිෂ්පාදන දීමනාව ලෙස රුපියල් 150ක්ද ලෙස රුපියල් 1,000ක් දිනකට ලබාදිය හැකි යැයිද ඔවුන් ආණ්ඩුවට පවසා තිබේ. කෙසේ වෙතත් දිනක මූලික වැටුප ලෙස රුපියල් 1,000ක් ලබාදීමට හාම්පුතුන්ගේ සම්මේලනය මෙතෙක් කැමැත්ත ප්‍රකාශ කර නැත.
හාම්පුතුන්ගේ සම්මේලනය, වෘත්තීය සමිති සහ කම්කරු අමාත්‍යවරයා අතර මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සියල්ල අසාර්ථක වී තිබේ. හාම්පුතුන්ගේ සම්මේලනය මේ සම්බන්ධයෙක් යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් මෙම ගැටළුව පඩිපාලක සභාව වෙත යොමුකරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. රජය විසින් වතු කම්කරුවන්ට දිනකට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 1,000ක වැටුප, මූලික වැටුපක් වශයෙන් 2021 ජනවාරි මස සිට ගෙවීමට කටයුතු කරන ලෙස බලකරමින් වතු කම්කරු වැටුප් අයිතිවාසිකම් සුරැකීමේ ව්‍යාපාරය ඇතුළු කඳුරට සිවිල් සංවිධාන රැසක් මේ වන විට කඳුකරයේ උද්ඝෝෂණ පවත්වමින් සිටී.
වතු කම්කරුවන්ට රුපියල් 1,000ක මූලික වැටුපක් සහ මසකට දින 25ක වැඩ දින ගණනක් ලබාදෙන තෙක් වතුකරය පුරා සහ දිවයින පුරා උද්ඝෝෂණ පවත්වන බව කඳුරට සිවිල් සංවිධාන එකමුතුවේ සභාපති එස්.පී.ටී.ගනේෂලිංගම් මහතා පැවසීය. වතු කම්කරුවන්ට රුපියල් 1,000ක වැටුපක් ලබාදෙන ලෙසට අයවැය මගින්ද යෝජනා වූ නමුත්, ඒ සම්බන්ධයෙන් මේ වන විට රජය, වතු සමාගම් සහ වතු වෘත්තීය සමිති අතර පැවති සාකච්ඡා වට කිහිපයක්ම අසාර්ථක වී ඇති බවත්, මේ සම්බන්ධයෙන් රජය අදාළ පාර්ශ්වයන් සමග තවදුරටත් සාකච්ඡා කර වතු කම්කරුවන්ට දිනකට රුපියල් දහසක මූලික වැටුපක් ඇතුළු සෙසු දීමනා ලබාදීමට මැදිහත් විය යුතු බවත්, වතු කම්කරුවකුට මසකට දින 25ක් වැඩ ලබාදිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
Previous articleනාමල් ‘හා’ කියයි – චමල් ‘බෑ’ කියයි : සූරියවැව අලි කළමනාකරණයේ ඉඩම්වලට හොර පාරෙන් ඔප්පු හදයි !
Next articleමිලිටරි මානසිකත්වය සහිත දරුවන් බිහිවන්නේ අද නිහඬව සිටින වැඩිහිටියන් නිසයි – ජ්‍යෙෂ්ඨ අධ්‍යාපනඥ චාල්ස් දයානන්ද

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here