එකම විසඳුම එන්නත : ලැබෙන ඕනෑම වර්ගයක් විදගන්න – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි !

(හසරිඳු රාජපක්ෂ)
කොවිඩ් 19 වසංගතයේ විවිධ වෛරස් ප්‍රභේද මේ වන විට ලෝකයේ විවිධ රටවලින් හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් ඉතාම දරුණු ප්‍රභේද 4ක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
මෙසේ හඳුනාගත් ප්‍රභේද හතරෙන් බ්‍රසීල ප්‍රභේදය හැරුණු විට, අනෙකුත් ප්‍රභේද මේ වන විට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇත. මීට පෙර තත්ත්වයන්ට වඩා මෙවර පැතිර යන කොවිඩ් ප්‍රභේදය ආසාදිතයන් වැඩි පිරිසක් වාර්තා කරමින් තිබේ.
කොවිඩ් වසංගතයට ස්ථිර  ප්‍රතිකාරයක් මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, විවිධ රටවල්වලින් එන්නත් කිහිපයක් නිපදවා තිබුණද, ඒවා ද වෛරසයේ සියලු ප්‍රභේද සඳහා ප්‍රතිචාර නොදක්වයි. කෙසේ වෙතත් මේ වෛරසය ලංකාවේ පැතිරයාම වැළැක්වීම සඳහා ඉන්දියාවෙන් ලබාගත් කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව මෙරට සෞඛ්‍ය අංශ ඇතුළු මහජනතාවගෙන් සුළු පිරිසකට පසුගිය ජනවාරි මාසයේදී ලබාදෙන ලදි. එහි දෙවන මාත්‍රාව ලබාදීමේ අභියෝගයට සෞඛ්‍ය අංශ මේ වන විට මුහුණ දී තිබේ.
රුසියාවේ ස්පුට්නික් එන්නත සහ චීනයේ සයිනොෆාම් එන්නත ද මෙරටට ලැබී ඇති නමුත්, එන්නත ලබාදිය යුතු සමස්ත ප්‍රමාණයට එන්නත් සපයා ගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත් වී නැත. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ ජනාධිපතිවරයා අන්තර්ජාලය හරහා සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස සයිනොෆාම් සඳහා අනුමැතිය ලබාගත් බවයි. එවැන්නක් සිදු නොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබිණි.
කෙසේ වෙතත් මේ වන විට රට තුළ එන්නත් අර්බුදයක් ඇති වී තිබෙන අතර, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුත් MediaLK සමග මෙසේ අදහස් පළකළේය.

එන්නතට අදාළ පර්යේෂණ අත්‍යවශ්‍යයි

– වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
‘විශේෂයෙන් සලකා බැලිය යුතු වෛරස් ප්‍රභේද හතරෙන් තුනක් ලංකාවේ දැන් තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. මේ වන විට ලංකාවේ හඳුනාගෙන නැත්තේ බ්‍රසීල ප්‍රභේදය පමණයි. මෙහි ප්‍රභේද කොපමණ තිබෙනවාද කියන කාරණයත් අපි හරියට දන්නෙ නැහැ. මොකද ප්‍රභේද අධ්‍යයනය කියන කාරණය ලංකාවේ සිදුවන්නේ හරිම අවිධිමත් විදිහට. දකුණු අප්‍රිකානු ප්‍රභේදය පවා ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රභේදය කොවිෂීල්ඩ් එන්නතට ප්‍රතිචාර දක්වන්නේ නැති තත්ත්වයක් තිබෙන්නේ. මේ දේවල් තවදුරටත් අධ්‍යයනය කළ යුතුයි.
ඊයේ-පෙරේදා වන විට සයිනොෆාම් එන්නත ලබාදීම ආරම්භ කළා. නමුත් සයිනොෆාම් එන්නත ලබාදුන් අයගේ ප්‍රතිදේහ වර්ධනය වෙන්නේ කොහොමද කියලා හොයන්න කොහෙවත් වැඩපිළිවෙළක් නැහැ. එය හොයාගන්න සරල පරීක්ෂණ කිහිපයක් තිබෙනවා. නමුත් ඒවා කවුරුත් කරන්නෙ නැහැ. ඒ වගේම මේ එන්නත් ලබාදුන් අයගේ අතුරු ආබාධ වැඩිවෙන්නෙ කොහොමද, මොන වගේ වයස්වල අයටද කියලා පරීක්ෂණ සිදුවෙන්නේ නැහැ. එහෙම පරීක්ෂණ නොකරන නිසා මොනවා වෙනවද කියලා අපි දන්නෙ නැහැ. ඒ නිසා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වගකීම වෙන්නේ එන්නත ලබාදුන් පළවැනි කණ්ඩායම අනිවාර්ය පර්යේෂණයකට භාජනය කිරීමයි. ඒ අනුව ප්‍රතිදේහ ගොඩනැගෙන ආකාරය ගැන අවබෝධයක් ලබාගන්න පර්යේෂණයන් සිදුවිය යුතුයි. ඒ වගේම අතුරු ආබාධ සිදුවන ආකාරය ගැනත් පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වගකීමක්. ඒවා කරන්න මහජන වැටුප් ලබන නිලධාරීන් පිරිසක් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඉන්නවා. ඔවුන්ගේ වගකීම පැහැර හරින්න ඉඩදෙන්න එපා.
ලංකාවට ගෙනැත් විදින සෑම එන්නතක්ම විද්දට පසුව එසේ විදින පළමුවැනි කණ්ඩායම අතුරු ආබාධ සහ ප්‍රතිදේහ වර්ධනය වීම සම්බන්ධ පර්යේෂණයකට භාජනය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම උපකරණ දෙනවා නම් රසායනාගාර නැතිව හරි අපිට පීසීආර් පරීක්ෂණ කරන්න පුළුවන්. ඒ සඳහා අලුතින් පරීක්ෂණාගාර හදන්න ඕනෙ නැහැ. විනාඩි විස්සෙන් ස්ථානීය පරීක්ෂණ කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා රෝහල් පද්ධතිය විමධ්‍යගත කිරීම වැදගත්.’

එන්නත්කරණය හොර පාරේ

– රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
‘එන්නත් ලබාදීම සම්බන්ධයෙන් හරි වැඩපිළිවෙළක් ලංකාවට තිබු‍ණේ නැහැ. එන්නත් ලබාදීමේදී පළමු මාත්‍රාව ලබාගත් සියලුදෙනාට දෙවැනි මාත්‍රාව ලබාදීමට නොහැකිව සෞඛ්‍ය අංශ අපහසුතාවයට පත්ව තිබෙනවා.
පසුගිය ජනවාරි, පෙබරවාරි මාසවලදී එන්නත් ලබාගත් බොහෝ පිරිසකට දෙවැනි මාත්‍රාවක් ලබාදීමක් සිදුවෙන්නේ නැහැ. මේ ආකාරයට නිසි අයුරින් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීමට ධම්මික පැණිය ඇතුළු අවිධිමත් කටයුතු බොහොමයක් බලපෑවා. ඒ අතරතුරේ ප්‍රභූ පැලැන්තියට මේ එන්නත රහසිගතව ලබාදීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක වෙනවා. ඒ ගැන අපිට සාක්ෂිත් තිබෙනවා. ව්‍යාපාරික ප්‍රජාවට පවා මුදල්වලට එන්නත ලබාදී  තිබෙනවා.
මේ රෝගය ලංකාවේ දරුණු ලෙස පැතිරෙනවා කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළකරලා තිබුණා. නමුත් ඒවා සැලකිල්ලට නොගැනීම නිසා රෝගීන්ට ඇඳන් වෙන්කර ගැනීමට පවා නොහැකි වී තිබෙනවා. ඒ වගේම මේ සියලු අර්බුදවලට හේතුව අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා වැනි අත්දැකීම් බහුල නිලධාරීන් මේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමයි.
ඒ වගේම මේ දිනවල එන්නත් වර්ග දෙකක් ලබාදීමක් ගැන කතාවෙනවා. නමුත් තවම එවැන්නක් සිදුවෙලා නැති නිසා අපිට මොකුත් කියන්න බැහැ. එහෙම දෙයක් වෙනවා නම් ඒක පිස්සුවක්. අපරාධයක්. නමුත් එහෙම අපිට නිශ්චිතව කියන්න බැරි තවම එහෙම දෙයක් කරලා නැති නිසයි.’

වර්ග දෙකකින් එන්නත් ලබාදීමේ හැකියාව සොයාබලනවා

– එන්නත්කරණවේදී, වෛරස රෝග විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර
‘ලංකාවේ දැනට භාවිතයට ගැනෙන එන්නත් සියල්ල ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය යටතේයි භාවිතයට ගැනෙන්නේ. මේ එන්නත්වලට අනුමැතිය දෙන්න විද්වත් කමිටුවක් පත්කර තිබෙනවා. එහි එක් සාමාජිකයෙක් ලෙස මමත් කටයුතු කරනවා. මේ සඳහා විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් අටදෙනෙක් පත්කර තිබෙනවා. සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් සොයාබලන්න මේ කමිටුවට තවත් හතර දෙනෙකු අතිරේකව පත්කර තිබෙනවා. ඒ වගේම අපි මේ එන්නත් රටට නිර්දේශ කරන ක්‍රියාවලිය සිදුකරන්නේ ආවට ගියාට නෙමෙයි. අපි මේ වෙනුවෙන් සියලුම දත්ත හා තොරතුරු පරිහරණය කරලා තමයි, අදාළ අනුමැතිය ලබාදෙන්නේ. අනෙක් දේ තමයි, අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සම්බන්ධයෙනුත් දැඩිව අවධානය යොමු කරනවා. දැන් සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදී තිබෙනවා. අපේ රටට සයිනොෆාම් එන්නත ලැබිලා තිබුණත්, අපි මාසෙකට වඩා කාලයක් එය භාවිතයට ගත්තෙ නැති ප්‍රධානම හේතුව තමයි එන්නත සම්බන්ධ ඇතැම් දත්ත හා තොරතුරු ඔවුන් ඉදිරිපත් කර නොමැති වීම. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ තොරතුරු ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම ඒ වෙනුවෙන් සෑහෙන කාලයක් බලාගෙන හිටියා. ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළාට පසු අපි චීන එන්නත අපේ ජනතාවට ලබාදෙන්න අනුමැතිය ලබාදෙනු ලැබුවා. ඒ අනුව අපි අටවැනිදා සිට මේ එන්නතත් ජනතාවට ලබාදීම ආරම්භ කළා.
ඇස්ට්‍රොසෙනිකා එන්නත ගැන අපේ ජනතාව දැන් දැනුවත් නිසා එය ලබාගන්න බියක් නැහැ. ලෝකෙ ගොඩක් රටවල්වල පාවිච්චි කර තිබෙන්නේ ඇස්ට්‍රොසෙනිකා එන්නත. එය වඩාත් ආරක්ෂිත එන්නතක් බව අපි දැන් දන්නවා. නමුත් අපිට එම එන්නතේ යම් සංකූලතා ඇතිකරන තත්ත්වයකුත් වාර්තා නොවුණා නෙමෙයි. රුධිරය කැටි ගැසීමේ අතුරු ආබාධයක් අපිට වාර්තා වුණා. ඇත්තටම ඇස්ට්‍රොසෙනිකාවල පමණක් නෙමෙයි අතුරු ආබාධ තිබෙන්නේ. ඕනෑම එන්නතක එසේ අතුරු ආබාධ ඇතිවීමේ ඉඩක් පවතිනවා. අපි බැලුවොත් කොවිඩ් රෝගයෙත් එක් ලක්ෂණයක් තමයි රුධිරය කැටිගැසීමේ තත්ත්වය. මේ වෛරසයේ තිබෙන ස්පයික් ප්‍රෝටීනයම තමයි, භාවිත කරන්නේ එන්නත් සඳහාත්. ඉතින් එන්නතක් ලබාදීලා අපේ ශරීරයේ ප්‍රතිදේහ ගොඩනැගෙන විට ඇතිවන ක්‍රියාදාමයේ යම් ප්‍රශ්නයක් නිසා තමයි, රුධිරය කැටිගැසීමේ තත්ත්වයක් ඇතිවෙන්නේ කියලයි විශ්වාස කරන්නේ. මේ තත්ත්වය ඉතාම කලාතුරකින් සිදුවන දෙයක්. අපි මුලින් මේ තත්ත්වය හඳුනාගෙන නොතිබුණු නිසා තමයි, ලංකාවෙත් තුන්දෙනෙතුට ජීවිත අහිමි වුණේ. අපි දැන් දන්නවා කළ යුතු දේ මොකක්ද කියන එක.

ඇඟපත වේදනාව ගැන සැලකිලිමත් වන්න

ඒ වගේම එන්නත ලබාගන්නා අයත් එන්නත අරගෙන දවස් දෙකකට වැඩි කාලයක් ඇඟපත වේදනාව, උණ ගතිය, ඔළුවේ කැක්කුම තිබෙනවා නම් සැලකිලිමත් විය යුතුයි. තමන්ට හතරවැනි දවසෙත් මේ ලක්ෂණ තිබෙනවා නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. අපිට මේ වගේ සිදුවීම් වාර්තා වෙන්නේ බිලියනයකට දෙකක් තුනක්. ඒ නිසා කියන්න ඕනෙ මේ අතුරු ආබාධ හැම එන්නතකටම ඇති විය හැකියි. ඒ නිසා ස්පුට්නික් V එන්නත හෝ සයිනොෆාම් එන්නත ලබාගත් අයටත් උණ ගතියක්, ඇඟපත වේදනාව, හිසරදය වගේ අතුරු ආබාධ ඇතිවිය හැකියි. ඔවුනුත් මේ අතුරු ආබාධ දවස් තුනකට වඩා පවතිනවා නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි. මේ අතුරු ආබාධ සඳහා පැරසිටමෝල් ලබාගත හැකියි. හොඳින් වතුර බීමත් සිදුකිරීම වැදගත්. තමන්ගේ ශරීරය විජලනය වෙන්න නොදී හොඳින් වතුර බොනවා නම් මේ අතුරු ආබාධ ඇතිවෙන්න තියෙන හැකියාව ඉතාම අඩුයි.
මේ වන විට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ප්‍රමාද වෙන තත්ත්වයක් තිබෙනවා. එය ගෙන්වා ගන්නට රජය උත්සාහ දරමින් සිටිනවා. එන්නත් මිශ්‍ර කර ලබාදීමට හැකියාවක් (Mix and match) තිබෙනවාද කියලත් සොයා බලනවා. ඒ කියන්නේ එක එන්නත් වර්ගයකින් පළමු මාත්‍රාව ලබාගත් අයට වෙනත් වර්ගයක කෝවිඩ් එන්නතකින් දෙවැනි මාත්‍රාව දෙන්න පුළුවන්ද කියන එකයි සොයා බලන්නේ. මේක තවම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. තවම විද්‍යානුකූලව එය අනුමත කරලා නැහැ. නමුත් රටවල් දෙකක් හෝ තුනක් පරීක්ෂණ ප්‍රතිඵල එන්නට පෙර තරුණ අයට එන්නත් වර්ග දෙකකින් මාත්‍රා දෙක ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඇස්ට්‍රොසෙනිකා පළමු මාත්‍රාව ලබාගත් තරුණ අයට දෙවැනි මාත්‍රාව ලෙස මොඩර්නා හරි ෆයිසර් හරි එන්නතක් ලබාගන්න අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ රටවල්වල නියාමන අධිකාරීන් විසින් තමයි මේ තීරණය අරගෙන තිබෙන්නේ. නමුත් තවම ලෝකයේ මේ සම්බන්ධයෙන් නිශ්චිතව විද්‍යාත්මකව තහවුරු කරපු තොරතුරක් නැහැ. මේ ආකාරයට එන්නත් වර්ග දෙකකින් මාත්‍රා දෙක ලබාදීලා අවශ්‍ය ප්‍රතිඵල ලබාගන්නට පුළුවන් කියන දත්ත තවමත් ලෝකයට ලැබිලා නැහැ.’

සියයට 63ක ජනතාවකට එන්නත දෙන්න සූදානම්

-සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි
එන්නත්කරණය පිළිබඳව පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්විය. එහිදී සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි පවසා තිබුණේ මේ වසර අවසාන වීමට පෙර රටේ ජනගහනයෙන් සියයට 63කට වඩා වැඩි පිරිසකට පූර්ණ එන්නත්කරණය කිරීමේ හැකියාවක් පවතින බවයි. එමෙන්ම කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගෙන් ලක්ෂ හයකට දෙවැනි මාත්‍රාව ලබාදීමේ ගැටළුවක් ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පසුගිය සතියේ සඳහන් කර තිබිණි. මේ වන විට එය ලබාගැනීම සඳහා ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වන බව ද පවසා තිබූ ඔහු. ස්පුට්නික් එන්නත මෙරට ප්‍රධාන එන්නත ලෙස භාවිත කරන බව ද සඳහන් කර තිබිණි.

ලැබෙන ඕනෑම එන්නතක් විදගන්න

– ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න
‘මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එන්නත් වර්ග හතක් පමණ භාවිතය සඳහා අනුමත කර තිබෙනවා. ඒ එන්නත්වලින් ලංකාවට හතරක් පමණ ඇවිත් තිබෙනවා. ඒ සෑම එන්නතකින්ම අප මරණයට පත්වීම වැළැක්වීමට සහ තීව්‍ර ආසාදිතයෙකු බවට පත්වීම වැළැක්වීමට සියයට අසූවකට වැඩි ආවරණයක් ලැබෙනවා. එන්නතක් ලබාගත් අය කෝවිඩ් නිසා මරණයට පත්වීම අඩුවෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අසනීපය හැදුණත් ඒ හැදෙන්නේ මද ප්‍රමාණයකින්. මේ එන්නත් එකින්-එක වෙනස් වෙන්නේ ආසාදනයට කොපමණ ආරක්ෂාවක් ලැබෙනවාද කියන දෙයින්. ලාවට හැදෙන එකට ඇමරිකාවේ නම් ෆයිසර් එන්නත සියයට 90ක ආරක්ෂාවක් ලබාදෙනවා. අනෙක් එන්නත් සියයට 60 – 70ක් වගේ ප්‍රමාණයක ආවරණයක් දෙනවා. මේ හැම එන්නතකින්ම ලැබෙන ආරක්ෂාව ඉතා වැඩියි. මේ නිසා ලෝකයේ හැමතැනින්ම මේ වෙද්දි එන්නත් හිඟයක් මතුවෙලා තිබෙනවා. මොකද ඉල්ලුම වැඩියි. සෑමකෙනාටම එන්නත ලබාගැනීමට අවස්ථාව තිබෙනවා නම්, තමන්ට ලැබෙන එන්නත හොඳම එන්නත කියලා හිතාගෙන පුළුවන් ඉක්මනට විදගන්න ඕනෙ.
කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාවේ හිඟයක් ඇතිවෙලා තිබෙනවා. එතකොට ඒ වෙනුවට අපි තවත් එන්නතක් දෙවැනි මාත්‍රාවක් විදිහට දෙන්න ඕනෙ. පළමු එන්නත ලබාගත් හැමෝටම දෙවැනි එන්නත අනිවාර්යෙන්ම දෙන්න ඕනෙ. මෙහිදී කොවිෂීල්ඩ් දෙවැනි එන්නතම ඒ අයට දෙන්න පුළුවන් නම් හොඳයි. මේක තවත් රටවලට සිදුවුණා. උදාහරණයක් විදිහට කොවිෂීල්ඩ් එන්නත ගත් අය කිහිපදෙනෙකුට රුධිරය කැටිගැසීම් පිළිබඳව කතාවක් පැතිරුණා. තරුණ අයට තමයි ඒ රුධිරය කැටිගැසීම ගැන වැඩි ගැටළුවක් මතුවුණේ. ඒක දුර්ලභ අතුරු ආබාධයක්. එතකොට පොහොසත් රටවල් තරුණ අයට දෙවැනි එන්නත සඳහා වෙනත් එන්නතක් ලබාදුන්නා. එතැනදි එන්නත් දෙකක් මිශ්‍ර වුණා. එංගලන්තය ස්පුට්නික් එන්නතයි, ෆයිසර් එන්නතයි මිශ්‍ර කළා. රුසියාව ස්පුට්නික් සහ කොවිෂීල්ඩ් එන්නත මිශ්‍ර කරලා පරීක්ෂණ කරනවා. එන්නත් දෙකක් මිශ්‍ර කරලා දෙන එක වාසි ද-අවාසි ද කියලා බලන්න පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඒ පරීක්ෂණ වාර්තා තව සති කිහිපයකින් එයි. අපි මෙතැනදි රුධිරය කැටිගැසීම් නිසා එන්නත් මාරුකරන්න කියලා කියන්නෙ නැහැ. දෙවැනි මාත්‍රාවට කොවිෂීල්ඩ්ම දෙනවා නම් හොඳයි. නමුත් ඒකෙ හිඟයක් තිබෙනවා නම්, අපිත් වෙන එන්නතක් දෙවැනි මාත්‍රාව විදිහට දෙන්න ඕනෙ.
ලංකාවෙත් රුධිරය කැටිගැසීමේ මරණ වාර්තා වුණා කියලා කිව්වා. කොවිෂීල්ඩ් එන්නත ඉතා හොඳ එන්නතක්. රුධිරය කැටිගැසීම දුර්ලභ අතුරු ආබාධයක්. මේ වගේ වෙලාවක රෝගය වැළඳීමේ ප්‍රවණතාව ඉතා වැඩියි. කොවිෂීල්ඩ් එන්නතින් ලැබෙන වාසි වැඩියි. කොවිෂීල්ඩ් එන්නත ගත්තාම ඊළඟ පැය විසි හතර තුළ ඇඟ වෙහෙසන්නේ නැතුව, ඇඟ විජලනය වෙන්න දෙන්නේ නැතුව ඉඳලා සුළු-සුළු ආබාධවලින් මිදෙන්න පුළුවන්.’

එන්නත්කරණයෙන් විතරක් මේක පාලනය කරන්න බෑ

-සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිහාල් අබේසිංහ 
‘දැන් සයිනොෆාම් එන්නතට අනුමැතිය ලැබී තිබෙන නිසා ලංකාවේ රජය සයිනොෆාම් එන්නත රටට තවදුරටත් ගෙන්වන්න කටයුතු යොදයි. චීනයත් අපේ රටට සහයෝගය දක්වන නිසා ණයට හරි මේ එන්නත් ලබාදෙයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ එන්නත් ලබාදුන්නා කියලා තව සති හයක් යනකල් කිසිම ප්‍රතිඵලයක් නැහැ. අපි දන්නවා මේ එන්නත් ලබාදුන්නාට පසු පුද්ගලයෙක්ගේ ප්‍රතිශක්තිය නිර්මාණය වෙන්නේ දෙවැනි එන්නත ලබාදීලත් සති දෙකකට පසුව බව. ඒ කියන්නෙ තවත් සති හයක් පමණ කාලයක් ගියාට පසුව බව. ආරක්ෂාව සම්පූර්ණ වීම සඳහා දෙවැනි මාත්‍රාව අවශ්‍යයි. ඒ නිසා වර්තමානයේ රටේ පවතින තත්ත්වය දැන් එන්නත් දුන්නා කියලා එකපාරට දවසින්-දෙකෙන් අඩුවෙයි කියලා අපේක්ෂා කරන්න බැහැ. ස්පුට්නික් V එන්නතින් අපිට ලැබුණේ 15,000ක් වගේ මාත්‍රා ප්‍රමාණයක්. ඒ වගේ ප්‍රමාණයක් කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අනෙක තමයි එන්නත්වලින් මේ දැන් පැතිරෙන වසංගතය සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන් කියලා හිතෙනවා නම්, කියන්න තියෙන්නේ එහෙම කරන්න බෑ කියලයි. එහෙම පුළුවන් නම් ඉන්දියාවට මේ වෙද්දි වෛරසය පාලනය කරගන්න හැකිවෙලා තියෙන්න ඕනෙ. මොකද ඉන්දියාව ලෝකයටම එන්නත් හදන රටක්. ඒ අනුව එන්නතින් පමණක් මේ වසංගත තත්ත්වය පාලනය කරගන්න බැහැ. ඒ වගේම ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලක්ෂ හයක් අපේ රටට කෙසේ හෝ ලබාගෙන දෙවැනි මාත්‍රාව ජනතාවට ලබාදෙන්න වැඩපිළිවෙලක් යොදන බව රජය කියලා තිබෙනවා. අපිට එන්නත් මිශ්‍රකර විදින්න හැකියාවක් නැහැ. මොකද තවම ඒක තිබෙන්නේ පර්යේෂණ මට්ටමේ.
පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවැනි මාත්‍රාව ලබාදෙන්න ප්‍රමාද වන විට පළමු එන්නතෙන් ලැබෙන ප්‍රතිඵලය කාලයත් එක්ක අඩුවෙලා යන්න පුළුවන්. අපි පසුගිය කාලය පුරාම රටක් විදිහට එන්නත්කරණය කාර්යක්ෂමව කරගන්න උත්සාහ ගත්තේ නැති බවක් පෙනුණා. ඒ වෙනුවට දුම්හට්ටි, පැණි වර්ග පසුපස යනවා දැක්කා. මම දකින විදිහට ලෝකයේ කොවිඩ් වසංගතය පාලනය කරන්න මොඩ්ල් දෙකක් භාවිත කරනවා. එකක් තමයි, මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රමුඛත්වය දෙන මොඩලය. අනෙක තමයි, ව්‍යාපාරවලට ප්‍රමුඛත්වය දෙන මොඩලය. එතකොට මේ බිස්නස් නැත්නම් ව්‍යාපාර මොඩලය තමයි, ඇමෙරිකාව, යුරෝපය, බ්‍රිතාන්‍යය, ඉන්දියාව, ශ්‍රී ලංකාව කියන රටවල් අනුගමනය කළේ. චීනය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය වගේ රටවල් අනුගමනය කළේ මහජන සෞඛ්‍ය මොඩලය. විවෘත ආර්ථිකය වැළඳගෙන තියෙන රටවල්වලට තරමක් අපහසුයි මහජන සෞඛ්‍ය මොඩලය ක්‍රියාත්මක කරගෙන වැඩි කාලයක් කටයුතු කරන්න.

අපට නිවැරදි ක්‍රමවේදයක් නෑ

අපේ රට ෆේල් වෙලා තියෙන්නේ අපිට තවම මේ වසංගතය පාලනය කරන්න නිවැරදි හෝ නිශ්චිත ක්‍රමවේදයක් නැති නිසයි. අපි මෙහෙමයි මේ වෛරසය පාලනය කරන්නේ කියන දේ සම්බන්ධයෙන් ජනතාවට පැහැදිලිව කියන්න කෙනෙක් තවම අපේ රටේ නැහැ. තාක්ෂණික වශයෙන් රජය ගන්න තීන්දු-තීරණ ගැන ජනතාවට හොඳට පැහැදිලි කරන්න කෙනෙක් අවශ්‍යයි.
පවතින තත්ත්වය මත රට ලොක්ඩවුන් කරන්න අවශ්‍යයි කිව්වම රජය යම් බයකින් ඉන්න බව පේනවා. මේ නිසා ඇත්තටම අපි ලොක්ඩවුන් කියන වචනය නිවැරදිව අර්ථ දක්වන්න අවශ්‍යයි. අපි හඳුනාගන්න ඕනෙ රටේ අත්‍යවශ්‍ය සේවා මොනවාද කියන එක. ඒ වගේම රටේ වැදගත්ම මූල්‍ය කටයුතු හඳුනාගන්න ඕනෙ. ඒ අනුව මේ දෙක අනිවාර්යයෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යා යුතුයි. ඒ වගේම රටේ වෙළෙඳසැල්, ඖෂධ සැල් විවෘත විය යුතුයි. නමුත් නිවසකින් එළියට බහින්න පුළුවන් සාමාජිකයන් ගණන සීමා කළ යුතුයි. අපේ රටේ ප්‍රශ්නය එන්නේ එදිනෙදා වේල හොයාගන්න මිනිස්සු ගැන. මේ ප්‍රශ්නයට ඉතින් දැන් විසඳුම් හොයන්න හැදුවට වැඩක් නැහැ. මොකද මේක අවුරුදු හැත්තෑ ගණනක් සිට එන ප්‍රශ්නයක්. ඉතින් මේ වෙලාවේ ආණ්ඩුවට මේ අවුරුදු හැත්තෑ ගාණක ප්‍රශ්නයට එකවර පිළිතුරු හොයන්න බෑ.
නමුත් එහෙම කියලා රටේ සියලුදෙනා බරපතළ ව්‍යසනයකට ගොදුරු වෙන්න ඉඩදීලා ඉන්න එක නිවැරදිද කියලා අපිට අනෙක් අතට හිතන්න වෙනවා.’
Previous articleශානිගේ මෝසම කැඳවීමෙන් විනිසුරුවරිය ඉවත්වෙයි ; අභියාචනය තව කල්යයි
Next articleහිතුවක්කාරීහැසිරීම් නවත්වන්න : කොවිඩ්වලින් තොර රටක් හදමු – ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here