මාස 19කට පසු අහනෆ්ට ඇප

මාස 19කට ආසන්න කාලයක් රැඳවුම් සහ රිමාන්ඩ් බාරයේ පසුවූ නවරසම් පොතේ කර්තෘ අහනෆ් ජසීම් ඇප මත මුදා හැරීමට පුත්තලම මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ මහත්මිය අද (15) නියෝග කළාය.
රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරි අහනෆ් ජසීම් හට ඇප කොන්දේසි ලෙස සෑම මසකම පළමු සහ අවසන් ඉරිදා ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ පුත්තලම කාර්යාලයේ අත්සන් කිරීමටත් විනිසුරුවරිය නියෝග කළාය.
ඔහුගේ විදේශ ගමන් තහනම් කළ අතර තමාට විදේශ ගමන් බලපත්‍රයක් නැති බව අහනෆ් දැනුම් දුන්නේය. ඒ බව දිවුරුම් ප්‍රකාශයක් මගින් දැනුම් දෙන ලෙස නියෝග කළ අධිකරණය, අහනෆ්ගේ ජාතික හැඳුනුම්පත් අංකයට විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කර ඇත්දැයි සොයා බලන ලෙසත්, එලෙස නිකුත් කර නැතිනම් මෙම කාලය ඇතුළත නැවත නිකුත් නොකරන ලෙසත් ආගමන විගමන පාලකට දැනුම් දීමට නියෝග කළේය.
2020 මැයි 16 වැනිදා ත්‍රස්තවාදය වැළැක්වීමේ කොට්ඨාසය විසින් අහ්නෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගනු ලැබීය. එතැන් පටන් වසරක කාලයක් රඳවා තබාගෙන සිටි ඔහු පසුගිය මැයි 12 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබේ.
සේව්ද පර්ල් නම් ආයතනයට අයත් බව කියන පුත්තලමේ ස්ථානයක තිබී ‘නවරසම්’ නම් කවි පොත් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයාගෙන තිබුණු අතර, එම කවි පොතේ රචකයා වූයේ අහනෆ් ජසීම් නම් තරුණයා ය. එය අන්තවාදය පතුරුවන පොතක් බව කියමින් මන්නාරමේ පදිංචි මෙම තරුණයා ද අත්අඩංගුවට ගනු ලැබීය.
එම පොත අන්තවාදී පොතක් නොවන බව ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදීන් සහ විචාරකයන් විසින් කරුණු සහිතව අවධාරණය කර තිබිණි. පසුව නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට එරෙහිව සාක්ෂි ලබා දෙන ලෙස මෙම තරුණයාට බල කළ බව කියැවිණි. ඔහු රඳවා තබාගෙන සිටියදී මීයෙකු සපා කෑම නිසා ප්‍රතිකාර ලැබීමට සිදුවී තිබුණු බව ද ඔහුගේ පවුලේ ඥාතීහු පවසති. අහනෆ්ගේ අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස විශේෂ කණ්ඩායමක් ත්‍රස්තමර්දන කොට්ඨාසයට ගොස් ඔහුගෙන් ප්‍රකාශයක් ද සටහන් කර ගත්තේය.
අහනෆ් ජසීම් වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ජයසේකර ඇතුළු නීතිඥවරු පිරිසක් පසුගිය ජනවාරි මාසයේ සිට ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු මුදවා ගැනීමට වෙහෙසවූහ.
පසුගියදා අහනෆ් වෙනුවෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අතර අහන‌ෆ්ට ඇප ලබාදීමට විරෝධයක් නැති බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ අයීසීසීපීර් පනත යටතේ නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට මෙන්ම අහනෆ්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.
අහනෆ් ජසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට යොමු කළ ලිපියක් පහත දැක්වේ.
“කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින Ahnaf Jazeem නම් තරුණයාගේ ආරක්ෂාව සහතික කරන ලෙස ඉල්ලා සිටීම
කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අහනෆ් ජසීම් නම් තරුණයා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 2020 දෙසැම්බර් මස 09 වැනිදා ඔබ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ල හා බැඳේ.
එම පැමිණිල්ලට අදාල තරුණයා රැඳවුම් නියෝග මත ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ සිටින අතර එහිදී ඔහුට මීයකු සපාකා ඇති බව අපවෙත වාර්තා වී තිබේ. පෙර කළ පැමිණිල්ලට අතිරේක වශෙයෙන් මෙම ලිපිය ඉදිරිපත් කරමු.
පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරින් වර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ පරිදි නීතීඥ හිජාස් ඔමාර් හිස්බුල්ලාගේ සිද්ධියට අදාලව 2020 මැයි 16 වැනි දා අනාෆ් ජසීම් (Ahnaf Jazeem) නම් සාහිත්‍යධරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විටත් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටියි.
මෙම තරුණයා තමා විසින් රචනා කරන ලද කවි ඇතුළත් කර ‘නවරසම්’ නමින් පොතක් මුද්‍රණය කර තිබෙන අතර තරුණයා අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ එම පොත ‘සේව් ද පර්ල්’ සංවිධානයට අයත්යැයි කියන ස්ථානයක තිබී සොයා ගැනීමය. මේ පිළිබඳ වැඩිදුර විස්තර අප විසින් මීට පෙර කරන ලද පැමිණිල්ලේ සඳහන් කළෙමු.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇති පරිදි ‘සේව් ද පර්ල්’ නම් සංවිධානයේ සම්බන්ධීකරණ වැඩ කටයුතු සිදු කළ බව කියන ….. පුත්තලම පදිංචි සාවුල් හමීඩ් මොහොමඩ් සුල්තාන් නම් පුද්ගලයා 2020 මැයි 03 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ තිබී නවරසම් නම් මෙම පොත සොයාගෙන තිබේ. අනතුරව රහස් පොලිසිය මදුරන්කුලියේ ඇති බව කියන ‘සේව්ද පර්ල්’ ආයතනයේ තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා එහි තිබූ නවරසම් පොතේ පිටපත් 19ක් සිය බාරයට ගෙන ඇත.
මදුරන්කුලියේ ගොඩනැගිල්ලට යාබදව පිහිටි ‘ස්කූල් ඔෆ් එක්සලන්ස්’ නම් පාසලේ ඉගැන්වීම් කටයුතු කර ඇති බව කියන අනාෆ් ජසීම් (මොහොමඩ් ජසීම් මොහොමඩ් අහ්නබ්) මෙම නවරසම් පොත රචනා කර ඇති අතර රහස් පොලිසිය විසින් මන්නාරම ….. පදිංචි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2020 මැයි 16 වැනිදාය.
රහස් පොලිසිය එලෙස වාර්තා කළ ද දැනගන්නට ඇති පරිදි එම පොත් සොයාගෙන ඇත්තේ අදාල ස්ථානයෙන් නොව තරුණයා ජීවත් වන ගම් ප්‍රදේශයෙන් බවයි. ගමේ පල්ලියට ගොස් නවරසම් පොත ඇති අය බාර දෙන ලෙස කළ නිවේදනයක් අනුව එම පොත අතැතිව සිටි පිරිස පොත ගෙනවැත් බාරදී ඇති බව දැනගන්නට තිබේ.
එම පොතේ තිබූ කවි මෙන්ම ඔහු විසින් රචනා කළ වෙනත් කවි ද අධ්‍යයනය කිරීමේදී අපට පෙනී ගියේ ඔහු අයි.එස් විරෝධී කවි රැසක් රචනා කර ඇති බවයි. යුද්ධයට එරෙහිව සහ සමාය ගැන ද ඔහු කවි ලියා තිබේ. කාව්‍ය සාහිත්‍ය අතින් ඉහළ තැනක තිබෙන මෙම බොහෝ කවි අන්තවාදයට එරෙහි කවි වීම විශේෂත්වයකි.
මෙම පොතෙහි තිබෙන කවිවලින් ළමා මනසට හානියක්වේද යන්න ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් කැඳවන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි. මෙහි මරණින් මතු ජීවිතය ගැන සඳහන් කවි ද තිබෙන බවත්, ඒවා ළමා මනසට අහිතකර බවටත් කිහිප දෙනෙකු අදහස් ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇත. බෞද්ධ සාහිත්‍යයේ ද මරණින් මතු ජීවිතයක් ගැන කතා කරන ඕනෑ තරම් කතා දහම් පාසල් පොත්වල සහ පාසල් පොත්වල ඇත. එසේ තිබිය දී දමිළ භාෂාවෙන් ලියන ලද මෙවැනි සාහිත්‍ය පොතක් සම්බන්ධයෙන් එහි කර්තෘ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගැනීම කිරීම බරපතල ප්‍රශ්නයකි.
මෙම තරුණයා මුණ ගැනීමට නීතීඥවරුන්ට ද අවස්ථාව ලබා දී නැති බව පසුගිය දා අපට වාර්තා විය. එමෙන්ම මෙම තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන සිටිය දී ඔහුට මීයකු සපා කා ඇති බව ද දැනගන්නට ලැබී ඇත. ඔහු මුලින් අත්අඩංගුවට ගත්තේ නවරසම් පොතේ අන්තවාදී සිදුවීම් තිබීම නිසා බව කීව ද දැන් ඔහුට එරෙහිව වෙනත් විමර්ශනයක් පවත්වාගෙන යන බවත්, මහේස්ත්‍රාත් ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට ඔහුට බලපෑම් කරන බවත් දැනගන්නට ලැබී ඇත.
මේ කරුණුවල සත්‍යාසත්‍යතාවය කඩිනමින් සොයා බලන ලෙසත්, මෙම තරුණයා හිංසනයට ලක්වී ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන ලෙසත්, ඉදිරියේදී හිංසනයකට ලක් නොවීමට මෙන්ම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට අදාල නිර්දේශ කඩිනමින් පොලිස්පතිට, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂට සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට නිකුත් කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.
සාහිත්‍යට ලැදි, කලාකාමී, අන්තවාදයට විරුද්ධව මෙවැනි තරුණයන් නිරපරාදේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් සිදුවන්නේ ඔවුන් නිරායාසයෙන්ම අන්තවාදයට තල්ලු කිරීමකි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තකුටම භාෂණයේ නිදහසහ සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකමක් තිබේ. එය ‘නවරසම්’ පොතේ කර්තෘටද එලෙසින්ම අදාලය. ඔහු සාහිත්‍ය කෘතියක් රචනා කිරීම නිසා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. එම පොතෙහි අන්තවාදී කරුණු ඇතුළත්දැයි දැන ගැනීමට අවශ්‍යව තිබුණේ නම් එය පරිවර්ථනය කර බලා අවසානයේ නීති විරෝධී යමක් ඇත්නම් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාව තිබුනද මුලින්ම කර ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීමයි.
මෙම තරුණයා 2020 මැයි මාසයේ සිට රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටින බැවින් මේ ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.”
අහන‌ෆ් සම්බන්ධයෙන් මීට පෙර පළ කළ ප්‍රවෘත්ති සහ විශේෂාංග පහත දැක්වේ.

 

 

Previous articleඑක්නැලිගොඩ නඩුව : හිටපු සාජන් මේජර් දැන් පරස්පර කතා කියයි !
Next articleඇප ලැබූ අහනෆ්ට ගෙදර යන්න බැරිවෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here