කවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයාගේ ජීවිත ආරක්ෂාව සහතික කරන්නැයි ඉල්ලති

කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත සිටින අහ්නාෆ් ජසීම් නම් තරුණයාගේ ආරක්ෂාව සහතික කිරීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය දෙවැනි වරටත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා ඇත.
කවි පොතක් ලිවීම සම්බන්ධයෙන් අහනෆ් ජසීම් නම් තරුණයා අත්අඩංගුවට ගැනීම ගැන ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය 2020 දෙසැම්බර් මස 09 වැනිදා ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළේය. පෙර කළ පැමිණිල්ලට අතිරේක වශයෙන් මෙම ලිපිය ඉදිරිපත් කර ඇතැයි එම සංගමය සඳහන් කර තිබේ.
අහ්නාෆ් ජසීම් නම් තරුණයා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත ත්‍රස්තවාදී ක්‍රියා විමර්ශන කොට්ඨාසයේ සිටින බවත් ඔහු මුණ ගැසීමට නීතීඥවරුන්ට අවස්ථාව ලබා දී නොමැති බවත් ඔහු රඳවා ගෙන සිටින අතරතුර දී ඔහුට මීයකු සපාකා ඇති බවටත් එම සංගමය කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.
ඔහු මුලින් අත්අඩංගුවට ගනු ලැබූවේ නවරසම් පොතේ අන්තවාදී සිදුවීම් තිබීම නිසා බව කීව ද දැන් ඔහුට එරෙහිව වෙනත් විමර්ශනයක් පවත්වාගෙන යන බවත්, මහේස්ත්‍රාත් ඉදිරියේ යම් ප්‍රකාශයක් සිදු කිරීමට ඔහුට බලපෑම් කරන බවත් දැනගන්නට ලැබී ඇතැයි එම සංගමය පැමිණිල්ලෙන් සඳහන් කර තිබේ.
මේ කරුණුවල සත්‍යාසත්‍යතාවය කඩිනමින් සොයා බලන ලෙසත්, මෙම තරුණයා හිංසනයට ලක්වී ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන ලෙසත්, ඉදිරියේදී හිංසනයකට ලක් නොවීමට මෙන්ම ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට අදාළ නිර්දේශ කඩිනමින් පොලිස්පතිට, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂට සහ නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට නිකුත් කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා ඇත.
සාහිත්‍යට ලැදි, කලාකාමී, අන්තවාදයට විරුද්ධව මෙවැනි තරුණයන් නිරපරාදේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔවුන් නිරායාසයෙන්ම අන්තවාදයට තල්ලු වන බව තරුණ ජනමාධ්‍යවේදීන් පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සෑම තැනැත්තකුටම භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකමක් තිබෙන බවද එය ‘නවරසම්’ පොතේ කර්තෘටද එලෙසින්ම අදාළ බවද පෙන්වා දෙන එම සංගමය ඔහු සාහිත්‍ය කෘතියක් රචනා කිරීම නිසා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් බවද පැමිණිල්ලේ දක්වා ඇත.
එම පොතෙහි අන්තවාදී කරුණු ඇතුළත්දැයි දැන ගැනීමට අවශ්‍යව තිබුණේ නම් එය පරිවර්ථනය කර බලා අවසානයේ නීති විරෝධී යමක් ඇත්නම් ඔහුට විරුද්ධව නීතිමය කටයුතු කිරීමේ හැකියාව තිබුනද මුලින්ම කර ඇත්තේ ඔහු අත්අඩංගුවට ගැනීම බව ද ⁣එම සංගමය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.
මෙම තරුණයා 2020 මැයි මාසයේ සිට රැඳවුම් නියෝග මත අත්අඩංගුවේ සිටින බැවින් මේ ගැන කඩිනමින් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිට ඇත.
එම ලිපියේ මෙසේද දැක්වෙයි.
“පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරය ගැන විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වරින් වර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ පරිදි  නීතීඥ හිජාස් ඔමාර් හිස්බුල්ලාගේ සිද්ධියට අදාලව 2020 මැයි 16 වැනි දා අහ්නාෆ් ජසීම් නම් සාහිත්‍යධරයකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විටත් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටියි.
මෙම තරුණයා තමා විසින් රචනා කරන ලද කවි ඇතුළත් කර ‘නවරසම්’ නමින් පොතක් මුද්‍රණය කර තිබෙන අතර තරුණයා අත්අඩංගුවට ගැනීමට හේතුවී ඇත්තේ එම පොත ‘සේව් ද පර්ල්’ සංවිධානයට අයත්යැයි කියන ස්ථානයක තිබී සොයා ගැනීමය. මේ පිළිබඳ වැඩිදුර විස්තර අප විසින් මීට පෙර කරන ලද පැමිණිල්ලේ සඳහන් කළෙමු.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර ඇති පරිදි ‘සේව් ද පර්ල්’ නම් සංවිධානයේ සම්බන්ධීකරණ වැඩ කටයුතු සිදු කළ බව කියන පුත්තලමේ පදිංචි සාවුල් හමීඩ් මොහොමඩ් සුල්තාන් නම් පුද්ගලයා 2020 මැයි 03 වැනි දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු භාරයේ තිබී නවරසම් නම් මෙම පොත සොයාගෙන තිබේ.
අනතුරව රහස් පොලිසිය මදුරන්කුලියේ ඇති බව කියන ‘සේව්ද පර්ල්’ ආයතනයේ තවත් ගොඩනැගිල්ලක් පරීක්ෂා කර බලා එහි තිබූ නවරසම් පොතේ පිටපත් 19ක් සිය බාරයට ගෙන ඇත. මදුරන්කුලියේ ගොඩනැගිල්ලට යාබදව පිහිටි ‘ස්කූල් ඔෆ් එක්සලන්ස්’ නම් පාසලේ ඉගැන්වීම් කටයුතු කර ඇති බව කියන අනාෆ් ජසීම් (මොහොමඩ් ජසීම් මොහොමඩ් අහ්නබ්) මෙම නවරසම් පොත රචනා කර ඇති අතර රහස් පොලිසිය විසින් මන්නාරමේ පදිංචි මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ 2020 මැයි 16 වැනිදාය.
රහස් පොලිසිය එලෙස වාර්තා කළ ද දැනගන්නට ඇති පරිදි එම පොත් සොයාගෙන ඇත්තේ අදාල ස්ථානයෙන් නොව තරුණයා ජීවත් වන ගම් ප්‍රදේශයෙන් බවයි. ගමේ පල්ලියට ගොස් නවරසම් පොත ඇති අය බාර දෙන ලෙස කළ නිවේදනයක් අනුව එම පොත අතැතිව සිටි පිරිස පොත ගෙනවිත් බාරදී ඇති බව දැනගන්නට තිබේ.
එම පොතේ තිබූ කවි මෙන්ම ඔහු විසින් රචනා කළ වෙනත් කවි ද අධ්‍යයනය කිරීමේදී අපට පෙනී ගියේ ඔහු අයි.එස් විරෝධී කවි රැසක් රචනා කර ඇති බවයි. යුද්ධයට එරෙහිව සහ සමාය ගැන ද ඔහු කවි ලියා තිබේ. කාව්‍ය සාහිත්‍ය අතින් ඉහළ තැනක තිබෙන මෙම බොහෝ කවි අන්තවාදයට එරෙහි කවි වීම විශේෂත්වයකි.
මෙම පොතෙහි තිබෙන කවිවලින් ළමා මනසට හානියක්වේද යන්න ගැන රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ගෙන් වාර්තාවක් කැඳවන ලෙස රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා තිබිණි. මෙහි මරණින් මතු ජීවිතය ගැන සඳහන් කවි ද තිබෙන බවත්, ඒවා ළමා මනසට අහිතකර බවටත් කිහිප දෙනෙකු අදහස් ඉදිරිපත් කර ඇති බවත් දැනගන්නට ඇත. බෞද්ධ සාහිත්‍යයේ ද මරණින් මතු ජීවිතයක් ගැන කතා කරන ඔ්නෑ තරම් කතා දහම් පාසල් පොත්වල සහ පාසල් පොත්වල ඇත. එසේ තිබිය දී දමිළ භාෂාවෙන් ලියන ලද මෙවැනි සාහිත්‍ය පොතක් සම්බන්ධයෙන් එහි කර්තෘ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් තිස්සේ රඳවා තබාගැනීම කිරීම බරපතල ප්‍රශ්නයකි.”
එම ලිපියේ පිටපත්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයා⁣ට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සියලුම කොමසාරිස්වරුන්ට, පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාටද, නීතිපතිවරයාට සහ ශ්‍රී ලංකා නීතීඥ සංගම⁣යේ සභාපතිවරයාට යොමු කර ඇත.
Previous articleමුතුරාජවෙල සංවර්ධනය පිටුපස කූඨ අරමුණක් : සංරක්ෂණයට ඒකාබද්ධ කමිටුවක් – කෝපා තීරණයක් ගනී !
Next articleහම්බන්තොට අලි රක්ෂිතයේ පරිසර හානි ගැන මානව හිමිකම් කොමිසම ආයතන 8කින් වාර්තා කැඳවයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here