අහ්නාෆ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිචාර – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සති දෙකක් කල් දෙයි !

අහ්නාෆ් ජසීම් කවියා අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද (06) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මේ ප්‍රකාශය කළේ එම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, එස්. තුරෙයිරාජා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.
මීට අදාළ සීමිත විරෝධතා සති දෙකක් ඇතුළත ගොනු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කළේය. මේ අතර පෙත්සමේ යතුරු ලියන දෝෂ කිහිපයක් නිවැරදි කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.කනග්-ඊස්වරන් මහතා කටයුතු කළේය. පෙත්සම අගෝස්තු 4 වැනිදා යළි කැඳවීමට නියමිත ය.
අහ්නාෆ් ජසීම්ගේ සාහිත්‍ය කෘති තුළින් මුස්ලිම් අන්තවාදයට ආධාර සහ අනුබල දුන් බවටත්, ළමුන් තුළ අන්තවාදය සහ ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කර ඇති බවටත් චෝදනා කරමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (ටීඅයිඩී) විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අහ්නාෆ් ජසීම් කවියා 2021 මැයි 16 වැනිදා සිලාවතුරේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
පෙත්සම මගින් අහනාෆ් ජසීම් රැඳවුම් භාරයෙන් නිදහස් කරන ලෙස අතුරු නියෝගයක් ද ඉල්ලා තිබේ.
අහ්නාෆ් ජසීම් පාසල් කාලයේ සිටම කවි හා කෙටිකතා රචකයෙකු වන අතර, ඔහුගේ කවි තරගවලට ඉදිරිපත් කර සම්මාන පවා ලබා ඇතැයි සඳහන් ය. අහ්නාෆ් ජසීම් සිය කලාත්මක කෘති මගින් ප්‍රචණ්ඩත්වයට සහයෝගය දැක්වීම හෝ උසිගැන්වීම හෝ මුස්ලිම් ප්‍රජාවේ කොටස් තුළ අන්තවාදය, වර්ගවාදය ප්‍රවර්ධනය කර නැති බවත්, ඔහු රචනා කර ඇත්තේ ඊට එරෙහිව බවත් පෙත්සම්කාර පාර්ශ්වය කියා සිටී.
අහ්නාෆ් මාස දහයකට වැඩි කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකොට, රැඳවුම් නියෝග මත නීතිවිරෝධී ලෙස රඳවා තබා ඇති බව ද පෙත්සමේ සඳහන් කරුණු අතර වේ.
මේ දක්වා අහ්නාෆ් ජසීම් මාස දහයකට වැඩි කාලයක් අධිකරණයට ඉදිරිපත් නොකොට, රැඳවුම් නියෝග මත නීතිවිරෝධී ලෙස රඳවා තබා ඇති බව ද පෙත්සමේ සඳහන් වෙයි. කෙසේ වෙතත් පසුගිය මැයි 12 දා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර, ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජය විල්සන් ජයසේකර මාධ්‍යයට සඳහන් කර තිබුණේ ඒ සම්බන්ධයෙන් නීතිඥයන් පවා දැනුවත් නොකිරීම බරපතළ කරුණක් බවයි.
‘කවුරුත් නොදැන, කාටවත් දැනුම් නොදී අහ්නාෆ්ව 12 වැනිදා කොළඹ – අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. තංගල්ලෙ රැඳවුම් මධ්‍යස්ථානයේ ඉඳලා 11 වැනිදා තමයි ඔහුව කොළඹ ගෙනැත් තියෙන්නෙ. අහ්නාෆ් වෙනුවෙන් නීතිඥවරයෙක් ඉදිරිපත් වීම් වළක්වන්න සැලසුම් සහගතව කරපු වැඩක් මේක. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(2) වගන්තිය යටතේ තමයි ඔහුට චෝදනා ගොනුකරන්න ඇත්තෙ. ඔහුට මීට කලින් බී වාර්තාවෙන් ඒ විදිහටයි චෝදනා ගොනු කරලා තිබුණෙ. මේ වගන්තිය යටතේ ඉදිරිපත් කළාම මහාධිකරණයේ නඩුව අහලා ඉවර වෙනකම් ඇප ගන්න බෑ. කොහොමත් අපි තවම දන්නෙ නෑ, මුලින් දාපු බී රිපෝට් එකට වඩා චෝදනා වෙනස් කරලද කියලා.’
මේ අතර අහ්නාෆ් ජසීම්ට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව හෙට (07) කැඳවීමට නියමිතව තිබුණද, විත්තිකරු විසින් ගොනු කරන ලද මෝසමක් මත එය අද (06) විභාගයට ගැනිණි.
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7 (1) හෝ 7 (2) වගන්තිය යටතේ අහ්නාෆ් මහේස්ත‍්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කළ යුතුව තිබුණේද යන්න සහ අහ්නාෆ්ට එරෙහි සාක්ෂි සාරාංශය සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කිරීමට නියමිතව තිබිණි.
2020.10.10 දින සිට බන්ධනාගාර හමුවීම් තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් නීතිඥයන්ට තම සේවාදායක රැඳවියන් සමඟ දුරකතනයෙන් කතා කළ හැකි බව බන්ධනාගාර අධිකාරිය විසින් අධිකරණය වෙත වාර්තාවක් මගින් දැනුම් දෙනු ලැබ ඇත. නීතිඥ  ස්වස්තිකා අරුලිංගම් අහ්නාෆ් වෙනුවෙන් පෙනී සිටි අතර, එම නඩුව ජූලි 13 වැනිදා නැවත කැඳවීමට නියමිත ය.
Previous articleශ්‍රේෂ්ඨාධිකරණයේ හතරවැනි විනිසුරුත් රිෂාඩ්ගේ නඩුවෙන් ඉවත් වෙයි : එහෙම කරන්න පුළුවන් – නීතිඥ එස්.ජී පුංචිහේවා
Next articleලංකාව මාධ්‍යවේදීන්ට අසීරු රටක් – මාධ්‍ය නිදහසේ භක්ෂකයන් අතරට ගෝඨාභයත් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here