නවරසම් කර්තෘ අහ්නාෆ් නිදහස් කරන්න : නැත්නම් සාධාරණ ලෙස චෝදනා ගොනුකරන්න – සංවිධාන 13ක් ආණ්ඩුවෙන් ඉල්ලයි !

කිසිදු චෝදනාවක් නොමැතිව වසරක කාලයක් රඳවාගනු ලැබ සිටින නවරසම් කවි පොතේ කර්තෘ අහ්නෆ් ජසීම් වහාම නිදහස් කරන්නැයි ඉල්ලමින් ජාත්‍යන්තර සහ දේශීය සංවිධාන 13ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
කවියෙකු හා ගුරුවරයෙකු වන අහ්නෆ් දැනට වසරක කාලයක් කිසිදු චෝදනාවකින් තොරව රඳවා තබාගැනීම පිළිබඳව තමන් දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින බව එම සංවිධාන සඳහන් කරයි.
අහ්නාෆ් ජසීම් වහාම නිදහස් කරන ලෙස හෝ ජාත්‍යන්තරව පිළිගත හැකි අපරාධ සම්බන්ධයෙන් ඔහුට වහාම චෝදනා ගොනු කර, ජාත්‍යන්තර සාධාරණ නඩු විභාග ප්‍රමිතීන්ට අනුකූලව නඩු පවරන ලෙස එම සංවිධාන ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.
‘අහ්නාෆ් ජසීම් (මන්නරමුතු අහ්නාෆ්) 26 හැවිරිදි කවියෙකු හා ගුරුවරයෙකි. ඔහු 2020 මැයි 16 වැනිදා ශ්‍රී ලංකාවේ දරුණු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (පීටීඒ) යටතේ අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත්තේ 2017 ජුලි මාසයේදී ඔහු විසින් ලියන ලද සහ ප්‍රකාශයට පත්කරන ලද නවරසම් නම් දෙමළ භාෂා කවි පොතක් මෙන්ම තම සිසුන් ‘අන්තවාදී දෘෂ්ටිවාදයේ’ අනුගාමිකයන් බවට පත්කිරීමේ අදහසින් අන්තවාදී ප්‍රකාශනවලට නිරාවරණය කිරීම යන සනාථ නොකළ චෝදනා සම්බන්ධයෙනි. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර ගත් කොන්කිරී⁣මේ සහ වෙනස් කොට සැලකීමක් ක්‍රියාත්මක වන පසුබිමක ය.

තහනම් නොකළ පොතක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පාසලක නවරසම් පොතේ පිටපත් ශ්‍රී ලංකා බලධාරීන් විසින් සොයාගත් බව සඳහන් වෙයි. මෙම පොත දැනට ශ්‍රී ලංකාවේ ජාතික පුස්තකාලයේ ලැයිස්තුගත කර ඇති අතර, එය කිසිවිටෙකත් තහනම් කර නොතිබුණද, වෙනත් හේතු අතර සඳහන් කරමින් මෙම පොතේ අන්තර්ගතය මත අහ්නාෆ් ජසීම් රඳවා තබාගැනීමට බලධාරීහු තීරණය කළහ.
නවරසම් හි අන්තර්ගතය අන්තවාදය ප්‍රවර්ධනය කරන බවට ශ්‍රී ලංකා බලධාරීහු දිගින්-දිගටම තර්ක කරති.
කෙසේ වෙතත් මෙය ඔහුගේ නීති නියෝජිත සංජය විල්සන් ජයසේකර විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඔහු අහ්නාෆ් ජසීම් රඳවා තබාගැනීම ‘මුස්ලිම් විරෝධී වර්ගවාදයට අනුබල දෙන’ ක්‍රියාවක් ලෙස සලකයි.

අන්තවාදයට එරෙහි කවි

සුප්‍රසිද්ධ දෙමළ භාෂා මහාචාර්යවරයකු වන මැක්බූල් අලිමොහොමඩ් නුහුමාන්, අහ්නාෆ් ජසීම්ගේ කවි පිළිබඳ බලධාරීන්ගේ අර්ථ නිරූපණයට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කර ඇත.’මෙම කවි එකතුව තුළ අන්තවාදයට, ප්‍රචණ්ඩත්වයට හා යුද්ධයට එරෙහි’ කවි කිහිපයක් ඇති බව ඔහු සඳහන් කර ති⁣බේ.
ප්‍රචණ්ඩ ක්‍රියා කිරීම සඳහා අන් අය පෙළඹවීමේ අභිප්‍රායක් ජසීම්ගේ කවි මගින් පෙන්නුම් නොකරන බව අපේ විශ්වාසයයි. ඔහුගේ නීතිඥයාට අනුව, අහ්නාෆ් ජසීම් රඳවාගෙන සිටින්නේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට හේතුවන කුරිරු, අමානුෂික හා පහත් ලෙස සැලකීමට ලක්වන දරුණු කොන්දේසි යටතේ ය. තවද, ජසීම් රැඳවුම් භාරයේ සිටි කාලය තුළ බලධාරීන් විසින් නියමිත ක්‍රියාදාමයේ ආරක්ෂාවන් උල්ලංඝනය කරනු ලැබ ඇත.
ජසීම්ගේ නීතිඥයා පවසන්නේ ප්‍රශ්න කිරීම්වලදී ව්‍යාජ පාපොච්ඡාරණයක් කිරීමට සහ ඔහුට නොතේරෙන භාෂාවකින් ලියූ ලියවිල්ලකට අත්සන් කරන ලෙස ජසීම්ට බල කර ඇති බවයි.

රැඳවූවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය

අත්අඩංගුවට ගෙන මාස දහයකට ආසන්න කාලයක් තිස්සේ ජසීම්ට නීතිඥ සහාය ලබාගැනීම අහිමි වූ අතර, ඊට අවසර ලබා දුන් විට පවා නීතිඥයා සහ අහ්නාෆ් අතර වූ එම සංවාද බලධාරීන් විසින් පටිගත කරන ලදි. ඔහුගේ පවුලේ අයට ද අහ්නාෆ් බැලීමට අවසර ලබා දී ඇත්තේ අහ්නාෆ් ජසීම් රඳවාගෙන මාස පහකට පසුව ය. ඔහු රඳවාගෙන වසරක් ගතවී ඇතත්, අහ්නාෆ් ජසීම්ට එරෙහි චෝදනා සනාථ කරන කිසිදු සාක්ෂියක් බලධාරීන් විසින් මෙතෙක් ඉදිරිපත් කර නැත. ජසීම් ජාත්‍යන්තරව පිළිගත් අපරාධයක් කර ඇති බවට විශ්වාසදායක සහ පිළිගත හැකි සාක්ෂි බලධාරීන් සතුව තිබේ නම්, ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඔහුට අවස්ථාවක් ලැබෙන පරිදි ඔහුට නිසි නීතිමය ක්‍රියාදාමය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය සහතික කරමින් ඔවුන් වහාම ජසීම්ට එරෙහිව චෝදනා ගොනු කළ යුතුය. එවැනි සාක්ෂි නොමැති නම් ඔවුන් වහාම ඔහුව නිදහස් කළ යුතුය.
අහ්නාෆ් ජසීම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අතර, කිසිදු චෝදනාවකින් තොරව පුද්ගලයෙකු අත්තනෝමතික ලෙස මාස 18 ක් දක්වා කිසිදු චෝදනාවකින් හෝ නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනීමට බලධාරීන්ට එමගින් බලය ලැබේ.බලහත්කාරයෙන් පාපොච්ඡාරණයක් ලබාගැනීම සඳහා රැඳවියන්ට වධහිංසා පැමිණවීම වැනි ක්‍රම භාවිත කිරීම, කුප්‍රකට ත්‍රස්තවාදී විමර්ශන අංශය විසින් භාවිත කරනු ලබන සුලබ ක්‍රමවේදයකි.

අවදානම් සහගත ප්‍රජාවන්ට එරෙහිව

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික හා ආගමික සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කර ඇති අතර, වෙනස් කොට සැලකීමක් ලෙස දෙමළ සහ මුස්ලිම්වරුන් වැඩි ප්‍රමාණයක් එම පනත යටතේ රැඳවුම් භාරයේ සිටී.
මෙම පනත අවලංගු කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ මානව හිමිකම් සංවිධාන නැවත-නැවතත් ඉල්ලා සිටියද, බලධාරීන් ශ්‍රී ලංකාවේ වඩාත් අවදානම්සහගත ප්‍රජාවන්ට එරෙහිව මෙම පනත⁣ භාවිත කරයි.අහ්නාෆ් ජසීම් වහාම නිදහස් කරන ලෙස හෝ සාධාරණ නඩු විභාගයක් මගින් ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට අවස්ථාවක් ලැබෙන පරිදි ඔහුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස අපි ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සුළු ජාතීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සඳහා පහසුකම් සලසා ඇති මෙම ගැඹුරු ලෙස දෝෂ සහිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම අවලංගු කරන ලෙස ද අපි ඉල්ලා සිටිමු.
අත්සන් කරනු ලැබූ සංවිධාන :
• PEN International
• Amnesty International
• The Sri Lanka Campaign for Peace and Justice
• Journalists for Democracy in Sri Lanka
• The International Working Group on Sri Lanka
• International Truth and Justice Project – Sri Lanka
• The Center for Justice and Accountability
• Australian Centre for International Justice
• Article 19
• Human Rights Watch
• IMADR
• PEARL
• Freemuse
Previous articleවරදක් කළා නම් මාව උසාවියට ඉදිරිපත් කරන්න – අත්අඩංගුවේ සිටින රිෂාඩ් පාර්ලිමේන්තුවේදී කියයි !
Next articleඅපි ජනතාවට සවන් දෙන රජයක් – ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග කෙටුම්පතට එකතු කරනවා – අගමැති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here