එක්නැලිගොඩ නඩුව : හිටපු සාජන් මේජර් දැන් පරස්පර කතා කියයි !

යුද හමුදාවේ හිටපු සාජන් මේජර්වරයකු වන ජේ.එම්.රන්බණ්ඩා අධිකරණයේ දිවුරුම් පිට බොරු සාක්කි ලබාදෙමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.
එම සාක්කිකරු පසුගිය 10 දිනයේ ද අවස්ථා කිහිපයකදී බොරු සාක්කි ඉදිරිපත් කළ බැවින් ඔහු සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සාක්කිකරු ඉදිරිපත් කළ කාරණයක් උදාහරණ ලෙස දක්වමින් ඉල්ලා සිටියේය.
ඒ අනුව සැකකරු පෙර පරිදිම බැඳුම්කරයක් මත මුදා හැරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විභාග වන නඩුවේ සාක්කිකරුවකු වන ජේ.එම්.රන්බණ්ඩාගේ සාක්කි විමසීම 10දා අවසන් විය.
මීට පෙර නිකුත් කළ සිතාසි මත එදින අධිකරණයේ පෙනී නොසිටි මෙම නඩුවේ හතරවැනි සාක්කිකරුට වරෙන්තු නිකුත් කිරීමට ද මහාධිකරණය නියෝග කළේය.
කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සාමාජික මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් ඉදිරියේ නඩුව විභාගයට ගැණිනි. විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස සම්පත් අබේකෝන් මහතා කටයුතු කරයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ගිරිතලේ කඳවුරට අනුයුක්තව රාජකාරි කළ විශ්‍රාමික සාජන් මේජර් ජේ.එම්. රන්බණ්ඩා මහතා මීට පෙර, නොවැම්බර් 16 වැනිදා සාක්කි ලබා දුන් අතර පසුගිය 10 දිනයේ ද ඔහුගෙන් වැඩිදුර සාක්කි ලබාගත්තේය. සාක්කිකාර රන්බණ්ඩාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ලබා දුන් ප්‍රකාශවල සඳහන් කරුණු සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා ප්‍රශ්න කළේය. එහිදී මතුවූ පරස්පරතා 24ක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ලකුණු කළේය.
හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට ප්‍රකාශයක් ලබාදෙමින් මෙම සාක්කිකරු කියා ඇත්තේ ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ හමුදා කඳවුරේදී මුණ ගැසුණු බව සහ කතාබහ කළ බවයි. කෙසේ වෙතත් පසුගිය 10දා මහාධිකරණයේ සාක්කි ලබාදෙමින් සාක්කිකරු ප්‍රකාශ කළේ ප්‍රගීත් එක්නැලිගොඩ හමුවී හෝ කතාබහ කර නැති බවයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – ඔබ හිටපු ගිරිතලේ හමුදා කඳවුරේ ප්‍රධානියා කුමාර් රත්නම් ද?
සාක්කිකරු – එහෙමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – කුමාර් රත්නම් දැනුම් දුන්නද එක්නැලිගොඩගෙන් ප්‍රශ්න කරන්න කියලා?
සාක්කිකරු – නැහැ. එහෙම ලියලා තිබෙනවා නම් බොරු.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – කෝප්‍රල්වරයෙක් මාර්ගයෙන් ඔබට දැනුම් දුන්නද ප්‍රශ්න කරන්න කියලා?
සාක්කිකරු – නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඇතැම් ප්‍රශ්න ඇසීමට පටන් ගනිද්දීම සාක්කිකරු පිළිතුරු දීම ආරම්භ කළ අවස්ථා ද තිබිණි. ඇතැම් ප්‍රශ්නවලට සාක්කිකරු නිසි පිළිතුරක් ලබානොදීම නිසා ඒවාට නිසි පිළිතුරු ලබා දෙන ලෙස අධිකරණය අවවාද කළේය.
තමන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශ කළේ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කටපාඩම් කර ගැනීමට දුන් ප්‍රකාශයක් බව සාක්කිකාර රන්බණ්ඩාර පැවසීය.
සභාපති විනිසුරු – ඔබ කොපමණ කලක් යුද හමුදාවේ රාජකාරි කළාද?
සාක්කිකරු – අවුරුදු 22ක්.
සභාපති විනිසුරු – සේවයෙන් ඉවත් වෙලා කොපමණ කාලයක් ද?
සාක්කිකරු – අවුරුදු 6ක් වෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – කඳවුරේ සුදු පාට වෑන් එකක් තිබුණද?
සාක්කිකරු – සුදුපාට එකක් නෑ. බ්‍රවුන් කලර් එකක් තිබ්බා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – සුදුපාට වෑන් රියක් තිබුණු බවට ප්‍රකාශ කළා නම් එය අසත්‍යක්ද?
සාක්කිකරු – සුදුපාට වෑන් රථයක් තිබුණේ නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – සුදු පාට වෑන් රියක් තිබුණු බවට ඔබ හෝමාගම මහේස්ත්‍රාත් ඉදිරිපිට කිව්වේ බොරුවක් ද?
සාක්කිකරු – නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – ඔබට සිංහල තේරෙන්නේ නැද්ද? සුදුපාට වෑන් රියක් තිබුණද ඇහුවම නෑ කිව්වා. තිබ්බේ දුඹුරු පාට කිව්වා. මහේස්ත්‍රාත් ඉදිරිපිට එහෙම තිබෙන බව කිව්වේ බොරුවටද ඇහුවම නෑ කියනවා?
සාක්කිකරු – සුදු පාට වෑන් රියක් තිබ්බා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – ඔබ සේවය කළ හමුදා කඳවුරේ එල්ටීටීඊ එකේ නවදෙනෙක් හිටියද?
සාක්කිකරු – එල්ටීටීඊ එකේ 09ක් හිටියේ නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – 2015/08/13 වෙනිදා ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා?
සාක්කිකරු – එහෙමයි.
එම කඳවුරේ එල්ටීටීඊ සාමාජිකයන් නව දෙනකු සිටි බවට සාක්කිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශයක කොටසක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කියැවූ අතර සාක්කිකරු එසේ ප්‍රකාශ කර ඇත්දැයි විමසීය.
සාක්කිකරු – එක්කෙනෙක් හිටියා.
ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියා හමුවූ සහ කතා බහ කළ බවට සාක්කිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමසා සිටි අතර, ‘මට මේවා කියවනකොට හිනත් යනවා. මම ඔහුව දැකලත් නෑ. කතා කරලත් නෑ.’ යැයි සාක්කිකරු කීවේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔබ ගිරිතලේ කඳවුරට රැගෙන ගියාද?
සාක්කිකරු – එහෙමයි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – එහිදී ඔබ ප්‍රගීත් එක්නැලිගොඩ හමුවූ තැන්, රඳවා තබා සිටි තැන්, එල්ටීටීඊ පිරිස රඳවා සිටි තැන් පෙන්නුවාද?
සාක්කිකරු – නැහැ. මාව වාහනයේමයි තියාගෙන හිටියේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – ඔබගෙන් එම ස්ථානයේදී ප්‍රකාශයක් ලබාගත්තද?
සාක්කිකරු – නැහැ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – එල්ටීටීඊ පිරිස සිටි තැන, ඔවුන් දුරකතන ඇමතුම් ගන්නා තැන ආදිය ඔබ පෙන්නුවාද?
සාක්කිකරු – නැහැ. මම හිටපු තැන විතරයි පෙන්නුවේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – 2016/2/18 දින ඔබ නිකවැරටිය පොලිසියට ගිහින් කටඋත්තරයක් ලබාදුන්නා?
සාක්කිකරු මඳ වේලාවක් නිහඬව සිටි අතර, අසල්වාසියකුගේ පහරදීම නිසා පොලිසියට ගිය බව ප්‍රකාශ කළේය. එය විමර්ශනය කර අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත්, අධිකරණයේදී සමාදාන වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – මතු ආරක්ෂාව කියලා පැමිණිල්ලක් දැම්මද?
සාක්කිකරු – එහෙම දාන්න ඇති.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – මතු ආරක්ෂාවට කියලා පැමිණිල්ලක් දැම්මේ ඇයි?
සාක්කිකරු – ගහපු කෙනාගේ පවුලේ පිරිමි අය හිටියා. ඒ නිසා මතු ආරක්ෂාවට කියලා දැම්මා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – ප්‍රගීත් එක්නැලිගොඩ සිදුවීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් ඉදිරියේ ඔබ ලබා දුන් ප්‍රකාශය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශ නිසා ජීවිත තර්ජනයක් ඇතිවිය හැකි බැවින් මතු ආරක්ෂාවට පැමිණිල්ලක් දැම්මද?
සාක්කිකරු – නෑ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – 2016/2/18 පැමිණිල්ලක් කළා කියලා පිළිගන්නවද?
සාක්කිකරු – පිළිගන්නවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – මොකක්ද ඒ පැමිණිල්ල?
සාක්කිකරු – හන්දියේ එක්කෙනෙක් ගැහුවා කියලා පැමිණිලි කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – 2016/2/18 නිකවැරටිය පොලිසියට කළ පැමිණිල්ලේ හෝමාගම මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ ලබාදීම නිසා තර්ජනයක් ඇතිවීම ගැන සඳහන් කළාද?
සාක්කිකරු – නෑ.
සාක්කිකරු 2016/2/18 දින නිකවැරටිය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ කොටසක් උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට කළ ප්‍රකාශය නිසා තර්ජන ඇති බවට සාක්කිකරු ප්‍රකාශ කර ඇති බවයි. සාක්කිකරුගේ ජීවිතයට තර්ජනයක් විය හැකි බවට හමුදාවේ මිතුරකු කළ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහතාට දැනුම් දුන් පසු ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කරන ලෙස ඔහු දැනුම් දුන් බව එම ප්‍රකාශයෙන් කියැවිණි.
සාක්කිරු – මම කතා කළේ නෑ. මම පැමිණිල්ල දාන්න ගියාම පොලිසියෙන් තමයි කතා කළේ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – ගමේ ප්‍රශ්නෙට පැමිණිලි දාන්න ගියාම පොලිසියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට කතා කරනවද? තමුන් දිවුරුම් පිට බොරු සාක්කි දෙනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – මේ කියන පහරදීම හැර වෙනත් පැමිණිල්ලක් කළාද තමුන්ට ජීවිත තර්ජන තිබෙනවා කියලා?
සාක්කිකරු – එහෙමයි
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම ගැන ‌තර්ජනය තිබෙන බව කියලා නේද පැමිණිල්ල දැම්මේ?
සාක්කිකරු – ඒ ප්‍රගීත් එක්නැලිගොඩ නෙමෙයි.
සභාපති විනිසුරු – එහෙනම් මොන ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන්ද?
සාක්කිකරු – ගමේ එක්කෙනෙක් ගැහුව එක ගැන
සභාපති විනිසුරු – ගැහුව එක ගැන නැතිව වෙනත් පැමිණිල්ලක් කළාද?
සාක්කිකරු – ඔවුන්ගෙන් තර්ජන එයි කියලා පැමිණිල්ලක් කලා.
සභාපති විනිසුරු – ඔය කියන පහරදීමේ සිදුවීම මොන උසාවියටද යොමු කළේ?
සාක්කිකරු – සමථ මණ්ඩලයට දාලා සමථ වුණා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – තමුන් මේ නඩුව සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත්වරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ දුන්නේ එක පදනමකින්. තමුන් අද ඒ ප්‍රකාශවලට සම්පූර්ණයෙන් පටහැනි විදිහයට ප්‍රකාශ කරනවා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් – හෝමාගම මහේස්ත්‍රාත්තුමා ඉදිරිපිට දුන්නු ප්‍රකාශය යතුරු ලියනය කළ පිටු අටක්. එහෙම දිග ප්‍රකාශයක් කවුරුන්ගේ හරි කීමට මතකයෙන් දෙන්න බෑ?
සාක්කිකරු – එහෙම පුළුවන්.
පැමිණිල්ලේ ප්‍රශ්න කිරීම් අවසානයේ සාක්කිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමට ඇත්දැයි අධිකරණය විත්තියේ නීතිඥවරුන්ගෙන් විමසා සිටි අතර, හරස් ප්‍රශ්න නැතැයි ඔවුහු ප්‍රකාශ කළහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා ,නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් සහ රජයේ නීතිඥ වසන්ත මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් අනුජ ප්‍රේමරත්න, අනිල් සිල්වා, අනුර මැද්දෙගොඩ ඇතුළු නීතිඥවරු පිරිසක් පෙනී සිටියහ. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා පෙනී සිටියේය.
සාක්කි ලබා දුන් හිටපු සාජන් මේජර් රන්බණ්ඩා අධිකරණ නියෝග නොතකමින් දේශපාලන පළිගැනීම් කොමිසමට කැඳවීම හේතුවෙන් එම කොමිසමේ සභාපතිවරයාට අධිකරණයට අපහාස කිරීම ගැන නීතිමය පියවර ගන්නා ලෙස මීට පෙර නඩු දිනයේදී උපුල් කුමරප්පෙරුම මහතා ඉල්ලා සිටියේය. ඊට නීතිපතිගේ ප්‍රතිචාරය ලබා දෙන ලෙස අධිකරණයෙන් දැනුම් දී තිබුණත් 10 දින නීතිපතිගේ ප්‍රතිචාරය ලබා ‌නොදුන් නිසා ඒ සම්බන්ධයෙන් ඊළඟ නඩු දිනයේ ප්‍රතිචාරයක් ලබාදෙන බව නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
වැඩිදුර විභාගය පෙබරවාරි මස 22 වැනිදා සවස 1.30 තෙක් කල් තැබිණි.
10 දින අධිකරණයේ පෙනී නොසිටි සිව්වැනි සාක්කිකරුට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කළ අතර, පස්වැනි සාක්කිකරුට යළිත් වරක් සිතාසි නිකුත් කළේය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !
Next articleමාස 19කට පසු අහනෆ්ට ඇප

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here