සාක්ෂි සම්පිණ්ඩනයක් 29දා – අහ්නාෆ් ජසීම්ට නීතිඥවරුන් මුණගැස්වීමේ නියෝගයක් !

අහ්නාෆ් ජසීම් නම් කවියා සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් සමඟ ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (22) ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.
අහ්නාෆ් ජසීම් කවියා සම්බන්ධයෙන් ඇති පැමිණිල්ල අද ඔහුගේ නීතිඥවරුන් මෝසමක් මඟින් කළ ඉල්ලීමක් අනුව කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් ප්‍රකාශ කළේ සැකකාර අහ්නාෆ් ජසීම් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥාතීන් හෝ නීතිඥයන් දැනුවත් නොකිරීමෙන් බරපතළ අගතියක් සිදුවී ඇති බවයි.
‘මෙම කවියා රහසිගතව අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කෙරෙව්වා. ඔහුගේ නීතිඥයින් විදිහට අපට හෝ ඔහුගේ දෙමාපියන්ට දැනුම්දීමක් කළේ නෑ. නිවැසියන් මේ ගැන විමසූ විට මුලින් හරියට පිළිතුරක් දීලා තිබුණෙත් නෑ. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදීම ඉතාම වැදගත් නියෝග කිහිපයක් ඉල්ලන්න හිටියා. නමුත් ටීඅයිඩිය රහසිගතව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා එම ඉල්ලීම් කිරීමට තිබූ අවස්ථාව මගහැරී ගියා’ යැයි කවියා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජය විල්සන් ජයසේකර මහතා අධිකරණයේදී ප්‍රකාශ කළේය.
මෙම කවියා ටීඅයිඩී එකේ රඳවාගෙන ඉද්දි දැඩි මානසික පීඩනයකට පත්කරලයි තිබුණේ. ඔහුගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය විශේෂඥයෙකුගේ වාර්තාවක් කැඳවීමටත්, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ගැන තවත් වෛද්‍ය වාර්තාවකුත් කැඳවන ලෙස නියෝගයක් ඉල්ලන්න බලාපොරොත්තුවෙන් හිටියා. නමුත් ටීඅයිඩිය කටයුතු කළ ආකාරය අනුව එය වැළකී ගියා. ඔහුට වධහිංසා කිරීම ගැන මූලික අයිතිවාසිකම් පෙත්සමකුත් ගොනු කර තිබෙනවා’ යනුවෙන් ද නීතිඥවරයා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 7(1) වගන්තිය යටතේ සැකකාර කවියා අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, ටීඅයිඩිය ඔහු ඉදිරිපත් කර ඇත්තේ එම පනතේ 7(2) වගන්තිය යටතේ බවත්, මුල් වගන්තිය යටතේ සැකකරු ඉදිරිපත් කළේ නම් සාක්ෂි නොමැති වීම නිසා කවියා මුදාහැරීමට නීතිපතිවරයා තීරණය කළහොත් ලැබෙන සහනය වැළැක්වීම සඳහා වෙනත් වගන්තියක් යටතේ සැකකරු ඉදිරිපත් කර ඇති බවත් නීතිඥවරයා කීවේය.
මේ කවියා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන සිටි කාලයේ ඔහු සන්තකයේ තිබූ අල්-කුරානය සහ ඔහු එහිදී ලියූ කවි මේ වන විට කොහේ ඇත්දැයි නොදන්නා බව ද, ඔහු බන්ධනාගාරයෙන් පිටව යන විට ඔහුට ඒවා ලබාදීම සඳහා කවි සහ අල් කුරාණය ප්‍රවේශම්ව තබාගන්නා ලෙස නියෝග කරන්නැයි ද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
සැකකාර කවියාට එරෙහිව යම් සාක්ෂියක් ඇත්නම් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ එම සියලුම සාක්ෂිවල සම්පිණ්ඩනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙස ද, කවියා මුණගැසීම සඳහා නීතිඥයන්ට අවස්ථාව සලසා දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ද නීතිඥවරු ඉල්ලා සිටියහ. ඒ අනුව නීතිඥවරුන්ට කවියා මුණගැසීමට අවස්ථාව සලසන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට දැනුම් දුන්නේය.
නීතිඥ සංජය විල්සන් කරුණාරත්න සහ නීතිඥ ස්වස්තිකා අරුලිංගම් සමඟ ජනාධිපති නීතිඥ ඒ.එම්. ඉලියස් මහතා සැකකාර කවියා වෙනුවෙන් පෙනී සිටියේය.
Previous articleතත්ත්වය කනගාටුදායකයි : පොලිස් අත්අඩංගුවේදී මියයෑම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍යයි – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් !
Next articleපාසල් සිසුන්ගෙන් සියයට 60කට අධ්‍යාපනය මගහැරිලා – රජය වගනොකියන අධ්‍යාපන අර්බුදයට විසඳුම ‘ඔන්ලයින්’ විතරද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here