ආණ්ඩුවේ උත්සාහය පරදී ; ගුරු-විදුහල්පති වැඩ වර්ජනය සාර්ථකයි  – ජෝසප් ස්ටාලින්

(කෞෂල්‍යා නන්දසේන සහ රනිඳු උමයංග)
ගුරු-විදුහල්පතිවරුන්ගේ වැඩ වර්ජනය උතුරු නැගෙනහිරද ඇතුළුව ශ්‍රී ලංකාවේ සෑම පළාතකම අද (21) ඉතාම සාර්ථකව සිදු කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
මෙම වැඩවර්ජනය කඩාකප්පල් කීරීමට රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබුනද ඒ සියල්ලම අසාර්ථක වී ඇති බවත්, ආණ්ඩුවේ තර්ජනවලින් ගුරු-විදුහල්පතිවරුන් මර්දනය කළ නොහැකි බවත් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.
වැඩ වර්ජනය හෙට (22) දිනයේ ද මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බව ද, ලබන 25 වැනිදා සිට දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට නියමිත බව ද MediaLK සමඟ අදහස් දක්වමින් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ දිවයිනේ සියලුම පාසල් දින නියමයක් නැතිව වසා දැමුණු අතර අධියර කිහිපයක් ඔස්සේ පාසල් විවෘත කිරීමේ රජයේ තීරණයක් අනුව සිසුන් 100ට අඩු පාසල් අද (21) සිට විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දුන්නේය. පාසල් වසා දැමීමෙන් පසු සිසු සිසුවියන් වෙනුවෙන් ගුරුවරුන් ‘ඔන්ලයින්’ ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කළහ.
වසර 24ක් තිස්සේ පවතින ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලමින් ගුරු-විදුහල්පතිවරුන් ‘ඔන්ලයින්’ අධ්‍යාපනය නතර කරමින් ජූලි 12 වැනිදා අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළේය.
එම වැඩවර්ජනයෙන් පසු රජය සහ ගුරු-විදුහල්පති සංගම් අතර සාකච්ඡා වට ගණනාවක් පැවැති අතර වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අධියර තුනකින් වැටුප් වැඩි කිරීමට මුල් අවස්ථාවේදී රජය එකඟ විය. පසුව අග්‍රමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවක දී අධියර දෙකකින් වැටුප් වැඩි කිරීමට රජය එකඟ වූ අතර ගුරු-විදුහල්පතිවරුන් පැවසුවේ මීට පෙර ද මෙවැනිම පොරොන්දු ලබා දී ඇති බැවින් මෙවර එක් අධියරකින් වැටිප් වැඩි කිරීම සිදු කළ යුතු බවයි.
වැඩ වර්ජනය පවතිද්දීම අද (21) සිට පාසල් විවෘත කිරීමට රජය තීරණය කළ අතර ගුරු-විදුහල්පති වැඩ වර්ජනය නොතකා සිසුන් පාසල් වෙත එවන ලෙස රජය දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ අද (21) දරුවන් පාසල්වලට එවා නැති බවයි. එමඟින් පෙනෙන්නේ දෙමාපියන් රජය පිළිබඳව තබා තිබෙන විශ්වාසයේ තරම බවත්, ගුරු-විදුහල්පති වැඩ වර්ජනය නතර කිරීමට විවිධ තර්ජන ගර්ජන පැමිණියත් ගුරු-විදුහල්පතිවරුන් හෙට (22) දිනයේද වැඩවර්ජනය පවත්වන බවත් ස්ටාලින් මහතා කීවේය.
කෙසේ වෙතත් දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා සඳුදා (25) සිට රාජකාරියට යෑමට ගුරු විදුහල්පතිවරුන් තීරණය කර ඇතත් එදින සිට දිවයින පුරා උද්ඝෝෂණ මාලාවක් පවත්වන බව ද ඔහු පැවසීය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleනීතිපති අධිචෝදනා ඉවත් කර ගැනීම : අධිකරණයට මෙතැනදි බරපතළ වගකීමක් තියෙනවා – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා
Next articleඇඟේ හයියට මේවා කරන්න බෑ – අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here