Home පුවත් රතුපස්වල තීන්දුව කල් යයි ; නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියේ නෑ

රතුපස්වල තීන්දුව කල් යයි ; නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියේ නෑ

0
රතුපස්වල තීන්දුව කල් යයි ; නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියේ නෑ
වැලිවේරිය රතුපස්වල දී නිරායුධ සිවිල් වැසියන් තිදෙනකු වෙඩි තබා සහ පහරදී ඝාතනය කර තවත් 50 දෙනකුට පමණ තුවාල සිදුකිරීමට අදාල නඩුවේ තීන්දුව ලබාදීම මැයි 17 වැනිදා තෙක් කල් තබන බව ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා අද (30) දැනුම් දුන්නේය.
ලිඛිත දේශන ලබාදීමේදී ප්‍රමාධවී ඇති හෙයින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට කල් යන බව තීන්දුව කල් තැබීමට හේතු වශයෙන් අධිකරණය ප්‍රකාශ කළ අතර පළමු චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් දැනුම් දුන්නේ පැමිණිල්ල විසින් (නීතිපති) ලිඛිත දේශන ලබාදීම ප්‍රමාධවීම හේතුවෙන් චූදිතයන්ගේ ලිඛිත දේශන ලබාදීමට ප්‍රමාධ වූ බවයි.
පැමිණිල්ලෙන් ලිඛිත දේශන ලබාදීම ප්‍රමාධවීම සම්බන්ධයෙන් හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් හෝ කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම නිලධාරියකු අද අධිකරණය ඉදිරියේ පෙනී සිටියේ නැත. මෙවැනි තීරණාත්මක නඩුවක අඩු තරමේ රජයේ කණිෂ්ඨ නීතිඥයකු හෝ නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම නඩුව අවසන් වීමෙන් පසු කතා බහට ලක් විය.
පිරිසිදු පානීය ජලය ඉල්ලමින් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයට 5000කට අධික පිරිසක් සහභාගී වූ සාමකාමී විරෝධතාවයට වෙඩි තබා සහ පහර දී තිදෙනකු මරා දැමීම සම්බන්ධයෙන් සහ තවත් පිරිසකට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත්තේ එවකට බ්‍රිගේඩියර් සහ මේ වන විට විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ දේශප්‍රිය ගුණවර්ධන, විශ්‍රාමික මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණාගේ සිරිසේන, හිටපු සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ එම් තිලකරන් යන නිලධාරීන් සිව්දෙනාටය.
නිමල් රණවීර, නිශාන්ත හපුආරච්චි සහ සහන් මාපා බණ්ඩාර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩු විභාගය අවසන් වීමෙන් පසු එහි තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි. නඩුව වාර්තා කිරීම සඳහා අද උදෑසන 10 වන විට ජනමාධ්‍යවේදීහු රැසක් අධිකරණ භූමියට පැමිණ සිටියහ. කෙසේ වෙතත් නඩුවේ තීන්දුව පස්වරු 1ත් 2ත් අතර ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ලේඛකාධිකාරී විසින් දැනුම් දෙන ලදී.
පස්වරු 12.50 පමණ වන විට නඩුවේ පළමු චූදිත අනුර දේශප්‍රිය ගුණවර්ධන අධිකරණයට පැමිණි අතර පසුව සෙසු චූදිතයෝ පැමිණියහ. පස්වරු 1.30ට නඩුව කැඳවූ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම නියෝජිතයකු අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම විශේෂත්වයක් විය.
රතුපස්වල පරිසර සංවිධානයේ කැඳවුම්කරු සුරේෂ් පෙරේරා මහතා, මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් නඩු තීන්දුව ලබාදීම දැක බලා ගැනීම සඳහා අද අධිකරණයට පැමිණ සිටියහ.
කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධියට අදාලව මුලින් විමර්ශන සිදු කළ අතර එම විමර්ශන ස්වාධීන නොවන බව කියමින් 2015 පෙබරවාරි මාසයේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්‍රදේශවාසීන් පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර කෙරිණි. අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල සහ එහි අධ්‍යක්ෂ ශානි අබේසේකරගේ අධීක්ෂණය  මත සහකාර පොලිස් අධිකාරී (දැන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී) බී එස් තිසේරා මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ සහ පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර යන නිලධාරීන් ඇතුළු පිරිසක් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
කෙසේ වෙතත් අපරාධ ස්ථානයේ උණ්ඩ ඉවත් කර තිබීම හේතුවෙන් සෙසු සැකරකුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපහොසත් විය. එසේම යුද හමුදාව මෙම ස්ථානයට කැඳවීම සම්බන්ධයෙන් ද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපහොසත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here