මහින්දගේ මැරයන්ගෙන් පසු රනිල්ගේ හමුදාව ගාලු මුවදොරට පනී

අද අලුයම ගාලුමුවදොර සාමකාමී අරගලය පැවැති ප්‍රදේශයට කඩා වැදුණු හමුදා කණ්ඩායම් එහි සිටි පිරිසට පහර දෙමින් ගාලු පාර දෙපස සකස් කර තිබූ කූඩාරාම් කඩා ඉවත් කළේය.
එම සිදුවීම වීඩියෝ කරමින් සිටි කිහිප දෙනෙකුටම පහරදී අත්අඩංගුවට ගෙන තිබේ.
මානව හිමිකම් ක්‍රියාකාරිකයකු මෙන්ම ගෝඨාගෝගම අරගලයේ මුල සිටම සිටි නීතිඥ නුවන් බෝපගේ ඇතුළු පිරිසක් හමුදාව විසින් පැහැරගෙන ගොස් ඇති අතර ඔවුන් සිටින ස්ථානයක් ගැන මේ වන තෙක් තොරතුරු වාර්තා නොවේ.
කෙසේ වෙතත් කිහිප දෙනෙකු කොටුව පොලිස් ස්ථානය බාරයේ සිටින බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
සිද්ධිය ආවරණය කරමින් සිටි ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකුට පහරදී ඇති අතර දෙදෙනකු හමුදා බාරයට ගෙන තිබේ. ඔවුන්ද සිටින ස්ථානය ගැන මේ වන තෙක් තොරතුරු නැත.
සාමකාමී අරගලයට රාත්‍රී 12න් පසු පහරදීම ආරම්භ වෙද්දී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිටත්, මානව හිමිකම් කොමිසමටත්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් මේ ගැන ලිඛිතව දැනුම් දුන් අතර මාධ්‍යවේදීන්ට බාධා නොකරන ලෙස පොලිස්පතිගෙන් ලිඛිතව ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත් සිදුවීම ගැන දැනුම්දීමට පොලිස්පති, පොලිස්පතිගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සම්බන්ධ කර ගැනීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය උත්සාහ කළ ද එය අසාර්ථක විය. ඔවුන් තිදෙනාම දුරකතනයට පැමිණියේ නැත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට සිද්ධිය ගැන දැනුම් දුන් අතර එහි විමර්ශන අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් මේ වන විට ඒ ගැන සොයා බලමින් සිටින බව දැනගන්නට තිබේ.
ගාලුමුවදොරට පිවිසෙන ගාලු පාර, බාලදක්ෂ මාවත ආදිය හමුදාව විසින් අවහිර කරගෙන සිටින අතර ගාලු මුවදොරට ඇතුළු වීම තහනම් කර තිබේ. ජනමාධ්‍යවේදීන්ට පවා සිද්ධිය ආවරණය කිරීමට එම ස්ථානයට යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව ජනමාධ්‍යවේදීහු කියති. සිද්ධිය ආවරණය කිරීමට ගියහොත් ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා ලෙසට උපදෙස් ලැබී ඇතැයි එම ස්ථානයේ සිටි හමුදා නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
අලුයම 4.15 වන විටත් ගාලුමුවදොර උණුසුම් තත්ත්වයක් තිබිණි. තරුණ නීතිඥ සංගමයේ කණ්ඩායමක් එම ස්ථානයට ළගාවීමට උත්සාහ කරන බව එහි සාමාජිකයෙක් ප්‍රකාශ කළේය.
මීට පෙර මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාව සිටියදී අරලිය ගහ මන්දිරයට කැඳවූ පිරිසක් විසින් දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ගේ ද සහායෙන් මැයි 09 වැනිදා ගාලුමුවදොර සාමකාමී අරගලයට පහර දෙනු ලැබූහ.
අත්අඩංගුවට ගැනීම්
අලුයම 3 වන විට වාර්තා වන ආකාරයට අත්අඩංගුවට ගත් පිරිස මෙසේ ය.
නීතිඥ නුවන් බෝපෙගේ
ළහිරු සිල්වා
අනුරංග දිසානායක (මීට පෙර මැයි 09 මෙම භූමියට එල්ල කළ ප්‍රහාරයෙන් මොහු අබාධිත තත්ත්වයකට පත් විය.)
මාධ්‍යවේදී චතුරංග කුමාර, මාධ්‍යවේදී කසුන් කුමාරගේ
රන්දිමාල් ගමගේ
බරපතළ පහරදීම්
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු 10 දෙනෙකුට පමණ මෙහිදී ආරක්ෂක අංශ විසින් බරපතළ ලෙස පහර දී  ඇති බව අලුයම තුන වන විට වාර්තා විය. මෙම පිරිස ඊට බොහෝ සෙයින් වැඩි විය හැකිය.
මාධ්‍යවේදීන්ට පහරදීම් රැසක්
මේ අතර කොල්ලුපිටිය මංසන්ධියේ වාර්තාකරණයේ යෙදෙමින් සිටි මාධ්‍යවේදීන් වන රසික ගුණවර්ධනට සහ ෂබීර් මොහොමඩ්ට එම ස්ථානයේ රාජකාරි කළ ගුවන් හමුදා සෙබළුන් පිරිසක් විසින් හිසට පහර දී ඇතැයි ද වාර්තා වේ.
එසේම බීබීසී මාධ්‍යවේදී ජෙරීන් සැමුවෙල්ට ද මෙහිදී ආරක්ෂක අංශ විසින් පහර දී තිබේ.
Previous articleරනිල්ගේ ගැසට්ටුවෙන් අයිතිවාසිකම් කඩ වෙන හැටි
Next articleපෙරටුගාමී පක්ෂ කාර්යාලයට නාඳුනන පිරිසක් කඩාපනී

1 COMMENT

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here