Home පුවත් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?

භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස ද ?
(සාරා අත්තනායක)
භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යළිත් මාතෘකාවක් බවට පත්වී තිබේ. ඒ රාජ්‍ය පරිපාලන ශ්‍රේණියේ නිලධාරියෙකු වන චමිල ජයසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගැනීම සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අදහස් ප්‍රකාශ කිරීම සීමා කරමින් ලිපියක් නිකුත් කිරීම නිසා ය.
කොවිඩ් පළමු රැල්ලේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වූයේ සමාජ මාධ්‍යයේ අදහස් පළකළ 17කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමත් සමග ය. මේ තුන්වැනි රැල්ල ය.

වාසි පැත්තට හැරවීම

ඒ කියන්නේ දිගින්-දිගටම යළිත් අදහස් ප්‍රකාශනය අපරාධයක් බවට පත්කරමින් සිටී. ඒ සඳහා විවිධ නීති යොදාගනිමින් සිටී. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පනත භාවිත කරන්නේ බහුතරයේ අයිතිවාසිකම් උල්ලංඝනය කොට, සුළුතරයේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට ය. කෙටිකතාවක් රචනා කිරීම නිසා අත්අඩංගුවට ගත් ශක්තික සත්කුමාරට එරෙහිව චෝදනා ගොනු කළේ මේ පනත යටතේ ය. දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ද මෙවැනි ම හතර වටේ කරකවන එකකි. එයින් කියන්නේ ‘කතා කරනු ලබන හෝ කියවීමට අදහස් කරනු ලබන වචනයකින් හෝ සංඥාවකින් හෝ දැකිය හැකි නිරූපණවලින් ලංකාණ්ඩුවට විරුද්ධත්වය දක්වන හැඟීම් ඇවිස්සුවහොත් හෝ ඇවිස්සීමට තැත් කළහොත් හෝ නීතිය ක්‍රියාවෙහි යෙදවීමට වෛරයක් හෝ අගෞරවයක් ඇති කිරීමට තැත් කළහොත් හෝ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් හෝ අන් ලෙසකින් ආණ්ඩුව වෙනස් කිරීමට කටයුතු කිරීම සම්බන්ධ කතාවකි.’ අයිසීසීපීආර් පනත වගේම මේකත් ඔ්නෑ පැත්තකට හරවා ගත හැකිය.
මෙවැනි තත්ත්වයක් යටතේ මේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස තහවුරු කර ඇත්තේ කෙසේද යන්න දැනගැනීම වටී.

ව්‍යවස්ථාවේ 14 (1)(අ)

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාවේ මෙසේ දක්වා ඇත. සෑම පුරවැසියෙකුට ම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමේ නිදහසට හිමිකම් ඇත්තේය. එනම් ව්‍යවස්ථාවට අනුව එය පුරවැසියන්ට ඇති අයිතියකි.

14(1)(අ) ව්‍යවස්ථාවේ සීමාව

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15 ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මූලික අයිතිවාසිකම් සීමා කළ හැකි අවස්ථා ය. එහි 15(2)ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ හෝ ක්‍රියාත්මක විය හැක්කේ ආගමික හෝ වාර්ගික සහයෝගිතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම සම්බන්ධයෙන් නීතියෙන් නියම කරනු ලැබූ සීමාවන්ට යටත්ව බව ය.
එසේම 15(7) ව්‍යවස්ථාවේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳිය හැක්කේ රාජ්‍ය ආරක්ෂාව ද, රටේ යථාපැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වග බලාගැනීම පිණිසත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු සුබසාධනය සඳහා යුක්ති සහගත අවශ්‍ය දෑ සපුරාලීම පිණිසත් නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම්වලට යටත්ව බව ද සඳහන් ය.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගනිමින් නඩු තීන්දු රාශියක් ලබාදී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දු ලබාදීමේදී ව්‍යවස්ථාවේ 14(1)(අ) ව්‍යවස්ථාව පමණක් හුදෙකලා කොට තීන්දු ලබා දී නැත. එම ව්‍යවස්ථාවෙන් සංස්ථාපනය කොට ඇති අයිතිය සලකා බැලිය යුත්තේ 15(2) සහ 15(7) ව්‍යවස්ථාවල සඳහන් තත්ත්වයන් සමග ය.
ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නඩු තීන්දු කිහිපයක භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ගැන මෙසේ දක්වා ඇත.
වනිගසූරිය එදිරිව පීරිස් (SC/FR/199/87)
දැනුම බෙදාදීම ද භාෂණයේ නිදහස තුළට ගැනෙන බව මෙම තීන්දුවේ දක්වා ඇත.
විජේරත්න එදිරිව පෙරේරා (SC/FR/379/93)
රාජ්‍යයේ ක්‍රියාකාරිත්වය විවේචනය කිරීම ද භාෂණයේ නිදහස යටතේ පිළිගත හැකි ක්‍රියාවක් බව මේ තීන්දුවේ දක්වා ඇත.
මේ තීන්දුවේ මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා මෙසේ සඳහන් කොට ඇත.
(Those who begin coercive elimination of dissent soon find themselves exterminating dissenters. Compulsary unfication of opinion achieves only the unanimity of grave yard. It seems trite but necessary to say that the first amendment was designed to avoid these ends by avoid these ends by avoiding these beginings.)
දේශප්‍රිය එදිරිව නගරාධිපති, නුවරඑළිය මහ නගර සභාව (1995(1)SLR/362)
මෙම නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ දක්වා ඇත.
‘විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් සිදුවන 14(1)(අ) ව්‍යවස්ථාව උල්ලංඝනය වීමකදී එය විවිධාකාරයෙන් සිදුවිය හැකි අතර, සෘජුව හෝ වක්‍රාකාරයෙන් ද සිදුවිය හැකිය. රජය විසින් පාලනය කරනු ලබන ප්‍රවෘත්ති පත්‍රවල රජයට කෙරෙන විවේචනයන් පළනොකිරීම දේශපාලන මතය යන කාරණය මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකි අතර, රජයෙන් පාලනය නොවන පුවත්පතක් (යුක්තිය) බලහත්කාරයකින් හෝ වෙනත් ආකාරයකින් සැඟවීම හෝ යටපත් කිරීම ද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන අතර, එය පෙර සඳහන් දෙවන වර්ගයට අයත් අතර වඩාත් භයානක වරදක් වේ.’
නුවරඑළිය නගරාධිපතිවරයා විසින් යුක්තිය පුවත්පත් 450ක් බෙදාහරින්නට පෙර, පැහැරගෙන යෑමෙන් තම අයිතිවාසිකම් කඩ වූ බවට පැමිණිලි කරමින් එහි කර්තෘ සුනන්ද දේශප්‍රිය විසින් මෙම නඩුව ගොනු කොට තිබූ අතර, ඔහුගේ අයිතිවාසිකම් කඩ කොට ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස නගරාධිපතිවරයාට නියෝග කළේය.
අමරතුංග එදිරිව සිරිමල් සහ තවත් අය (1993(1)SLR/264) ( ජනඝෝෂා නඩුව)
රට පුරා විනාඩි 15ක් විවිධ ශබ්ද ඇති කරමින් එවකට පැවති එජාප රජයට විරෝධතාව ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් තීරණය කරනු ලැබූ අතර, නඩුවේ පෙත්සම්කරු ඉංගිරියේදී බෙරයක් ගසමින් එසේ විරෝධතාව දක්වන අතරතුර එය නවත්වන්නට දුන් අණ නොතකා බෙරය වැයීම නිසා පොලිස් පහරදීමකට ලක්වූ අතර, බෙරය ද පොලිසිය විනාශ කළේය. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට පත්විය.
මේ පූර්ණ ක්‍රියාවලියට එරෙහිව පැවරූ නඩුවේදී ඒ ආකාරයේ ප්‍රකාශනයක්ද මූලික අයිතිවාසිකම් යටතට ගැනෙන බව තීරණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුට රුපියල් 100,000ක වන්දියක් ‌ගෙවන්නැයි නියම කළේය. එසේම එම තීන්දුවේ රජයට එරෙහි සටන් පාඨ නීතිය කඩකිරීමක් නොවන බව ද, එය පොලිස් ආඥා පනත යටතේ ගැනෙන වරද නොවන බව ද සඳහන් කෙරිණි.
ශ්‍රේෂ්ඨාධිකරණය එහි දී වැඩිදුරටත් භාෂණය සහ ප්‍රකාශනය සම්බන්ධයෙන් මෙසේ සඳහන් කොට ඇත.
(The right to support or to criticize the governments and political parites, policies and programmes is fundamental to the democratic way of life,and the freedom of speech and expression is one which cannot be denied without violaring those fundamental principles liberty and justice which lie at the base of all political and civil institutions.)

තැළෙන යකඩය

මේ කරුණු අනුව තේරුම් ගත යුත්තේ පුරවැසියන් ලෙස අපට අයිතියක් ඇති බවත්, එය ආරක්ෂා කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යෑම අපගේ වගකීමක් බවත් ය. එනම්, අප නිහඬව අපේ අයිතීන් යටපත් කිරීමට ඉඩදෙන්නේ නම්, ඔවුන් තැළෙන යකඩය උඩ පැන-පැන තැළීම අනිවාර්ය නිසා ය.
සමාජ මාධ්‍යයේ භාෂාවෙන් කියන්නේ නම් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස යනු සෙලවෙන මනස නොවේ. එය මේ පොළොව මත දිනපතා දළුලන්නකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here