භුමිදානය කරන්න මුස්ලිම් වැසියන්ට ඇති අයිතියට ගරු කරන්නැයි ඉල්ලයි

කොරෝනා හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ දේහයන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් බලහත්කාරයෙන් ආදාහනය කරනු ලැබීම පිළිබඳව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම (OIC-IPHRC) සිය කනස්සල්ල පළ කරයි.

ඉන් මුස්ලිම් වැසියන්ගේ ආගමේ නිදහස උල්ලංඝණය වන බව එම කොමිසම සඳහන් කරයි. මුස්ලිම් ඇතුළු බොහෝ ආගමික ජන කොට්ඨාස අනුගමනය කරන ආගමික පිළිවෙතක් වූ ‘භුමිදානය’ තහනම් කර, කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් මිය යන සියලු දෙනාගේ දේහයන් ශ්‍රී ලංකාවේ රජය විසින් ආදාහනය කරනු ලබන බවට විවිධ වාර්තා පෙන්වා දෙන බවත් ඒ ගැන කනස්සල්ල පළ කරන බවත් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ (ඕඅයිසී) ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම (අයිපීඑච්ආර්සී) පවසයි.

මුස්ලිම් ප්‍රජාවේ භුමිදානය කිරීමට ඇති අයිතියට ගරු කරන ලෙසට ශ්‍රී ලංකා රජයට බල කරමින්, ආගමක් ඇදහීමේ හෝ විශ්වාසයක් දැරීමේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත විසින් සහ බොහෝ මානව හිමිකම් සංවිධාන විසින් මෙම ගැටළුව මතු කරනු ලැබූ බව ද එම කොමිසම සඳහන් කරයි.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, විශේෂයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 18 වන වගන්තිය, සියලුම දෙනාට ඔවුන්ගේ ආගම හෝ විශ්වාසය ඇදහී⁣ම, අනුගමනය කිරීම සහ නිරත වීම ඇතුළු ආගමේ නිදහස ආරක්ෂා කරන බව එම කොමිසම පෙන්වා දෙයි.

ආගමික සුළුතරයන්ට සමාජයේ ඔවුන්ගේ අනෙක් සාමාජිකයින් සමග ඔවුන්ගේ සංස්කෘතිය භුක්ති විඳීමට මෙන්ම ඔවුන්ගේ ආගම ඇදහීමට සහ ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවහිර නොකළ යුතු බව ICCPR හි සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සඳහන් වන 27 වන වගන්තිය තවදුරටත් අවධාරණය කරන බව ද එම කොමිසම පවසයි.

ශ්‍රී ලාංකික බලධාරීන් විසින් අනුගමනය කරන බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ පිළිවෙත, Covid-19 වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය උපදෙස්වල කිසිම තැනක සඳහන් නොවන බව එම කොමිසම අවධාරණය කරයි. එබැවින් ආදාහනය අනිවාර්ය පියවරක් ලෙස බලාත්මක කිරීම සඳහා සාධාරණ හේතුවක් නොමැති බව ද ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම කියයි.

තම ආගමික විශ්වාසයන්ට සහ බැඳීම්වලට අනුකූලව, මියගිය අයට ගෞරව කිරීමට ඇති කොන්දේසි විරහිත අයිතිය ද ඇතුළුව කිසිදු භේදයකින් තොරව ආගම ඇඳහීමට ඇති මුස්ලිම් වැසියන්ගේ අයිතිය ආරක්ෂා කිරීම හා ගරු කිරීම මගින් මානව හිමිකම් ඉටු කරන්නැයි ශ්‍රී ලංකා රජයට බල කර සිටින බව එම කොමිසම අවධාරණය කරයි.

Cover Photo – Reuters 

Previous articleතමන් වෙනුවෙන් මාධ්‍යවේදියා පෙනීඉන්න ඕනෙ ! – සමාජ ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ
Next articleප්‍රගීත් එක්නැලිගොඩ – යුක්තිය අහිමි දින 4,000 ක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here