නීතිපති අධිචෝදනා ඉවත් කර ගැනීම : අධිකරණයට මෙතැනදි බරපතළ වගකීමක් තියෙනවා – ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා

‘අපරාධ නඩු සහ නීතිපති මැදිහත්වීම’ යන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් පවත්වන ලද සංවාදයේදී නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා විසින් කළ මූලික අදහස් දැක්වීම මෙසේ ය.
නීතිපති අයිතිය
මේ රටේ බරපතළ අපරාධයක් කළාම ඒ අපරාධයට නඩු පවරන්නෙ මහාධිකරණයේ. නීතිපතිවරයා විසින් තමයි ඒක කරන්නෙ. අදාළ අපරාධය ගැන පරීක්ෂණ කරලා ඉවර වෙලා, පොලිසිය විසින් ඒ ගොනුව නීතිපතිවරයා වෙත එව්වම ඒකෙ තියෙන කරුණු සලකලා, අඩුපාඩු තියෙනවා නම්, තවදුරටත් විමර්ශන කරන්න කියලා දැනුම් දීලා, ඒ සියල්ල සම්පූර්ණ කළාට පස්සෙ තමයි, අධිචෝදනා ගොනු කරන්නෙ. ඒ අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කළාට පස්සෙ පැමිණිල්ල මෙහෙයවන්නෙ නීතිපතිවරයාගේ නියෝජිතයෙක්. අපි හිතමු, මම වින්දිතයෙක් නම්, මා වෙනුවෙන් යම් නඩුවක් මෙහෙයවනවා නම්, නීතියෙන් මට අයිතියක් නෑ, මට අවශ්‍ය නීතිඥ මහත්තයව ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන්න. ඒ වගකීම නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් තමන්ගෙ අතට ගන්නවා.
ඒ නිසා මේක සුළුපටු දෙයක් විදිහට සලකන්න බෑ. වින්දිතයට තමන්ගේ කතාව, තමන්ගේ පැමිණිල්ල තමන්ට අවශ්‍ය නීතිඥ මහත්තයෙක් මගින් විසඳගන්න ඉඩ නොදී, අපි ඒක අපේ අතට ගන්නව නම්, අපිට වගකීමක් තියෙනවා ඒ කාර්යභාරය ඉතාමත් විශිෂ්ඨ ආකාරයෙන් ඉටු කරන්න.
තනි තීන්දු නැත !
මම අවුරුදු 22ක් නීතිපති දෙපාර්තමේන්තුවෙ හිටියා. ජ්‍යෙෂ්ඨතම අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක් විදිහටයි මම එතැනින් ඉවත් වුණේ. මම දන්න කරුණු අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් අධිචෝදනා පත්‍රයක් යවන කොට එක පුද්ගලයෙක් නෙමෙයි, ඒ තීන්දු තීරණ ගන්නෙ. අධිචෝදනා පත්‍රයක් ඉල්ලා අස්කරගන්න කොටත් එක පුද්ගලයෙක් නෙමෙයි ඒ තීන්දු තීරණ ගන්නෙ. විශේෂයෙන් මේ තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවෙ චූදිතයෙක් විදිහට නම් කරනවා, වසන්ත කරන්නාගොඩ මහත්තයා, අපේ හිටපු නාවික හමුදාපතිතුමා. එවන් නඩුවකදි සාමාන්‍ය නඩුවකටත් වඩා විශේෂයෙන් කරුණු සලකලා බලලා තමයි තීන්දුවක් ගන්න ඔ්නෙ.
ඒ තීන්දුවක් ගනිද්දි මුලින්ම පොලිසියෙන් එවන විමර්ශන වාර්තා සියල්ල රජයේ අධිනීතිඥවරයෙකුට යවනවා, කියවලා බලලා තමන්ගේ කරුණු සහිත වාර්තාවක් ඔහුගේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා වෙත ඉදිරිපත් කරන්න කියලා. ඒ වාර්තාව අර ජ්‍යෙෂ්ඨ නිලධාරියා කියවලා බලලා, ඒ වාර්තාවත් එක්ක එකඟ වෙනවා නම්, ඒ දෙන්නට පුළුවන් අධිචෝදනා පත්‍ර භාරදීමේ තීන්දුව ගන්න. අනෙක් පැත්තෙන් ගත්තොත් ජ්‍යෙෂ්ඨ නිලධාරියා තීන්දුවක් ගත්තොත් මේකට අධිචෝදනා පත්‍රයක් බාරදෙන්න බෑ කියලා. ඒ වගේ අවස්ථාවකදි අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකුට යොමුකරනවා.
එතකොට මේ තීන්දුව එක පුද්ගලයෙක් ගන්න තීන්දුවක් නෙමෙයි. කරන්නාගොඩ මහත්තයා වගේ කෙනෙක්ව චූදිතයෙක් කරන්න යන මේ වගේ අවස්ථාවකදි නීතිපතිවරයා දක්වා මේ වාර්තාව යෑමේ ඉඩ වැඩියි. නීතිපතිවරයාගේ නියෝජිතයෙක් අත්සන් කරලා අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නෙ, බැලූ බැල්මට විත්තිකාරයෙක් කරන්න, අධිචෝදනා පත්‍රයක් බාරදෙන්න සාධක තියෙනව නම් විතරයි. ආවට ගියාට ඒක කරන්න බෑ. හිටපු නාවික හමුදාපතිව නම් කරනවා නම්, නියත වශයෙන්ම කීපවරක් හෝ පාර්ශ්ව ගණනාවක් මේක සලකා බලනවා.
ශක්තිමත් හේතුවක්
ඊළඟට මේ විදිහට ඉදිරිපත් කරපු අධිචෝදනා ඉවත් කර ගැනීම කියන කාරණය බලමු. නීතිපතිතුමා විසින් ඉදිරිපත් කරපු අධිචෝදනා පත්‍රයක් ඉවත් කරගන්න නීතිපතිතුමාට පුළුවන්. හැබැයි ඒකට හොඳ, ශක්තිමත් හේතු තියෙන්න ඔ්නෙ. ඒක ආවට ගියාට කරන්න බෑ, ඒක කරන්නත් එක නිලධාරියෙකුට බෑ. නිලධාරීන් තුන්-හතරදෙනෙක් එකතු වෙලා තමයි ඒ තීරණය ගන්නෙ. මම විශ්වාස කරනවා, මේ වගේ විශේෂිත නඩුවක මේ වගේ තීන්දුවක් ගන්න කොට නීතිපතිතුමා ළඟටත් ඒක යනවා. ඒකට හොඳ හේතුවක් තියෙන්න ඔ්නෙ. ඒක තමයි මූලික කාරණය.
උදාහරණයක් මම මෙහෙම කියන්නම්. මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂියක් මෙහෙයවලා නැතුව, කට උත්තරයක් විතරක් දීලා තිබුණු අවස්ථාවක, ඒ සාක්ෂිකරු මිය ගිහින් නම්, ඒ සාක්ෂිය නොමැතිව අදාළ චෝදනාව ඉදිරියට ගෙනයන්න බැරි නම්, ඒ වගේ වෙලාවක ඒ චෝදනා ඉවත් කරගන්න පුළුවන්. එහෙම නැතුව හිතෙන හිතෙන වෙලාවට මේවා කරන්න බෑ. එහෙම කරනවා නම්, මට චෝදනාවක් කරන්න සිදුවෙනවා, කුමක් හෝ හේතුවක් නිසා නීතිපතිතුමා සහ ඒ කාර්ය මණ්ඩලය තමන්ගෙ වගකීම පැහැර හරිනවා කියලා.
මට දැනගන්න තියෙන විදිහට කරන්නාගොඩ මහත්තයගෙ අධිචෝදනා ඉවත් කරගන්න කලින්, මේක නීතිපතිතුමා ළඟට අනිවාර්යෙන්ම යන්න ඔ්නෙ. බැලූ බැල්මට මේක ඔප්පු කරගන්න බැරි නම්, ඒක හේතු සහිතව අධිකරණයට ඉදිරිපත් කරන්න ඔ්නෙ. මෙතැන එහෙම දෙයක් තියෙන බවක් මට නම් වාර්තා වෙලා නෑ. ඒ නිසා මේක උසාවියට එන රජයේ නීතිඥවරයගෙ තනි කැමැත්තට ගත්තු තීන්දුවක් නෙමෙයි. ඊට ඉහළ අයගෙ තීන්දුවක්. ඒකට සාධාරණ හේතු ඉදිරිපත් කිරීම අනිවාර්යයි.
අධිකරණයේ වගකීම
ඒ වගේම මෙතැනදි අධිකරණයටත් බරපතළ වගකීමක් තියෙනවා. දැන් අධිචෝදනා පත්‍රය තියෙන්නෙ අධිකරණය භාරයේ. නීතිපතිවරයා වෙනුවෙන් අත්සන් කරලා, අධි චෝදනා පත්‍රය අධිකරණයට එව්වට පස්සෙ ඒක තියෙන්නෙ අධිකරණය භාරයේ. අධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරුන්ටත් වගකීමක් තියෙනවා මෙතැනදි. නීතිපතිවරයාගේ නියෝජිතයෙක් ඇවිත් මේක ඉවත් කරගන්නවා කියන කොට, එහෙම හිතෙන හිතෙන විදිහට ඉවත් කරගන්න දෙන්න බෑ. ඒක සාධාරණීකරණය කළොත්, එතැනදි අධිකරණයට පැහැදිලිව පෙනෙනවා නම් ඒ කියන කරුණු සාධාරණයි කියලා ඒකට ඉඩදෙන්න පුළුවන්. මෙතැනදි එහෙම සාධාරණ හේතුවක් ඉදිරිපත් කළාද කියන කාරණය ගැටළුවක්.
20 වැනි සංශෝධනය
ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව කියන්නෙ මේක විහිළුවක් නෙමෙයි. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ රාජ්‍ය නිලධාරීන්ට ස්වාධීනව කටයුතු කරන්න තියෙන ඉඩ යම්කිසි හානිදායක තත්ත්වයකට පත්වුණා. යම්කිසි රාජ්‍ය නිලධාරියෙකුට ස්වාධීනව තීන්දු තීරණ ගන්න තිබුණු ඒ කොඳු නාරටිය හතරට කඩලා ඉවරයි. නීතිපති දෙපාර්තමේන්තුවෙ ඉන්න නිලධාරීනුත් අධිකරණවලට පත්වීම් ලබාගන්න කැමැත්තෙන් ඉන්නවා. ඒකෙ වැරැද්දක් නෑ. නීතිපති දෙපාර්තමේන්තුවෙ දීර්ඝ කාලයක් වැඩ කරන අය, ඊට පස්සෙ අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් ලෙස පත්වීමේ කැමැත්තකින් ඉන්නවා. දැන් ඒ පත්වීම් පිළිබඳ තීන්දුව ගන්නෙ තනි පුද්ගලයෙකුගේ කැමැත්ත මත. එක දේශපාලනඥයෙකුගෙ තීන්දුවකට අනුව. ජනාධිපතිතුමාගෙ තීන්දුව මත.
ඒ වගේ වටපිටාවක් හැදුවට පස්සෙ රාජ්‍ය සේවකයට ස්වාධීනව තමන්ගෙ රාජකාරිය කරන්න පුළුවන් වටපිටාවක් අපි ඇති කරලා දීලා තියෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා. මේ ඉහත කියපු නඩුවට අදාළව කරන්නාගොඩ මහත්තයා වැරදිකරුද, නිවැරදිකරුද කියලා කියන්න මට හැකියාවක් නෑ. නමුත් නීතිපතිවරයා ඒකට අදාළ විමර්ශන වාර්තා නිරීක්ෂණය කරලා, අධිචෝදනා බාරදීලා තියෙනවා. ඒ සාක්ෂි විභාග කරලා, ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න අහලා, විත්තිකරුවන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කරලා, ඒ සියල්ලෙන් පස්සෙ තමයි අධිකරණය තීන්දුවක් ගන්නෙ. එතෙක් ඔ්නෑම විත්තිකරුවෙක් නිර්දෝෂී පුද්ගලයෙක් විදිහට තමයි සලකන්නෙ.
තීන්දුව වෙනස් වුණේ කෙසේද?
ඉතාම පැහැදිලියි, නීතිපතිතුමා මේ අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කරන්නෙ සාධාරණ කරුණු කාරණා මත. තනියම නෙමෙයි, නිලධාරීන් කිහිපදෙනෙකුගෙ තීරණ මත. ඉවත් කරන්නෙත් එහෙමයි. හැබැයි තියෙන ප්‍රශ්නය තමයි, එදා අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කරන දවසෙ බැලූ බැල්මට නඩුවක් ඔප්පු කරන්න තිබුණු සාක්ෂි, අද වෙනකොට නැති වුණේ කොහොමද, අඩු වුණේ කොහොමද කියන එක. අන්න ඒ කාරණාව පිළිබඳ සාධාරණ පැහැදිලි කිරීමක් අවශ්‍යයි. එහෙම හේතු නැතුව චෝදනා පත්‍ර ඉවත් කරගන්නවා අපි දැකලා තියෙනවා. මේවා හරි අසාධාරණයි.
මෙතැන දරුවො 11 දෙනෙකුගෙ ජීවිත. ඒ අම්මලා තාත්තලා මේ සිද්ධියට යුක්තිය ඉෂ්ඨ කරන්න කියලා ඉල්ලනවා. එතැනදි සාධාරණය, යුක්තිය ඉෂ්ඨ වුණේ නැත්නම්, මේ රටේ ඉන්න අනෙක් දෙමව්පියන්ට සහතිකයක් තියෙනවද තමන්ගෙ දරුවා ආරක්ෂිතයි කියලා.
මට ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් දේශපාලනඥයන් හෝ දේශපාලන බලපෑම් කළ හැකි පුද්ගලයන්ගේ නඩුවලදි නීතිපති දෙපාර්තමේන්තුව ලිහිල් ක්‍රමයකට තීන්දු ගන්නෙ ඇයි කියන ප්‍රශ්නය මට පුරවැසියෙක් විදිහට අහන්න තියෙනවා. මගේ ප්‍රශ්නයට මට පිළිතුරක් අවශ්‍යයි.
ලිපිය සකස් කළේ – ශාලික විමලසේන
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleසෞඛ්‍ය බලධරයන්ගේ තීරණ නිසා තවත් කොවිඩ් රැල්ලක අවධානමක් – රවී කුමුදේශ්
Next articleආණ්ඩුවේ උත්සාහය පරදී ; ගුරු-විදුහල්පති වැඩ වර්ජනය සාර්ථකයි  – ජෝසප් ස්ටාලින්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here