ඉරනතිව් ගැන අහන්න නාවික හමුදාපති මානව හිමිකම් කොමිසමට කැඳවයි

කිලිනොච්චි මුලංකාවිල් ඉරණතිව් දූපතට යෑමට ඉඩ නොදීමෙන් මූලික අයිතිවාසිමකම් උල්ලංඝණය කළ බව කියමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම ගැන කරුණු විමසීම සඳහා නාවික හමුදාපතිවරයා අද (3) මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ.
මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාලව ලබා දුන් නිර්දේශ එලෙස ක්‍රියාත්මක කර නොමැති බවට හෙළිදර්වීමෙන් පසු ඊට හේතු විමසීම සඳහා මානව හිමිකම් කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු (විශ්‍රාමික) එල් ටී බී දෙහිදෙණිය මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවීමට නියමිත බව දැනගන්නට තිබේ.
රුකී ප්‍රනාන්දු මහතාට සහ තවත් ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට 2021 මාර්තු 05 වැනිදා යාපනය ඉරණතිව් දූපට යෑමට ඉඩ නොදීම සම්බන්ධයෙන් ඒ මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව එම කොමිසම 2023 දෙසැම්බර් 08 වැනිදා තම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(h) මගින් ආරක්ෂා කර ඇති නිදහසේ යාමට ඒමට ඇති අයිතිය නාවික හමුදාව විසින් කඩ කරනු ලැබ ඇතැයි තීන්දු කළ මානව හිමිකම් කොමිසම ඊට අදාලව නිර්දේශ හතරක් නිකුත් කළේය.
මෙම සිද්ධිය සිදුවූ දිනයේම ඒ ගැන MediaLK වාර්තා කළ අතර එම වාර්තාව පහත දැක්වේ.
ඉරනතිව් තහනම් ද? : ඔව් – නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක
ඉරනතිව් දූපතට එහි පදිංචිකරුවන්ට හැර අනෙක් පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර ඇතැයි එහි සේවයේ නියුතු නාවික හමුදා සාමාජිකයන් තමන්ට දැනුම් දුන් බව එම දූපතට ඇතුළුවීම සඳහා ගිය මානව හිමිකම් ක්‍රියාකාරීකයකු වන රුකී ප්‍රනාන්දු මහතා MediaLK වෙත පැවසීය.
ඉරනතිව් දූපතට යාම සදහා එහි ගිය තමන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසකට නාවික හමුදාව මේ බව දැනුම් දුන් බවත් ඊට ඉහළින් අණ ලැබී ඇති බවට නාවික හමුදා සෙබළුන් ප්‍රකාශ කළ බවත් ඔහු සදහන් කළේය.
එලෙස තහනම් කෙරෙන නියෝගයක් හෝ අණක් ලබා දී නැතැයි තමන් මේ පිළිබඳ කිලිනොච්චි දිසාපතිවරයාගෙන් කළ විමසීමකදී පැවසූ බව ද ඔහු කීවේය.
ඔහු මෙසේද පැවසීය.
“අපි දූපතට යන්න ආවාම එතන හිටිය නේවි එකෙන් කිව්වා යන්න දෙන්න බෑ කියලා. එහෙම යන්න දෙන්න එපා කියලා අණ ලැබිලා තියෙනවා කියලා ඒ අය කිව්වා. අපි උදේ නවයට වගේ ගියේ සවස තුන හමාර වගේ වෙනකම් බලන් හිටියා අපිට අවසර ලැබුණේ නෑ.
මම දිසාපතිට කතා කළා. නමුත් එයා කිව්වා එහෙම කිසිම අණක් දීලා නෑ කියලා. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් කතා කරලා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයාට. එයත් කියලා තිබුණා එහෙම තහනමක් ගැන දන්නේ නෑ කියලා. ඊට පස්සේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් අරගෙන තිබුණා ජනමාධ්‍ය ඇමතිවරයාට. එයත් කියලා තිබුණා. එහෙම තහනමක් ගැන දන්නේ නෑ කියලා. මම මානව හිමිකම් කොමිසමට දැනුම් දුන්නා. යාපනය කාර්යාලයටත් කොළඹ කාර්යාලයටත්. හොයලා බලලා කියන්නම් කිව්වා. ඒත් සවස 3.30 වෙනකම්ම උත්තරයක් ලැබුණේ නෑ.
යන්න පුළුවන් කියලා උත්තරයක් ආවෙත් නෑ. යන්න තහනම් කරලා තියෙනවානම් ඒකේ නීතිමය පදනම ගැන දැනුම් දීමක් කරෙත් නෑ. ඉරනතිව් ගැන පසුගිය දිනවල මාධ්‍ය වල කතාබහ වුණානේ. නමුත් කොතැනකවත් තිබුණේ නෑ දූපතට යන්න බැහැයි කියලා. සාමාන්‍ය ජනතාවට යන්න බෑ කියලා කොතැනකවත් තිබුණේ නෑ.අ පිට යන්න දුන්නේ නෑ. ඇතුළේ මිනිස්සු උද්ඝෝෂණය දිගටම කරගෙන යනවා. එයාලා ඉල්ලා සිටිනවා ඒ දූපත කොරෝනා මරණ භූමදානය සදහා යොදාගන්න එපා කියලා.
ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ ඇති නිදහසක් මෙහෙම තහනම් කරන්නේ කොහොමද? එහෙම තහනම් කරලා තියෙනවානම් ඇයි දැනුම් දීමක් කරලා නැත්තේ. ජනමාධ්‍ය ඇමති ඉරනතිව් සිද්ධිය ගැන පසුගියදා මාධ්‍යයට අදහස් දක්වලා තිබුණානේ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරායත් කතා කරා ඒ ගැන. වළලද්දි කටයුතු කරන ආකාරය සහ සීමාවන් ගැන කිව්වා. නමුත් ගෙවල්වලට යන්න බෑ පල්ලිවලට යන්න බෑ කියලා කොහේවත් තිබුණේ නෑනේ.“
මේ සම්බන්ධයෙන් කළ විමසිමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා මහතා පැවසූවේ ඉරනතිව් දූපතට එහි පදිංචිකරුවන්ට හැර වෙනත් පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර ඇති බවයි.
“තහනම් කියන්නේ පිටස්තර අයට යන්න එපා කියලයි තියෙන්නේ” යැයි හෙතෙම කීවේය. එහි පදනම පිළිබද විමසීමේදී ඔහු පැවසූවේ ඊට හේතුව කොරෝනා භූමදානය නිසා මිස වෙනත් හේතුවක් නොමැති බවයි.
Previous articleරතුපස්වල තීන්දුව කල් යයි ; නීතිපති දෙපාර්තමේන්තුවත් උසාවියේ නෑ
Next articleඉරනතිව් යෑමට ඉඩ නොදෙන්නැයි ජනපතිත් උපදෙස් දුන්නා – නාවික හමුදාව කියයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here