අන්තවාදය ජාතිවාදය එහි විකාශනය හා පාස්කු ඉරුදින ප්‍රහාරය !

-ශෙහාන් මාලක ගමගේ-
2019 අප්‍රේල් 21 සිදුවු පාස්කු ඉරුදින ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් , සැලසුම්කරුවන් හා ඔවුන්ගේ අරමුණු හඳුනා ගැනීමට හා යළි මෙවැනි ප්‍රහාරයක් මේ රට තුළ ඇති නොවීමට නම්,
ශ්‍රී ලාංකීය දේශපාලනයේ ඉතිහාසය සහ එහි විකාශනයත්, භූගෝලීය දේශපාලනයේ (Geopolitics) මෑත කාලීන ප්‍රවණතා , ක්‍රියාකාරකම් සහ එහි විකාශනයන් පිළිබඳවත්, ගෝලීය ත්‍රස්තවාදය එහි අරමුණු , ආගමික අන්තවාදය හා එහි ව්‍යාප්තවීම්, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම හා අවි ආයුධ ජාවාරම් ඇතුළු කුප්‍රකට ගනුදෙනු ආදී ක්ෂේත්‍ර ගණනාවක් පිලිබඳවත් පැහැදිලි විමර්ශනයක් හා විග්‍රහයක් අත්‍යාවශ්‍යය.
1948 ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති වූත්, නිදහසේ පියා ලෙස සැලකෙන්නාවූත් ඩී.එස් සේනානායකගේ සිට අද දක්වා නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පාලන බලය හෙබවූ සෑම නායකයෙක්ම පාහේ අඩු වැඩි වශයෙන් තම බලය තහවුරු කර ගැනීම සඳහා ජාතිවාදයත්, කුලවාදයත්, ආගම්වාදයත්, වර්ගවාදයත් තම දේශපාලන න්‍යාය පත්‍ර තුළ ක්‍රියාවට නැංවීය.
1948 නිදහස ලබන අවස්ථාවේ මෙන්ම, අනතුරුව කොරියානු යුද්ධයට ස්තුතිවන්ත වන්නට අප ලද ආර්ථික ගැම්ම සහ චීනය සමග ඇති කරගත් රබර්-සහල් ගිවිසුමත් නිසා ලද ආර්ථික ප‍්‍රගතියත් හේතුවෙන් සාපේක්ෂ අර්ථයකින් එදා එම ජාතිවාදී ප‍්‍රපංචය ප‍්‍රචණ්ඩකාරී නොවුණත්, පසුව සිංහල-බෞද්ධ අධිකාරීවාදයේ හිස එසැවීමත් සමග තත්වය සීග‍්‍රයෙන් උග‍්‍ර අතට හැරිණ.
1948 ඩී.එස් බලයට පත්වූ වහාම, ලක්ෂ හතක් පමණ වූ ඉන්දීය දමිළ කොංග්‍රසයට අයත් ජනතාවගේ ඡන්ද අයිතිය අහෝසි කරමින් ඩී.එස් එයට මුල පිරීය.
1956 මැතිවරණය ළඟාවෙත්ම, එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශ්වයම, සිංහල එකම රාජ්‍ය භාෂාව කිරීම සඳහා හරි හරියට තරග කෙළේය.
1956 මහ මැතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී යාපනේ සංචාරයක නිරත වූ එවක අගමැති සර් ජෝන් කොතලාවල, රාජ්‍ය භාෂා තත්වය දෙමළ භාෂාවටත් පිරිනැමීමට ප‍්‍රතිඥාවක් දුන්නේය. අනතුරුව එම ප‍්‍රකාශයට එරෙහිව දකුණේ මහා විරෝධයක් මතු විය. එම අනතුර දුටු එක්සත් ජාතික පක්ෂය, ස්වකීය ස්ථාවරය වහා වෙනස් කරමින්, එකම රාජ්‍ය භාෂාව සිංහල කරන බවට දකුණට පොරොන්දු විය. ඊට දෙවැනි නොවීමට ඉටාගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක, 1951 එම පක්ෂය පිහිටුවීමේ දී සිංහල සහ දෙමළ යන භාෂා දෙකම රාජ්‍ය භාෂා කිරීමට දී තිබූ පොරොන්දුව ඉවතලමින්, තමා බලයට පත්වීමෙන් පැය 24 ක් ඇතුළත සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බවට සපථ කොට සිටියේය.
ලංකා සමසමාජ පක්ෂය ඓතිහාසික ප‍්‍රකාශයක් නිකුත් කෙළේ එවිටයි. ‘භාෂා දෙකක් නම් එක රටක්.. එක භාෂාවක් නම් රටවල් දෙකක්.’ කොල්වින් ආර්. ද සිල්වා එදා කල්තියා දුටු පරිදි, නිකම්ම ජාතීන් දෙකක් නොව, ලේ හලන ජාතීන් දෙකක් ඒ අනුසාරයෙන් බිහි වනු ඇත. එපමණක් නොව, ඒ මගින් වෙනම රාජ්‍යයක් ඉල්ලීම සඳහා දෙමළ ජාතිකයන්ව යම් දවසක තල්ලූ කරනු ඇත. විය යුතු පරිද්දෙන්ම දෙමළ නායකයෝ ‘සිංහල පමණයි’ පනතට විරෝධය පෑහ. දෙමළ භාෂාව මෙසේ පැත්තකට දැමීම යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ මූලධර්මයට අවැඩක් කරනවා පමණක් නොව, එවක රටේ ක‍්‍රියාත්මක වූ සෝල්බරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 29 වැනි වගන්තියේ අර්ථයත් විකෘති කෙළේය. එහෙත් බණ්ඩාරනායක තමාගේ අවස්ථාවාදී මැතිවරණ අභිලාෂයන් පෙරදැරිව සිටිමින් ඒ කිසිවක් ගණන් ගත්තේ නැත.
එහි ප‍්‍රතිඵලය වුණේ, ඊට එරෙහිව ෆෙඩරල් පක්ෂ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් විසින් සත්‍යග‍්‍රහයක් කැඳවීමයි. කෙසේ වෙතත්, එවැනි තත්වයක් වළක්වාලීම සඳහා බණ්ඩාරනායක, ෆෙඩරල් පක්ෂ නායකයා සමග සාකච්ඡා කොට 1957 ජුලි 26 වැනිදා බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමට අත්සන් කෙළේය. අනතුරුව එවැනි ගිවිසුමක ඇති අවශ්‍යතාව රටට පැහැදිළි කරමින් සැබෑ බෞද්ධයෙකු වශයෙන් බණ්ඩාරනායක එම ගිවිසුම වෙනුවෙන් පෙනී සිටියේය. කෙසේ වෙතත්, මේ වනාහී දෙමළුන්ට රට පාවාදීමක් වශයෙන් අර්ථගැන්වූ විපක්ෂ කොටස් ඊට එරෙහිව විශාල විරෝධතාවක් ගොඩනැගූහ. එම විරෝධතාවයේ එක් අංගයක් වුණේ, එක්සත් ජාතික පක්ෂයේ බල කණුවක් වූ ජේ.ආර්. ජයවර්ධන කොළඹ සිට නුවරට පා ගමනක් සංවිධානය කිරීමයි. මේ අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මේ ගිවිසුමට විරෝධය දැක්වූ අතර 1958 අපේ‍්‍රල් 9 වැනිදා රොස්මීඩ් පෙදෙසේ බණ්ඩාරනායක නිවස ඉදිරිපස ඔවුන් වාඩි ලා ගත් විට බණ්ඩාරනායක ඒ බලපෑමට යටත්ව, ද්වි-පාර්ශ්වික ගිවිසුම ඒක පාර්ශ්විකව ඉරා දැම්මේය.
අනතුරුව ෆෙඩරල් පක්ෂ නායක චෙල්වනායගම් සහ අගමැති ඩඞ්ලි සේනානායක අතර පැවති ද්වි-පාර්ශ්වික සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් වශයෙන් 1965 මාර්තු මාසයේ දී ඩඩ්ලි-චෙල්වනායගම් ගිවිසුම් අත්සන් කෙරුණි. මෙය බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම තරම් බරපතල කාරණා අඩංගු කර නොගත් සම්මුතියක් වුවත්, ඊට ද එරෙහිව පෙර මෙන්ම ජාතිවාදී සහ ආගමික අන්තවාදී විරෝධතා පැනනැංගේය. ඩඩ්ලි සේනානායක අගමැතිවරයා ද ඒ විරෝධතාවන්ට යට විය.
එදා ඉහත කී ගිවිසුම් දෙකෙන් එකක් හෝ සාර්ථකව ක‍්‍රියාත්මක කෙළේ නම්, වාස්තවික හේතු මත පැනනැගුණු දෙමළ සන්නද්ධ අරගලය ඇති නොවන්ට හොඳටම ඉඩ තිබුණි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් නමැති ත්‍රස්තවාදී නායකයෙකු හෝ තිස් අවුරුදු යුද්ධයකට හේතු ද ඉතිරි නොවන්ට තිබුණි.
1971 දකුණේ කැරැල්ල ද එතරම් ප්‍රචණ්ඩ නොවී වෙනස් මුහුණුවරක් ගන්නට බොහෝ සෙයින් ඉඩ තිබුණි.
1975 වඩ්ඩුකෝට්ටේ සමුළුව හෝ පසුකාලීනව ආගම්, ජාතීන් මුල් කරගෙන බිහි වූ දේශපාලන පක්ෂ ක්‍රමයක් ද බිහි නොවන්නට ඉඩ තිබුණි.
1983 කලු ජූලියක් ද ඇති නොවන්ට ඉඩ තිබුණි.
නමුත් අපේ ඉතිහාසය එලෙස ලෙයින් තෙත්වී ලියැ වී අවසානය. මේ දේශපාලන ඉතිහාසය ගැන නූතනය අනිවාර්යෙන්ම කියවා ගත යුතුය. අවබෝධ කරගත යුතුය.
එසේ නොවන්නට මෑතකාලීනව බිහි වූ හා පාස්කු ප්‍රහාරය දක්වා විකාශනය වූ ආගමික උන්මත්තකයින් / අන්තවාදී කල්ලි කණ්ඩායම් / කහ සුරතලුන් / “ජාතික ලේබලය” අලවාගෙන සිටින ඊනියා දේශප්‍රේමීන් ගැන හෝ ඔවුන්ගේ අරමුණු ගැන පැහැදිලි චිත්‍රයක් ලබාගත නොහැක.
2000 න් පසුව ව්‍යාප්ත වූ එම කල්ලි කණ්ඩායම් හා භූගෝලීය දේශපාලනය , ගෝලීය ත්‍රස්තවාදය හා එහි බලපෑම් ගැන ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.
MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleජනාධිපති මාධ්‍ය ප්‍රකාශක හදිසි නීතිය ගැන බොරු කියයි !
Next articleඅයි.පීට පහර දුන්නේයැයි එස්.එස්.පී උසාවි දාන්න උපදෙස් ; නිර්දේශය එනවිට ඩීඅයිජීත් ඇඳලා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here