බාල තෙල් ගෙන්වීම ගැන දූෂණ නඩුව ; වසර 10කට පසු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි !

අල්ලස් පනත යටතේ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ලිඛිත අනුමැතිය අත්‍යවශ්‍ය නොවන බව ඊට අදාළ අභියාචනයක් සලකා බලමින් අභියාචනාධිකරණය තීන්දු කළේය.
බාල ඉන්ධන මිලදී ගනිමින් රජයට පාඩුවක් සිදු කළැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ‘දූෂණය‘ නම් වරද යටතේ 2013 ජනවාරි මස 22දා චෝදනා ලැබූ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් ටයිටස් මෙන්ඩිස් ජයවර්ධන ගොනු කළ අභියාචනයක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණය මේ බව ප්‍රකාශ කළේය.
තමන්ට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිෂන් සභාව ලිඛිත අනුමැතිය ලබා දී නොමැති හෙයින් නඩුව ඉදිරියට ගෙන යෑමට නොහැකි බවට ගොනු කළ අභියාචනයක විභාගය අවසන් කරමින් විනිසුරු සම්පත් බී. අබේකෝන් මහතාගේ එකඟත්වයෙන් විනිසුරු පී කුමාරරත්නම් මහතා අභියාචනය ප්‍රතික්ෂේප කළ අතර, ඒ අනුව මෙම නඩුවේ තීන්දුව අදාළ නඩු ගොනුව ද සමග අවශ්‍ය කටයුතු සඳහා මහාධිකරණයට සහ මහේස්ත්‍රාත් අධිකරණයට යැවීමට ද නියෝග කළේය.
ඔක්ටේන් 92 වර්ගයේ ඛනිජ තෙල් තොගයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2012 වසරේ හෝ ඊට ආසන්න කාලයකදී මිලදී ගනු ලැබ තිබෙන අතර, එම මිලදී ගැනීමෙන් පසු වාහනවල එන්ජින් නතර වී ගැටලු මතුවූ බවට පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ‘දූෂණය‘ නම් චෝදනාව යටතේ ඒ පිළිබඳ විමර්ශනය කර නඩු පවරා තිබිණි.
2013 ජනවාරි මස 22දා මෙම නඩුවේ අභියාචක ටයිටස් ජයවර්ධන මහතා විත්තිකරුවකු ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමෙන් පසු ඔහුට එරෙහිව අල්ලස් කොමිසමෙන් චෝදනා ගොනු කර තිබේ.
අල්ලස් පනතේ 78.1 අනුව අනිවාර්ය අවශ්‍යතාවක් වන කොමිසමේ ලිඛිත අනුමැතිය මෙම පැමිණිල්ල ගොනුකිරීමේදී ලබාගෙන නොමැති හෙයින් චෝදනා ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට අමාත්‍යංශ ලේකම්වරයාගේ නීතිඥවරයා මූලික විරෝධයක් මතු කර ඇත.
ඊට අදාළ නියෝගය ලබාදෙමින් 2014 සැප්තැම්බර් 26දා මහේස්ත්‍රාත්වරයා විසින් මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරමින් කොමිසමේ ලිඛිත අනුමැතිය අත්‍යවශ්‍ය සාධකයක් නොවන බවට තීන්දු කළේය.
ඊට එරෙහිව ලේකම්වරයා 2015දී කොළඹ පිහිටි බස්නාහිර පළාත් බද මහාධිකරණයේ ප්‍රතිෂෝධන පෙත්සමක් ගොනු කළ අතර, එහි නියෝගය ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා ද ලේකම්වරයාගේ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත් නියෝගය ස්ථිර කළේය.
මහාධිකරණ ප්‍රතිෂෝධන පෙත්සමේ නියෝගයට එරෙහිව 2017දී හිටපු අමාත්‍යංශ ලේකම්වරයා මෙම අභියාචනා පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබේ. ඒ අනුව අභියාචනාධිකරණය දීර්ඝ කරුණු විමසීමකින් පසු තම තීන්දුව ලබාදෙමින් සඳහන් කළේ අල්ලස් පනතට අනුව ඉහත සඳහන් පරිදි නඩු පැවරීමට අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතිය අනිවාර්ය අංගයක් නොවන බවයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ සහ මහාධිකරණ විනිසුරුවරයාගේ තීන්දුව ස්ථිර කළ අභියාචනාධිකරණය, හිටපු අමාත්‍යංශ ලේකම්වරයාගේ අභියාචනය නිශ්ප්‍රභ කිරීමට නියෝග කළේය.
නන්දසේන ගෝඨාභය රාජපක්ෂ එදිරිව අධ්‍යක්ෂ ජනරාල්, අල්ලස් කොමිසම (APN/29/2018) දරන නඩුවේ කරුණු පෙත්සම්කරුවන් විසින් තම පෙත්සම සනාථ කිරීමට ගෙන හැර තිබුණද, එම තීන්දුව සහ එය සනාථ කිරීමට ගෙන හැර දැක්වූ කරුණු එකිනෙක නොගැළපෙන බැවින් ඊට එකඟ විය නොහැකි බව ද මෙම තීන්දුවේ සඳහන් වේ.
මූලික විරෝධතාවට අදාළ ව මේ වන විට ගතවී ඇති කාලය වසර 10ක් වන අතර, එය ලංකාවේ යුක්තිය පසිඳලීමට ගතවන කාලය සම්බන්ධයෙන් බරපතළ කරුණක් බව නීතිඥවරු සඳහන් කරති.
මෙම තෙල් මිලදී ගැනීමේ සිද්ධිය 2011 සහ 2012 වසරවල ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් විය. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට බාල තෙල් බැරල් 163,287ක් මිලදී ගැනීමට දැනුම්වත්ව සහ හිතමතා ක්‍රියා කිරීමෙන් රජයට මූල්‍ය අලාභය සිදුකරමින් දූෂණය නම් වරද කළ බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙලෙස චෝදනා ගොනු කර තිබුණේ ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ හිටපු ලේකම් හේතුමුණි ටයිටස් මෙන්ඩිස් ජයවර්ධන සහ වැඩබලන මූල්‍ය කළමනාකරු උදිත විමලනාත් දොළොස්වල යන දෙදෙනාට එරෙහිව ය.
ඔවුන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා සාක්කිකරුවෝ 25 දෙනෙකු සහ ලේඛන 36ක් අල්ලස් කොමිසම මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙම අභියාචනයේ අමාත්‍යංශ ලේකම්වරයා වෙනුවෙන් තුෂානි මචාඩෝ නීතිඥවරිය සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටි අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා පෙනී සිටියේය.
මේ වන විට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත වෙනුවට අලුත් පනතක් ද ගෙනැවිත් තිබෙන අතර, 2012 සිදුවීමෙන් පසු බාල තෙල් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී චෝදනා එල්ලවුවද නිසි විමර්ශනයක් සිදු නොවිණි.
සිදුවීම කුමක්ද ?
අත්තනෝමතික ලෙස ලේකම්වරයා විසින් ඉන්ධන විධිමත් ව ගෙන්වීමට අවස්ථා 2කදී බාධා කර තිබිණි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගබඩා කරගත හැක්කේ දින 20ත් 25ත් අතර ඉන්ධන සංචිතයක් පමණි. එසේ තිබියදී මෙලෙස අවස්ථා 2කදී ඉන්ධන ආනයනයට අදාළ ටෙන්ඩර් අවහිර කිරීම නිසා රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතු විය.
මේ නිසා හදිසියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉනොක්ස් නම් සමාගමෙන් ඉන්ධන තොගයක් ආනයනය කරන ලද අතර, එම තොගය පරීක්ෂණවලදී අසමත්ව තිබිණි. එම නිසා අදාළ ඉන්ධන තොගය ගොඩබෑම සංස්ථාවේ මෙහෙයුම් කළමනාකාරවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. එහෙත් ඉන්පසු අමාත්‍යංශ ලේකම්වරයා සහ සංස්ථාවේ වැඩ බලන මූල්‍ය කළමනාකරු උදිත විමලනාත්ගේ බලපෑම මත අදාළ ඉන්ධන තොගය මෙරට භාවිතයට නුසුදුසු බව තහවුරු වී තිබියදී ම ගොඩබා තිබිණි.
එම ඉන්ධන ගොඩබෑමෙන් පසු බෙදාහැරීම ආරම්භ කර, දින 02ක් තුළ වාහන එන්ජින් ප්‍රශ්න මතුවීමට පටන් ගත්තේය. ඒ පිළිබඳ දිගින්-දිගටම ඉදිරිපත් වූ පැමිණිලි හේතුවෙන් බෙදාහරින ලද එම ඉන්ධන තොගය යළිත් එකතු කිරීම ඇරඹිණි.
එහෙත් ඒ වනවිටත් එයින් සැලකිය යුතු කොටසක් පරිභෝජනය කර ඇතැයි අනාවරණය වී තිබිණි.
Previous articleඡන්ද පත්‍රිකා මුද්‍රණයට වෙන් කළ මුදලට මොකද වුණේ? – තොරතුරු හෙළි කරන්නැයි තීන්දුවක්
Next articleසනත් නිශාන්තගේ ගමන් තහනම ඉවත් නොකරයි ; මහාධිකරණ තීන්දුව අභියාචනාධිකරණයත් ස්ථිර කරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here