කිසිම තනතුරක් දරන්න හැකියාවක් නෑ : ‘උපාලි අබේරත්න කොමිසමේ‘ සාමාජිකයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ඉල්ලයි !

(තරිඳු ජයවර්ධන)
දේශපාලන පලිගැනීම් කොමිසමේ හිටපු සභාපති උපාලි අබේරත්න සහ එහි සෙසු සාමාජිකයන්ට  කිසිම තනතුරක් දැරීමට සදාචාරාත්මක හැකියාවක් නොමැති බව සඳහන් කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපති නීතිඥවරයා එම ඉල්ලීම කළේ දේශපාලන පළිගැනීම් සෙවීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිසමේ වාර්තාවට එරෙහිව විශ්‍රාමික වයිස් අද්මිරාල් සුසිත් මාලිය බණ්ඩාර වීරසේකර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පසුගිය 15 වැනිදා විභාගයට ගත් අවස්ථාවේදීය. මෙම කොමිසමේ තීන්දුවට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් 09ක විභාගය ආරම්භ කර තිබෙන අතර පෙත්සම් විභාගය සිදු වන්නේ විජිත් කේ මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය.
නාවික හමුදාවේ හිටපු නිලධාරියා වෙනුවෙන් රාධා කුරුවිටබණ්ඩාර, ඩුවිනි ගොඩගම සහ ලෙෂයිනී රණවීර යන නීතිඥවරුන් සමග ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.
වයිස් අද්මිරාල් සුසිත් මාලිය බණ්ඩාර වීරසේකර මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 36ක් සේවය කර ඇති බව ද, රණ ශූර සහ විශ්ව සේවා විභූශන ඇතුළු පදක්ම් දිනාගෙන ඇති බව ද, 2012 වන විට ශ්‍රී ලංකා නාවික හමුදාපති ධුරයට පත් කිරීමට සිටි වඩාත් ජ්‍යෙෂ්ඨතම සහ සුදුසුකම් සහිත නිලධාරියා වූයේ ඔහු බව ද, එසේ තිබියදීත් ඔහු එම තනතුරට පත් නොකළ බව ද කුමාරප්පෙරුම මහතා අධිකරණයේ දී සඳහන් කළේය.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව යනු විධායකය විසින් පත් කරනු ලබන විධායකයේ සීමාවන්ට යටත් වන සහ විධායකයට කරුණු වාර්තා කරන කොමිසමක් බවත්, කොමිසමෙන් කරන සෑම ක්‍රියාවක්ම විධායක හෝ පරිපාලන ක්‍රියාවක් ලෙස සැලකිය යුතු බවත් නීතිඥවරයා ප්‍රකාශ කළේය. කොමිෂන් සභාව පත් කිරීමට අදාල අධිකාරී පත්‍රය කියැවූ නීතිඥවරයා පෙන්වා දුන්නේ කොමිසම කළ යුතු කාර්යයන් තීරණය කිරීමත්, කොමිසමට ඊට අදාල බලය ලබාදීමත්, ඒ සඳහා ලබා දෙන කාලය තීරණය කිරීමත් සිදු කරන්නේ ජනාධිපතිවරයා විසින් බවයි. පළමු වගඋත්තරකාර උපාලි අබේරත්න වෙනුවෙන් ඉදිරිපත් කර ඇති විරෝධතාවල ගල්කන්දගේ සහශ්‍ර සන්දීප පෙරේරා එදිරිව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය නම් නඩු තීන්දුව ගැන සඳහන් වන බව කී කුමාරප්පෙරුම මහතා එම නඩු තීන්දුව මෙම සිද්ධියට කිසිම අදාලත්වයක් නැති බව සඳහන් කරමින් කරුණු දැක්වීය.
තම සේවාදායකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කළ නඩුවක ප්‍රධාන සාක්කිකරුවකු බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘මේ පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ අට නවය සහ 10 කියන පරිච්ඡේදවල දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදු කළ පොදු දේපොළ අවභාපිතාව, සාක්කි සම්පිණ්ඩනය, නිදේශ සහ වගකිව යුතු පුද්ගලයන් සහ කොමිෂන් සභාවේ අවධානයට ලක්වූ පැමිණිලි ගැන සඳහන් වෙනවා. සාක්කි සම්පිණ්ඩනය, නිර්දේශ සහ වගකිව යුතු පුද්ගලයන් කියන 09 වැනි පරිච්ඡේදයේ පැමිණිලි අංක 01, 05/2020 යටතේ අද්මිරාල් ඔෆ්ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ පැමිණිල්ල ගැන සඳහන්වෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක, හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු අමාත්‍ය ඩී එම් ස්වාමිනාදන්, හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ යනුවෙන් 11 දෙනකුගේ නම් සඳහන් වෙනවා. මේ නම් අතර මගේ සේවාදායකයා වන වයිස් අද්මිරාල් සුසිත් මාලිය බණ්ඩාර වීරසේකර කියන නම නෑ.
මෙහි කොමිමේ තීරණ යටතේ කියනවා ‘මෙම නඩුවේ ඉදිරිපත් වී ඇති සාක්ෂි පරීක්ෂා කාරී ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, පැමිණිලිකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා යම් වරදකට හසු කරලීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කිරීමටත් එයට අධාර සහ අනුබල දීමටත් ඉහත නම් සඳහන් පුද්ගලයින් ක්‍රියා කර ඇති බවට ප්‍රබල සාක්ෂි මගින් ඔප්පු කර ඇති බව කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.‘ කියලා. ඒ කියන්නේ කලින් නම් කියපු පිරිස මේකට සම්බන්ධයි කියලා තීන්දු කරලා තියනවා.
ඊට පස්සේ කියනවා ‘මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද සියලු සාක්ෂි සහ ලේඛන සලකා බැලීමෙන් පසුව, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි ගොනු කර ඇති බී 732/09 දරන බී වාර්තාවෙහි සහ එම බී වාර්තාවට ගොනු කරන ලද වැඩිදුර වාර්තවන්හි දැක්වෙන සියලු චෝදනාවලින් පැමිණිලිකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා නිදොස් කොට නිදහස් කළ යුතු බවට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත. ‘ මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ මහේස්ත්‍රාත් උසාවිය සැකකරු නිදොස්කොට නිදහස් කළ යුතුයි කියලා. ජනාධිපති විසින් පත් කරපු, ජනාධිපති නියම කරන සීමාවන්ට යටත් වෙලා ජනාධිපති සඳහන් කරලා තියන විදිහට වැඩ කරන කොමිසම කොහොමද උසාවියට කියන්නේ සැකකාරයෙක් නිදහස් කළ යුතුයි කියලා. මේක අධිකරණයට අපහාස කිරීමක්. අධිකරණයට ඇඟිලි ගැසීමක්. ඊට පස්සේ කියනවා ත්‍රිපුද්ගල මහාධිකරණයේ තියන නඩුවෙනුත් නිදොස් කොට නිදහස් කළ යුතුයි කියලා.
මම කලින් සඳහන් කළා වගේ   අවසන් වාර්තාවේ පෙත්සම්කරුගේ නම නෑ. මේ අවසන් වාර්තාව බාර දුන්නට පස්සේ නැවත වතාවක් දින රහිත අතිරේක වෙළුවමක් බාර දෙනවා. එහි අරමුණ විදිහට කියන්නේ යතුරු ලියනය කරද්දි වෙච්ච අකුරු වැරදි නිවැරදි කරමින් එය ඉදිරිපත් කරනවා කියලා. එය පරීක්ෂා කර බලද්දි එහි කරලා තියෙන්නේ අකුරු වැරදි හදන එකට එහා ගිහින් අලුතෙන් වගඋත්තරකරුවන් සංශෝධනය කරලා, අලුත් නිර්දේශත් ඇතුළු කරලා තියනවා. කලින් වගඋත්තරකරුවන් කියලා නම් කරපු පිරිසකගේ නම් ඉවත් කරලා අලුතෙන් දාලා තියනවා විශ්‍රාමික රියර් අද්මිරාල් එස් එම් බී වීරසේකර කියලා. ඒ කියන්නේ මගේ සේවාදායකයා. ඉන් පස්සේ මගේ සේවාදායකයාට එරෙහිව නිර්දේශත් ඇතුළත් කරලා තියනවා. උපාලි අබේරත්න ඇතුළු කොමිසමේ පිරිස අකුරු වැරදි නිවැරදි කරනවා කියලා කරලා තියන දේ පැහැදිලියි.
මේ පෙත්සම්කරු වගඋත්තරකරුවෙක් කරලා වැරදිකරුවෙක් විදිහට තීන්දු කරලා ඔහුට එරෙහිව නිර්දේශ දුන්නට ඔහු කොමිසමට කැඳවලත් නෑ. මේකේ කරන්නාගොඩ විතරයි සාක්කිකරු. කෙනෙකුට විරුද්ධව තීන්දුව දෙනවා නම් දෙපැත්තටම සවන්දීලා ඉන්න ඕනා. උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් මේ කොමිසම එහෙම කළේ නෑ. පාළුගෙයි වලං බිඳිනවා වගේ වැඩක් මේ කොමිසම කරලා තියෙන්නේ.
මේ කොමිසම ව්‍යවස්ථාව කඩ කරලා තියනවා. මේ කොමිසමේ හිටපු සාමාජික චන්ද්‍රා ප්‍රනාන්දු ඊට පස්සේ පොලිස් කොමිසමේ සභාපති කරලා දැම්මා. කොමිසමේ සභාපති උපාලි අබේරත්න අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති විදිහට පත් කරලා පසුව දැන් තොරතුරු දැන ගැනීමේ කොමිසමේ සභාපති ලෙස පත් කරලා ඉන්නවා. මේ අයට කිසිම තනතුරක් දරන්න සදාචාරාත්මක යෝග්‍යතාවක් නෑ. ඒ නිසා ඉල්ලා සිටිනවා මොවුන්ට සදාරාචාරත්මක යෝග්‍යතාවක් නොමැති නිසා කිසිම තනතුරක් දරන්න සුදුසු නෑ කියලා තීන්දුවක් ලබා දෙන ලෙස.‘ යැයි ද ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා සඳහන් කළේය.
වීරසේකර මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාල කරුණු දැක්වීමෙන් පසු අධිකරණයේ කටයුතු පස්වරු 1.00ට දිවා විවේකය සඳහා කල් තැබූ අතර නැවත 1.55ට පමණ කටයුතු ආරම්භ විය. ඉන් පසුව කැඳවනු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සහ වර්තමානයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් දේශපාලන පළිගැනීම් සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීන්දුවලට එරෙහිව ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමයි.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන, රාධා කුරුවිටබණ්ඩාර, ඩුවිනි ගොඩගම සහ ලෙෂයිනි රණවීර සමග ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කරුණු දැක්වීය.  කුමාරප්පෙරුම මහතාගේ කරුණු දැක්වීම කෙටියෙන් පහත දැක්වේ.
‘මෙහි පෙත්සම්කරු එවකට අග්‍රමාත්‍ය ලේකම්වරයා විදිහට වැඩ කළා. උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිසම පෙත්සම්කරුට චෝදනා කරලා තියෙන්නේ අගමැති කාර්යාලයේ මුදල් දූෂණ විරෝධී කාර්යාලයට මුදාහැරියා කියලා. පෙත්සම්කරු කිසිම අවස්ථාවක මේ කොමිසමට කැඳවලා නෑ. කොමිසම මේක පටු කරලා තියෙන්නේ රාජ්‍ය නොවන සංවිධානයකට (එන්ජීඕ) සල්ලි දැම්මා කියලා.
අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 වැනි ව්‍යවස්ථාවේ මෙහෙම තියනවා. ‘අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුතු ලේකම්වරයෙක් වන්නේය. අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලය භාරව කටයුතු කිරීමත් අග්‍රාමාත්‍යවරයාගේ විධානයන්ට යටත්ව ඔහුගේ ධුරයේ කාර්ය හා කර්තව්‍ය ඉටු  කිරීම හා කිරීමත් අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයා විසින් කළ යුත්තේය.‘ ඒ කියන්නේ අග්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩකටයුතු කළ යුත්තේ අග්‍රාමාත්‍යවරයාගේ විධානයන්ට අනුව.
2021 ජනවාරි 22 දින ප්‍රවෘත්තියක් පළකරලා තිබුණා ‘අගමැති කාර්යාලය කෝටි 3කට වැඩියෙන් දූෂණ මර්දනයට වියදම් කරලා – හිටපු ලේකම් සමන්ට එරෙහිව නීති පියවර ගන්න‘ කියලා. එහි සඳහන් වෙනවා ‘යහපාලන ආණ්ඩුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් කෝටි 3.37 ඉක්මවූ මුදලක් දූෂණ මර්දන කමිටු කාර්යාලයේ වියදම් සඳහා ලබාදීම මඟින් සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ‘ කියලා. සන්ඩේ ටයිම්ස් පුවත්පතෙත් මේ සම්බන්ධ වාර්තාවක් පළවුණා.
දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවේ අටවැනි අයිතමය විදිහට දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදු කළ පොදු දේපොළ අවභාවිතාව කියලා පරිච්ඡේදයක් තිබෙනවා. මෙහි සාක්කිකරු විදිහට තියෙන්නේ ආචාර්ය විජයදාස රාජපක්ෂ කියලා.  වගකිවයුතු පුද්ගලයින් විදිහට රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, ආර් සම්පන්දන්, එම් ඒ සුමන්දිරන්, අනුර කුමාර දිසානායක, ජේ සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම, ආනන්ද විජයපාල, ශානි අබේසේකර, ඒ එස් පී ප්‍රේමශාන්ත, අයි පී නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, සී අයි වීරසේන, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා සහ හිටපු අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක කියලා සඳහන් වෙනවා. අවසානයට තියෙන්නේ පෙත්සම්කරුගේ නම.  එහි තීරණවල සහ නිර්දේශවල  තිබෙනවා පෙත්සම්කරුට රෙහිව නීතිමය පියවර කියලා.
‘ඉහත නම් සඳහන් වගඋත්තරකරුවන් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරමින් ඒ සඳහා රජයේ මුදල් වැටුප් වශයෙන් ලබා ගනිමින් පොදු දේපොළ පනතේ 05 වගන්තිය සමග කියවිය යුතු දන්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදුකර ඇත.‘ කියලා එහි සඳහන් වෙනවා. කොමිසමේ මේක පටු කළේ ඒ විදිහට.  පෙත්සම්කරුට තියන චෝදනාව තමයි අග්‍රමාත්‍ය කාර්යාලයේ මුදල් දූෂණ විරෝධී කමිටුවට මුදා හැරීම.
මේ දූෂණ විරෝධී කටයුත්ත සඳහා මුලින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වෙලා තියෙන්නේ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන්න. ඊට කැබිනට් අනුමැතිය ලැබිලා තියනවා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නෑ. ඉන් පස්සේ කමිටු ලේකම් කාර්යාලයක් හදන්න කැබිනට් අනුමැතිය ලැබෙනවා. එහි අධ්‍යක්ෂ ලෙස ආනන්ද විජේපාල පත් කිරීමට අනුමැතිය ලැබෙනවා. ඉන් අනතුරුව තවදුරටත් වරින් වර මීට අදාල කටුයුතවලට කැබිනට් සංදේශ මගින් අනුමැතිය ලබා ගන්නවා. ඉන් පසු 2017 ජූලි මාසයේදී ජනාධිපතිගේ තීරණයක් අනුව මෙහි කටයුතු නතර වෙනවා.
කලින් සඳහන් කළ පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වැඩ කටයුතු කරන්නේ අග්‍රමාත්‍යවරයාගේ අධීක්ෂණය යටතේ ඔහුගේ උපදෙස් මත. මේ ලේකම් කාර්යාලයට මුදල් යොදවලා තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව. කැබිනට් මණ්ඩලය මුදල් යොමු කරන්න කියලා තීන්දු කරලා එම තීන්දුව පෙත්සම්කරුට දැනුම් දුන්නම පෙත්සම්කරු එම කැබිනට් තීන්දුව ක්‍රියාත්මක කළ යුතුයි. මොකද පෙත්සම්කරු තමයි අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගණන් තැබීමේ නිලධාරියා.  ඇතැම් අවස්ථාවල මේ සඳහා බණ්ඩාගාරයෙනුත් මුදල් ඉල්ලා ලබාගෙන තිබෙනවා. පී 38 කියන ලේකනයේ අයවැය සංක්ෂිප්තය තිබෙනවා. මේ සියලු දේවල් කරලා තියෙන්නේ නීත්‍යනුකූලවයි.
ආයතනය පිහිටුවන්න කැබිනට් අනුමැතිය තිබෙනවා වගේම මුදල් මුදා හරින්නත් කැබිනට් අනුමැතිය තිබෙනවා. කැබිනට් මණ්ඩලය වරින් වර තීන්දු කරලා තියෙනවා අග්‍රමාත්‍ය ලේකම් කාර්යාලයේ මුදල් මේ ලේකම් කාර්යාලයට මුදාහැරිය යුතුයි කියලා. ඊට අදාල ලේකන සියල්ල පෙත්සම්කරු සතුව තිබුණා. උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් යුත් කොමිසම පෙත්සම්කරු කැඳෙව්වා නම් පෙත්සම්කරු මේ සියලු ලේඛන ඉදිරිපත් කරනවා. ඒත් කැඳෙව්වේ නෑ. ඒවගේම තමයි මේ වෙන් කරපු මුදල්වලට අදාල අයවැය 2017-2019 පාර්ලිමේන්තුව අනුමත කරලත් තියනවා. එය අභියෝගයට ලක් කරලත් නෑ.
ජනාධිපති කොමිසමේ වාර්තාවේ තිබෙන විදිහට දූෂණ විරෝධී කමිටුව කියලා එකක් ක්‍රියාත්මක වෙලා නෑ. ක්‍රියාත්මක වෙලා තියෙන්නේ ලේකම් කාර්යාලයක්. කැබිනට් තීන්දුවක් අනුව නිර්මාණය කළ ආයතනයක් රාජ්‍ය නොවන සංවිධානයක් විදිහට කොමිසම කියන්නේ කොහොමද? ඔනූර් කියන්නේ රජයේ ආයතනයක්. ඒක හදලා තියෙන්නෙත් කැබිනට් අනුමැතියක් අනුව. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවා කැබිනට් අනුමැතියෙන් හදපු ආයතන. ඒ සියල්ල රාජ්‍ය නොවන සංවිධාන වෙනවද?
නැවතත් කියනවා නම් ඇන්ටි කරප්ෂන් කමිටි කියලා එකක් පත්වුණේ නෑ. යෝජනා වුණා විතරයි. පත් වුණේ ලේකම් කාර්යාලය. කොමිසමත් පිළිගන්නවා භාණ්ඩාගාරයෙනුත් ඊට මුදල් ලබා දුන්නා කියලා. පෙත්සම්කරු කළේ කැබිනට් තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පමණයි. පෙත්සමට අමුණලා තියනවා අගමැති ලේකම්ව ඉවත් කිරීමට අදාල ලිපිය. පී බී ජයනුස්දර කියන ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් තිබෙන ඒ ලිපියේ කියනවා අගමැති ලේකම් විදිහට පෙත්සම්කරුගේ සේවය ජනාධිපතිවරයා (හිටපු ජනාධිපති ගෝඨාභය) අගය කරනවා කියලා.  වගඋත්තරකරුවන් ඒක ප්‍රතික්ෂේප කරලා නෑ.
ඒ අනුව මෙම පෙත්සමේ පළමු වගඋත්තරකාර උපාලි අබේරත්න ඇතුළු කොමිසමේ සාමාජිකයන් නීතියේ මූලිකාංග උල්ලංඝනය කරමින්, ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කරමින් තමයි කටයුතු කරලා තියෙන්නේ.‘ යැයි ද ජනාධිපති නීතිඥවරයා තම කරුණු දැක්වීම අතරතුරදී ප්‍රකාශ කළේය.
පස්වරු 2.45ට පමණ ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීම අවසන් කළ අතර වැඩිදුරට පෙත්සම් විභාගය පෙබරවාරි 26 සහ මාර්තු 15 යන දිනවලට කල් තැබිණි.
මෙම කොමිසමේ වාර්තාවට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පවරා ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ද පෙත්සම් විභාගය දැකබලා ගැනීම සඳහා අධිකරණයට පැමිණ සිටියහ.
Previous articleපොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද
Next articleඉන්දියා ධීවර යාත්‍රා 500ක් උතුරු මුහුදේ ; ධීවරයන් කබලෙන් ලිපට දාන ආණ්ඩුවේ නිහැඬියාව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here