නීති විරෝධී නියෝගය ප්‍රතික්ෂේප කළ සුරාබදු කොමසාරිස් ජනරාල් ඉවතට

(ශාලික විමලසේන)
සුරාබදු දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජනාධිපති ලේකම් කාර්‍යාලයේ ආදායම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එන්.ජී. ගුණසිරි අද (11) වැඩ බාරගත්තේය.
එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි පැවසුවේ හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් සමන් ජයසිංහ විශ්‍රාම ලැබීම හේතුවෙන් මෙම නව පත්වීම සිදුකර ඇති බවයි. එන්.ජී. ගුණසිරි මීට පෙර ද මෙම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය දරන ලදි.
සමන් ජයසිංහගේ හදිසි විශ්‍රාම ලැබීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහුට තවත් මාස 02ක කාලයක් ඉතිරි ව ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේය.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම හදිසි තනතුරු මාරුවට හේතුව ඇලෝෂියස් සමූහ ව්‍යාපාරයේ මත්පැන් නිෂ්පාදන සම්බන්ධයෙන් වූ බදු ප්‍රශ්නයක් බවයි. මෙම ගැටළුව මතුවී ඇත්තේ මීට මාස 02කට පමණ පෙර ය. එම ගැටළුව සමාගමට වාසිසහගත වන ලෙස විසඳන්නැයි දිගින් දිගටම කොමසාරිස් ජනරාල්වරයාට බලපෑම් එල්ල වී ඇති බවත්, ඒ සියලු අවස්ථාවලදී සමන් ජයසිංහ කොමසාරිස් ජනරාල්වරයා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් අදාළ ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ හේතුව නිසා සමන් ජයසිංහ වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (10) සිට සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයෙන් ඉවත් කර, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. මෙම දැනුම්දීමත් සමග වහාම විශ්‍රාම ලැබීමට අදාළ ලේඛන සමන් ජයසිංහ විසින් යොමුකර ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ ඔහු විශ්‍රාම ලබා නැති බවත්, විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගෙන ඇති බවත් ය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන සමන් ජයසිංහ, පසුගිය වසරේ ජනවාරි 03දා සුරාබදු කොමසාරිස් ජනරාල් ධුරයේ වැඩ බාරගත්තේය. ඊට පෙර ඔහු මුදල් අමාත්‍යංශයේත්, රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් කටයුතු කළේය.
ඇලෝෂියස් සමූහ ව්‍යාපාරය විශාල බදු මුදලක් නොගෙවීම හේතුවෙන් ඔවුන්ගේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රට අවලංගු කරන ලදි. ඉන්පසු එම සම්පූර්ණ බදු මුදල ගෙවා අදාළ බලපත්‍රය සමාගම විසින් යළිත් ලබාගත් බව මාධ්‍ය වාර්තා කළේය.
Previous articleපොලිසිය ‘යුක්තිය‘ අවභාවිත කරලා – මානව හිමිකම් කොමිසමෙන් නිවේදනයක්
Next articleමිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here