මාධ්‍යවල ගියේ සංස්කරණය කළ හඬපටයක් ; දිල්රුක්ෂි ඩයස්ගේ වැඩතහනම ඉවතට

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ඇවන්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති සමඟ කළැයි කියමින් ප්‍රසිද්ධියට පත් කළ හඬපටය සංස්කරණය කළ හඬපටයක් බව අනාවරණය වී තිබේ.
මේ බව අනාවරණය වී ඇත්තේ වැඩතහනම් කිරීමට එරෙහිව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට කළ අභියාචනයක් විභාගයට ගත් අවස්ථාවේදීය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර රස පරීක්ෂක ඩබ්ලිව්.ජී.ඩී.අයි ගුණතිලක මහත්මිය මූලික පරීක්ෂණ කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එහි සඳහන් වී ඇත්තේ එම හඬපටය ස්ථාන 10කින් සංස්කරණය කර ඇති බවයි.
විනිසුරු එන්.ඊ දිසානායක, ඒ ඥාණදාසන් සහ ජී.පී අබේකීර්ති යන මහත්වරුන් ඉදිරියේ මෙම අභියාචනය විභාග විය. 2020 ඔක්තෝබර් 05 වැනි දින ලැබී ඇති අභියාචනය විභාග කර තීන්දුව ලබා දී ඇත්තේ 2021 ජූලි 14 වැනිදාය.
පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරය යනු රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ තීන්දුවලට එරෙහිව අභියාචනා කිරීමට ඇති ආයතනයකි.නීතිපතිවරයා විසින් 2019 සැප්තැම්බර් 25 වැනිදාතමින් නිකුත් කරන ලද ලිපියකින් නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් ධුරයේ කටයුතු කරමින් සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ වැඩ තහනම් කරනු ලැබුවාය. එම වැඩ තහනමට හේතු වී ඇත්තේ 2019 සැප්තැම්බර් 20 වැනිදා රූපවාහිනී නාලිකා මගින් සහ යූටියුබ් නාලිකා මඟින් විකාශය කරන ලද හඬපටයකි. ඇවන්ගාඩ් හිමිකරු නිශ්ශංඛ සේනාධිපති මහතා සහ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අතර සිදුවුණ සාකච්ඡාවක් බව කියමින් එම හඬපටය විකාශය කෙරිණි.
2019 සැප්තැම්බර් 25 වැනිදා කරන ලද වැඩතහනම අනුව එදින සිට ඇය 2020 අගෝස්තු 12 වැනිදා තෙක් වැටුප් රහිතව වැඩතහනමට ලක්වී සිටියාය. කෙසේ වෙතත් 2020 අගෝස්තු 12 වැනිදා සිට ඇයට අඩ වැටුප් ගෙවීමට රාජ්‍ය සේවා කොමිසම නියෝග කළේය. ඒ විෂමාචාර සම්බන්ධයෙන් යැයි කියමින් වැඩ තහනම් කර මාස 10ක් තිස්සේ වැටුප් නතර කිරීමට එරෙහිව වික්‍රමසිංහ මහත්මිය ගොනු කළ අභියාචනයක් සැලකිල්ලට ගනිමිනි.
වැඩතහනම් කර වසරක් යන තුරුත් මූලික පරීක්ෂණ කොමිටියෙන් ඇයට එරෙහිව විශේෂ සාක්කියක් සොයාගෙන නොතිබුණු අතර ඇයට එරෙහිව චෝදනාපත්‍රයක් ද නිකුත් කර නොතිබිණි. ඒ අනුව දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය 2020 ඔක්තෝබර් 05 වැනිදා පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරියට අභියාචනයක් ගොනු කර තිබේ.
2019/30 පරිපාලන චක්‍රලේඛය අනුව සංශෝධිත ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 13.2 අනුව වැඩතහනම් කර මාස දෙකක් ඇතුළත මූලික පරීක්ෂණයක් සිදුකර අවසන් කළ යුතුය. වසරකට වැඩි කාලයක් ගතවී තිබුණත් වික්‍රමසිංහ මහත්මියට එරෙහි මූලික පරීක්ෂණය අවසන් වී නොතිබූ බව පරිපාලන අභියාචනා විනිශ්චාධිකාරයට පෙනී ගොස් තිබේ. එමෙන්ම ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 22.1.1 අනුව විෂමචාරයක් සම්බන්ධයෙන් වන චෝදනාපත්‍රයක් ලබාදී මාස හයක් ඇතුළත විනය පරීක්ෂණය පවත්වා අවසන් කළ යුතු වුවද එලෙස සිදුකර තිබුණේද නැත. ඇය අභියාචනයක් ඉදිරිපත් කර තිබියදී අගේ වැඩතහනම අනිවාර්ය නිවාඩු යැවීමක් බවට පත් කරමින් 2020.10.15 වැනිදා රාජ්‍ය සේවා කොමිසම ලිපියක් නිකුත් කර ඇත.
නිශ්ශංක සේනාධිපති සමඟ දුරකතන සංවාදයේ පටිගත කළැයි කියන හඬපටය අසත්‍ය, සංස්කරණය කළ සහ විකෘති කරන ලද්දක් බවට තමාගේ ස්ථාවය සනාථ කෙරෙන මොරටුව විශ්ව විද්‍යාලය විසින් නිකුත් කරන ලද විශේෂඥ වාර්තාවක් ඇතුළුව විශේෂඥ වාර්තා තුනක්  මූලික විමර්ශන කමිටුවට ලැබුණු බව ඇය පරිපාලන අභියාචනා විනිශ්චාධිකරයේ විභාගයේදී සඳහන් කර තිබිණි. එමෙන්ම ඇය යළි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.
මෙම අභියාචනයේදී ඇගේ ස්ථාවරය වී ඇත්තේ තමාගේ වැඩතහනම සහ අනිවාර්ය නිවාඩු යැවීම නීති විරෝධී, නීතියට අනුකූල නොවන ස්වභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි ක්‍රියාවක් බවයි. මෙම අභියාචනය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම ද නිරීක්ෂණ ඉදිරිපත් කර තිබිණි. මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ කමිටු වාර්තාවේ පිටපතක් එම කොමිසම 2021 මාර්තු අටවැනිදා පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරයට ඉදිරිපත් කර තිබිණි.
එමඟින් අනාවරණය වී ඇත්තේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සමඟ කතාකරමින් පටිගත කළ හඬපටය තමා විසින් සංස්කරණය කළ බවට නිශ්ශංක සේනාධිපති මහතා ද මූලික පරීක්ෂණයේදී පිළිගෙන ඇති බවයි.
මූලික පරීක්ෂණ කමිටු වාර්තාවේ නිරීක්ෂණ අංක එක යටතේ සදහන් කර ඇත්තේ අදාල හඬපටය සංස්කරණය කරන ලද්දක් බවයි. නිරීක්ෂණ අංක තුන යටතේ සඳහන් කර ඇත්තේ අභියාචක විෂමාචාරයක් කර ඇති බවට එනිසා නිගමනය කළ නොහැකි බවයි.
එසේ තිබිය දී මූලික පරීක්ෂණයේ තීන්දුවෙන් පසු පසුගිය අප්‍රේල් මාසයේදී රාජ්‍ය සේවා කොමිසම ඇයට චෝදනාපත්‍රයක්ද නිකුත් කර තිබේ.පරිපාලන අභියාචනාධිකාරය විභාගය අවසන් කරමින් සිය දිර්ඝ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහගේ වැඩ තහනම ඉවත් කර ඇය යළි සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිසමට නියෝග කර තිබේ.
(මෙම තීන්දුවේ සම්පුර්ණ පරිවර්ථනයක් බලාපොරොත්තු වන්න.)
Previous articleවේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට සමාජමය මැදිහත්වීමක්
Next articleගුරුවරුනුත් හෙට සිට රාජකාරියට කැඳවයි ; වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා යෑම අවශ්‍ය නෑ – ස්ටාලින්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here