පළිගැනීම් කොමිසම හරහා විධායකය අධිකරණයට බලපෑම් කරලා – විනිසුරු පද්මිණී රණවකගේ නීතිඥවරයා කියයි

දේශපාලන පලිගැනීම් සොයා බැලීම සඳහා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හිටපු විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ලබා දුන් නිර්දේශ නීති විරෝධී සහ අත්තනෝමතික ඒවා බව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී එම් රණවක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිල්ශාන්ත සිරිමාන්න මහතා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම දේශපාලන පළිගැනීම් සෙවූ ජනාධිපති කොමිෂන් සභාව මගින් විධායකය අධිකරණයේ ක්‍රියාදාමයට බලපෑම් කර ඇති බව ද, කොමිසමට පරීක්ෂණ පැවැත්වීමට ලබය ලබා දී තිබුණේ 2015 සිට 2019 වසර දක්වා වූ සිදුවීම් සම්බන්ධයෙන් වුවද දුමින්ද සිල්වාට අදාල සිදුවීම වූයේ 2011 වසරේ බව ද, අදාල අධිකාරී පත්‍රයෙන් කොමිසමට බලය ලබා දී ඇත්තේ කොටස් හතරක නිලධාරීන් සම්බන්ධයෙන් සෙවීමට වුවද දුමින්ද සිල්වා ඉන් එක්කොටසටවත් අයත් නොවන බව ද ප්‍රකාශ කළ නීතිඥ සිරිමාන්න මහතා එම කොමිසම මගින් ලබා දී ඇති නිර්දේශ නීති විරෝධී  බව අවධාරණය කළේය.
නීතිඥවරයා මේ බව ප්‍රකාශ කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් උපාලි බේරත්න හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය. විජිත් කුමාර මලල්ගොඩ, අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගයට ගැණිනි.
පෙත්සම් විභාගය ආරම්භ කරමින් මුලින්ම කරුණු දැක්වීම කළේ විශ්‍රාමික මහාධිකරණ විිනසුරු පද්මිණී එම් රණවක මහත්මිය වෙනුවෙන් නීතිඥ දෙෂාරා ගුණතිලක සමග පෙනී සිටි නීතිඥ නිල්ශාන්ත සිරිමාන්න මහතාය. පද්මිණී එම් රණවක මහත්මියගේ SCFR 27/2021 අංක දරණ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ගණන 38 දෙනෙකි. එහි පළමු වගඋත්තරකාර අදාල ජනාධිපති කොමිසමේ සභාපති මෙන්ම වත්මන් තොරතුරු කොමිසමේ සභාපති ද වන උපාලි අබේරත්න වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ද, නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා ද, පෙත්සමේ 38 වැනි වගඋත්තරකරු වූ අරුමාදුර වින්සන් ප්‍රේමලාල් සිල්වා වෙනුවෙන් (දුමින්ද සිල්වාගේ පියා) ජනාධිපති නීතිඥ අනුජ පේමරත්න මහතා ද ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ පෙත්සම්කාරිය වන පද්මිණී එම් රණවක මහත්මිය 1984 වසරේ සිට 1991 නොවැම්බර් දක්වා නීතිඥවරියක ලෙස කටයුතු කර ඇති අතර 1992 ජනවාරි මස පළමු වැනිදා අධිකරණ සේවයට එක්වී තිබේ.  මහේස්ත්‍රාත්වරියක සහ දිසා විනිසුරුවරියක ලෙස දීර්ඝ කාලයක් රාජකාරි කළ ඇය 2009 ජනාවරි මස පළමු වැනිදා මහාධිකරණ විනිසුරුවරියක ලෙස උසස්වීම් ලබා තිබේ. ප්‍රදේශ කිහිපයකම මහාධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කළ ඇය 2018 වසරේ දෙස්ම්බර් විශ්‍රාම ලබා ගත්තාය. ලංකාවේ ආන්දෝලනාත්මක සිද්ධියක් වන ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් විභාග කළ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සාමාජික විනිසුරුවරියක ලෙස ඇය කටයුතු කළාය. මෙම මූලික අයිතිවාසිකම් නඩුවට පාදක වූ ජනාධිපති කොමිසම ඇය වගඋත්තරකාරියක කර ඇත්තේ එම නඩුවට අදාලවය.
අද පෙත්සම් විභාගයේදී කරුණු දැක්වූ නීතිඥ නිශාන්ත සිරිමාන්න මහතා ප්‍රකාශ කළේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව මෙම සිද්ධියට අදාලව ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කරමින් මහාධිකරණ විනිසුරුවරියට දැඩි අගතිගාමී ලෙස කටයුතු කර ඇති බවයි.
භාරත ලක්ෂමන් ඝාතනය සම්බන්ධ සිද්ධිය විමර්ශනය කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවත්, ඒ අනුව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇති බවත්, අනතුරුව එම නඩුව විමසීම සඳහා පෙත්සම්කාර මහාධිකරණ විනිසුරුවරිය ඇතුළු විනිසුරු මඩුල්ලක් අග්‍රවිනිශ්චයකාරවරයා විසින් පත් කළ බවත් සඳහන් කළ නීතිඥවරයා තම සේවාදායිකාව කළේ නඩු ඇසීම පමණක් බව ද සඳහන් කළාය. ඇය කිසිම අවස්ථාවක සාක්කි එකතු කිරීමට හෝ විමර්ශනවලට සම්බන්ධ වී නැති බව ද නීතිඥවරයා කීවාය.  එසේ තිබියදී උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසම අසත්‍ය සාක්ෂි නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරිය වගකිවයුතු යැයි තීන්දු කර ඇති බවත්, විනිසුරුවරියට, ශානි අබේසේකරට සහ රංජන් රාමනායකට නඩු පැවරිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇති බවත් සඳහන් කළ නීතිඥ සිරිමාන්න මහතා අවධාරණය කළේ මෙය විධායකය අධිකරණමය ක්‍රියාවලියකට අත පෙවීමක් බවයි.
සාක්කි 137ක් කැඳවීමෙන් පසු මහාධිකරණයේ බහුතර විනිසුරු මඩුල්ලක් විසින් දුමින්ද සිල්වාට   මරණ දඬුවම ලබා දෙමින් පිටු 532ක තීන්දුවක් ප්‍රකාශයට පත් කළ බව ද,  එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලකින් ස්ථිර කළ බව ද, එසේ තිබියදී ජනාධිපති කොමිෂන් සභාව විසින් පෙත්සම්කාර විනිසුරුවරිය ඇතුළු තිදෙනකු වගඋත්තරකරුවන් කරමින් තීන්දුවක් ලබාදී ඇති බව 2021 ජනවාරි පළමු වැනිදා පළවූ ‘දුමින්ද සිල්වාට සහනයක්! – රන්ජන්, ශානී  සහ පද්මිනීට චෝදනා!! – ජනාධිපති කොමිසම නිර්දේශ කරයි‘ යන ප්‍රවෘත්ති වෙබ් අඩවි වාර්තාවෙන් දැන ගත් බව ද නීතිඥවරයා කීවේය.
තමාට එරෙහිව මෙවැනි චෝදනාවක් ගැන කිසිම අවස්ථාවක අදාල කොමිසම ඇය දැනුම්වත් කර නැමැති බවත්, මෙවැනි කටයුත්තකදී පැමිණිල්ල චෝදනාලත් තැනැත්තාට ලබාදී ඊට පිළිතුරු දීමට අවස්ථාව ලබා දිය යුතු බවද, ඊට අදාල සාක්කිකරුවන්ගෙන් හරස් ප්‍රශ්න  කිරීමට අවස්ථාව ලබා දිය යුතු බව ද, අදාල චෝදනා ලත් තැනැත්තා වෙනුවෙන් නීතිඥ නියෝජනයකට අවස්ථාව ලබා දිය යුතු බව ද, එසේ තිබියදී අඩු තරමේ තමාට එරෙහිව චෝදනාවක් තිබෙන බවවත් කොමිසමෙන් දැනුම්දීමක් කර නැති බව ද නීතිඥවරයා සඳහන් කළේය. මෙය ඉතා බරපතල තත්ත්වයක් බවත්, නරක තත්ත්වයක් බවත් ඔහු කීවේය. මෙම කොමිසමේ සභාපතිවරයා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු බවත්, ඔහු මේවා ගැන නොදැන මෙලෙස කටයුතු කළා විය නොහැකි බවත් ඔහු කීවේය.
පෙරවරු 11.00 සිට පස්වරු 12.30 පමණ වන තෙක් පැය එක හමාරක පමණ දීර්ඝ කරුණු දැක්වීමක් කළ නීතිඥ නිශාන්ත සිරිමාන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ කොමිසම දුමින්ද සිල්වාගේ පැමිණිල්ල බාර ගැනීමම ගැටලුවක් බවයි. පැමිණිල්ලට අදාල කාලසීමාව අධිකාරී පත්‍රයේ සඳහන් කාලසීමාවට පෙර කාලයක් බවත්, පැමිණිලිකරු අධිකාරී පත්‍රයේ සඳහන් කොටස්වලට නොවැටෙන බවත් ප්‍රකාශ කළ නීතිඥවරයා අදාල කොමිසමේ මෙම කටයුත්ත නීති විරෝධී, අත්තනෝමතික සහ ස්වභාවික යුක්තියේ මූලධර්ම උල්ලංඝනය කිරීමක් බව ද කීවේය.
මෙම කොමිසමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ ජනක බණ්ඩාර මහතා අභියාචනාධිකරණයේ ගොනු කළ CA (WRIT) 173/2021 නඩුවේ තීන්දුවත්, ධර්මරත්න එදිරිව සමරවීර, සිරිසේන කුරේ එදිරිව තිස්ස ඩයස් බණ්ඩාරනායක, සුදාකරන් එදිරිව භාරතී, පරමේෂ්වරන් ජයදේවන් එදිරිව නීතිපති වැනි නඩු තීන්දු ගණනාවකින් කරුණු ගෙන හැර දක්වමින් නීතිඥ නිශාන්ත සිරිමාන්න මහතා දීර්ඝ කරුණු දැක්වීමක් සිදු කළේය.
එම දැක්වීමෙන් පසු වැඩිදුර විභාගය හෙට (15) උදේ 10.30 තෙක් කල් තැබිණි.
දේශපාලන පිළිගැනීම් සෙවූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීන්දුවලට එරෙහිව පද්මිණී එම් රණවක විනිසුරුවරියට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, හිටපු නාවික හමුදාපති ටැවිස් සින්නයියා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අද්මිරාල් තුසිත් වීරසේකර, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ ආනන්ද විජේපාල යන පිරිස මූලික අයිතිවාසිකම් නඩු පවරා තිබේ.
මෙම කොමිෂන් සභාවේ නිර්දේශවලින් පසු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දුමින්ද සිල්වා හට ජනාධිපති සමාව ලබා දුන් අතර පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය එම ජනාධිපති සමාව අහෝසි කිරීමට නියෝග කළේය. මේ සම්බන්ධයෙන් ද මහාධිකරණ විනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දැක්වීය.
අදාල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව තොරතුරු ඉල්ලීමකට අදාලව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී පැවැති RTIC/Appeal/552/2023 අභියාචනයේදී පැමිණි එකඟතාවය මත ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මුදා හරිනු ලැබීය. අදාල වාර්තාවේ දෙවැනි වෙළුමේ දුමින්ද සිල්වා සම්බන්ධයෙන් ඇති 704 පිටුවේ සිට 720 දක්වා පිටු පහත දැක්වේ. මෙම වෙළුම් මුදා හැරීමට අදාල අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී තොරතුරු කොමිසමේ සභාපති උපාලි අබේරත්න හට එය විමසීමට හැකියාවක් නැති බවට අභියාචක විරෝධය පළ කළ අතර අදාල තොරතුරු මුදා හැරීමට ජනාධිපති ලේකම් කාර්යාලය එකඟ වූ පසු ඇතැම් තොරතුරු මුදා හැරිය නොහැකි බවට උපාලි අබේරත්න මහතා ප්‍රකාශ කිරීමත් එම ප්‍රකාශයෙන් පසු ජනාධිපති ලේකම් කාර්යාලය එකඟතාවය කඩ කරමින් සාක්කි සටහන් සහිත වෙළුම් මුදා නොහැරීමත් සම්බන්ධයෙන් තොරතුරු කොමිසමට පැමිණිල්ලක් ද කර තිබේ. එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ තොරතුරු ලබානොදීම සහ ලබාදීම වැලැක්වීම සම්බන්ධයෙන් තොරතුරු පනතේ 39 වැනි වගන්තිය යටතේ නිසි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලෙසයි.
Previous articleකොස්තාපල්ට බොරු නඩු පැවරූ ඒඑස්පී, ඕඅයිසී ඇතුළු පොලිසියේ හතරකට පුද්ගලික මුදලින් වන්දි ගෙවන්න නියෝග
Next articleපොලසියේ තිදෙනෙක් පුරවැසියකුගෙන් දණ නමා වැඳ සමාවගනී ; අධිකරණයෙන් දැඩි අවවාද

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here