පන්තියක සිසුන් 35ක් පමණයි – ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරන අධ්‍යාපන බලධාරීන්ට නීතිය වලංගු නැද්ද ?

(ශාලික විමලසේන)
අධ්‍යාපනඥයන් අවධාරණය කරන ආකාරයට පාසලක එක් පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35 කි. ඊට හේතුව පන්ති කාමරවල තදබදය අවම කිරීම වැදගත්ම කාරණය වීම ය. මේ නිසා මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ද ඒ කරුණ තහවුරු කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

289/2007, 235/2011, 232/2011 යන අංක දරන නඩු තීන්දු එකක් ලෙස ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ 2016 වසරේ සිට පන්තියක සිටිය යුතු මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් විය යුතු බවයි. මෙවැනි නඩු තීන්දුවක් තිබුණද, ජාතික පාසල් බොහොමයක පන්තිවල ඊට වැඩි සංඛ්‍යාවක් සිසුහු සිටිති.
එපමණක් ද… අංක 14/1745/580/060 දරන අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකාවෙන් ද ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය තහවුරු කර තිබේ. ඉන්පසු ඊට අදාළව 23/2013/2 දරන චක‍්‍රලේඛයක් ද නිකුත් කර තිබේ. මේ සියල්ලට අනුව, එනම් නීතියට අනුව වැඩ කරන්නේ නම් දැන් පාසලක එක වසරට ළමුන් 35කට වඩා ගත නොහැකිය.

ඒ ආණ්ඩුවේ උපාය

පසුගිය ආණ්ඩුව ද මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උල්ලංඝනය කළේය. මේ ආණ්ඩුවත් කරන්නේය. ඔවුන් කිසිවෙකුට දරුවන්ට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය නැත. ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වැදගත් නැත. 2015 ඔක්තෝබර් 21 වැනිදා එවකට පැවැති කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තේය. 15/1490/742/003 අංක දරන ඒ කැබිනට් තීන්දුවට අනුව එක වසරට ළමුන් 40ක් ගත හැකිය. ඒ 2016 වසරේදී ය. එය ලස්සන ව්‍යාපෘතියකි. අධිකරණයෙන් ද ගැලවී තමන්ගේ වැඩේ ද කරගන්නට හැදූ ව්‍යාපෘතියකි. 2016 දී 40 ක්, 2017 දී 39 ක්, 2018 දී 38 ක්, 2019 දී 37 ක්, 2020 දී 36 ක්, 2021 දී 35 ක් ලෙස එක වසරට ගන්නා ළමුන් සංඛ්‍යාව අඩු කරන්නට එමගින් තීරණය කෙරිණි. ලංකා ගුරු සංගමය මගින් මීට එරෙහිව මානව හිමිකම් කොමිසමේ HRC/398/16 දරන පැමිණිල්ලක් ද සිදු කළේය.

අධ්‍යාපන ලේකම්ගේ පෙර මතය

වර්තමාන ආණ්ඩුව පත්වූ පසුව මුලදී අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළව පන්ති කාමරයක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35ක් බවට පිළිගත්තේය. 2016 වසරේ සිට ක්‍රියාත්මක පෙර සඳහන් කළ චක‍්‍රලේඛයට අනුව 2021 වසරේ දී පන්තියකට ඇතුළත් කර ගත යුතු සිසුන් සංඛ්‍යාව 35ක් විය. අධ්‍යාපන අමාත්‍යශංයේ වර්තමාන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් 2020 දෙසැම්බර් 04 දිනැතිව නිකුත් කළ ඊඩී/12/11/02/02 ලිපිය මගින් ද 2021 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමුන් සංඛ්‍යාව 35ක් බව අවධාරණය කෙරිණි.

මාස පහකදී මතය වෙනස් වෙයි

නමුත් තමන්ගේම ස්ථාවරය වෙනස් කරමින් පසුගිය මැයි 31 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පුවත්පත් නිවේදනයක් නිකුත් ක⁣ළේය. ඒ 2022 වසරේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීම⁣ට අදාළ විධිවිධාන හා උපදෙස් නිකුත් කරමිනි. එ් අනුව පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 35ක් නොව 40ක් බවට ප්‍රකාශ කෙරිණි. ඒ අතරින් සිසුන් 35ක් සම්මුඛ පරීක්ෂණ මගින් ද, 5ක් ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සාමාජිකයන්ගේ ළමයින් අතරින් ද තෝරා ගැනීමට තීරණය වී ඇත.
සිසුන්ගේ මව්පියන් පක්ෂ-පාට අනුව බෙදී සිටියද, මෙවැනි කටයුතු මගින් පෙනීයන්නේ පාසල් ආධිපත්‍යය වෙනුවෙන් සියලු ආණ්ඩු එකාවන්ව කටයුතු කරන බවයි. ඔවුන්ට සිසුන්ට සාර්ථක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ ජනප්‍රිය පාසල් ආධිපත්‍යය තවදුරටත් තහවුරු කිරීමට ය. සිසුන් පීඩාවට පත්කරමින්, අධ්‍යාපනඥයන් පවසන කරුණුවලට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට ද පටහැනිව යමින් මේ කරන්නේ ඒක ය. වර්තමාන අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට මාස පහක් තුළ තම මතය වෙනස් කරන්නට සිදුවූයේ ඒක ය.

ඔබ තවදුරටත් වාද කරන්න !

සැමට සමාන අධ්‍යාපනයක් ලබාදෙන බවටත්, සියලු පාසල්වලට සමාන පහසුකම් ලබාදෙන බවටත් මැතිවරණවලදී ලබාදෙන පොරොන්දු නිකම්ම වචන පමණි. ඔබ තවදුරටත් පක්ෂ-පාට ලෙස බෙදී වාද කරමින් සිටියදී, ඔවුන් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් එකමුතුව කටයුතු කරමින් සිටී. අඩු තරමේ ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග පවා එහිදී වලංගු නැත. ඒවා අධිකරණයට අපහාස කිරීම් නොවන්නේද? පක්ෂ-පාට ලෙස බෙදී වාද කරන ඔබට අධිකරණයේ නියෝගයක් මෙසේ නොසලකා හැරිය හැකිද?
Previous articleසෞඛ්‍ය සේවක අරගලය මර්දනය කිරීම කණගාටුදායක තත්ත්වයක් – වැඩ කරන ජන බලය
Next articleදූෂකයා ගෙවීමේ මූලධර්මය යටතේ වන්දි අයකරගන්න : එක්ස්ප්‍රස් පර්ල් විනාශයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here