වේදිකාව ඔවුන්ගේ වුවත්, එය පවතින්නේ අප නිසාය – සමාජ මාධ්‍ය නියාමනයට සමාජමය මැදිහත්වීමක්

(කෝවිද ගුණසේකර)
සමාජ මාධ්‍ය නියාමනයට මීට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකළ යුතුවන බවට රජය ඉඟි පළකරමින් සිටින වාතාවරණයක, එය රජය හෝ අදාළ සමාජ මාධ්‍ය වේදිකාවේ වගකීමක් නොව, පොදුවේ සමස්ත සමාජයේ වගකීමක් ලෙස සැළකිල්ලට ගැනීමත්, සමාජ මාධ්‍යවල පැවැත්මට ඉතාම වැදගත් වන- පරිශීලකයන් ඒවා මත තබා තිබෙන විශ්වාසය ඒ සඳහා අවියක් ලෙස යොදාගැනීමට හැකි ආකාරයත් මෙම ලිපියෙන් ගවේෂණය කෙරේ.
සාම්ප‍්‍රදායික මාධ්‍ය අභිබවා සමාජ මාධ්‍ය ඉදිරියට එමින් සිටින බවට අනාවැකි පළවෙමින් ඇත. වර්තමානයේ පෞද්ගලික මට්ටමින් සබඳතා පවත්වාගැනීමේ සිට, මහා පරිමාන ව්‍යාපාර කටයුතු සිදුකිරීම සහ මෙහෙයවීම දක්වා සමාජ මාධ්‍ය භාවිතාවන් පුළුල්වී සහ දියුණු වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස තවදුරටත් මෙකී සමාජ මාධ්‍ය වේදිකාවන් එකිනෙකා මුණගැසීමට අවස්ථාව සළසා දෙන්නන් නොව, ඩොලර් බිලියන ගණනින් අරමුදල් ඇති මහා සමාගම් බවට පත්ව ඇත.
සමාජ මාධ්‍යවල නැගීමත් සමග ලොවේම අවධානයට ලක්ව තිබෙන කාරණයක් ඇත. එය නම්, සමාජ මාධ්‍ය ඔස්සේ පරිශීලකයාට ලබාදෙන නිදහස, අවභාවිතා කිරීමේ ඉඩකඩක් පැවැතීමත්, එසේ අවභාවිතා කිරීම හරහා තවත් අයෙකුට හෝ ජන කොට්ඨාසයකට හෝ ඇතැම් විට මුළු රටකට හෝ හානි සිදුවීමේ අවදානමක් පැවැතීමත් යන්නය. අන්තර්ජාතික මට්ටමින් ගත්විට මෙහිලා ආසන්නතම උදාහරණය වන්නේ ගෙවුණු ඇමරිකා ජනපතිවරණ සමයේ දී, වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදුණු මැරයන් එම ස්ථානයේ කලබලයක් සිදුකිරීම වේ. ඔවුන් සියලූදෙනා පණිවුඩ හුවමාරු කරගෙන සහ සම්බන්ධීකරණය පවත්වාගෙන ගොස් තිබුණේ සමාජ මාධ්‍ය වේදිකාවන් හරහාය. ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශයට පත්කර තිබූ එම ඇතැම් දේවල්, ඉවත් කිරීමට කටයුතු නොකළේ යැයි සමාජ මාධ්‍ය වේදිකාවලට දැඩි චෝදනා එල්ල විය.
තවෙකෙකු ගැන වැරදි මතයක් ඇති කරගැනීමට හෝ තවකෙකුට හානියක් සිදුකිරීමට කෙනෙක් පොළඹවන, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පෝස්ට්, පුවත්, සහ වෙනත් තොරතුරු ආදිය ප‍්‍රධාන කාණ්ඩ 2කට යටත් කළ හැකිය. ඒවා වන්නේ 1. වෛරී කථනය සහ 2. දුස් තොරතුරුය. වෛරී කථනය ගැන කෙටි පැහැදිලි කිරීමක් සිදුකළහොත්, කිසියම් අනන්‍යතාවයක් පදනම් කරගනිමින් තවත් පුද්ගලයෙක් හෝ ජන කොට්ඨාසයක් හෝ සම්බන්ධයෙන් වෛරය ජනිත කැරවෙන, ඔවුන්ට හානි සිදුකිරීම සදහා තවකෙක් කුළු ගන්වන, ප‍්‍රචණ්ඩකාරීත්වය කුළු ගන්වන, ප‍්‍රකාශයන් වෛරී කථනය යටතට ගැනේ. ඒ අතර අනෙක් පසින්, දුස් තොරතුරු වන්නේ වුවමනාවෙන්ම තවත් කෙනෙකු නොමග යැවීමත්, වැරදි මතයක් ඇති කරවීමටත්, අරමුණු කරගෙන හුවමාරු කරගැනෙන තොරතුරුය.
සාම්ප‍්‍රදායික මාධ්‍ය ඔස්සේ වෛරී කථනය හෝ දුස් තොරතුරු හුවමාරු වන ඇතැම් අවස්ථා පවතින්නේ වුවත්, එම මාධ්‍යයන් බොහෝ විට කි‍්‍රයාත්මක වන්නේ දේශීය සන්දර්භයක් යටතේ (රටක් ඇතුළත* නිසා ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට පුරවැසියන්ට අවස්ථාව ඇත. නමුත් සමාජ මාධ්‍ය කි‍්‍රයාත්මක වන්නේ එම සමාගම්වල හිමිකරුවන්ගේ අවශ්‍යතා උපරිම අයුරින් ඉටුකැරෙන ආකාරයට සකස් වුනු වේදිකාවක් මත නිසා, සෘජු මැදිහත්වීමකට පරිශීලකයන්ට පමණක් නොව රජයන්ට පවා හැකියාවක් නොමැත.

සමාජ මාධ්‍ය නියාමනය

සමාජ මාධ්‍ය නියාමනය යනු ආන්දෝලනාත්මක මාතෘකාවකි. ඉහත සඳහන් කළ අයුරින්, වෛරී කථනයට සහ දුස් තොරතුරු ප‍්‍රචාරණයට අවස්ථාව සළසා දෙන බැවින්, සමාජ මාධ්‍ය නියාමනයක් සිදුකළ යුතුව ඇතැයි හඩක් නැගෙමින් පවතින අතරවාරයේම, අනෙක් පසින් නැගෙන්නේ එසේ කළහොත් මිනිසාගේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතියට සීමා පැනවෙන බවට වන විරෝධයයි. මෙම කාරණා සැළකිල්ලට ගනිමින් ෆේස්බුක්, ට්විටර්, යූටියුබ් වැනි ප‍්‍රකට සමාජ මාධ්‍යයන් ඒවායේ ලියාපදිංචි වන පරිශීලකයන් අනුගමනය කළ යුතුවම වන මාර්ගෝපදේශයන් මාලාවක් හඳුන්වාදී තිබෙන අතර, ඒවායින් බොහෝ දුරට වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළ කරුණු ආවරණය වේ. එමෙන්ම, ඇතැම් රටවල රජයන් ද, සමාජ මාධ්‍ය නියාමනයට අදාළ නීති හඳුන්වා දී, ඇත.
සමාජ මාධ්‍ය හඳුන්වාදී තිබෙන මාර්ගෝපදේශයන් යටතේ ඔවුන් තම තමන්ව නියාමනය කරගැනීම ස්වයං නියාමනය ලෙස හැඳින්වේ. මෙහිදී බොහෝ විට සිදුවන්නේ එම වේදිකාවන් හරහා හුවමාරු කරගනු ලබන විවිධ දේ, කෘතිම බුද්ධි පද්දතීන් හරහා විශ්ලේෂණය කර, වෛරී කථනයට හෝ දුස් තොරතුරුවලට අදාළ කරුණු ඇත්නම් ඒවා ඉවත් කිරීමයි. මෙය යම් ආකාරයක සාර්ථකත්වයක් අත්කරගෙන ඇතත්, වේගයෙන් හුවමාරු වන යම් පුවතක් හෝ පෝස්ටුවක් වේ නම් සහ එහි දුස් තොරතුරු හෝ වෛරී කථනයට අදාළ යම් දේවල් වේ නම්, එය ඉවත් කරගැනීම කඩිනමින් සිදුනොවේ. එසේ වන්නේ යමක් වේගයෙන් හුවමාරු වේ නම් එය තව තවත් වේගවත් කරන අයුරින් මෙකී සමාජ මාධ්‍යවල ඇල්ගොරිදමයන් නිර්මාණයව තිබීමයි. එවන් අවස්ථාවක පරිශීලකයන්ගේ පැමිණිලි මත පදනම්ව කි‍්‍රයාත්මකවීමට සමාජ මාධ්‍යයන්ට සිදුවේ.එම කි‍්‍රයාවලිය අදියරෙන් අදියර ඉදිරියට යන විට (විශේෂයෙන්ම එම කි‍්‍රයාවලිය අතරතුර පෙරකී හානිකර පුවත හෝ තොරතුර ඉවත් නොකෙරන බැවින්* සිදුවන්නට තිබූ හානිය සිදුව තිබීමේ වැඩි ඉඩක් ඇත.
මෙම අඩුපාඩුව මගහැරීම සදහා රජයන් කර තිබෙන මැදිහත්වීම රාජ්‍ය නියාමනය ලෙස හැඳින්විය හැකිය.එය ආකාර දෙකකි. සරලව ගතහොත්, පළමුවැන්න වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී කථනයට අදාළව ගතහැකි පෝස්ටු හෝ පණිවුඩ හුවමාරු කරගන්නා සහ දුස් තොරතුරු ගණයට වැටෙන තොරතුරු බෙදාගන්නා පරිශීලකයන්ට එරෙහිව රටේ පවත්නා නීතිවලට අදාළව පියවර ගැනීමය. දෙවැන්න නම්, එසේ හුවමාරු වූ වෛරී කථනයට හෝ දුස් තොරතුරුවලට අදාළ යමක් වේ නම් එය ඉවත් කර නොගැනීම සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය වේදිකාවට එරෙහිව පියවර ගැනීමය. මෙම දෙආකාරය සම්බන්ධයෙන්ම ප‍්‍රබල විවේචනයන් පවතී. පරිශීලකයාට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට යාමෙන් ඔහුගේ හෝ ඇයගේ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීමට බාධාවක් පැමිණෙන බවට ප‍්‍රබල තර්කයක් ඇත. එයට තවත් පදනම සපයා තිබෙන්නේ රජයන්, පොදුවේ එසේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට පෙළෙඹෙන්නේ සිය ප‍්‍රතිරූපය පවත්වාගැනීම සඳහාය යන කාරණයයි. අනෙක් අතට සමාජ මාධ්‍ය වේදිකාවට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට යාමද, බොහෝ අවස්ථාවන්හි ඵල රහිත කාර්යයක් බවට හදුනාගන්නට ඇත. උදාහරණයක් ගතහොත්, ඉන්දියාවේ බලාත්මක අයිටීඒ පණත යටතේ, 2020 වසරේ මුල් භාගයේ දී, දිල්ලි නුවර කෝලහාලයන්ට තුඩුදුන්, වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළ පුවත් සහ තොරතුරු ඉවත් කරනොගැනීමට කටයුතු නොකළේ යැයි, ෆේස්බුක් සමාගමේ ඉන්දියා උප සභාපතිවරයාට කමිටුවක් හමුවට පැමිණ කරුණු ඉදිරිපත් කරන්නැයි නියෝග නිකුත් කෙරුණත් ඔහු එම නියෝගය පිළිපැද්දේ නැත. මේ ආකාරයේ උදාහරණයක් එක්සත් රාජධානියෙන් ද, ගත හැකිය.

සමාජ මාධ්‍ය නියාමනය – සමාජ වගකීමක් ලෙස

මෙම දෙආකාරයෙන්ම සමාජ මාධ්‍ය නියාමනය කිරීම, විශේෂයෙන්ම වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළව, සාර්ථකව සිදුකළ හැක්කක් නොවන බව පැහැදිලිය. එසේ නම් ඒ සඳහා විකල්ප වඩාත් නිවැරදිව කියතොත් මධ්‍යස්ථ මාර්ගයක් අනුගමනය කිරීම වඩා සුදුසු වනු ඇත. සමාජ මාධ්‍ය නියාමනය සමාජ වගකීමක් ලෙස භාර ගැනීම එම විකල්පය විය හැකිය. සමාජ මාධ්‍ය පවතින්නේ, සමාජය ඒවා කෙරෙහි තබා ඇති විශ්වාසය මතය. එම විශ්වාසය අවියක් ලෙස යොදාගනිමින්, සමාජ මාධ්‍ය නියාමනය කිරීමට සමාජයටම අවස්ථාව ඇත.
මේ සඳහා කදිම උදාහරණයක් මෑතකදී වූ සිදුවීමකින් ගත හැකිය. 2021 වසරේ අපේ‍්‍රල් මාසයේ දී, එක්සත් රාජධානියේ ප‍්‍රමුඛ පෙලේ පාපන්දු සංගම් සහ කී‍්‍රඩකයන් දින 4ක් පුරාවට සියලූම සමාජ මාධ්‍ය වේදිකාවන් වර්ජනය කළේ ය. සමාජ මාධ්‍ය ඔස්සේ කී‍්‍රඩකයන්ට එල්ලවන ජාතිවාදී සහ වර්ගවාදී ගැරහුම් සම්බන්ධයෙන් විරෝධය දැක්වීම එම වර්ජනයේ අරමුණ වූ අතර, පසුව මෙම විරෝධය සමග කලාපීය වශයෙන් කි‍්‍රයාත්මක වන පාපන්දු සංගම් ද, එකතු විය. මේ හමුවේ, නිවේදනයක් නිකුත් කිරීමට ෆේස්බුක් සහ ට්විටර් සමාගම්වලට සිදුවූ අතර, තම වේදිකාවන්වල ප‍්‍රචාරය වන දේවල් සම්බන්ධයෙන් තමන් කරන නියාමනය මීට වඩා සංවර්ධනය කරගැනීමට කටයුතු කරන බවට ඔවුන් පොරොන්දු විය.
මේ ආකාරයට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ මැදිහත්වීම හරහා සමාජ මාධ්‍ය නියාමනය වන තැනට ගෙන ඒමට හැකියාව ඇත. ඒ සඳහා නිසි සම්බන්ධීකරණයක් සහ සැළසුමක් අවශ්‍ය වේ. එවැන්නක් පවතින තැන සමාජ මාධ්‍ය, පරිශීලකයාගේ පොදු අවශ්‍යතාවය අනුව හසුරුවා ගැනීමට අවස්ථාව ඇත. ඒ මන්ද යත්, පණිවුඩ හුවමාරුවේ සිට අන්තර්ජාල වෙළදපොලක් සහ ව්‍යාපාර කටයුතු සිදුවන තැනක් බවට සමාජ ජාල පත්ව තිබෙන තත්ත්වයක, පරිශීලකයාගේ විශ්වාසය ඔවුන්ට අතිශයින් වැදගත් වන නිසාය.

ශී‍්‍ර ලංකාවට වඩාත්ම ගැලපෙන ක‍්‍රමය කුමක් ද?

ශී‍්‍ර ලංකාවේ සමාජය ප‍්‍රබල ලෙස බෙදී පවතින්නකි. තරුණ කැරලි, ජන සංහාර සහ පසුව වසර 30ක් පුරා දිවූ වාර්ගික යුද්දයක්, එය තවත් තීව‍්‍ර කර ඇත. රටේ දේශපාලන ක‍්‍රමය අඩුවැඩි වශයෙන් ගොඩනැගී තිබෙන්නේ ද, මෙකී බෙදීම මත පිහිටාය. එවැනි තත්ත්වයක වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට වැට බැදීම අතිශයින්ම දුෂ්කර කාර්යයකි. එය විශේෂයෙන්ම, ඒවායින් දේශපාලනමය හෝ වෙනත් වාසි හෝ ලබාගන්නා පිරිසක් ද, අඩුම තරමින් තමන්ගේ මතය නියෝජනයවීමක් සිදුව ඇතැයි හෝ සිතන පිරිසක් ද, සිටින බැවින්ය.
පෙර සඳහන් කළ ආකාරයට සමාජ මාධ්‍ය මගින්ම ශී‍්‍ර ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර හුවමාරු වන වෛරී කථනයට අදාළ සහ දුස් තොරතුරුවලට අදාළ පොස්ට් සහ පණිවිඩ ඉවත් කිරීමට කටයුතු කිරීම, එනම් ස්වයං නියාමනයක් සිදුකිරීම, එතරම් සාර්ථක නැත. එසේ වන්නේ සමාජ මාධ්‍යවල ස්වයං නියාමනයට දායක කරගෙන සිටින කෘතිම බුද්ධි වැඩසටහන්වලට අවශ්‍ය තරම් දත්ත ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවේ සමාජ මාධ්‍ය පරීශීලකයන්ගෙන් නොලැබීමය. එසේය, වර්තමානයේ සමාජ මාධ්‍යවල කෙරෙන පළකිරීම් බොහෝ විට නියාමනය වන්නේ කෘතිම බුද්ධි වැඩසටහන් හරහාය. අනෙක් රටවලට සාපේක්ෂව ශී‍්‍ර ලංකාව යනු ඉතා කුඩා වෙළදපලක් වන අතර, එනිසාම මෙරට කෙරේ සමාජ මාධ්‍ය සමාගම් දක්වන උනන්දුව අඩුය. මෙම තත්ත්වයට තවත් ඌණ පූර්ණයක් සපයා තිබෙන්නේ මෙරට බොහෝ පරිශීලකයන් සිය මව් භාෂාව වන සිංහලෙන් හෝ දෙමළෙන් පණිවුඩ සහ තොරතුරු හුවමාරු කරගැනීමට හුරුව සිටීමත්, ඒවා තේරුම් ගැනීමට ඉහත කී කෘතිම බුද්ධි වැඩසටහන් අපොහොසත්වීමත් ය. මෙම කාරණය ගෙවුණු 2017 වසරේ ගිංතොට ප‍්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජනකොටස් අතර සිදුවූ ආරවුලෙන් පසුව අනාවරණය වූවකි. තවද, සමාජ මාධ්‍ය වේදිකාවන්, ඔවුනොවුන්ම හඳුන්වාදී තිබෙන මාර්ගෝපදේශයන් ප‍්‍රකාරව කටයුතු නොකිරීමත්, හානිකර යැයි පරිශීලකයන්ම පෙන්වා දී, තිබෙන ඇතැම් පෝස්ට සහ පණිවුඩ ඉවත් කිරීමට ප‍්‍රමාදවීමත් (විශේෂයෙන්ම එවැනි දේවල් ඉවත් කෙරෙන්නේ කොතරම් කාලකට පසුවද යන්න ගැන පැහැදිලි සඳහනක් නොතිබීම* සහ විනිවිදභාවයක් නොතිබීම- විශේෂයෙන්ම ඉවත් කරන්නැයි ඉල්ලා සිටින යම් පෝස්ටුවක් හෝ පණිවුඩයක් ඉවත් නොකර සිටීමත්, එසේ කිරීමට පැහැදිලි හේතු නොදැක්වීමත්, ශී‍්‍ර ලංකාවේ සමාජ මාධ්‍ය ස්වයං නියාමනයට ඉඩ දී, තිබීම එතරම් සුදුසු දෙයක් නොවිය හැකිය.
භාෂා ගැටලූව සම්බන්ධයෙන් යම් මැදිහත්වීමක් සිදුකිිරීමට මෙම ආයතන මේ වන විට කටයුතු කර ඇත. නමුත් පවත්නා තත්ත්වය සහ මෙකී ආයතන දැනට කි‍්‍රයාත්මක වෙමින් සිටින ආකාරය සැළකීමේ දී, එය ප‍්‍රමාණවත් නැත.
එසේ නම් විසදුම සමාජ මාධ්‍ය නියාමනය රජයට භාරදීම ද?, එයත් දෙවරක් සිතා බැලිය යුතු දෙයකි. අන්තර්ජාලයේ පළකරන පුවත් සහ හුවමාරු කරගන්නා පණිවුඩ සම්බන්ධයෙන් පියවර ගත හැකි නීති කිහිපයක්ම ශී‍්‍ර ලංකාවේ පවතී. දණ්ඩ නීති සංග‍්‍රහය, පරිගණක අපරාධ පණත, ත‍්‍රස්ත මර්දන පණත සහ අයිසීසීපීආර් පණත, යනු ඒවාය. මෙම පණත් සියල්ලම බලපැවැත්වෙන්නේ පරිශීලකයා මත මිස සේවාව සපයන සමාගම මත නොවන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වේ. සේවාව සපයන සමාගම මත බලපැවැත්වෙන ආකාරයට නීති සම්පාදනය කිරීමට හැකියාව ඇතත්, ඒවා කොපමණ මට්ටමකින් සාර්ථක වනු ඇතිද යන්න ගැටලූවකි. එයට හොඳ උදාහරණයක් මෙම ලිපියේ මුලින්ම සදහන් කර ඇත. එසේ වූයේ විශාල සහ බලවත් රටක් වන ඉන්දියාවටය.
ඉහත සඳහන් කළ අපගේ දැනට පවතින පණත් සමාජ මාධ්‍යවල පළවන පෝස්ට් සහ පණිවුඩවලට සෘජුවම අදාළ කරගත නොහැකි වුවත්, එම පණත්වල වපසරිය යටතට ඒවා අදාළ කරගැනීමට හැකියාව ඇත. නමුත්, කැපී පෙනෙන දෙය වන්නේ මෙකී පණත් මෙතෙක් භාවිතා කර තිබෙන්නේ තෝරාගත් පුද්ගලයින්්ට නීතිය කි‍්‍රයාත්මක කිරීමට පමණක් බවය. මෑත සමයේ ශී‍්‍ර ලංකාවේ සිදුවූ ජාතීන් අතර ගැටුම් කිහිපයකට සම්බන්ධ යැයි සැක කෙරුණු පුද්ගලයින්ට එරෙහිව මෙම පණත් යටතේ චෝදනා ගොනු කිරීමක් සිදුනොවුණු තරම් වේ. එසේ හෙයින්, ප‍්‍රබල ලෙස බෙදීමක්- ආගමික වශයෙන්, භාෂාමය වශයෙන් සහ ජාතිකමය වශයෙන්, පවතින ශී‍්‍ර ලංකාවේ සමාජ මාධ්‍ය නියාමනය සම්පූර්ණයෙන්ම රජය අත තැබීම නැවත සිතා බැලිය යුත්තකි. අනෙක් අතට, රජය පිහිටුවා තිබෙන ස්වාධීන නියාමන ආයතනයන් පවා, උදා- විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, කි‍්‍රයාත්මක වන බවක් පෙනෙන්නේ පාලනයේ සිටින රජයේ අභිමතය අනුවය. සරලවම, රජයක් උනන්දු වන්නේ සිය ප‍්‍රතිරූපය පවත්වා ගැනීමටය යන්න මෙහිදී අවධානයට ගත යුතුමය.
මෙම ක‍්‍රමවේද දෙකෙහිම පැහැදිලි ගැටලූ පවතින හෙයින්, වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට වැට බැදීම සදහා අපට වඩාත්ම සුදුසු වන්නේ සමාජමය මැදිහත්වීමක් සිදුකිරීම බව තවදුරටත් පැහැදිලි වේ. එහිලා, අවධානය යොමුකළ යුතු කරුණු කිහිපයක් ඇත.
සමාජ මාධ්‍යවල පළවන දේ නියාමනයට වගකීම මත පදනම් වන සමාජමය මැදිහත්වීමක්
මෙතෙක් මෙම ලිපියෙන් අවධානයට ගත් කාරණා සංක්ෂිප්තයක් ලෙස ඉදිරිපත් කළහොත්,
1. සමාජ මාධ්‍ය ස්වයං නියාමනය යාන්ත‍්‍රණවල පවතින පැහැදිලි දුර්වලතාවන් නිසා වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළ පෝස්ට් සහ පණිවුඩ ආදිය කාර්යක්ෂමව ඉවත් කිරීමට නොහැකිව තිබේ
2. මෙම දුර්වලතා මගහරවා ගැනීමට එම සමාගම් යම් යම් පියවර ගෙන ඇතත්, අතීතයේ සිදුවූ වැරදි ඒ ආකාරයෙන්ම තවමත් සිදුවෙමින් පවතින බවක් හදුනාගන්නට තිබේ
3. වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළ පෝස්ට් සහ පණිවුඩ ඉවත් කිරීමේ දී, සමාජ මාධ්‍ය වේදිකාවන් කටයුතු කරන ආකාරය විනිවිදභාවයෙන් තොරය
4. වෛරී කථනයෙන් කෙනෙකු ආරක්ෂා කරගන්නට හදුන්වා දී, තිබෙන නීති සහ රෙගුලාසි තෝරාගත් පුද්ගලයින්ට අදාළව පමණක් කි‍්‍රයාත්මකවන බවක් පෙනේ
5. පිහිටුවා තිබෙන ස්වාධීන නියාමනය ආයතනයන් පවා කි‍්‍රයාත්මක වන්නේ දේශපාලන බලපෑමට යටත්ව බව පෙනේ
ඉහත කලින් සඳහන් කළාක් මෙන් ශී‍්‍ර ලංකාවේ වෛරී කථනය සහ දුස් තොරතුරු මර්දනය කිරීම සදහා සමාජ මාධ්‍ය වේදිකාවන් වඩා වැඩි මැදිහත්වීමක් කරමින් සිටිය ද, ඉන් තවමත් අපේක්ෂිත ප‍්‍රතිඵල ලැබී නොමැත. එනිසා, ශී‍්‍ර ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතාවේ හුවමාරු වෙමින් තිබෙන වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළ දේ, පාලනය කිරීමට සහ මර්දනය කිරීමට පරිශීලකයන්ට වඩා වැඩි මැදිහත්වීමක් සිදුකිරීමට අවකාශයක් පවතී. මෙම රික්තය පිරැුවීමට, ස්වාධීන න්‍යාය පත‍්‍රයක් යටතේ කටයුතු කරන සිවිල් සමාජ සංවිධානයන්ට හැකියාව පවතින අතර, එසේ යැයි එය සිවිල් සමාජ සංවිධානයන්ට පමණක් සීමා නොකළ යුතුය. එසේ මැදිහත්වීමක් සිදුකළ හැකි ආකාරයන් පහත ආකාරයට දැක්විය හැකිය.
1. හඳුනාගැනීම
වෛරී කථනයට අදාළ හෝ දුස් තොරතුරුවලට අදාළ වන යමක් හුවමාරු වෙමින් තිබෙන්නේ නම් එය ප‍්‍රසිද්ධියේම පෙන්වා දීමට සිවිල් සමාජ සංවිධානයන්ට මෙන්ම පුරවැසියන්ට හැකියාව ඇත. මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ, භාෂා ගැටලූව නිසා එවැනි දේවල් සමාජ මාධ්‍යවල නියාමන යාන්ත‍්‍රණයන්ගෙන් ගිලිහී තිබෙන්නට ඉඩ තිබෙන අවස්ථාවලය. එවැනි දේ ප‍්‍රසිද්ධියේ පෙන්වාදීම හරහා ඒවාට සමාජ මාධ්‍යවල දැනට පවතින නියාමන යාන්ත‍්‍රණයන්ගේ අවධානය යොමු කරවා ගැනීමටත්, පොදුවේ සමාජය ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටත් අවස්ථාව සැළසේ.
2. සංඛ්‍යාත්මක වශයෙන් දැක්වීම (විශ්ලේෂණාත්මක වාර්තාකරණය සහ ශ්‍රේණිගත කිරීම
කිසියම් සමාජ මාධ්‍ය වේදිකාවන්, වෛරී කථනයට හෝ දුස් තොරතුරුවලට අදාළ පණිවුඩ ඉවත් කිරීම හෝ නොකිරීම මත, සංඛ්‍යා මත පදනම්ව එම සමාජ මාධ්‍ය වේදිකාවන් ශ්‍රේණිගත කිරීමට සිවිල් සමාජ සංවිධානවලට හැකිය. මෙසේ කිරීමෙන්, වෛරී කථනයට හෝ දුස් තොරතුරුවලට ක්ෂණිකව ප‍්‍රතිචාර දක්වන සමාජ මාධ්‍ය වේදිකාව කුමක්දැයි පහසුවෙන් හඳුනාගැනීමට පරිශීලකයන්ට අවස්ථාව ලැබෙන අතර, අනෙක් පසින් තමන් මෙම ලැයිස්තුවේ පහළ ස්ථානයක සිටින්නේ නම් එහි ඉහළට පැමිණීම සදහා සිය නියාමන යාන්ත‍්‍රණය වඩාත් ශක්තිමත් සහ කාර්යක්ෂම කරන තැනට සමාජ මාධ්‍ය වේදිකාවක් පත්කරවා ගැනීමටත් අවස්ථාව සැළසේ. මෙය දැනටමත් යුරෝපා සංගමයේ මැදිහත්වීමෙන් එම කලාපයේ සිදුකෙරෙමින් තිබෙන්නකි. ඒ හරහා, වෛරී කථනය සහ දුස් තොරතුරු මර්දනය කිරීමට සමාජ මාධ්‍ය කෙතරම් කාර්යක්ෂමතාවයකින් මැදිහත්වන්නේදැයි යන්න මත ඔවුන් ශ්‍රේණිගත කිරීම සිදුවේ.
3. සන්නිවේදනය කිරීම (ගෝලීය වශයෙන් අවධානය දිනා ගැනීම
ජනතා අවධානය යොමුවීම හමුවේ සිය පිළිවෙත් වෙනස් කරගැනීමට සමාජ මාධ්‍යයට සිදුවූ අවස්ථා ඕනෑ අතරම් පවතී. ශී‍්‍ර ලංකාවෙන්ම උදාහරණයක් ගතහොත්, 2017 වසරේ ගිංතොට සිදුවූ සිංහල-මුස්ලිම් කෝලහාලයන් අන්තර්ජාතික මාධ්‍ය ඔස්සේ ද, ප‍්‍රචාරය වූ බැවින් ද, විශේෂයෙන්ම ඒ සියල්ලෙන්ම පාහේ එම කෝලහාලයන් කුළු ගන්වා තිබෙන්නේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා හුවමාරු වූ විවිධ පොස්ට් සහ පණිවුඩ නිසා යැයි සඳහන්ව තිබූ බැවින් ද, ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුවූ තැනට ෆේස්බුක් සමාගම පත්විය. එම සිදුවීම පදනම් කරගෙන, එයින් මානව හිමිකම්වලට එල්ලවූ බලපෑම විමසුමට ලක්කිරීම සඳහා ස්වාධීන ඇගයීමක් සිදුකිරීමට ඔවුන් කටයුතු කළ අතර, එහිදී අනාවරණය වූයේ වෛරී කථනය සහ දුස්තොරතුරු සැළකිල්ලට ගැනීමේ දී, ශී‍්‍ර ලංකාවට අදාළව ලබාදිය යුතු අවධානය ෆේස්බුක් සමාගම ලබානොදෙන බවයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස අද වන විට ඔවුන් දේශීයව මතුවන ගැටලූකාරී අවස්ථාවන්වල දී, වඩා වැඩි මැදිහත්වීමක් සිදුකරනු දැකගත හැකිය.
එනිසා, වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළ දේ, තොරතුරු මත පදනම්වන, විශ්වාසය මත පදනම් වන සහ විශේෂයෙන්ම ජනතා අවධානය සහ වුවමනාව මත පදනම් වන ආකාරයකින් ගෝලීය මාධ්‍ය වේදිකාවන්ට යොමු කිරීම ද, සිවිල් සමාජවලට සිදුකළ හැකි දෙයකි.
රටක් ලෙස අන්තර්ජාතික තලයේ ශී‍්‍ර ලංකාවේ මැදිහත්වීම, එහි සිටින පරිශීලකයන්ගේ ප‍්‍රමාණය සහ වෙළදපල අවස්ථා සැළකීමේ දී, සමාජ මාධ්‍ය හරහා මෙරට පුරවැසියන් අතර පැතිරෙන වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළ දේවල් මර්දනය කිරීමට සමාජ මාධ්‍ය සමාගම් වැඩි වැඩියෙන් උනන්දු වනු ඇතැයි සිතිය නොහැකිය. යම් සිදුවීමක් පාදක කරගෙන ඔවුන්ගේ වගකීම වඩාත් සෘජුව පෙන්වාදුනහොත් මිස, එහි වෙනසක් බලාපෙරොත්තු විය නොහැකිය. අනෙක් අතට, නියාමනය රජය අතට භාරදිය හැකි මුත්, අතීතයේ සැළකිල්ලට ගත්විට පෙනී යන්නේ අදාළ නීති කි‍්‍රයාත්මකව තිබෙන්නේ යම් තෝරාගැනීමක් සහිතව බවය. එමෙන්ම, සමාජ මාධ්‍ය ආයතනවලට බලපැවැත්වෙන පරිදි නීති සම්පාදනය කිරීම සහ කි‍්‍රයාත්මක කිරීමේ සාර්ථකත්වය, ගෝලීය මට්ටමින් ඒ සම්බන්ධයෙන් පවතින උදාහරණ සැළකිල්ලට ගැනීමේ දී, දෙවරක් සිතිය යුත්තකි.
එහෙයින්, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ බෙදාහැරෙන වෛරී කථනයට සහ දුස් තොරතුරුවලට අදාළ දේවල් අවම කරගැනීමේ සිට මර්දනය කිරීම දක්වා වඩා කි‍්‍රයාකාරී මැදිහත්වීමක් සිදුකිරීමට සිවිල් සමාජ සංවිධානවලට අවස්ථාවක් ඇත. එය මැද පිළිවෙතකි. ස්වයං නියාමනයට හෝ රජයේ නියාමනයට යටත් නොවන පිළිවෙතකි. ඒ හරහා, සමාජ මාධ්‍යවලට ජනතාව අතර පවතින විශ්වාසය මුල් කොටගත් වගවීමකට ඔවුන් නතුකරගැනීමට අවස්ථාව ඇත. එවිට, නැගෙන ඉල්ලීම් සහ එල්ල වන විවේචනයන්ට අනුව කටයුතු කිරීමට එම ආයතනවලට නියත වශයෙන්ම සිදුවේ. මේ කටයුතු අරමුණු කරගෙන, සමාජ මාධ්‍ය ඔස්සේ පළවන දේවල් නියාමනය කෙරෙන ආකාරය සහ වගකිවයුතු පුරවැසියන් ලෙස ඔවුන්ට ඒ සඳහා මැදිහත්විය හැකි ආකාරය ගැන, ජනතාව දැනුම්වත් කිරීම ද, සිවිල් සමාජ සංවිධානවල වගකීමක් වේ.
මෙම ලිපිය වෙරිටේ රිසර්ච් ආයතනයේ BETTER MODERATION OF HATE SPEECH ON SOCIAL MEDIA: A REPUTATION-COST APPROACH යන පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන සම්පාදනය කරන ලද්දකි.
Previous articleහමුදාකරණය : අධිකරණයේදී ප්‍රශ්න කළ නොහැකි නම් ජනපතිගේ වගවීම සමාජය තුළ ප්‍රශ්න කළ යුතුයි – මහාචාර්ය ජයදේව උයන්ගොඩ
Next articleමාධ්‍යවල ගියේ සංස්කරණය කළ හඬපටයක් ; දිල්රුක්ෂි ඩයස්ගේ වැඩතහනම ඉවතට

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here