අලි රැඳවුම් මධ්‍යස්ථාන මිත්‍යාව හොර මගඩියක් : ආණ්ඩුවේ විගණනය තහවුරු කරයි !

(සුපුන් ළහිරු ප්‍රකාශ්)
ඡායාරූප – ශෂිකළණ රත්වත්ත
ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම එන්න-එන්නම උග්‍රවෙමින් සහ භූගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව විද්‍යාත්මකව ඔප්පු වී ඇත.
එසේම ඊට පිළියම් ලෙස යෝජනා කරන යල් පැනගිය පාලන ක්‍රම මහජන මුදල් මකර කටට යැවීමක් පමණක් බවද පැහැදිලිය. ‘අලි පුනරුත්ථාපනය’ යන මිත්‍යා මතය පදනම් කරගත් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය, අපට අනුව ‘එළිමහන් අලි සිර කඳවුර’ද එවැනි සුදු අලියෙකි. නමුත් බලධාරීන් සහ දේශපාලන අධිකාරිය ඒ කිසි දෙයක් කනකට ගත්තේ නැත. ඒ වෙනුවට ඉතිහාසයේ නැවත-නැවතත් අසාර්ථක ‘එළිමහන් අලි සිර කඳවුරක්’ ඉදිකරන මුවාවෙන් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය ද බලධාරීහු මේ වනවිට උලාකමින් සිටිති. එවැනි පසුබිමක ආණ්ඩුවේ විගණකාධිපති විසින්ම හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය අසාර්ථක බව පමණක් නොව එය හොර ගුහාවක් බවත් නැවත-නැවතත් ඔප්පු කර පෙන්වීම සරදමක් වැනිය.

අරමුණ අසාර්ථකයි !

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් වසරේ ඔක්තෝබර් මස අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව ඉදිරිපත් කර ඇත. එමගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වී ඇති බවත්, වංචනික සිදුවීම් සිදු වී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න සඳහන් කරයි. ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ අලුතින් අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළ යුතු බව ය.
මිනිස් ජීවිත හා දේපොළවලට හානි කරන බවට චෝදනා එල්ල වන ප්‍රචණ්ඩ වන අලින් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානවලින් අල්ලාගෙන ගොස් රඳවාගෙන පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරීම අලි රැඳවුම් මධ්‍යස්ථානයක කාර්යභාරයයි. මෙරට ප්‍රථම අලි රැඳවුම් මධ්‍යස්ථානය 2007 වසරේදී ඉදිකරනු ලැබුවේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය තුළ ය. උද්‍යානයේ කොටසක් විදුලි වැට සහ අගල් යොදා වෙන්කර, මෙසේ අලි-ඇතුන් රැඳවීමට දරන ලද උත්සාහය කෙටි කලකින්ම අසාර්ථක වූයේ රුපියල් මිලියන ගණනක මුදල් නාස්තියක් පමණක් ඉතිරි කරමිනි. ඉන්පසුව රුපියල් මිලියන 500කට වඩා වියදම් කරමින් 2012 වසරේදී අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේ මෙම එළිමහන් හස්ති සිර කඳවුර ඉදිකිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළේ මුල් උත්සාහයෙන් උගත් පාඩම් සැලකිල්ලට ගෙන වඩාත් සාර්ථක ලෙස මෙම ස්ථානය ඉදිකර පවත්වාගෙන යමින් මෙරට අලි – මිනිස් ගැටුමට පිළියම් ලබාදෙන බව පවසමිනි.
නමුත් එයද අසාර්ථක වූ තැන මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවතත් ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයෙන් හෙක්ටයාර් 3500ක් (අක්කර 8650) වැනි විශාල භූමි ප්‍රදේශයක් වෙන්කරගෙන මෙම අසාර්ථක අලි – මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රමය නැවත වරක් අත්හදාබැලීම මගින් මහජන මුදල් රුපියල් මිලියන දහස් ගණනක් මකර කටට යවමින් සිටියි. මෙකී ආන්දෝලනාත්මක විගණන වාර්තාව කරළියට පැමිණෙන්නේ එසේ රෑ වැටුණු වළේ තෙවැනි වරටත් මහා දවාලේ ඇදගෙන වැටීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියදීය.

අනාරක්ෂිත මධ්‍යස්ථානයක්

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුළ අවස්ථා 52 කදී අලි-ඇතුන් මුදාහැර ඇත. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි-ඇතුන් 09 දෙනෙකු පමණි. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී ඇති අතර, ඉතිරි අලින් 31ක් අතුරුදන් වී ඇති බව වාර්තාව මගින් පෙන්වා දී ඇත. ලෝක සත්ත්ව හා මින්මැදුරු පිළිබඳ සංවිධානයේ සත්ත්ව සුබසාධන හා ආචාරධර්ම පටිපාටි පවා නොසලකා හරිමින් මුදාහැරුණු ජාතික සත්ත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකුද ඊට අයත් ය. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භ කර ඇත්තේ 2013 වසරේ සිට වන අතර, මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති. ඒ අනුව අතුරුදන් ලේඛනය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අපි අවධාරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලි වන යතාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුළ අලි-ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බව ය.
මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි – මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත්, එමගින් සිදුවන්නේ අලි- ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් අපි මින් පෙරද අවස්ථා ගණනාවකදී පෙන්වා දී ඇත්තෙමු. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි-ඇතුන් පුනරුත්ථාපනය කර, නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මනාව පැහැදිලි වන්නේ දැනට මෙම මධ්‍යස්ථානවලට ගාල් කර ඇති සියයකට අධික අලි-ඇතුන්ගෙන් එක් අලියෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී ඇති බැවිනි. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යෑම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත්වීම හෝ බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශ කළ යුතුය.

අලි ගැන නොදත් මෙහෙයුමක්

අලි-ඇතුන් තමන්ගේ පාරම්පරික වාසභූමිවලට දැඩි ඇල්මක් දක්වන අතර, තම පාරම්පරික වාසභූමිවලින් අල්ලා වෙනත් ස්ථානයකට ගෙනගොස් දැමුවද හැකි සෑම අවස්ථාවකම නැවත තම මුල් වාසභූමියට පැමිණීමට උත්සාහ දරයි. ඒ බව මනාව පහදාදෙමින් හොරොව්පතාන අලි පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අවස්ථා කිහිපයකදී ගෙනගොස් දැමූ ගල්ගමුවේ ‘තනි දළයා’ නම් හස්තියා නැවත තම මුල් වාසභූමිය සොයා පැමිණි බව වනජීවී ක්ෂේත්‍රයේ රහසක් නොවේ. ඒ සඳහා එම සතුන් තමන්ට එල්ලවන ඕනෑම බාධකයක් ජයගැනීමට කටයුතු කරන අතර, එවැනි අවස්ථාවල වනජීවී නිලධාරීන්ගේ වෙඩි උණ්ඩ ඔවුන් වෙත එල්ල වන අවස්ථාද ඇත. එසේම එම සතුන් නැවත තම වාසභූමිය වෙත ගමන් කරන අතරතුර පසු කරන ඇතැම් ප්‍රදේශවල ජනතාවට වන අලින් සමඟ ජීවත්වීමේ අත්දැකීම් නොමැත. එවැනි ප්‍රදේශ හරහා මේ අලින් ගමන් කරන අවස්‌ථාවල එම ජනතාවගේ ජීවිත බරපතළ අවදානමකට ඇද වැටේ. මෙසේ තම මුල් වාසභූමිය වෙත පැමිණි අලින් පෙරටත් වඩා බිහිසුණු ලෙස මිනිස්‌ ජීවිත හා දේපොළවලට හානි කිරීමට පසුබට නොවන අතර, එමඟින් සිදුවන්නේ පෙරටත් වඩා සංකීර්ණ අලි – මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය වීම ය.
එපමණක් නොව සිර කඳවුරේ බාධක බිඳදැමීමට නොහැකි වන අවස්ථාවල මෙවැනි අලි-ඇතුන් කුසගින්නේ සහ දැඩි මානසික ආතතියට ලක්ව රෝගී වී මියයෑමටද හැකියාව ඇත. එසේම මෙසේ පටු බිම් තීරුවකට ගාල් කරන සතුන් සියලුදෙනාම පිරිමි සතුන් වන බැවින් එම සතුන්ගේ ඝනත්වය වැඩි වී ඔවුන් අතර ගැටුම් ඇති වී අලි-ඇතුන් මරණයට පත්වීම සිදු වේ. තවද මෙසේ අල්ලා ගාල් කරනු ලබන අලින් අකාලයේ මියයෑම හෝ සදාකාලික සිරකරුවන් බවට පත්වීම හෝ මඟින් එම සතුන්ගේ ජාන ඉදිරි පරම්පරා වෙත සම්ප්‍රේෂණය වීම ඇණහිටී. එය සිරිලක හස්‌ති පරපුරේ ප්‍රවේණික ශක්‌තිය හීනවීමට හේතු වේ.

ප්‍රතිලාභ වෙනුවෙන් ඉදිරියට

නමුත් බලධාරීන් සහ නිලධාරීන් මේ පිළිබඳව කිසිදු තැකීමක් නොකර රෑ වැටුණු වළේ ස්වකැමැත්තෙන්ම මහා දහවලේද ඇදගෙන වැටෙමින් සිටී. ඒ වෙන කිසිදු හේතුවක් නිසා නොව, මේ ඔස්සේ වංචනිකව ලැබුණු ප්‍රතිලාභ නිසාම විය හැකි බව විගණකාධිපති වාර්තාව මගින් ගම්‍යමාන වේ. 2018 නොවැම්බර් 01 සිට 2019 ඔක්තෝබර් 31 දින දක්වා කාලපරිච්ඡේදය තුළ හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ අලින් තිස්දෙනෙකු සඳහා ආහාර සැපයීමට රුපියල් 26,133,700ක කොන්ත්‍රාත්තුවක් පිරිනමා ඇත. නමුත් සපයනු ලබන ආහාරවල ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුකර නැත. අලි-ඇතුන් ආහාරයට ගන්නා කොළ වර්ග පිළිබඳව අධ්‍යයනයක් සිදු නොකර, සැපයුම් ගිවිසුම් සකස් කර ඇති අතර, එමගින් අලි-ඇතුන් ආහාරයට නොගන්නා කොළ වර්ගද ගිවිසුමට ඇතුළත් කර මුදල් ලබාගෙන ඇත. සපයන ලද ආහාරවල බර කිරීම සඳහා පෞද්ගලික සහල් මෝලක සවිකර ඇති තරාදියක් භාවිත කර ඇති අතර, බර කිරීම අධීක්ෂණය කිරීම සඳහා නිලධාරියෙකු යොදවා නැත. බර නිවැරදිදැයි තහවුරු කරගැනීමකින් තොරව ගෙවීම් සිදුකර ඇත. 2019 ජුනි මස වන විට මධ්‍යස්ථානයේ සිටි අලින් සංඛ්‍යාව 9ක් බව වාර්තා වුවද, 2019 අගෝස්තු 01 දින සිට ඔක්තෝබර් 31 දින දක්වා අලින් තිස් දෙනෙකු සඳහා ආහාර පිටින් සපයා ඇති බව සඳහන් වන අතර, ඒ වෙනුවෙන් රුපියල් 6,559,245ක මුදලක් වියදම් කර ඇති බවත් වාර්තාවේ සඳහන් වේ. නමුත් මධ්‍යස්ථානයේ සිටි අලින්ගෙන් මියගොස් ඇති බවට වාර්තා කර ඇති අලින් දොළොස්දෙනාගෙන්, පස්දෙනෙකුම මියගොස් ඇත්තේ ආහාර නොමැති වීම සහ මන්දපෝෂණය හේතුවෙන් වීම විමතිය දනවන සුළු ය. ඒ අනුව මෙය හොර ගුහාවක්ව පවතින්නට ඇති බව යළිත් පැවසිය යුතු නැත.

ගලේ පැහැරූ බළලුන්

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථනය ඉදිකරනු ලබන්නේ 2012 මාර්තු 17 දිනැති 12/0151/549/001 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව ය. ඒ 2012 අයවැය යෝජනාවලියේ සඳහන් අලි රැඳවුම් මධ්‍යස්ථාන හතරෙන් එකක් වශයෙනි. හොරොව්පතාන ප්‍රථමයෙන් ඉදිකර, එහි සාර්ථකත්වය ඇගයීමෙන් පසුව අනෙක් මධ්‍යස්ථාන ඉදිකිරීමට තීරණය කර තිබිණි. නමුත් ක්‍රියාකාරකම් සිදුවන්නේ එකී එකඟතා සියල්ලට පටහැනිව ය. ඒ රටේ අවශ්‍යතාවට වඩා දේශපාලකයන්ගේ සහ වනජීවී ලොක්කන්ගේ කෑදරකම ලොකු නිසා විය යුතුය. මෙතෙක් කලක් අප පමණක් පැවසූ අඳුරු යතාර්ථය, මහජන මුදලින් යැපෙන ආණ්ඩුවේම ආයතනයක් මගින්ම සාක්ෂි-සාධක සහිතව පෙන්වා දී තිබේ. දැන් පැමිණ ඇත්තේ ගලේ පැහැරූ බළලුන් තම අසූචි දුගඳ සඟවාගන්නා ආකාරය පිළිබඳව විමසිලිමත් විය යුතු කාලයයි.

 

Previous article‘කුළුණුබර රාජපක්ෂලා’ කුලුනු යට සඟවන විගණකාධිපති වාර්තා !
Next articleනාමල් ‘හා’ කියයි – චමල් ‘බෑ’ කියයි : සූරියවැව අලි කළමනාකරණයේ ඉඩම්වලට හොර පාරෙන් ඔප්පු හදයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here