Home විනිවිද ‘කුළුණුබර රාජපක්ෂලා’ කුලුනු යට සඟවන විගණකාධිපති වාර්තා !

‘කුළුණුබර රාජපක්ෂලා’ කුලුනු යට සඟවන විගණකාධිපති වාර්තා !

0
‘කුළුණුබර රාජපක්ෂලා’ කුලුනු යට සඟවන විගණකාධිපති වාර්තා !
මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර මැණික් කුලුන ඉදිකිරීමේ මූලික අරමුණ ආණ්ඩුවේ ප්‍රධානීන්ට කොමිස් ලබාගැනීම ද යන ප්‍රශ්නය සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු මතුකර සිටිති.
ගංවතුර ප්‍රශ්නය ඇතුළු ගැටළු රැසක් තිබියදී රත්නපුර නගරයේ කඩිමුඩියේ මෙවැනි කුලුනක් ඉදිකිරීමට හේතුව කුමක්ද යන්න ආණ්ඩුව පාර්ශ්වයෙන් නිශ්චිතව පැහැදිලි කර නැත්තේ කුමන හේතුවක් නිසාද යන්නද ඔවුහු විමසති.
ඊයේ (15) මෙම කුලුනට මුල්ගල් තැබිණි. එම අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි වසර 4ක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි. මේ තුළ ස්වර්ණාභරණ අධිකාරියේ කාර්යාල සංකීර්ණයක්, වෙළෙඳ සංකීර්ණයක්, බැංකු පද්ධතියක්, අධි ආරක්ෂිත පද්ධතියක් සහ වාහන නැවැත්වීමේ අංගනයක් ඉදිවන බව ද අගමැතිවරයා එහිදී සඳහන් කළේය.

Gem Tower සංකල්පය

මෙය ඉදිකිරීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මුදල් යොදාගැනීමට සැලසුම් කර ඇති අතර, ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 800කට ආසන්න වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ තායිවානය සහ හොංකොං වැනි රටවල පිහිටුවා ඇති Gem Tower සංකල්පයට අනුව මේ ඉදිකිරීම සිදුකරන බවයි. දකුණු ආසියාවේ මැණික් කේන්ද්‍රස්ථානය බවට මේ කුලුන පත්කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව බවත්, මැණික් විකිණීම, මැණික් ආශ්‍රිත නිර්මාණ විකිණීම, මැණික් ආශ්‍රිත ස්වර්ණාභරණ විකිණීම, මැණික් වෙන්දේසි, ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශණ, මැණික් ආශ්‍රිත පර්යේෂණාගාර ඇතුළු සේවා සපයමින් මැණික් විකුණුම්කරුවන්ට සහ ගැණුම්කරුවන්ට විශ්වාසනීය වෙළෙඳපොළක් නිර්මාණය කිරීම මෙමගින් සිදුවන බවත් අදාළ නිලධාරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘කුළුණුබර (කරුණාබර) මුදල් යොදවන්නෙක්’

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සකස් කළ වාර්තාවක සඳහන් කරුණු කිහිපයක් පමණක් මෙසේ දැක්විය හැකිය. සීතාවක ගඟේ මැණික් ගැරීම ඇමැති මණ්ඩල අනුමැතියකින් තොරව, බාහිර පාර්ශ්වයන්ට පවරා තිබිණි. ඊට අදාළ පරිසර වාර්තා සකස් කර නැත. එසේම ඉඩම් වෙන්දේසිවලින් උපයාගත් රුපියල් 127,812,509ක මුදලකින් කිසිදු කොටසක් රාජ්‍ය භාණ්ඩාගාරයට වෙත ලබාදී නැත. එය පනතේ 18(1) වගන්තියේ සඳහන් වන මේ වෙන්දේසිවලදී රාජ්‍ය භාගයක් ඇතුළත් කොට, අයකර ගත යුතුය යන කොන්දේසිය උල්ලංඝනය කිරීමකි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ පනතේ 20(2) වගන්තියට අනුව අධිකාරියේ බලතල, කාර්යය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේදී සහ ඉටු කිරීමේදී අධිකාරිය වෙත ලැබෙන සියලු මුදල් අධිකාරියේ අරමුදලට බැර කළ යුතු වුවත්, ඊට පටහැනිව වැටළීම්, ක්ෂේත්‍ර පරීක්ෂණ සහ වෙනත් ආදායම් රුපියල් 52,655,943ක මුදලක් ත්‍යාග අරමුදලට බැරකර තිබිණි. එසේම 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වැනි වගන්තියට අනුව මුදල් ඇමැතිවරයාගේ අනුමැතිය ලබාගත යුතුව තිබියදී, එසේ අනුමැතිය නොගෙන රුපියල් 543,761,497ක මුදලක් භාණ්ඩාගාර බිල්පත්වල සහ රුපියල් 670,106,733ක් ස්ථාවර තැන්පතු ලෙස රාජ්‍ය බැංකුවල ආයෝජනය කර තිබිණි. මීට අමතරව 2003 ජුනි 02 දිනැති අංක පී/ඊ/ඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 5.2.5 වගන්තියට අනුව වාර්ෂික අයවැයි ලේඛන පිටපත් අදාළ අමාත්‍යංශයට, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට සහ විගණකාධිපති කාර්යාලයට ඉදිරිපත් කළ යුතු වුවද, එම ලේඛන විධිමත්ව ඉදිරිපත් කර නැත.
මෙවැනි වාර්තා රැසක් අදාළ කුලුනට මුදල් යොදවන්නා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කර තිබේ. එහෙත් ඒවාට අදාළ නීතිමය පියවර හෝ වගකිවයුත්තන් පිළිබඳ විමර්ශන පැවැත්වීමක් විධිමත්ව සිදු වී නැත.

ශක්‍යතා අධ්‍යයනයක් නැති කුලුනක්

වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරය දරමින් සිටි 2012 වසරේදී මේ ආකාරයටම සන්නිවේදනයේ කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත්කිරීමේ අරමුණ සහිතව නෙළුම් කුලුන ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරිණි. විගණකාධිපති දෙපාර්තමේන්තුවට අනුව නෙළුම් කුලුන සම්පූර්ණ ව්‍යාපෘතියට අදාළව ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් හෝ සකස් කර නැත. 2018 වසරේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව මීට අදාළව විශේෂ විගණන වාර්තාවක් සකස් කළේය. එහෙත් එය නෙළුම් කුලුනේ ලයිට්වලින් වැසුණු සුන්දරත්වයට යට කෙරිණි.
එම වාර්තාවට අනුව නෙළුම් කුලුන පිහිටි ඉඩම නාගරික සංවර්ධන අධිකාරියෙන් නිසි ආකාරයට පවරා නොගැනීමත්, ඉදිකිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන නිසි කාලයට තීරණ නොගැනීම හා කොන්ත්‍රාත්කරු විසින් සිදුකරන ලද ප්‍රමාදයත් නිසා ඇස්තමේන්තුගත අගය අනුව 2018 අගෝස්තු 30 වන විට රුපියල් මිලියන 5,475ක පමණ ආදායමක් රජයට අහිමි වී තිබේ. නෙළුම් කුලුනේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ වීම සහ ණය මුදල සීමා වීම මත, එම ණය මුදල සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් එක්සිම් බැංකුවට ගෙවූ අමතර එකඟතා ගාස්තු ප්‍රමාණය වන රුපියල් 141,487,103ක පමණ මුදල නිෂ්ඵල ගනුදෙනුවක් වී ඇති බව ද එම වාර්තාව අවධාරණය කරයි.

අවබෝධතා ගිවිසුමට පිටින් වැඩ

ඇමැති මණ්ඩල තීරණ සහ අවබෝධතා ගිවිසුමට අනුව අදාළ ඉඩම පැවරීමක් කර නොතිබූ බව නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව, මෙම ව්‍යාපෘතියේ උපදේශන ගාස්තු ලෙස මොරටුව විශ්වවිද්‍යාලයට ගෙවීමට එකඟ වී තිබූ රුපියල් 198,691,500ක මුදලෙන්, රුපියල් 150,000,000ක් ගෙවා තිබුණද ඊට කැබිනට් අනුමැතිය පවා ලබාගෙන නොතිබූ බව ද සඳහන් කර ඇත.
ව්‍යාපෘතියේ උපදේශක ගාස්තු වශයෙන් වාරික 12ක් ගෙවීමෙන් පසු එම ගෙවීම් අත්හිටුවා ගිවිසුම් කොන්දේසිවලට පරිබාහිරව කොන්ත්‍රාත් අධීක්ෂණය වෙනුවෙන් යැයි සඳහන් කරමින් 2015 නොවැම්බර් මස සිට මසකට රුපියල් 3,000,000ක් බැගින් ගෙවමින් පවතින බවත්, එසේ ගෙවීමට හේතුව මනා අධීක්ෂණයකින් තොරව ඉදිකිරීම් සිදුකිරීමට ඉඩ හැරීමෙන් සිදුවිය හැකි හානි වළක්වා ගැනීම බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දැනුම් දුන් බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව තම වාර්තාවේ සටහන් කර තිබේ.

නීතිපති දෙපාර්තමේන්තු නිරීක්ෂණ හමස් පෙට්ටියට

නෙළුම් කුලුන ඉදිකිරීමේ කොන්ත්‍රාත් ගිවිසුම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ නිරීක්ෂණ අනුව එම ගිවිසුම සංශෝධනය කර නොතිබූ බවද මේ විගණන වාර්තාවේ දක්වා ඇත.
කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් පසු 2015 අගෝස්තු 28 දිනැති විදුලි සංදේශ කොමිෂන් සභා තීරණයක් අනුව කොන්ත්‍රාත් කාලය 2017 අගෝස්තු දක්වා දීර්ඝ කර තිබුණද, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබුණු බවත්, 2018 ජුනි 30 වන විටත් නෙළුම් කුලුනේ ඉදිකිරීම් අවසන්වී නොතිබුණද කොන්ත්‍රාත් කාලය දීර්ඝ කර නොතිබුණු බවත්, ඒ සම්බන්ධ නිර්දේශයක් ව්‍යාපෘති උපදේශන ඒකකයෙන් ඉදිරිපත් කර නැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව දන්වා ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.
නෙළුම් කුලුනේ සියලුම විදුලි සෝපාන සහ තරප්පු සවිකිරීම 2017 සැප්තැම්බර් 30 වන විට අවසන් කළ යුතු වුවත්, 2018 මැයි 11 වනවිටත් එය අවසන් කර නොතිබූ බවද ඔවුන්ගේ නිරීක්ෂණ අතර වේ.

ආචාරධර්මානුකූල නොවන ගෙවීම්

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු සහ සංවර්ධන නිලධාරියකු පිළිවෙළින් රුපියල් 3,320,000ක සහ රුපියල් 2,185,000ක මුදල් මොරටුව විශ්වවිද්‍යාලයේ උපදේශන ඒකකයෙන් ලබාගෙන ඇති බව නිරීක්ෂණය කරන විගණකාධිපති දෙපාර්තමේන්තුව, එය ආචාරධර්මානුකූල නොවන බව සඳහන් කරයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතු බව එම දෙපාර්තමේන්තුව අදාළ වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
නෙළුම් කුලුන ව්‍යාපෘතිය සිදු කළ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පස්දෙනෙකු සඳහා 2013 ජනවාරි 01 සිට 2014 දෙසැම්බර් 31 දක්වා කාලයේ කමිටු දීමනා ලෙස චක්‍රලේඛ විධිවිධානවලට පිටින් රුපියල් 10,920,000ක් ගෙවා ඇතැයි නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව, කළමනාකරණ සේවා චක්‍රලේඛවලට අනුගත නොවී කළ එම ගෙවීම් යළි එම නිලධාරීන්ගෙන් අයකර ගන්නා ලෙස ද නිර්දේශ කර ඇත.

ඇමැති මණ්ඩලයත් අදාළ නැත

විදුලි සංදේශ පනත අනුව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට සමාගමක් පිහිටුවීම සඳහා බලතල නොමැති වුවද, සමාගමක් ස්ථානපය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කොළඹ නෙළුම් කුලුන දේපොළ කළමනාකරණ සමාගමකට බදු දීම සඳහා වන ක්‍රියාවලිය ආරම්භ කර තිබුණද, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන නොතිබූ බව මෙම වාර්තාව මගින් නිරීක්ෂණය කර ඇති විගණකාධිපති දෙපාර්තමේන්තුව, තම නිර්දේශ ඉදිරිපත් කරමින් සඳහන් කරන්නේ නෙළුම් කුලුන වාණිජකරණය කිරීමට ප්‍රථම ණය වාරික සහ ණය ගැනුම් පිරිවැය ඇතුළත් වන පරිදි නිවැරදි ආදායම් පුරෝකථනයක් සිදු කළ යුතු බවයි.

වසර 40කින් ගෙවිය යුතු ණයක්

2019 සැප්තැම්බර් 16 දින නෙළුම් කුලුන විවෘත කෙරිණි. ඒ, එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙනි. කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවතේ, බේරේ වැව අසල වර්ග මීටර් 30,600ක භූමියක මෙය ඉදිකර තිබේ. නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා තෝරාගත් කොන්ත්‍රාත් සමාගම් දෙකම චීන සමාගම් වූ අතර, මෙහි ඉදිකිරීම් සඳහා චීන එක්සිම් බැංකුවෙන් ණය මුදලක් ලබාගැනිණි. චීනයේ එක්සිම් බැංකුව මේ ව්‍යාපෘතියට යන මුදලින් සියයට 80ක්ද, ඉතිරි මුදල විදුලි සංදේශ නියාමන කොමිසමද යෙදවීම සැලසුම විය. සැලසුමට අනුව  නෙළුම් කුලුනෙන් ලබාගන්නා ආදායමෙන් වසර 40කින් අදාළ ණය මුදල ගෙවීමට අපේක්ෂා කෙරිණි. දින 912කින්, එනම් 2015 වසරේ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට මුලදී සැලසුම් කෙරුණද, ඒ සඳහා වසර 7ක් ගත විය.

අතුරුදන් කෝටි 200ක්

මේ කුලුන විවෘත කිරීමත් සමග එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පැවසූ ප්‍රකාශයක් ආන්දෝලනයට තුඩු දුන්නේය. ජනාධිපතිවරයා සඳහන් කළේ මේ කුලුන ඉදිකිරීම සඳහා ඇලිට් නම් සමාගමකට රුපියල් කෝටි 200ක් ගෙවා ඇති බවත්, 2016 සිට අදාළ සමාගම අතුරුදන්ව තිබෙන බවත්, එම නිසා ගෙවන ලද රුපියල් කෝටි 200ක මුදලට සිදු වූ දෙයක් නැති බවත් ය.

සාක්ෂි පෙන්වන්න – ‘රාජපක්ෂ උත්තරය’

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මේ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂ පාර්ශ්වයෙන් පිළිතුරු ලබාදෙන ලද අතර, ඔවුන් අවධාරණය කරන ලද්දේ මෙය මුළුමනින්ම අසත්‍යයක් බවයි. එම පාර්ශ්වය වෙනුවෙන් එවකට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ උදය ගම්මන්පිල 2019 සැප්තැම්බර් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට අභියෝග කළේ අදාළ කෝටි 200ක මුදල ගෙවූ බවට සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.
‘2012 ඔක්තෝබර් 09 වැනිදා නෙළුම් කුලුන ඉදිකිරීම සඳහා අත්තිකාරමක් ලෙස ඩොලර් පහළොස් මිලියන හයසිය හතළිස් හතර දහස් නවසිය අසූවක් ගෙවලා තියෙන්නෙ China National Electronics Import and Export Corporation කියන සමාගමටයි. ඒ සමාගමට ඒ මුදල ගෙවීම සම්බන්ධයෙන් ලදුපත් මේ වනවිටත් ප්‍රසිද්ධ කරලා තියෙනවා. එහෙම නම් ඇලිට් කියන සමාගමට ගෙව්වා කියලා ඔප්පු කරන්න ලේඛන නෑ. ඒ විතරක් නෙවෙයි කුලුන ඇත්තටම ඉදිකරපු සමාගමට තමයි මේ මුදල ගෙව්වෙ කියන්නත් ලිඛිත සාක්ෂි මේ වනවිට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඩොලර් මිලියන 15.6ක් කියන්නෙ එදා විනිමය අනුපාතයට අනුව ආසන්න වශයෙන් රුපියල් කෝටි 200කට සමානයි.
ජනාධිපතිතුමාගෙ අනෙක් බොරුව තමයි, ඇලිට් කියන සමාගම 2016 සිට අතුරුදන් කියන එක. ඇත්ත කතන්දරේ ඇලිට් කියලා සමාගමක් නෑ. ඇලිට් කියන්නෙ සමාගමේ නමේ මුලකුරු එකතු කරලා කෙටියෙන් සමාගමට භාවිතා කරන නම. සමාගමේ නම Aerospace Long-March International Limited (ALIT) අන්න ඒ සමාගමේ වෙබ් අඩවිය තියෙනවා. අද වනතුරුත් මේ සමාගම ක්‍රියාත්මකයි කියලා දැනගන්න ඡායාරූප, ලිපි ලේඛන සියල්ල වෙබ් අඩවියේ තියෙනවා. චීනයේ බීජිං නුවර, එහි ලිපිනයට ගියොත් මේ සමාගම එතැන අදටත් තියෙන බවට අපේ පුද්ගලයන් චීනයේ සිට තහවුරු කරනවා.’

මහින්ද – රනිල් – මෛත්‍රී එකමුතුව

කෙසේ වෙතත් නෙළුම් කුලුනට අදාළ විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් එවකට මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු පිළිතුරක් ලබානොදුන් අතර, 2015 ජනවාරි 08 සිට පැවැති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන – අගමැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවෙන් ද එම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු විධිමත් විමර්ශනයක් පැවැත්වූයේ නැත. එය කෙටි කාලයක් දේශපාලන වේදිකාවලට මාතෘකාවක් පමණක් වූ අතර, ඉන්පසු අතුරුදන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here