රැපිඩ් ඇන්ටිජන් කට්ටල ගෙන්වීමේදී දිලිත් ජයවීරට වෙනම සැලකුවාද?

(තරිඳු ජයවර්ධන)

කොරෝනා ආසාදනය පාලනය කිරීම සඳහා කඩිනමින් ආසාදිතයන් හඳුනා ගත යුතු බවත්, ඒ සඳහා කළ යුත්තේ දිගින් දිගටම පරීක්ෂණ සිදු කිරීම බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාර්තු මාසයේ සිට අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළේය.

කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ ද වැඩි වශයෙන් භාවිත කළේ පීසීආර් පරීක්ෂණයයි. ඊට අමතරව ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාව නැතහොත් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සම්බන්ධයෙන් ද කතිකාව වෙනත් රටවල ඇතිවෙද්දී ලංකාවේ ද එම පරීක්ෂණය සිදුකිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙස සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක්ම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා සිටියේය.  ඒ දිනවල රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සම්බන්ධයෙන් කතාබහක් නොතිබුණද, ලංකාවේ පෞද්ගලික සමාගමක් විසින් එම පරීක්ෂණ කට්ටල ලක්ෂ දෙකක් ලංකාවට ගෙනඒමත් සමග රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් යළිත් කරළියට ආවේය.

පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්

කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත්දැයි සොයා බැලීමට බහුල වශයෙන් භාවිත කරන Polymerase chain reaction (PCR) නම් පරීක්ෂණයේදී සිදු කරනු ලබන්නේ පුද්ගලයකුගේ ශ්වසන මාර්ගයෙන් ලබාගන්නා සෙම පටල පරීක්ෂණයට ලක් කිරීමයි. සාමාන්‍යයෙන් කොරෝනා ආසාදිතයකු හඳුනා ගැනීමේදී වැඩි සංවේදීතාවක් ඇති මෙම පරීක්ෂණයෙන් ආසාදනයවූවන් සියයට 70ක් පමණ පහසුවෙන් තහවුරු කර ගත හැකි බව වෛද්‍යවරුන්ගේ අදහසයි. ඇතැම් අවස්ථාවල කොරෝනා ආසාදනයවූවන්ගේ පීසීආර් ප්‍රතිඵලය නෙගටිව් ලෙස වාර්තා වන්නේ ලබාගත් සෙම සාම්පලයට ප්‍රමාණවත් ලෙස වෛරස් ඇතුළත් වී නොමැති නිසා බව වෛද්‍යවරු කියති. පීසීආර් පරීක්ෂණය සඳහා සාපේක්ෂව දළ වශයෙන් මිනිත්තු 15 සිට දින දෙකක පමණ කාලයක් යයි.

රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් නැතහොත් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණය යනු කඩිනමින්, එනම් මිනිත්තු 15ක පමණ කාලයකදී කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමට කරනු ලබන පරීක්ෂණයකි. කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට පීසීආර් පරීක්ෂණයේ ඇති සංවේදීතාව, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ නැත. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල නිෂ්පාදකයකු වන Abbott Rapid Diagnostics ප්‍රකාශ කරන්නේ කොරෝනා ආසාදනය වී දින එකේ සිට හත දක්වා කාලය ඇතුළත මෙම පරීක්ෂණයේදී සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකි බවයි. එනම් ආසාදනයෙන් දින හතකට පසු කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ සාර්ථකත්වය ඉතාමත් අඩු වේ.

එක්සත් ජනපදයේ සෞඛ්‍ය සහ මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ ඇති රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් සෘණාත්මක (නෙගටිව්) ප්‍රතිඵලයක් ආ පමණින් ඔහුට කොවිඩ් ආසාදනය වී නැතැයි ප්‍රකාශ කළ නොහැකි බවයි. කොවිඩ් රෝග ලක්ෂණ ඇත්නම් හෝ කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු නම් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙන් නෙගටිව් ප්‍රතිඵලයක් පැමිණියත්, ඔහුට පීසීආර් පරීක්ෂණයක් ද සිදුකිරීම සිදුසු බව එම ආයතනයේ උපදෙස් පත්‍රිකාවල සඳහන් වෙයි.  නමුත් මෙයින් ධනාත්මක (පොසිටිව්) ප්‍රතිඵලයක් පැමිණියහොත් ඔහු කොවිඩ් ආසාදිතයකු සේ සලකා ඉදිරි වැඩකටයුතු සිදු කළ හැකි බව එම ආයතනය පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපකරණ ලැයිස්තුව

2014 වසරේදී බටහිර අප්‍රිකාවේ රටවල් රැසක ඉබෝලා වෛරසය පැතිරෙන්නට විය.  ඒ සමඟ හදිසි භාවිතයට ගැනීමට හැකිවන පරිදි වෛරස් රෝගය නිර්ණය කළ හැකි උපකරණ ලැයිස්තුවක් නඩත්තු කිරීමේ අවශ්‍යතාව මතුකළ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කළේය. මෙම විශේෂ ක්‍රමවේදය හඳුන්වාදීමේ ප්‍රධානම අරමුණක් වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල නියාමන අධිකාරීන්ට සහ ප්‍රසම්පාදන ආයතනවලට යම් මගපෙන්වීමක් ලබාදීම ය. හදිසි අවශ්‍යතාවකදී භාවිතයට ගත හැකි ලැයිස්තුවට ඇතුළත් කිරීම සඳහා යම් ක්‍රමවේදයක් තිබෙන අතර, එයට ඇතුළත් කළ පමණින් එම උපකාරණය හෝ ආයතනය සම්පූර්ණ සුදුසුකමක් ලැබුවා සේ නොසැලකිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලේඛනවල දැක්වේ. එය එක්තරා ආකාරයක මූලික සුදුසුකමක් පමණි.

එසේ ලැයිස්තුගත කිරීමට අයදුම් කරන ආයතන වරින්වර ලැයිස්තුවට ඇතුළත් කරන අතර, පසුව යම් අකටයුත්තක් හෝ වෙනත් එවැනි දෙයක් හෙළිවුවහොත් එය ලැයිස්තුවෙත් ඉවත් කිරීමටද හැකියාව පවතී.

කොරෝනා වසංගත රෝගය හඳුනාගැනීම සඳහා වන හදිසි භාවිත ලැයිස්තුවට ලෝක සෞඛ්‍ය සංවිධානය රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව මුලින්ම ඇතුළත් කළේ 2020 සැප්තැම්බර් මාසයේදී ය. සැප්තැම්බර් 22 වැනිදා ඇතුළත් කළ STANDARD Q COVID-19 Ag Test නම් නිෂ්පාදනයේ නිෂ්පාදකයා ලෙස සඳහන් කර තිබුණේ SD Biosensor, Inc නම් ආයතනයකි. පෙර සඳහන් කළ පරිදි නිෂ්පාදකයන් නිෂ්පාදන ඉදිරිපත් කරද්දී ඒවා පරීක්ෂණයට ලක්කිරීමෙන් පසු වරින්වර මෙම ලැයිස්තුව සංශෝධනය කරනු ලබයි. ඒ අනුව ඔක්තෝබර් 02 වැනිදා යළිත් වරක් මෙම ලැයිස්තුව සංශෝධනය කරන ලද අතර, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා තවත් ආයතනයක් ඇතුළත් කෙරිණි. Panbio COVID-19 Ag Rapid Test Device (NASOPHARYNGEAL) යන උපකරණ නාමයෙන් එම නිෂ්පාදනය ඉදිරිපත් කර තිබුණේ Abbott Rapid Diagnostics Jena GmbH නම් ආයතනයකි.  මෙම ආයතන දෙක ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කළ පමණින් ලෝකයේ ඇති හොඳම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ දෙක මෙය බව ප්‍රකාශ කළ නොහැක්කේ, වරින්වර ඇතිවන අලුත් තත්ත්වයන් මත මෙම ලැයිස්තුව සංශෝධනය කරන නිසා ය. ඇතැම් විට මෙම ලැයිස්තුවට ඇතුළත් නොවන එහෙත් ඊටත් වඩා හොඳ තත්ත්වයේ නිෂ්පාදන තිබිය හැකි අතර, මෙම ලැයිස්තුව හුදෙක් හදිසි භාවිතයක් සඳහා රටකට ප්‍රසම්පාදන ක්‍රියාවලිය පහසු කිරීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය පහසු කිරීම පිණිස පමණක් වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය

ශ්‍රී ලංකාවට හිතුමතේ වෙනත් රටවලින් ඖෂධ හෝ වෛද්‍ය උපකරණ ගෙන්වීමට සහ බෙදාහැරීමට හැකියාවක් නැත. ඊට හේතුව බාල ඖෂධ හෝ උපකරණ ගෙන්වීම මගින් ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට වන තර්ජනය අවම කිරීමයි. ඒ සඳහා ඇති රාජ්‍ය ආයතනය ජාතික ඖෂධ නියාමන අධිකාරියයි. එන්.එම්.ආර්.ඒ යනුවෙන් කෙටියෙන් හඳුන්වන්නේ එම ආයතනයයි.

ශ්‍රී ලංකාවට යම් සෞඛ්‍ය උපකරණයක් ආනයනය කරන්නේ නම් ඒ සඳහා අනුමත ක්‍රියාපිළිවෙළක් ඇත. ඖෂධ නියාමන අධිකාරියේ යම් වෛද්‍ය උපකරණයක් ලියාපදිංචි කරන ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් එම අධිකාරිය විසින් නිකුත් කරනු ලැබ තිබේ. මෙම අධිකාරියේ වැඩකටයුතුවලට අදාළ පනතෙන් මෙන්ම වරින්වර ගැසට් මගින් නිකුත් කර ඇති රෙගුලාසි මගින්ද බලය පවරනු ලබයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට යම් පරීක්ෂණ කට්ටලයක් ගෙන්වීමේදී මුලින්ම කළ යුත්තේ ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියට ඉල්ලුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමයි. ඒ සඳහා අදාළ ආයතනයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය, මෙරට නියෝජිතයා ලෙස කටයුතු කිරීමට අදාළ ශ්‍රී ලාංකික සමාගම පත්කරන බවට සඳහන් විදේශ නිෂ්පාදකයාගේ ලිපිය (එම ලිපිය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි ඇමතූ ලිපියක් විය යුතුය), නිදහස් වෙළෙඳ බලපත්‍රය ඇතුළු ලියකියවිලි කිහිපයක් බාර දිය යුතුය. එම ලියකියවිලි බාරදීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කරන අතර, එයින් ඖෂධ නියාමන අධිකාරිය සෑහීමකට පත්වන්නේ නම් ඒ සඳහා සාම්පල් බලපත්‍රයක් නිකුත් කරයි. සාම්පල් බලපත්‍රය පිටපත් තුනකින් නිකුත් කෙරෙන අතර, එය නිකුත් කළ දින සිට වසරක කාලයක් සඳහා වලංගු වේ.

ඉන්පසු අදාළ දේශීය සමාගමට විදේශීය නිෂ්පාදකයාගෙන් සාම්පලයක් ගෙන්වා ගත හැකි අතර, එම සාම්පලය ඖෂධ නියාමන අධිකාරියට බාර දුන් පසු ඒ පිළිබඳ ඇගයීමේ ක්‍රියාවලිය ආරම්භ කරයි. එය දීර්ඝ ක්‍රියාවලියක් වන අතර, මෙම සාම්පලයේ තත්ත්වය, එය ශ්‍රී ලංකාවේ භාවිතයට ඇති හැකියාව ආදී කරුණු දීර්ඝ ලෙස සොයා බැලීමකට ලක්කිරීමෙන් පසු තීරණය ගැනීම සඳහා කමිටුවකට ඉදිරිපත් කරයි. එම කමිටුව සෑහීමකට පත්වන්නේ නම් ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් අදාළ උපකරණය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනු ලබයි. උපකරණය ගෙන්වීම සඳහා බලපත්‍රය නිකුත් කරන්නේ අවසානයට ය.

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කිරීම සඳහා තීරණය කර ඇති බව සහ ඊට අදාළව ඉල්ලුම්පත් යොමු කරන ලෙස දන්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔක්තෝබර් 26 වැනිදා නිවේදනයක් නිකුත් කළේය.

‘කොවිඩ් 19 රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ප්‍රමුඛතාව සහ කඩිනම් පදනම මත ලියාපදිංචි කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අයදුම්පත් බාරගන්නා බව වෛද්‍ය උපකරණ සඳහා වන සියලුම බලය ලත් නියෝජිතයන්ට දැනුම් දෙමු. ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කිරීම, සමාලෝචනය සඳහා අමතර සුදුසුකමක් වේ. ඊ-එන්එම්ආර්ඒ පද්ධතිය හරහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස මෙයින් උපදෙස් දෙනු ලැබේ.’ (All authorized agents for Medical Devices are hereby informed that National Medicines RegulatoryAuthority (NMRA) would entertain applications for registration of COVID 19 Rapid Antigen TestKitson priority and expedited review basis. Listing by the WHO will be an added qualification for such review.You are hereby advised to submit your application through e-NMRA system.)

රාජ්‍ය ඖෂධ සංස්ථාව ටෙන්ඩර් කැඳවයි

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලියාපදිංචිය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔක්තෝබර් 26 වැනිදා අයදුම්පත් කැඳවීමෙන් දින තුනකට පසු, එනම් ඔක්තෝබර් 29 වැනිදා රාජ්‍ය ඖෂධ සංස්ථාව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලක්ෂයක් මිලදීගැනීම සඳහා ටෙන්ඩර් දැන්වීමක් පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ දැනුම්දීම මත මෙම මිල කැඳවීම සිදු කළ බවයි. සභාපතිවරයා ප්‍රකාශ කළේ ටෙන්ඩර් කැඳවීම සිදු කළේ ඔක්තෝබර් 26 බවයි. කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති පරිදි ටෙන්ටර් කැඳවීම සිදු කර ඇත්තේ ඔක්තෝබර් 29 වැනිදා ය.

DHS/RL/74WAC/20 දරණ ටෙන්ඩර් අංකයෙන් ඇති එම ටෙන්ඩර් දැන්වීමේ සඳහන් කර ඇත්තේ නොවැම්බර් දෙවැනිදා පස්වරු 2.30ට ටෙන්ඩරය වසා දමන බවයි. ටෙන්ඩරය කැඳවූ ඔක්තෝබර් 29 දිනට පසු දිනය පොහොය දිනයක් වන අතර, ඊට පසු පිළිවෙළින් සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වේ. සඳුදා, එනම් නොවැම්බර් 02 දා ටෙන්ඩරය කැඳවීම අවසන් කරද්දී ආයතන 32ක් පමණ ඊට මිල ගණන් යොමු කර තිබිණි. ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් සඳහා ඉදිරිපත් වී තිබුණු අවම මිල වනුයේ ඇමෙරිකානු ඩොලර් 2.31ක් වන අතර, වැඩිම මුදල ඇමෙරිකානු ඩොලර් 19.58කි.

දිලිත් සහ දිනාසා එයි

කෙසේ වෙතත් මිල ගණන් ඉදිරිපත් කරද්දී සාම්පල් බාරදීමට සමත් වී තිබුණේ සමාගම් දෙකක් පමණි. ඒ ජෝර්ජ් ස්ටුවට්ස් සමාගම සහ දිනාසා පෞද්ගලික සමාගමයි. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම දෙරණ මාධ්‍ය ජාලයේ හිමිකරුවාද වන දිලිත් ජයවීර මහතා සභාපතිත්වය දරන ජෝර්ජ් ස්ටුවට්ස් හෙල්ත් සමාගම පරීක්ෂණ කට්ටලයක මිල ලෙස සඳහන් කර තිබුණේ ඇමෙරිකානු ඩොලර් 6.19කි. දිනාසා පෞද්ගලික සමාගම ඉදිරිපත් කළ මිල වන්නේද ඇමෙරිකානු ඩොලර් 6.19කි. ජෝර්ජ් ස්ටුවට්ස් හෙල්ත් සමාගම ඉදිරිපත් කළ ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයේ නිෂ්පාදකයා වූයේ කොරියාවේ Abbott Diagnostics සමාගම වන අතර, දිනාසා පෞද්ගලික සමාගම ඉදිරිපත් කළ කට්ටලයේ නිෂ්පාදකයා කොරියාවේ SD Biosensor සමාගමයි. මෙම නිෂ්පාදන දෙක ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිත ලැයිස්තුවට ඇතුළත් කර ඇති නිෂ්පාදන වේ. දිනාසා සමාගමේ හිමිකාරිත්වය ද ජෝර්ජ් ස්ටුවට්ස් හෙල්ත්හි හිමිකරුවන්ටම අයත් බව ඇතැම් දේශපාලනඥයන් පවසා තිබිණි.

මීට පෙර සඳහන් කළ පරිදි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලියාපදිංචිය සඳහා දැන්වීම් පළ කර තිබුණේ ඔක්තෝබර් 26 වැනිදා වන අතර, ඊට දින තුනකට පසු රාජ්‍ය ඖෂධ සංස්ථාව කැඳවූ ටෙන්ඩරයට සාම්පල් ඉදිරිපත් කිරීමට කෙසේ වෙතත් සාම්පල් ගෙන්වීමේ ලිපිය ලබාගැනීමටවත් මෙම කාලය ප්‍රමාණවත් නොවීය. එසේ නම් සමාගම් දෙකකට පමණක් සාම්පල් ලැබුණේ කෙසේද?

ලියාපදිංචියේ වරප්‍රසාදය

මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී තහවුරු වූයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ලියාපදිංචිය සඳහා දැන්වීම් පළකිරීමට දින කිහිපයකට පෙර දිනයක් සහිතව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල සඳහා නිෂ්පාදන දෙකක් ලියාපදිංචි කර ඇති බවයි. ලියාපදිංචි වෛද්‍ය උපකරණ ආනයනය කිරීම සඳහා වන බලපත්‍රය ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් ජෝර්ජ් ස්ටුවට්ස් හෙල්ත් සමාගමට නිකුත් කර ඇත්තේ ඔක්තෝබර් 22 දාතමිනි. එය ලබා දී ඇත්තේ 2021 ඔක්තෝබර් 21 දා තෙක් ය.

වෛද්‍ය උපකරණයක් ලියාපදිංචි කළ පසු එය ඖෂධ නියාමන අධිකාරියේ වෙබ් අඩවියේ ලියාපදිංචි වෛද්‍ය උපකරණ ලැයිස්තුවට ඇතුළත් කළ යුතු බවට රෙගුලාසියක් පනවා තිබේ. කෙසේ වෙතත් 22 වැනිදා ලියාපදිංචි කළ බව කියන මෙම නිෂ්පාදනය  මෙම ලිපිය ලියන මොහොත වනතෙක්ම (නොවැ.13) අදාළ ලැයිස්තුවට ඇතුළත් කර නැත. එපමණක් නොව කොරියාවේ Abbott Rapid Diagnostics Jena GmbH නිෂ්පාදකයා ද එම නිෂ්පාදකයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර නැත. ජෝර්ජ් ස්ටුවට් හෙල්ත් ආයතනයෙන් ගෙන්වීමට අවසර දී ඇති ලැයිස්තුවට ද මේ වන තෙක් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ඇතුළත් කර නැත.

මේ සම්බන්ධයෙන් MediaLK සමග අදහස් දක්වමින් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසුවේ මෙම ක්‍රමවේදයෙන් පැහැදිලිව පෙනෙන්නේ මෙරට රාජ්‍ය ආයතන කටයුතු කරන ආකාරය බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අදාළ ලැයිස්තුවට ඇතුළත් කළ පමණින් එය හොඳම නිෂ්පාදනය නොවන බවත්, ඖෂධ නියාමන අධිකාරිය මේ සමාගමට අවසර දුන් ආකාරයේ බරපතළ අපැහැදිලිතාවක් ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

‘සෞඛ්‍ය අමාත්‍යංශය හදිසියේ ටෙන්ඩරය දානවා. දවස් කීපයකින් ටෙන්ඩරය අවසන් කරනවා. හැබැයි පීසීආර් ටෙස්ට් කිට් ගෙන්වන්නත් මේ විදිහට ටෙන්ඩරයක් දැම්මා. ඒකට මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්වලට ළඟ මිල ගණනුත් ඉදිරිපත් වෙලා තිබුණා. ඒත් ඒක තවම ක්‍රියාත්මක නෑ. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වැඩ කරන විදිහ ඉතාම අපැහැදිලියි. කිසිම විනිවිදභාවයක් නෑ’ යනුවෙන් ද අප කළ විමසීමට පිළිතුරුදෙමින් ඔහු සඳහන් කළේය.

ප්‍රායෝගික සත්‍යය

ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ ගෙන්වීමේදී කටයුතු කළ යුතු ආකාරයට මෙම කට්ටලයට යම් සමාගමකට අවසර දෙන්නේ නම් එය දින දෙක-තුනකින් කළ නොහැකි වීම ප්‍රායෝගික සත්‍යයක් බව ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියෙක් පැවසීය. එසේ නම් ජෝර්ජ් ස්ටුවට්ස් හෙල්ත් සමාගම ඉදිරිපත් කළ මෙම පරීක්ෂණ කට්ටලය ලියාපදිංචි කර ඒවා ගෙන්වීමට අවසර ලබා දුන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

‘ඕනෑම උපකරණයක් ගෙනෙද්දි එහි නිෂ්පාදකයා මෙහෙ ලියාපදිංචි කරන්න ඕනෑ. ඉන්පසු ඔහුගේ දේශීය නියෝජිතයා රෙජිස්ටර් වෙන්න ඕනෑ. එහෙම රෙජිස්ටර් වුණාම තමයි අපි ප්‍රඩක්ට් ෆයිල් එක බාරගන්නෙ. මේ ඔක්කොම ඔන්ලයින් කරන්නෙ. නමුත් අපි කොවිඩ් නිසා මුල් කටයුතු දෙක කළාට පස්සෙ ෆයිල් එක මැනුවල් බාර අරගෙන ඉක්මනින් කරලා දෙනවා. ඒක කාගෙද, කොයිරටේද කියන එක අපිට වැඩක් නෑ. මොකද ෆයිල් එක බාරගත්ත ගමන් ඔක්කොම වෙන්නෙ නෑ. ඒක තීරණය කරන්නෙ අපි නෙමෙයි. ඒක තිරණය කරන්නේ විශේෂඥ කණ්ඩායමක්. සයිඩ් මාස්ටර් ෆයිල් එක දීලා සල්ලි බැන්දට පස්සේ අපි සාම්පල් ලයිසන් ඉෂූ කරනවා. සාම්පල් ලයිසන් දෙන්නේ සාම්පල් ගෙන්වන්න. ඉන්පස්සෙ ෆයිල් එකත් එක්ක සාම්පල් බාරගන්නවා.’

‘දැනට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල වර්ග දෙකක් රෙජිස්ටර් කරලා ති‌යෙනවා. ඒක නියම ප්‍රොසීඩියර් එකට ගිහින් තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලැයිස්තුගත කරලා තියෙනවා කොවිඩ් සම්බන්ධයෙන් ඉමජන්සි අයිටම්. ඒකට කියන්නේ ප්‍රීකොලිෆයි කරනවා කියලා. අපි ඒ නිර්ණායකයි පාවිච්චි කරන්නේ. ඩබ්ලිව්.එච්. ඕ එකේ එම ලැයිස්තුවේ තිබෙන එකක් ආවොත් අපට ඉක්මනින් දෙන්න පුළුවන්. ලියාපදිංචි කරලා තියෙන්නේ නිෂ්පාදන දෙකක්. ඒ දෙකේ ලෝකල් ඒජන්ට් එක්කෙනෙක්. ඊට අමතරව තවත් සාම්පලයක් ඉදිරිපත් වෙලා තිබෙනවා. එහි කටයුතු සිදුවෙනවා.’

කෙසේ වෙතත් මේ වන විට ජෝර්ජ් ස්ටුවට්ස් හෙල්ත් සමාගම රැපිඩ් ඇන්ටිජන් කට්ටල ලක්ෂ දෙකක් ලංකාවට ගෙන්වා තිබේ. එපමණක් නොව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කරන ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් පිරිසකට පුහුණුවක් ද පවත්වා ඇත. එම පුහුණුව සඳහා සහභාගි වී ඇත්තේ ජෝර්ජ් ස්ටුවට්ස් ගෙන්වූ රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල නිෂ්පාදකයා වන ඇබට් සමාගමේ නිලධාරියෙකු වන වෛද්‍යවරයෙකි.

රාජ්‍ය ඖෂධ සංස්ථාව මගින් මිල ගණන් කැඳවීමේදී සාම්පල් ඉදිරිපත් කළ සමාගම් දෙකෙන් එකකට ටෙන්ඩරය පිරිනමන්නේදැයි MediaLK කළ විමසීමේදී රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේ තවම එම සාම්පල්වල තත්ත්ව පරීක්ෂාව අවසන් නැති බවයි.

‘අපි ටෙන්ඩරය අවසන් කළේ දෙවැනිදා. කවදාවත් නැති විදිහට විශාල පිරිසක් මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. අපි තවම මේ කටයුතු අවසන් කරලා නෑ. ටෙන්ඩර් කමිටුව මේක තාක්ෂණ කමිටුවට යොමු කරලා තිබෙනවා. තාක්ෂණ කමිටුවෙන් තවම කටයුතු අවසන් නෑ. මේක විනිවිදභාවයෙන් කරන්න ඔ්නෙ නිසා ටෙන්ඩර් එකට ආපු හැමෝටම අපි නැවතත් ඊමේල් යැව්වා සාම්පල් බාරදෙන්න කියලා. තවත් සාම්පල් එනකම් අපි ඉන්නවා. මේක ඉතාමත් විනිවිදභාවයෙන් වෙන්නේ. මීට පෙර පීසීආර් පරීක්ෂණ කට්ටලත් ගත්තා. එතකොට මේ චෝදනා කරන අය කතා කළේ නෑ’ යැයි විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

ජීවිත සමග ගනුදෙනුවේ වාසිය කාටද?

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලැයිස්තුව ඉතා හදිසි අවස්ථාවකදී මිලදීගැනීමට පමණි. නොඑසේනම් එම නිෂ්පාදන මෙන්ම වෙනත් නිෂ්පාදන ගැන ද ඇගයීමක් කිරීමට ඔ්නෑම රටකට අවස්ථාව ඇත. එසේ නම් ලංකාවට ද අවස්ථාව ඇත.  ලංකාවට අවශ්‍ය ගුණාත්මක මෙන්ම මිල අඩුම ආයතනයකට මෙම ටෙන්ඩරය ලබා දෙන්නේදැයි බලා සිටිය යුතුය. ඊට හේතුව ගුණාත්මක බව සහ මිල යන කාරණා දෙකම ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තදින්ම බලපාන බැවිනි. මේ ජීවිත සමග කරන ගනුදෙනුවකි. ගුණාත්මක බව වෙනස් වීම ජීවිත දුර්වල කිරීමට මෙන්ම අතුරු ආබාධ ඇති කිරීමට ද සමත් ය. මිල වෙනස් වීම සමස්තයේ ජීවිතවල ගුණාත්මක බව සමග බැඳී පවතී. වැඩි මිල විසින් ජනතාවට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් හෝ සේවාවක් අහිමි කරනු ඇත.

එහෙත් මේ දෙකෙන්ම ව්‍යාපාරිකයාට අත්වන්නේ වාසියකි. ජීවිත සමග ගනුදෙනුවෙන් ලබාගන්නා වාසියකි.

Previous articleබැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරු 19ක් ඉල්ලති
Next articleලෝකයටම කැප චීනයට සහ ලංකාවට අකැප භූමදානය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here