සාක්කි නෑ? : අහනෆ්ගේ නඩුව ගැන නීතිපති තීන්දුව මාස දෙකකින්

නවරසම් කවි පොත රචනා කළ අහනෆ් ජසීම් සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න ගැන නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා අද (8) පුත්තලම මහාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ අද (8) මෙම නඩුව කැඳවූ වස්ථාවේ දී චූදිත අහනෆ් ජසීම් ඉගැන්වීම් කළ පාසලේ සිසුන් දෙදෙනකු සාක්කිකරුවන් ලෙස සාක්කි ඉදිරිපත් කළහ. චූදිත අහනෆ් ජසීම් අන්තවාදය ගැන ඉගැන්වීම් කළ බව  සාක්කිකරුවෝ ප්‍රතික්ෂේප කළහ. ඔවුන් ප්‍රකාශ කළේ විෂයට අදාල දේවල් හැර වෙනත් කිසිවක් චූදිත විසින් ඉගැන්වීම් නොකළ බවයි.
මෙම සාක්කිකරුවන් දෙදෙනාගෙන්ම අහනෆ් ජසීම්ට එරෙහිව කිසිවක් අනාවරණය නොවූ හෙයින් ඔවුන් දෙදෙනාගෙන් හරස් ප්‍රශ්න විමසීමක් නොකරන බව චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා දැනුම් දුන්නේය.
ඒ අනුව දැනට ප්‍රධාන සාක්කිකරුවන් පස් දෙනකුගේ සාක්කි අවසන් කර ඇති බවත්, එම සාක්කි මත මෙම නඩුව ඉදිරියට ගෙනයනවාද යන්න සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම්දීම සඳහා මාස දෙකක කාලයක් අවශ්‍ය බවත් උදාර කරුණාතිලක මහතා මහාධිකරණයට දැනුම් දුන්නේය.
නීතිපතිගේ ස්ථාවරය දැනුම්දීම සඳහා නඩුව නොවැම්බර් 27 වැනිදා තෙක් කල් තැබිණි.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාතිලක මහතා පෙනී සිටි අතර චූදිත වෙනුවෙන් නීතිඥ සංජය විල්සන් ජයසේකර මහතා සමග නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා පෙනී සිටියේය.

2020 වසරේ දී නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීමෙන් පසු අහනෆ් අත්අඩංගුවට ගත් අතර නීතිඥවරයාට එරෙහිව සාක්කි ලබා දෙන ලෙස ඔහුට බලපෑම් කළැයි වාර්තා විය. ඔහු ත්‍රස්තවාදය වැලැක්වීමේ කොට්ඨාසය බාරයේ සිටියදී මීයකු සපා කා තිබිණි. එසේම අහනෆ් වධහිංසනයට ද ලක් කර තිබුණු අතර මුල් කාලයේදී නීතිඥවරයකුට හෝ ඔහුගේ පවුලේ පිරිසට ඔහු හමුවීමට අවස්ථාව ලබා දුන්නේ නැත.

මේ සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ පැමිණිල්ලක් අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ත්‍රස්තවාදය වැලැක්වීමේ කොට්ඨාසයට ගොස් අහනෆ් මුණගැසී ඔහුගේ තත්ත්වය ගැන පරීක්ෂණයක් ද පැවැත්වීය.

අහනෆ් ජසීම් සම්බන්ධයෙන් MediaLK මීට පෙර වාර්තා කළ පුවත් පහත දැක්වේ.

කවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයාගේ ජීවිත ආරක්ෂාව සහතික කරන්නැයි ඉල්ලති

කවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයා ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

අහ්නෆ්,භාෂණයේ නිදහස සහ මානව හිමිකම්

වසරකට පසු අහ්නෆ් ජසීම් රහසිගතව අධිකරණයට ඉදිරිපත් කරයි !

අහනෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර

මාස 19කට පසු අහනෆ්ට ඇප

ඇප ලැබූ අහනෆ්ට ගෙදර යන්න බැරිවෙයි

 

Previous articleවෙබ් මාධ්‍යවේදීන්ට ගම්පහ උසාවි පොලිස් නිලධාරීන්ගෙන් වෙනස්කම්
Next articleපුහුල් හොරා කරෙන් දැනේ ; චැනල් 4ට උත්තර දෙන්න හැදූ ගෝඨාගේ නිවේදනයේ බොරු ගොඩක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here