ගෝඨාභයගේ පලිගැනීම් කොමිසමේ සාමාජිකයන් අධිකරණයට කැඳවයි

අධිකරණය හමුවේදී ලබා දුන් එකඟතාවක් කඩ කිරීමෙන් අධිකරණයට අපහාසයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දේශපාලන පලිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ඇතුළු එම කොමිසමේ සාමාජිකයන් තිදෙනාට සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය.
දේශපාලන පලිගැනීම් සොයා බැලීමට ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සෙසු සාමාජිකියන් වූයේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන පිරිසය.
ඇවන්ඩ්ගාර්ඩ් හිමිකරු නිශ්ශංක සේනාධිපති එම කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට දේශපාලන පලිගැනීම් සෙවූ කොමිසමෙන් සිතාසියක් ලැබී ඇති අතර නිශ්ශංක සේනාධිපති රජයේ සේවකයෙක් නොවී තිබියදී ඔහුගේ පැමිණිල්ල විභාග කිරීම කොමිසමට හැකියාවක් නැති බව කියමින් ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම කැඳවූ අවස්ථාවේදී කොමිසම වෙනුවෙන් කරුණු දක්වමින් ශානි අබේසේකර මහතාට එරෙහිව එම පැමිණිල්ලට අදාලව කටයුතු නොකරන බවට එකඟත්වයක් ලබා දී තිබුණේය.
එසේ තිබියදී එම කොමිසමේ අවසන් වාර්තාව මගින් මෙම පැමිණිල්ලට අදාල ශානි අබේසේකර මහතා වැරදිකරුවකු කරමින් ශානි අබේසේකර මහතාට එරෙහිව නිර්දේශ ලබාදී තිබුණු අතර ඒ මගින් අධිකරණයට වූ එකගත්වය කඩ කර අධිකරණයට අපහාසයක් කර ඇතැයි කියමින් අබේසේකර මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.
පෙත්සම සලකා බලූ අභියාචනාධිකරණය අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් උපාලි අබේරත්න ඇතුළු තිදෙනාට සිතාසි නිකුත් කළේය. අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයකුට සිතාසි නිකුත් කළ පළමු අවස්ථාව මෙය වෙයි.
නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර් ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉරිදියේ මෙම පෙත්සමට අදාල නියෝගය ලබාදීම සඳහා ඊයේ කැඳවූ අවස්ථාවේදී ශානි අබේසේකර මහතා වෙනුවෙන් අස්ථික දේවේන්ද්‍ර සහ කනිල් මද්දුමගේ යන නීතිඥවරු පෙනී සිටියහ. නියෝගය ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් ලෙස නම් කළ උපාලි අබේරත්න ඇතුළු පිරිසට සැප්තැම්බර් 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පත් කරන ලද මෙම දේශපාලන පලිගැනීම් කොමිසම පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේය. අධිකරණයේ විභාග වෙමින් තිබූ අපරාධ නඩු සම්බන්ධයෙන් එම කොමිසමේදී විභාග පැවැත්වූ අතර එම නඩුවල සැකකරුවන් මුදා හරින ලෙස නිර්දේශ කෙරිණි. 2005-2015 අතර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රැසක් මුදා හරින ලෙස මෙම කොමිසම හිටපු ජනාධිපතිවරයාට නිර්දේශ කළේය.
රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක ඇතුළු එවකට විපක්ෂයේ බොහෝ දෙනකුගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ද නිර්දේශ කෙරුණු අතර රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ සිටියදී පාර්ලිමේන්තුවේ කතාවක් කරමින් මෙම කොමිසම හැඳින්වූයේ ‘පිස්සු පූසා කොමිසම‘ ලෙසය.
මෙම කොමිසමේ සභාපතිත්වය දැරූ උපාලි අබේරත්න මහතා පහළ අධිකරණවල විනිසුරුවරයකු ලෙස සිටියදීද දැඩි ආන්දෝලනයකට තුඩු දුන් චරිතයක් වූ අතර රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් මහතාගේ ‘නොනිමි අරගලය‘ පොතේ ද ඔහු සම්බන්ධයෙන් ඇතුළත් කර තිබේ. උපාලි අබේරත්න මහතා මෙම කොමිසමේ සභාපති ලෙස පත් කිරීමෙන් පසු ඔහු අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති ලෙසත්, පසුව තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිසමේ සභාපති ලෙසත් පත් කරනු ලැබීය. ඔහු මේ වන විට තොරතුරු කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියි.  අතුරුදන් වූ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමට සම්බන්ධ සැකකරුවන් මුදා හැරීමට නිර්දේශ කළ උපාලි අබේරත්න මහතා පසුව අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපති ලෙස පත් කිරීම සම්බන්ධයෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති වැඩසටනකදී ද අදහස් දැක්වූවාය.
මෙම කොමිසමේ සාමාජිකයකු වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පසුව ජාතික පොලිස් කොමිසමේ සභාපති ලෙස ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබූූ අතර ඔහු එම ධුරයේ සිටියදීම බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළට ගියැයි කියමින් දැඩි කතා බහක් ඇති විය. ඔහු පොලිස් කොමිසමේ සභාපති ලෙස කටයුතු කරන කාලයේදී දේශපාලන අධිකරියට අවශ්‍ය ලෙස පොලිසියේ තනතුරු වෙනස් කළැයි චෝදනා එල්ල විය.
දේශපාලන පිළිගැනීම් කොමිසම ගැන MediaLK  මීට පෙර පළ කළ ලිපි පහත දැක්වේ.

දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ වළක්වාලමින් අතුරු නියෝගයක්

දේශපාලන පළිගැනීම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළාද? : නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරු හමුවට !

නිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?

දේශපාලන පළිගැනීම් කොමිසම නිසා අධිකරණය ගැන සැක මතුවීමේ අවදානමක් 

ජනාධිපතිගේ පළිගැනීම් කොමිසමට එරෙහිව පෙත්සම් පහක් අභියාචනාධිකරණයට !

තමන්ගේ නඩු ඉවත් කරගන්න තමන්ම අත උස්සයි : පළිගැනීම් කොමිසම කැකිල්ලේ අධිකරණයක් – ජවිපෙ ප්‍රධාන ලේකම්

ජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !

ජනපතිගේ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් : ලෝකය රැවටීමේ පොරොන්දුවලින් සිදුවන්නේ කුමක්ද?

අංක 2212/53 : ජේ.ආර්.ගේ කොමිසමෙන් පසු ආ ගෝඨාගේ කොමිසම විපක්ෂයක් නැති කරයිද?

අතුරුදන්වූවන්ගේ කාර්යාලයේ නව සභාපති පක්ෂපාතී චෝදනා ලත් විනිසුරුවරයෙක් – මව්පියෝ විරෝධය දක්වති !

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com

news@medialk.com
tharindu@medialk.com
Previous articleවිකාශන අධිකරිය හදන්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හංගයි
Next articleටිරාන් අලස්ට එරෙහිව අජිත් රෝහණ උසාවි යයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here