ජනපති පත්කළ තොරතුරු කොමිසමේ සභාපති චූදිතයෙක් – පක්ෂපාතී අයෙක් !

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරනු ලැබ තිබේ.
නාමයෝජනා කැඳවීමෙන් පසු තෝරාගත් සාමාජිකයන්ගේ නම් පසුගිය සතියේ පාර්ලිමේන්තු සභාව විසින් ජනාධිපතිවරයා වෙත යවනු ලැබීය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ය.
සෙසු සාමාජිකයන් ලෙස මීට පෙර කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය සහ අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු රෝහිණී වල්ගම මහත්මියත්, තොරතුරු පනත පිළිබඳ පුහුණුකරුවකු වන නීතිඥ ජගත් ලියන ආරච්චි මහතාත්, විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වන ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතාත් පත්කරනු ලැබ සිටිති.
වගඋත්තරකරුවෙක්
කොමිසමේ සභාපති ලෙස පත්කර ඇති උපාලි අබේරත්න මහතා මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක වගඋත්තරකරුවෙකි. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ ඒ මහතා වගඋත්තරකරුවකු කරමින් නඩු කිහිපයක් මේ වන විට ගොනුවී තිබේ. ඊට අමතරව ඔහු අධිකරණයට අපහාස කළ බව කියමින් ඔහුට එරෙහිව කටයුතු කරන්නැයි අතුරුදන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබේ.
ස්වාධීන ආයතන දෙකක සභාපති?
මීට අමතරව ස්වාධීන ආයතන දෙකක සභාපති ධුර එකවර දරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද සංවාදයක් ඇති වී තිබේ. උපාලි අබේරත්න මහතා අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයා ද වේ. ජනාධිපතිවරයා විසින් මේ කාර්යාලයේ සභාපති ධුරයට උපාලි අබේරත්න මහතා පත්කිරීමෙන් පසු, ඔහු අදාළ කාර්යාලයේ වැඩ භාරගැනීමට විරෝධය පළකරමින් නාවික හමුදාවේ කප්පම් කල්ලියක් විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද තරුණයන් 11 දෙනාගේ මව්වරුන් සහ පියවරුන් විසින් ලිපියක් ද යවනු ලැබීය.
අතුරුදන් තරුණයන්ගේ මව්පියන්ගේ ලිපිය
2009 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු මෙසේ පැහැරගෙන ගොස් තිබූ අතර, නීතිපතිවරයා විසින් මෛ නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා ද ගොනු කර තිබේ. අගවිනිසුරු විසින් පත්කරන ලද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයකදී මෙම නඩුව විභාග වෙමින් පැවැතිණි. ඒ අතරතුරදී ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් කොමිසමට නඩුවේ 14 වැනි විත්තිකරු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලක් විභාග කරමින්, කොමිසමේ විභාගය අවසන් වන තුරු නඩුව විභාග කිරීම අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කිරීමට එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කළ උපාලි අබේරත්න කටයුතු කර තිබූ බවත්, එය පක්ෂපාතී හැසිරීමක් බවත් අදාළ ලිපිය මගින් එම මව්වරුන් සහ පියවරුන් විසින් පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ ද බරපතළ කතාබහක් ඇති වූ අතර, නීතිපතිවරයා විසින් අවධාරණය කරන ලද්දේ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමට, අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් නියෝග ලබාදීමේ බලයක් නැති බවයි.
අධිකරණය පිළිබඳ සැකයක්?
මේ සම්බන්ධයෙන් මීට පෙර MediaLK සමග අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මහතා පැවසුවේ කොමිසමේ මෙම හැසිරීම මගින් අධිකරණය පිළිබඳ ජනතාව අතර සැකයක් ඇති විය හැකි බවයි. කොමිසමේ කටයුතු එක් පාර්ශ්වයකට වාසි වන ආකාරයට මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම ද මේ ගැටළුව තීව්‍ර කිරීමට හේතු වන බව ද නීතිඥවරයා අවධාරණය කළේය.
අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය 2016 අංක 14 දරන පාර්ලිමේන්තු පනත යටතේ පිහිටුවා ඇති අතර, අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ විමර්ශනය සහ ඔවුන්ගේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුකිරීඹට මැදිහත් වීම මෙම කාර්යාලයේ කාර්යභාරය වේ. එවැනි කාර්යාලයක සභාපති ධුරයට යුක්තිය පසිඳලීමේ අධිකරණ කාර්යයට අත්තනෝමතික ලෙස මැදිහත් වූ පුද්ගලයෙකු පත්කිරීමට විරෝධය පළකර සිටි අදාළ මව්වරු සහ පියවරු, එම තනතුරේ වැඩ භාරගැනීම හෘද සාක්ෂියට එකඟ දැයි උපාලි අබේරත්න හිටපු විනිසුරුවරයාගෙන් ප්‍රශ්න කර සිටියහ.
නීතිඥවරුන් සිව්දෙනෙකුගෙන් පෙත්සම්
මේ අතර දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිඥවරුන් සිව්දෙනෙකු විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් ද කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් වන අචලා සෙනෙවිරත්න, සේනක පෙරේරා, තම්බයියා ජෙයරත්නරාජා සහ නාමල් රාජපක්ෂ විසින් මේ ඉල්ලීම කර ඇත. ඉහත කොමිසමේ නිර්දේශවලින් අධිකරණ පද්ධතියට සහ පුරවැසි අයිතිවාසිකම්වලට හානියක් සිදු වී තිබේද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙස අදාළ ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් ය.
2015 ජනවාරි 08 දින සිට 2019 නොවැම්බර් 19 දින දක්වා රාජ්‍ය නිලධාරීන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2020 ජනවාරි 09 දිනැති 2157/44 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මේ කොමිසම පිහිටුවන ලදි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා වූ අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ වූහ. ජනාධිපතිවරයා වෙත භාරදෙන ලද කොමිසමේ අවසන් වාර්තාව මගින් අධිකරණයේ විභාග වන නඩු 79ක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.
පිටු 2000කින් යුත් මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ හා තීරණ ඇතුළත් සාරාංශයක් ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කැබිනට් සංදේශයට එක් කොට තිබිණි. එම සාරාංශයේ ඇමුණුම 1 හි නඩු 61ක් ද, ඇමුණුම 2 හි නඩු 18ක් ද ලෙස නඩු 79ක් ඉවත් කරගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති අතර, එහි පැමිණිලිකරුවන්ට සහන සලසන ලෙසත්, පැමිණිලිකරුවන්ට එරෙහිව කටයුතු කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොමිසමෙන් නිර්දේශ කර තිබේ.
කොමිසමේ භාවිතාව
එසේම පසුගිය ආණ්ඩුව සමයේ පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, දූෂණ විරෝධී කමිටුව හා ජාතික විධායක සභාව ගැන කොමිසම දැඩි විවේචනයක් එල්ල කොට තිබෙන අතර, එම ආයතනවල නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට පාර්ලිමේන්තුවෙන් නීති සකස් කරන ලෙස ද ඉල්ලා ඇත. දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මඟින් සිදු කළ පොදු දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් කොමිසම විභාග කළේය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එදා සිටි පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද අදාළ පැමිණිල්ල පිළිබඳ නිර්දේශයේ වගඋත්තරකරුවන් කර තිබුණ ද, එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රවි වෛද්‍යලංකාර මෙහි වගඋත්තරකරුවකු කර නැත.
මේ කොමිසම පත්කිරීමේ ගැසට් පත්‍රයෙන් අධිකරණ හෝ අධිකරණවල තීන්දු සම්බන්ධයෙන් බලගැන්වීමක් කිසිසේත්ම කර නොමැති බවත්, ඒ අනුව මේ ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් යුක්තිය අවගමනය කිරීමක් සහ අධිකරණයට අපහාස කිරීමක් සිදු වී ඇතැයි නිරීක්ෂණය වන බවත් අදාළ නීතිඥවරුන් විසින් අගවිනිසුරුවරයාට පෙන්වා දී තිබේ. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණීය දණ්ඩනය ලබාදී ඇති නඩු තීන්දුව සම්බන්ධයෙන් කොමිසම සඳහන් කර ඇති නිර්දේශ සම්බන්ධයෙන් ද මේ ලිඛිත ඉල්ලීමේ විශේෂයෙන් සඳහන් කර ඇත.
සිදු කළේ කළ යුත්ත ද?
මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ජනාධිපති කොමිෂන් සභා පත්කිරීමේ අරමුණ අධිකරණවල මෙන් තීන්දු දීම නොවන බවයි. එසේ වුවද යම් නිශ්චිත කරුණක් හෝ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට, ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදීමටත්, ඒ වාර්තාවට තමන්ගේ නිර්දේශ ඇතුළත් කිරීමටත් කොමිසමට බලය ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව අප කළ විමසීමේදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ පැවසීය.
‘යම් වරදක් තියෙනවා, ඒකට මේ මේ පුද්ගලයන් වරදකරුවන් හෝ නිවැරදිකරුවන් බව පෙනීයනවා කියලා පෙනුණොත්, ඒ පිළිබඳව ජනාධිපතිට නිර්දේශ කරන්න කොමිසමට පුළුවන්. ඊට පස්සෙ ජනාධිපතිතුමා ඒක බලලා, ඉදිරි පියවර ගැනීම අවශ්‍යයි කියලා තීරණය කළොත් නීතිපතිතුමාට ඒ නිර්දේශ යොමු කරනවා. ඊට පස්සෙ නීතිපතිතුමාගෙ උපදෙස් මත අපරාධ අංශ මගින් ඉදිරි විමර්ශන කටයුතු කරන්න හැකියාව තියෙනවා.’
ජනාධිපති කොමිෂන් සභා පිහිටුවීම සඳහා පනත් දෙකකින් ජනාධිපතිවරයාට බලය පවරා තිබේ. 1978 විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත එකකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය සම්බන්ධ කරුණ විමර්ශනය කරන ලද්දේ එවැන්නකි. අනෙක 1948 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත ය. මේ කොමිසම පිහිටුවීමේ ගැසට්පත්‍රයේ සඳහන් වන්නේ එය විමර්ශන කොමිෂන් සභාවක් බවයි. ඒ අනුව ඔවුන්ට රාජ්‍ය සේවයේ සිදු වූ බවට පැමිණිලි ලැබී ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි, ලේඛන, පුද්ගලයන් කැඳවා විමර්ශන පැවැත්වීමට බලය ඇත.
මේ කොමිසම පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ අදහස් දැක්වීය.
‘අපේ රටේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණාට පස්සෙ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි, ඒ ආණ්ඩුවට සහාය දුන් අයට උසස්වීම් ලැබුණෙ නෑ, පළිගැනීම් කළා කියන එක. දේශපාලන හේතු නිසා අපිව ඈත පළාත්වලට මාරු කළා කියන එක. පහුගිය කාලෙම සිද්ධ වුණේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඒ පත්වුණු ආණ්ඩුව කමිටුවක් පත්කරලා, ඒ කමිටුවෙන් ගන්න තීරණ කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරන එක.
බලපෑමේ තරම
ඒත් මේ ආකාරයට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරපු පළමු අවස්ථාව මේක. මීට කලින් කිසිම ආණ්ඩුවක් ඒ වගේ දෙයක් කරලා නෑ. මේ කොමිසමට ලැබුණු සහ කරුණු විමසූ, නිර්දේශ ඉදිරිපත් කළ පැමිණිලි දිහා බලද්දි පැහැදිලි වෙන එක තමයි, උසස්වීම් වගේ රාජකාරි දේවල්වලට වඩා අපරාධ නඩු සම්බන්ධයෙන්, අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙතැනදි වැඩි අවධානයක් යොමුවෙලා කියන එක. මෙතැන බරපතළ නීති ප්‍රශ්නයක් තියෙනවා. ඔ්නෑම අපරාධ නඩුවකදි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනීඉන්න නීතිඥ මහත්තයා කියනවා, චූදිතයා නෙමෙයි මේකට වරදකාරයා, චූදිතයා මේකට පටළවලා තියෙන්නෙ කියලා. ඒක සාමාන්‍යයෙන් උසාවිවල වෙනවා. අපරාධ නඩුවලදි සාධාරණ සැකයක් ඇති කළොත්, චූදිතයට නිදහස් වීමේ වැඩි ඉඩක් ලැබෙනවා.’
කොමිසම මෙහිදී කටයුතු කළ ආකාරයෙන් මෙන්ම මාධ්‍ය මගින් එම කොමිසමේ කටයුතු ආවරණය කළ ආකාරයෙන් ද අධිකරණ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ජනතාව තුළ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ද මේ පිළිබඳව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කර සිටිති.
විෂමාචාර චෝදනා එල්ල වූ විනිසුරු
උපාලි අබේරත්න විනිසුරු අධිකරණ සේවයේ සිටියදී නීතිය විෂමාචාර ලෙස භාවිත කිරීමේ චෝදනාවට වරදකරු වූවෙකි. ඒ 1999 වර්ෂයේදී ය. රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ලියූ නොනිමි අරගලය කෘතියේ මේ සම්බන්ධයෙන් තොරතුරු සාක්ෂි සහිතව සඳහන් ය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමඟ එක්ව මෙම විෂමාචාරය කළ බවට චෝදනා එල්ල විය. එවකට උපාලි අබේරත්න විනිසුරුවරයා කොළඹ දිසා අධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය.
වරලත් රසායන ඉංජිනේරුවකු වූ ඩබ්ලිව්.ඒ.බී. ජයසේකර සිය බිරිඳට හා සරත් නන්ද සිල්වාට එරෙහිව අනාචාර නඩුවක් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ ගොනු කළේ 1993 දෙසැම්බර් 15 දා ය. සිය බිරිඳ ඔහු අතහැර සරත් නන්ද සිල්වා සමඟ ජීවත් වන බවත්, සරත් නන්ද සිල්වා ද දික්කසාද වූ අයෙකු නොවන බැවින්, මෙය අනාචාරයක් බවත් කියමින් ඔහු කොළඹ දිසා අධිකරණය හමුවේ මේ නඩුව ගොනු කර තිබේ.
විනිසුරුවරයකු ලෙස භාවිතාව
එම පැමිණිල්ල විභාගයට ගැනීමෙන් තොරව, පැමිණිල්ලේ අඩුපාඩු සකස් කිරීමට කිසිදු අවස්ථාවක් ලබානොදී දිසා විනිසුරු උපාලි අබේරත්න විසින් ඉවත දමන්නේය. පසුව ඔහු නැවතත් 1994 ජුනි 10 දා තවත් පැමිණිල්ලක් දිසා අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර, එහිදී උපාලි අබේරත්න විනිසුරුවරයා පැමිණිලි පාර්ශ්වයේ කිසිදු විමසීමකින් තොරව පළමු වගඋත්තරකරු වූ සරත් නන්ද සිල්වා වගඋත්තරකාර තත්ත්වයෙන් ඉවත් කරනු ලැබීය. ඉන් නොනැවතුණු විනිසුරුවරයා තමන් විසින් පනවන ලද නියෝගය සම්බන්ධයෙන් අභියාචනයකට ඉඩ නොතැබීම පිණිස පැමිණිලි පාර්ශ්වයට දින 14ක් යන තුරු නියෝගයේ පිටපතක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කර තිබිණි. එනම්, ඔහු එම නඩු ගොනුව තමන් භාරයේ තබා ගනිමින් පැමිණිල්ල රස්තියාදු කර තිබිණි.
පැමිණිලි පාර්ශ්වය දින 14කට පසු නියෝගයේ පිටපතක් ලබාගෙන නැවත අභියාචනයක් ඉදිරිපත් කළද, දින 14කට පෙර එය ඉදිරිපත් නොකිරීමේ පදනම ඉදිරිපත් කරමින් විනිසුරුවරයා අභියාචනය ද ප්‍රතික්ෂේප කළේය. පසුව විනිසුරුවරයා පැමිණිල්ලට අපූරු යෝජනාවක්ද කර ඇත. එනම්, වගඋත්තරකාර තත්ත්වයෙන් සරත් නන්ද සිල්වා ඉවත් කර ඇති බැවින්, දැන් වගඋත්තරකරුවකු ලෙස සිටින්නේ ඔහුගේ බිරිඳ පමණක් බැවින්, දික්කසාදය ගෙන නඩුව සමථයකට පත් කර ගන්නා ලෙස ය. පැමිණිලිකාර වරලත් ඉංජිනේරුවා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කුපිත වී ඇති උපාලි අබේරත්න විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ඔහුට බැණවැදී තිබේ. ඉන් නොනැවතී පැමිණිල්ල ඉදිරිපත් කළ ලිඛිත විරෝධය ද සලකා බැලීම ප්‍රතික්ෂේප කරමින්, අදාළ කාන්තාවට මසකට රුපියල් 10,000ක නඩත්තු ගාස්තුවක් ද, රුපියල් 50,000ක නඩු ගාස්තුවක් ද ගෙවීමට නියම කර ඇත.
නීතිය අතට ගැනීම
එය නඩත්තු විධාන සංග්‍රහයට පටහැනි ක්‍රියාවකි. ඔහු නීතිය අතට ගනිමින් එසේ කටයුතු කොට එවකට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වූ සරත් නන්ද සිල්වාගේ අවශ්‍යතාවක් ඉටුකර ඇතැයි තහවුරු වී තිබේ. පසුව පැමිණිල්ලේ නීතිඥයා විසින් නඩු ගාස්තු හා නඩත්තු ගාස්තු අය කිරීමේ නියෝගයට එරෙහිව සංශෝධන නඩුවක් යළිත් ගොනු කරඇත. එහෙත් එම ප්‍රතිශෝධන ඉල්ලීමද පසෙක ලා වගඋත්තරකාරියගේ හිමිකම් චෝදනාව විභාගයට ගනිමින්, දික්කසාදයට ඇයට අවසර දී ඇති උපාලි අබේරත්න විනිසුරුවරයා ඇගේ නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 10ක වන්දියක් ද නියම කර තිබේ.
දිගින්-දිගටම තමන්ට මුහුණ දීමට සිදු වූ අසාධාරණයට එරෙහිව රසායන ඉංජිනේරුවා සිය දුක්ගැනවිල්ල අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කර ඇත. අධිකරණ සේවා කොමිසම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළ ද, ඒ වන විට අභියාචනාධිකරණ සභාපති ලෙස කටයුතු කළ සරත් නන්ද සිල්වාගේ මැදිහත්වීමෙන් එය යටපත් විය. වරලත් රසායන ඉංජිනේරු ජයසේකර 1995 ජුනි 10 දින අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට පෙර, 1994 සැප්තැම්බර් 24 දින ද සිද්ධිය පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබේ. එවකට අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි.
අධිකරණ සේවා කොමිසමේ තීන්දුව
එවකට අගවිනිසුරු ලෙස කටයුතු කළේ ජී.පී.එස්. ද සිල්වා ය. ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූයේ, පිළිවෙළින් තිස්ස බණ්ඩාරනායක සහ මාක් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ය. අගවිනිසුරුවරයා ජයසේකරව පෞද්ගලිකව හඳුනන බැවින්, ඔහු උපාලි අබේරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි විභාගයෙන් ඉවත්වූයේ, සෙසු සාමාජිකයන්ට පැමිණිල්ල විභාග කිරීමට අවස්ථාව ලබාදෙමින් ය. ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපතක් 1994 නොවැම්බර් 08දා අධිකරණ සේවා කොමිසම විසින් උපාලි අබේරත්න විනිසුරුවරයාට යවන ලදි. පැමිණිල්ලට අදාළ නිරීක්ෂණ අධිකරණ සේවා කොමිසමට ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ. 1994 නොවැම්බර් 11 දින දිසා විනිසුරුවරයා සිය නිරීක්ෂණ අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කර ඇත.
මේ පිළිබඳව දීර්ඝව විමර්ශනය කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා උපාලි අබේරත්නට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කර ඇත. ඔහු ඒ වන විට කුරුණෑගල දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිට තිබේ. විෂමාචාරයේ යෙදීම ගැන ඔබ සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් ආකාරයකින් ඔබට විරුද්ධව කටයුතු නොකිරීමට හෝ හේතු ඇතොත් දන්වන ලෙස එම චෝදනා පත්‍රයේ සඳහන් කර තිබේ. 1996 පෙබරවාරි 12 දින යොමු කළ එම චෝදනා පත්‍රයට අනුව දිසා විනිසුරුවරයාට හේතු දැක්වීමට මාසයක කාලයක් ලබා දී ඇත.
දේශපාලන බලයෙන් යටපත් කළ පරීක්ෂණ
අභියාචනාධිකරණ සභාපති ධුරයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ සරත් නන්ද සිල්වා පසුව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයකු වීම මත නීතිපති ධුරයට පත්කෙරිණි. උපාලි අබේරත්න ඔහුට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනාවලට පිළිතුරු දිය යුතු අවසන් දිනය වූයේ 1996 මාර්තු 12දා ය. සරත් නන්ද සිල්වා නීතිපති ලෙස පත්වූයේ 1996 මාර්තු 01 දා ය. ඒ සමඟම දිසා විනිසුරුවරයා චෝදනා පත්‍රයට පිළිතුරු දීමෙන් වැළකී සිටියා පමණක් නොව, ඔහුට එරෙහිව ආරම්භ වී අවසානයක් කරා යමින් තිබූ පරීක්ෂණ ද යටපත් විය.
නොනිමි අරගලය
අධිකරණ සේවා කොමිසම මඟින් ඒ වන විට දිසා විනිසුරුවන් දෙදෙනකුට එරෙහිව පරීක්ෂණ කොට තීන්දු ගෙන තිබූ අතර, ඔවුන් වූයේ ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න ය. නමුත් අධිකරණ සේවා කොමිසමේ තීන්දුව ක්‍රියාත්මක වීම කල්යෑමට එරෙහිව ‘රාවය’ පුවත්පත ගෙන ගිය දැඩි විරෝධය හමුවේ නීතිඥ සංගමය රැස් වී ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන්ට එරෙහි පරීක්ෂණ යළිත් ආරම්භ කළ යුතු බවට අධිකරණ සේවා කොමිසමට දැනුම්දීමට තීන්දු කළේය. ඒ අනුව යළිත් උපාලි අබේරත්න හා ලෙනින් රත්නායක යන දිසා විනිසුරුවන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීන්දු කෙරුණු අතර, උපාලි අබේරත්නට එරෙහි පරීක්ෂණයට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කෙරිණි. අභියාචනාධිකරණ විනිසුරු අමීර් ඉස්මයිල්ගේ සභාපතිත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වූ හෙක්ටර් යාපා සහ පී.එදිස්සූරිය යන විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පිහිටුවනු ලැබීය. දීර්ඝ විමර්ශනයකින් පසු ත්‍රිපුද්ගල කමිටුව ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවලට වරදකරු කර තිබේ. දිසා විනිසුරුවරයා 1999 ජනවාරි 31 දින සිට අනිවාර්ය විශ්‍රාම ගන්වා ඒ බව ඔහුට දැන්වීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇත.
චෝදනාවලින් ගැලවුණු ඔහු …?
සරත් නන්ද සිල්වාගේ සමීපතම මිතුරකු වූ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මේ පිළිබඳව අභියාචනයක් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළේ කොමිසම ගත් තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලමිනි. ඒ වෙනුවෙන් හේතු ගණනාවක් ඔහු උපාලි අබේරත්න විනිසුරුවරයා වෙනුවෙන් ඉදිරිපත් කර තිබිණි. අභියාචනය විභාගයට ගත් අධිකරණ සේවා කොමිසම අනිවාර්ය නිවාඩු ගැන්වීමට ගෙන තිබුණු තීන්දුව අත්හිටුවා ඔහුව මොනරාගලට මාරු කිරීමට පියවර ගත්තේය. අධිකරණ සේවා කොමිසම පත්කළ පරීක්ෂණ කමිටු දෙකකින් වරදකරු කළ අයකුට කොමිසම ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීම එවකට ජනමාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. මේ ආකාරයට සියලු චෝදනාවලින් ගැලවී විනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු දක්වා පැමිණියේය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleමානව හිමිකම් දිනයට පෙර දින අපරාධ නඩුවක චූදිතයෙක් වයඹ ආණ්ඩුකාර ධුරයට !
Next articleඑක්නැලිගොඩ නඩුව : හිටපු සාජන් මේජර් දැන් පරස්පර කතා කියයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here