ටිරාන් අලස්ට එරෙහිව අජිත් රෝහණ උසාවි යයි

දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිසිම සාධාරණ හේතුවක් නොමැතිව නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස තමා ස්ථාන මාරු කර යැවීම මගින් තම මූලික අයිතිවාසිකම් කඩවූ බවට තීන්දු කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 17 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (10) තීන්දු කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු ස්ථාන මාරු කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පසුගිය අප්‍රේල් 25 වැනිදා සීටීටීඑම් 439 අංකයෙන් ස්ථාන මාරු නියෝග නිකුත් කළේය. එහි සඳහන් කර තිබුණේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මෙම පිරිස ස්ථාන මාරු කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතිය ලැබුණු බවයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව මම ස්ථාන මාරුව කර ඇති බවත්, එය නීති විරෝධී බවත්, එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු වෙනුවෙන් මෙම මාරුවීම් සිදු කර ඇති බවත්, මෙය නීති විරෝධී ස්ථානමාරුවක් බැවින් මෙම ස්ථාන මාරුව අහෝසි කරන ලෙසත් ඉල්ලමින් අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට ලැපියක් යැවීය.
තමා ස්ථාන මාරු කිරීමට උපදෙස් දී ඇත්තේ ටිරාන් අලස් අමාත්‍යවරයා බවත් එම ලිපියේ සඳහන් විය.
එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවට යවන ලද ලිපියෙන් පසු ස්ථාන මාරුව තාවකාලිකව නතර කර පොලිස් මූලස්ථානයට අජිත් රෝහණ මහතා මාරු කළ අතර පසුව යලිත් වරක් ස්ථානමාරුව ක්‍රියාත්මක කරමින් නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කරනු ලැබීය.
ඊට එරෙහිව අජිත් රෝහණ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ (10) ප්‍රියන්ත ජයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබිණි. පෙත්සම්කාර අජිත් රෝහණ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙම පෙත්සම සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ඨ ආරච්චි මහත්මිය අධිකරණයට දන්වා සිටියේ මෙම ස්ථාන මාරුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත් සිදුව ඇති බවයි. මෙම පෙත්සමට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
ඒ අනුව පෙත්සමට අදාළව වගඋත්තරකරුවන්ට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ලබන 13 වනදා දක්වා කල් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 17 වනදා කැඳවන ලෙසත් නියෝග කළේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ජාතික පොලිස් කොමිසම,  පොලිස්පති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයකු සහ නීතිඥවරයකු ද වන අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ අපරාධ හා රථවාන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරමින් සිටියදී 2022 වසරේ මැයි මාසයේ දී දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ස්ථාන මාරු කරනු ලැබීය. එම ස්ථාන මාරුවට වසරක් යෑමට මත්තෙන් පසුගිය අප්‍රේල් මාසයේදී අජිත් රෝහණ මහතා දකුණු පළාතේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කරනු ලැබීය.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com

news@medialk.com
tharindu@medialk.com
Previous articleගෝඨාභයගේ පලිගැනීම් කොමිසමේ සාමාජිකයන් අධිකරණයට කැඳවයි
Next articleඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක් ; අභියාචනාධිකරණය සනාථ කරයි ; වසර එකහමාරක් රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුට ඇප

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here