Home පුවත් ජනාධිපතිගේ පළිගැනීම් කොමිසමට එරෙහිව පෙත්සම් පහක් අභියාචනාධිකරණයට !

ජනාධිපතිගේ පළිගැනීම් කොමිසමට එරෙහිව පෙත්සම් පහක් අභියාචනාධිකරණයට !

0
ජනාධිපතිගේ පළිගැනීම් කොමිසමට එරෙහිව පෙත්සම් පහක් අභියාචනාධිකරණයට !
දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාවට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සම් 05ක් ගොනු කර තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, හිටපු අගමැති ලේකම් සමන් ඒකනායක සහ නාවික හමුදාවේ විශ්‍රාමික අද්මිරාල් සුසිත් වීරසේකර එම පෙත්සම් ගොනුකර ඇත.
ජනාධිපති කොමිසමට ඇති නීතිමය බලය, කොමිසම කටයුතු කළ ආකාරය සහ අයුතු ලෙස බලය භාවිත කළ ආකාරය මේ පෙත්සම්කරුවන් ප්‍රශ්න කර ඇති අතර, එවැනි තත්ත්වයක් යටතේ තමන්ව සිදුවීම්වලට අදාළව වගඋත්තරකරුවන් කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

නාවික කප්පම් නඩුව

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවට අදාළව අධිකරණයේ විභාග වූ අපරාධ නඩුවේ විත්තිකරුවන් නිදහස් කර, තමන්ව විත්තිකරුවන් කිරීමේ නිර්දේශයට එරෙහිව හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් මේ පෙත්සම් ගොනුකර තිබේ. මේ නඩුවට අදාළ තීන්දුවක් ලබාදෙන තුරු අධිකරණයේ විභාග වන මීට අදාළ නඩුවේ කටයුතු අත්හිටුවන ලෙස කොමිසම මගින් කළ නියෝගය බලය අයුතු ලෙස භාවිත කිරීමට උත්සාහ දැරීමක් බව මීට පෙර නීතිපතිවරයා විසින් ද අවධාරණය කර තිබිණි.

අධිකරණයේ ස්වාධීනත්වය

අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ තමන් විත්තිකරුවකු කරමින් ලබාදී ඇති නිර්දේශ බැහැර කරන ලෙස පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි. කොමිසම මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති අපරාධ නඩුවලට අදාළ විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඉවත් කරගන්නා ලෙස කැබිනට් මණ්ඩලයෙන් නීතිපතිවරයාට දැනුම් දී ඇති තත්ත්වයක් තුළ, අධිකරණයේ ස්වාධීනත්වය බරපතළ තර්ජනයකට මුහුණ පා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

අධිකරණයට අපහාසයක්

මේ අතර අදාළ කොමිසමේ නිර්දේශ මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් වී තිබේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස නීතිඥවරුන් සිව්දෙනෙකු විසින් ද අගවිනිසුරු ජයන්ත ජයසූරියගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් වන අචලා සෙනෙවිරත්න, සේනක පෙරේරා, තම්බයියා ජෙයරත්නරාජා සහ නාමල් රාජපක්ෂ විසින් මේ ඉල්ලීම කර ඇත. ඉහත කොමිසමේ නිර්දේශවලින් අධිකරණ පද්ධතියට සහ පුරවැසි අයිතිවාසිකම්වලට හානියක් සිදු වී තිබේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස අදාළ ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන් ය.

2157/44 ගැසට් පත්‍රය

2015 ජනවාරි 08 දින සිට 2019 නොවැම්බර් 19 දින දක්වා රාජ්‍ය නිලධාරීන්ට සිදුවූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2020 ජනවාරි 09 දිනැති 2157/44 අංක දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් මේ කොමිසම පිහිටුවන ලදි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න එහි සභාපතිවරයා වූ අතර, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කොමිසමේ අනෙකුත් සාමාජිකයෝ වූහ. ජනාධිපතිවරයා වෙත බාරදෙන ලද කොමිසමේ අවසන් වාර්තාව මගින් අධිකරණයේ විභාග වන නඩු 79ක විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස නිර්දේශ ඉදිරිපත් කර තිබිණි.

කොමිසමේ බලය

මේ අතර ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් දිගින් දිගටම පෙන්වා දෙන්නේ ජනාධිපති කොමිෂන් සභා පත්කිරීමේ අරමුණ අධිකරණවල මෙන් තීන්දු දීම නොවන බවයි. එසේ වුවද යම් නිශ්චිත කරුණක් හෝ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට, ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදීමටත්, ඒ වාර්තාවට තමන්ගේ නිර්දේශ ඇතුළත් කිරීමටත් කොමිසමට බලය ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ පැවසීය.
‘යම් වරදක් තියෙනවා, ඒකට මේ මේ පුද්ගලයන් වරදකරුවන් හෝ නිවැරදිකරුවන් බව පෙනීයනවා කියලා පෙනුණොත්, ඒ පිළිබඳව ජනාධිපතිට නිර්දේශ කරන්න කොමිසමට පුළුවන්. ඊට පස්සෙ ජනාධිපතිතුමා ඒක බලලා, ඉදිරි පියවර ගැනීම අවශ්‍යයි කියලා තීරණය කළොත් නීතිපතිතුමාට ඒ නිර්දේශ යොමු කරනවා. ඊට පස්සෙ නීතිපතිතුමාගෙ උපදෙස් මත අපරාධ අංශ මගින් ඉදිරි විමර්ශන කටයුතු කරන්න හැකියාව තියෙනවා.’

පනත් දෙකක්

ජනාධිපති කොමිෂන් සභා පිහිටුවීම සඳහා පනත් දෙකකින් ජනාධිපතිවරයාට බලය පවරා තිබේ. 1978 විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත එකකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය සම්බන්ධ කරුණ විමර්ශනය කරන ලද්දේ එවැන්නකි. අනෙක 1948 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත ය. මේ කොමිසම පිහිටුවීමේ ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ එය විමර්ශන කොමිෂන් සභාවක් බවයි. ඒ අනුව ඔවුන්ට රාජ්‍ය සේවයේ සිදු වූ බවට පැමිණිලි ලැබී ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි, ලේඛන, පුද්ගලයන් කැඳවා විමර්ශන පැවැත්වීමට බලය ඇත.

පළමු සහ එකම එක

මේ කොමිසම පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ අදහස් දැක්වීය.
‘අපේ රටේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණාට පස්සෙ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි, ඒ ආණ්ඩුවට සහාය දුන් අයට උසස්වීම් ලැබුණෙ නෑ, පළිගැනීම් කළා කියන එක. දේශපාලන හේතු නිසා අපිව ඈත පළාත්වලට මාරු කළා කියන එක. පහුගිය කාලෙම සිද්ධ වුණේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඒ පත්වුණු ආණ්ඩුව කමිටුවක් පත්කරලා, ඒ කමිටුවෙන් ගන්න තීරණ කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරන එක.
ඒත් මේ ආකාරයට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරපු පළමු අවස්ථාව මේක. මීට කලින් කිසිම ආණ්ඩුවක් ඒ වගේ දෙයක් කරලා නෑ. මේ කොමිසමට ලැබුණු සහ කරුණු විමසූ, නිර්දේශ ඉදිරිපත් කළ පැමිණිලි දිහා බලද්දි පැහැදිලි වෙන එක තමයි, උසස්වීම් වගේ රාජකාරි දේවල්වලට වඩා අපරාධ නඩු සම්බන්ධයෙන්, අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙතැනදි වැඩි අවධානයක් යොමුවෙලා කියන එක. මෙතැන බරපතළ නීති ප්‍රශ්නයක් තියෙනවා. ඕනෑම අපරාධ නඩුවකදි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනීඉන්න නීතිඥ මහත්තයා කියනවා, චූදිතයා නෙමෙයි මේකට වරදකාරයා, චූදිතයා මේකට පටලවලා තියෙන්නෙ කියලා. ඒක සාමාන්‍යයෙන් උසාවිවල වෙනවා. අපරාධ නඩුවලදි සාධාරණ සැකයක් ඇති කළොත්, චූදිතයට නිදහස් වීමේ වැඩි ඉඩක් ලැබෙනවා.’

හාස්‍යයට කරුණක්

මේ අතර මෙහිදී අදාළ කොමිසම විසින් දිගින් දිගටම නීතිපතිවරයාට අධිචෝදනා ඉවත් කරගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම පිළිබඳව මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන්ගෙන් අපි විමසීමක් කළෙමු.
හිටපු පොලිස්පතිවරයෙකු ද සාමාජිකත්වය දැරූ කොමිසමක් මගින් නීතිපතිවරයාට මෙවැනි නිර්දේශ ඉදිරිපත් කිරීම හාස්‍යයට කරුණක් බවත්, එසේ කළ නොහැකි බවත් අවධාරණය කළ නීතිඥවරයා, චන්ද්‍රා ප්‍රනාන්දු පොලිස්පති ධුරය දරන කාලයේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන, විශ්‍රාම ගිය පසු නීතිපතිවරයාට උපදෙස් ලබාදීමට අත්සන් කිරීම අනුමත කළ හැක්කේ කෙසේදැයි ප්‍රශ්න කර සිටී. එසේම නීතිපතිවරයා ප්‍රමුඛ නීතිපති දෙපාර්තමේන්තුව මේ ආකාරයේ අත්තනෝමතික සහ අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක්කෙරෙන පියවර නොගනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඔහු අවධාරණය කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here