අංක 2212/53 : ජේ.ආර්.ගේ කොමිසමෙන් පසු ආ ගෝඨාගේ කොමිසම විපක්ෂයක් නැති කරයිද?

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිශ්චිත නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කර තිබේ.
පසුගිය ජනවාරි 29 දිනැති අංක 2212/53 දරන ගැසට් පත්‍රය මගින් මේ කොමිෂන් සභාව පිහිටුවා ඇත. මේ කොමිසමේ සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන පත්කර ඇති අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඛේමා කුමුදිනී වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ කොමිසමේ සෙසු සාමාජිකයෝ වෙති.

පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම

1978 අංක 4 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා (විශේෂ විධිවිධාන) පනතින් සංශෝධිත, ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 7 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 02 වැනි වගන්තියේ විධිවිධාන ප්‍රකාරව මේ කොමිෂන් සභාව පිහිටුවන බව අදාළ ගැසට් පත්‍රයේ සඳහන් ය. ගැසට් පත්‍රයට අනුව කොමිසමට පවරා ඇති වගකීම වන්නේ දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්යෙන් විමර්ශන ඊට අදාළ දඬුවම් නිර්දේශ කිරීම වේ.
‘දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවේ අයිතම අංක 08 සඳහන් වගඋත්තරකරුවන්, මෙහි පූර්වයෙන් සඳහන් කළ කරුණු ද ඇතුළත්ව,
i. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ලබාදී ඇති දිවුරුම කඩකරමින්, එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝනය කිරීම.
ii. බලය අනිසි ලෙස පරිහරණය කිරීම හෝ බලය අයථා පරිදි පාවිච්චි කිරීම, මැදිහත්වීම, වංචා කිරීම, දූෂණය, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම හෝ ඥාති සංග්‍රහය.
iii. යම් තැනැත්තෙකුගෙන් දේශපාලන වශයෙන් පළිගැනීම.
iv. යම් තැනැත්තෙකුගෙන්
(අ) යම් පත්වීමක් ලබාදීමේදී හෝ මාරුවක් කිරීමේදී,
(ආ) යම් උසස්වීමක් ලබාදීමේදී,
(ඇ) සේවය අවසන් කිරීමේදී,
(ඈ) යම් අක්‍රමිකතාවක් හෝ යම් ලිඛිත නීතියක් උල්ලංඝනය කිරීම.’
ඒ බව මෙසේ ගැසට් පත්‍රයේ සඳහන් කර ඇත.
‘උක්ත සඳහන් කරුණු විමර්ශනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය යැයි ඔබට පෙනීයා හැකි සියලුම පරීක්ෂණ පැවැත්වීමටත්, සෙසු සියලුම් විමර්ශන සිදුකිරීමටත්, ඉහත කී කොමසාරිස්වරුන් වන ඔබතුමන්ලාට මා මෙයින් බලය හා අධිකාරිය පවරන අතර, මේ අධිකාරි පත්‍රයේ දින සිට මාස තුනක් ඇතුළත් අවශ්‍ය පරීක්ෂණ සහ විමර්ශන සිදුකර ඔබතුමන්ලාගේ නිගමන සහ නිර්දේශ, පනවන දඬුවම් ගෙනහැර දක්වමින් අවසන් වාර්තාව හෝ අතුරු වාර්තා ඔබතුමන්ලාගේ අත්සනින් යුතුව මා වෙත ඉදිරිපත් කරන ලෙස ඔබතුමන්ලාට මෙයින් නියම කරමි.’

අයිතම 08න් හිරකරන්නේ කවුද?

ඉහත සඳහන් කෙරුණු දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාවේ අයිතම 08 යටතේ සඳහන් වන්නේ දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් ය.
‘දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් සිදු කළ පොදු දේපොළ අවභාවිතාව
සාක්ෂිකරු – ආචාර්ය විජේදාස රාජපක්ෂ

වගකිවයුතු පුද්ගලයන් –

  • අගමැති රනිල් වික්‍රමසිංහ (සභාපති)
  • අමාත්‍ය මංගල සමරවීර
  • අමාත්‍ය පාඨලී චම්පික රණවක
  • අමාත්‍ය රාවුෆ් හකීම්
  • ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා
  • දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්දන්
  • පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්
  • ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක
  • නීතිඥ ජේ.සී.වැලිඅමුණ
  • ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න
  • මලික් සමරවික්‍රම
  • ආනන්ද විජයපාල
  • එස්.එස්.පී. ශානි අබේසේකර
  • ඒ.එස්.පී. ප්‍රේමශාන්ත
  • අයි.පී.නිහාල් අමරසිරි
  • ඩබ්ලිව්.ජේ.සී.සුජාතා කුමාරි
  • සී.අයි.වීරසේන
  • තුසිත් මුදලිගේ
  • ලාල් නානායක්කාර
  • අනූෂ කුමාරස්වාමි
  • දිනේෂ් පෙරේරා
  • හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක
මේ සිද්ධියට අදාළ විමර්ශනය පිළිබඳව දේශපාලන පළිගැනීම් කොමිසමේ තීරණය පහත පරිදි එම වාර්තාවේ දක්වා ඇත.

තීරණය

01. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය ව්‍යුහයට පටහැනිව පිහිටුවා ගත් ජාතික විධායක සභාවක් මගින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ කර පිහිටුවා ගත් ඉහත කමිටුව මගින් එපරිචිම පිහිටුවා ගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමැති නිල නොවන පොලිස් කොට්ඨාසයකට පැමිණිලි යොමුකරවාගෙන දේශපාලන විරුද්ධවාදීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමෙන් හිටපු අග්‍රාමාත්‍යතුමා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව අවංකව ඉටුකරන බවට ද… ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද…’ යනුවෙන් ලබාදුන් දිවුරුම කඩකර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.
02. කොමිෂන් සභාව ඉදිරියේ විමර්ශනය කළ පැමිණිලිවලින් ඉදිරිපත් වූ සාක්ෂි අනුව රජයේ සේවකයන් වන ඉහත නම් සඳහන් වගඋත්තරකරුවන් විසින් ඉහත කී දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පන‌තේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු දූෂණය නමැති වරද සිදුකර ඇත.
03. ඉහත නම් සඳහන් වගඋත්තරකරුවන් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරමින් ඒ සඳහා රජයේ මුදල් වැටුප් වශයෙන් ලබාගනිමින් පොදු දේපොළ පනතේ 05 වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ වරද සිදුකර ඇත.
04. ඉහත කී 22 වන වගඋත්තරකරු හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරමින් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 33,714,807.59ක මුදලක් එකී දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ වියදම් සඳහා ලබාදීමෙන් පොදු දේපොළ පනත යටතේ 05 වගන්තිය සමග කියවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 389 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරද සිදුකර ඇත.
05. එකී රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම් පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් සහ පාවිච්චි කිරීමට ඉඩදීමෙන් ඉහත කී වගඋත්තරකරුවන් විසින් පොදු දේපොළ අවභාවිත කිරීමෙන් අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකර ඇත.

පාර්ලිමේන්තු අනුමැතිය

ඉහත අයිතමය යටතේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක විමර්ශනයකින් පසු, පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු බව ද දේශපාලන පළිගැනීම් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇතැයි ඊට අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් ය.

වසර 41කට පෙර කොමිසම

මීට වසර 41 කට පෙර සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම සිදු වූයේ මෙවැනි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක නිර්දේශ, පාර්ලිමේන්තුවෙන් අනුමත කිරීමෙන් පසුව ය.
1980 ඔක්තෝබර් 16 දා රාත්‍රී 11.25ට පමණ කොළඹ, ගාලු මුවදොර පිහිටි පැරණි පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද යෝජනා දෙකකින් සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කරනු ලැබිණි. 1970-77 කාලයේදී මෙරට අගමැති ධුරය දැරූ, 1980 වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව මෙන්ම අත්තනගල්ල මන්ත්‍රීවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිවාසිකම් වසර 7කටත්, ඇයගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැති ගණනාවක් දැරූ ෆීලික්ස් ආර්.ඩයස් බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිවාසිකම් වසර 7කටත් අහිමි කරමින් අදාළ කොමිෂන් සභා නිර්දේශ සම්බන්ධයෙන් වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ජේ.ආර්.ගේ වැඩේ කළේ ප්‍රේමදාස

මුලින්ම ඉදිරිපත් කරන ලද ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 139ක් ද, විපක්ෂව ඡන්ද 19 ක් ද ලැබිණි. හිටපු අගමැතිවරියට එරෙහි යෝජනාවට පක්ෂව ඡන්ද 139 ක් ද, විපක්ෂව ඡන්ද 18 ක් ද ලැබිණි. තමන්ට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ඒ වනවිට මන්ත්‍රීවරියක වූ ඇය වැළකී සිටියාය. අදාළ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ එවකට අගමැති ආර්.ප්‍රේමදාස ය.
‘ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජේ.ජී.ටී.වීරරත්න මහතාගේ සභාපතිත්වයෙන් පත්කෙරුණු විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ 1980 අගෝස්තු 29 දින දරන වාර්තාවේ දක්වා ඇති තීන්දුව අනුව සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක විසින් කරනු ලැබූ බලය අනිසි ලෙස හෝ අයථා ලෙස පාවිච්චි කිරීම සංයුක්ත වන ක්‍රියා හේතුකොටගෙන ඇය ප්‍රජා අශක්නුතාවට යටත් කළ යුතු යැයි 1978 අංක 7 දරන ජනාධිපති කොමිෂන් සභා පනතේ 9 වැනි වගන්තිය ප්‍රකාරව නිර්දේශ කර ඇති හෙයින්ද, එකී සිරිමා බණ්ඩාරනායක විෂයයෙහි අවුරුදු 7ක කාලයක් සඳහා ප්‍රජා අශක්නුතාවන් නියම කිරීම හා එකී සිරිමා ආර්.ඩී. බණ්ඩාරනායක පාර්ලිමේන්තුවෙන් නෙරපීම සඳහා වූ යෝජනා සම්මතයක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 81 වැනි ව්‍යවස්ථාවේ 2 වැනි අනු ව්‍යවස්ථාවට අදාළව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇති හෙයින්ද, පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාමාර්ග ගැනීමට මේ පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි.’

1977 පොරොන්දුව ඉටු කිරීම

‘සිරිමා බණ්ඩාරනායක මැතිනිය ස්වකීය පාලන කාලය තුළ බලය අයුතු ලෙස භාවිත කළා. විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර කොට පළිගැනීම් සිදු කළා. ඇගේ පාලන කාලය තුළ සිදුව ඇති දූෂණ, වංචා, පළිගැනීම්, ඥාති සංග්‍රහ සොයා බලන්න අප බලයට ආ විට විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කරනවා.’ යනුවෙන් 1977 මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අරඹමින් ජේ.ආර්.ජයවර්ධන මහනුවරදී පවසා තිබිණි. ඒ අනුව 1977 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජේ.ආර්.ජයවර්ධන විසින් ඉහක කොමිෂන් සබාව පත්කෙරිණි. මේ කොමිසමේ සභාපතිවරයා වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජේ.ජී.ටී.වීරරත්න ය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.ෂර්වානන්ද සහ අභියාචනාධිකරණ විනිසුරු කේ.සී.ඊ. ද අල්විස් මේ කොමිසමේ අනෙක් සාමාජිකයෝ වූහ.
Previous articleවරාය අත්‍යවශ්‍ය සේවාවක් කරයි : නැගෙනහිර වෙනුවට අදානිට බටහිර ජැටිය දීමේ යෝජනාවක් !
Next articleනැගෙනහිර ජැටිය සීයට සීයක් අධිකාරිය යටතට – වරාය සභාපති MediaLK වෙත විශ්වාසය පළකරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here