දේශපාලන පළිගැනීම් කොමිසම නිසා අධිකරණය ගැන සැක මතුවීමේ අවදානමක් 

(ශාලික විමලසේන)

ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ කටයුතුවලින් ජනතාව අතර අධිකරණය පිළිබඳ සැකයක් මතුවිය හැකි බවත්, එය යුක්තිය පසිඳලීමේ කාර්යයේදී බරපතළ කාරණයක් බවත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මහතා අවධාරණය කරයි.

මෙම කොමිසමේදී අධිකරණවල විභාග කෙරෙන අපරාධ නඩුවලට අදාළ සාක්ෂි විමසීම සහ ඒවා පිළිබඳව මාධ්‍ය මගින් අතිශයෝක්තියෙන් වාර්තා කිරීම නීති ක්ෂේත්‍රයේ පුළුල්ව කතාබහට ලක්විය යුතු කරුණක් බවත්, එමගින් පැමිණිලි පාර්ශ්වයට හෝ විත්ති පාර්ශ්වයට අනිවාර්යයෙන් වාසියක් වීමේ ඉඩක් පවතින බවත් පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කොට මැදිහත් විය යුතු බවත් වැඩිදුරටත් සඳහන් කරයි.

MediaLK සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අදාළ කොමිසමේ කටයුතු සම්බන්ධයෙන් පැවසූ කරුණු, ඔහුගේ වචනවලින්ම පහත පෙළගස්වා තිබේ.

ජනාධිපති කොමිසමක බලය

සාමාන්‍යයෙන් ජනාධිපති කොමිෂන් පත්කරන්නෙ උසාවිවල වගේ නඩු තීන්දුවක් දෙන්න නෙමෙයි. ඒ වුණත් යම් නිශ්චිත කරුණක් හෝ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමසලා, ජනාධිපතිතුමාට වාර්තාවක් ලබාදීම තමයි ඔවුන්ගේ කාර්යභාරය. ඒ වාර්තාවට තමන්ගේ නිර්දේශ ඇතුළත් කරන්න කොමිසමට බලය තියෙනවා. එහෙම නැතුව කිසිම අවස්ථාවක මේ වගේ කොමිසමකට අහවල් පුද්ගලයා, අහවල් වරද සම්බන්ධයෙන් වැරදිකරු කරනවා, ඔහුට වසර පහක සිර දඬුවමක් නියම කරනවා වගේ දඬුවම් නියම කරන්න බෑ.

යම් වරදක් තියෙනවා, ඒකට මේ මේ පුද්ගලයන් වරදකරුවන් බව පෙනීයනවා කියලා පෙනුණොත්, ඒ පිළිබඳව ජනාධිපතිට නිර්දේශ කරන්න කොමිසමට පුළුවන්. ඊට පස්සෙ ජනාධිපතිතුමා ඒක බලලා, ඉදිරි පියවර ගැනීම අවශ්‍යයි කියලා තීරණය කළොත් නීතිපතිතුමාට ඒ නිර්දේශ යොමු කරනවා. ඊට පස්සෙ නීතිපතිතුමාගෙ උපදෙස් මත අපරාධ අංශ මගින් ඉදිරි විමර්ශන කටයුතු කරන්න හැකියාව තියෙනවා.

ජනාධිපති කොමිෂන් වර්ග

මෙම කොමිෂන් සභා පිහිටුවීම සඳහා පනත් දෙකකින් බලය පවරලා තියෙනවා. එයින් එකක් තමයි, විශේෂ ජනාධිපති කොමිෂන් සභා. ඒක 1978 ඉදිරිපත් කරපු එකක්. තවත් එකක් තියෙනවා, විමර්ශන කොමිෂන් සභා කියලා. ඒක සම්මත වෙලා තියෙන්නෙ 1948. මේ අපි කතා කරන කොමිසමත් පත්කරලා තියෙන්නෙ මේ කියන විමර්ශන කොමිෂන් සභාවක් විදිහට. ඒ අනුව රාජ්‍ය සේවයේ සිදු වූ බවට පැමිණිලි ලැබී ඇති අසාධාරණ සම්බන්ධයෙන් කොමිසමට විවිධ සාක්ෂි, විවිධ ලේඛන කැඳවන්න පුළුවන්. ඒකට පනතින්ම බලය ලබාදීලා තියෙනවා.

පළිගැනීම්වල සිට අපරාධ දක්වා  

අපේ රටේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණාට පස්සෙ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි, ඒ ආණ්ඩුවට සහාය දුන් අයට උසස්වීම් ලැබුණෙ නෑ, පළිගැනීම් කළා කියන එක. දේශපාලන හේතු නිසා අපිව ඈත පළාත්වලට මාරු කළා කියන එක. පහුගිය කාලෙම සිද්ධ වුණේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඒ පත්වුණු ආණ්ඩුව කමිටුවක් පත්කරලා, ඒ කමිටුවෙන් ගන්න තීරණ කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරන එක.
ඒත් මේ ආකාරයට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරපු පළමු අවස්ථාව මේක. මීට කලින් කිසිම ආණ්ඩුවක් ඒ වගේ දෙයක් කරලා නෑ. මේ කොමිසමට ලැබිලා තියෙන සහ කරුණු විමසන පැමිණිලි දිහා බලද්දි පැහැදිලි වෙන එක තමයි, උසස්වීම් වගේ රාජකාරි දේවල්වලට වඩා අපරාධ නඩු සම්බන්ධයෙන්, අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙතැනදි වැඩි අවධානයක් යොමුවෙනවා කියන එක. ඒ පැමිණිලිකරුවො කියන්නෙ මේ අපරාධ චෝදනා අපිට එල්ල කරලා තියෙන්නෙ දේශපාලන පළිගැනීම් විදිහට කියලා. ඒ අනුව තමයි, කොමිසම කරුණු විමසන්නෙ.

බරපතළ නීති ප්‍රශ්නයක්

මෙතැන බරපතළ නීති ප්‍රශ්නයක් තියෙනවා. ඕනෑම අපරාධ නඩුවකදි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනීඉන්න නීතිඥ මහත්තයා කියනවා, චූදිතයා නෙමෙයි මේකට වරදකාරයා, චූදිතයා මේකට පටළවලා තියෙන්නෙ කියලා. ඒක සාමාන්‍යයෙන් උසාවිවල වෙනවා. අපරාධ නඩුවලදි සාධාරණ සැකයක් ඇති කළොත්, චූදිතයට නිදහස් වීමේ වැඩි ඉඩක් ලැබෙනවා. ඒකයි මේ කරන්නෙ.

මේ කොමිසමේදි වෙන්නෙ ඒ වගේ අපරාධ නඩුවලට අදාළව චෝදනා එල්ල වුණු පුද්ගලයො ගිහින් කියනවා, අපිව මේවට පැටළෙව්වෙ දේශපාලන හේතු නිසා කියලා. ඒ කාරණාව කාටත් අසාධාරණයක් නොවන ආකාරයට, සාමාන්‍ය අධිකරණ ක්‍රියාවලිය තුළ විසඳගන්න පුළුවන්. තමන්ගෙ නිර්දෝෂීභාවය අධිකරණය ඉදිරියේ ඔප්පු කරන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන්ම දේශපාලන පළිගැනීමක් වගේ කාරණයක් නඩුවකට ඉදිරිපත් කළොත්, හැම විනිසුරුතුමෙක්ම ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

කොමිසමට ඇති අභියෝග

කොමිසම මේ විදිහට අධිකරණයේ විභාග වන නඩු සම්බන්ධයෙන් කටයුතු කරන එක නීතිපති පවා අනුමත කරන්නෙ නෑනෙ. නීතිපතිවරයා ඒක කොමිසමට දැනුම් දුන් බව මාධ්‍ය මගිනුත් ප්‍රකාශයට පත්වුණා. පහුගිය කාලෙ සිදු වුණු බවට චෝදනා එල්ල වුණු තරුණයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවක්, කොමිසමේ විමර්ශන අවසන් වන තෙක් නවත්තන්න කියලයි කොමිසමෙන් කියලා තිබුණෙ.

නීතිපති පැහැදිලිව කියලා තිබුණෙ, කොමිසමට එහෙම කියන්න බලයක් නෑ, අපි සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කරනවා කියලා.
ඒ වගේම මේ වෙනකොට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයෙන් නඩුවක් දාලා තියෙනවා, කොමිසමට මේ වගේ ඒවා අහන්න, මැදිහත් වෙන්න බලතල නෑ කියලා. ඒ නඩුව තවම යනවා, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදි ඒ ගැන නිගමනයක් දෙයි. කෙසේ වෙතත් රාජ්‍යය විසින් ජනාධිපති කොමිසමක් මේ විදිහට භාවිත කිරීම බරපතළ ප්‍රශ්න සහගතයි. මොකද දැන් ඕනෑම අපරාධකරුවෙකුට ගිහින් කියන්න පුළුවන්, මට මේ චෝදනා ගොනු කළේ දේශපාලන හේතු මත කියලා. ඒක අධිකරණයේ කාර්යයක්නෙ. තවත් කාරණයක් තමයි, රජයේ සේවකයන් ගැන, ඔවුන්ට සිදු වුණු අසාධාරණකම් ගැන විමර්ශනය කරන්න පත්කළ කොමිසමක ඇවන්ගාඩ් වගේ ප්‍රශ්නයක් අහන්නෙ කොහොමද කියන එක. ඒක මේකෙ බලතලවලට අයිති වෙන්නෙ කොහොමද කියන එක. ඒ කාරණය මතුකළත්, දිගටම ඒක යනවනෙ.

අධිකරණය ගැන සැකයක්

කොටින්ම මේ ක්‍රියා පටිපාටිය අපරාධ නීතියේ මූලධර්මවලට එකඟ නැති බව පැහැදිලිව පේනවා. මේක දිගටම මේ විදිහට යනව නම්, අධිකරණ පද්ධතියෙන් කෙරෙන කටයුතු ගැන ජනතාව අතර තවදුරටත් විශ්වාසයක් තියෙයිද. ඒ ගැන සැක මතුවෙන්න පුළුවන්. යම් සිද්ධියකට අදාළව සාධාරණයක් ඉෂ්ඨ වෙනවා කියන්නෙ ඒකපාර්ශ්වික කාරණයක් නෙමෙයි. චූදිතයන්ට වගේම වින්දිතයන්ටත් සාධාරණය ඉෂ්ඨ විය යුතුයි. යුක්තිය තියෙන්නෙ එතැන. නීතිපතිතුමා බැඳිලා ඉන්නවා, රටේ නීතිය ගැන සාධාරණව තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන්න. ඒ නිසා තමයි, ඔහුත් මෙතැනදි දැඩි ස්ථාවරයක් අරන් තියෙන්නෙ.

ඇත්තටම මේ ප්‍රශ්නෙට අවසාන විසඳුම තියෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ හෝ අභියාචනාධිකරණය ඉදිරියේ. කොමිසමට මේවා කරන්න බලය තියෙනවද, ඒ කටයුතු අපරාධ නීති මූලධර්මවලට පටහැනිද-නැද්ද කියන එක ඉහළ අධිකරණවලින් පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනෙ. ඒත් ඒ අධිකරණවලට මේ ගැන යම් මගපෙන්වීමක් කරන්න පුළුවන් වෙන්නෙ, කවුරුහරි ඒ උසාවිවලට ගියොත් විතරයි. දැනට ඒක ඒ තරම් පුළුල්ව කතාබහට ලක්වීමක් වෙලා නෑ. ඒක කඩිනමින් සිදුවිය යුතු දෙයක්.

මාධ්‍ය තීන්දු දීම

ඒ වගේම මේ කොමිසමේදි සාකච්ඡා කෙරෙන කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කරන ආකාරය ගැනත් සැලකිල්ලට ගන්න ඕනෙ. ඒවගෙදි යම් ආකාරයකට වින්දිතයන්ට අසාධාරණයක් සිදුවන බවට කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. මොකද මේවා අපරාධ නඩු. ජනතාව අතර මේවා ගැන සැක ඇති කිරීම යහපත් දෙයක් නෙමෙයි. උදාහරණයක් විදිහට මාධ්‍යයෙන් එකක් කියනවා, අධිකරණයේ තවත් දෙයක් වෙනවා. ජනතාව මොකක්ද විශ්වාස කරන්නෙ. ඇත්තටම මේ බලතල පිළිබඳ ප්‍රශ්නය ඉක්මනින් විසඳන එක අතිශයින් වැදගත්. සාමාන්‍ය ජනතාවට මේ කෙස් පැළෙන නීති තර්ක තේරෙන්නෙ නෑ.

නීතිඥ සංගමයේ වගකීම

විශේෂයෙන්ම මෙතැනදි ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් ලොකු වගකීමක් තියෙනවා. ඒත් ඔවුන් ඒකට තවම මැදිහත් වුණු බවක් පෙනෙන්නෙ නෑ. මේක වෘත්තිමය ප්‍රශ්නයක්නෙ. උදාහරණයක් වශයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය කරුණු හෝ වෙනත් කරුණක් සම්බන්ධයෙන් වුණත් ගැටළුවක් ආවොත්, ඒ ක්ෂේත්‍රයේ ඉන්න අය කොහොමද කටයුතු කරන්නෙ, කොහොමද ඒ සම්බන්ධයෙන් හැසිරෙන්නෙ කියන එක රට බලාගෙන ඉන්නවා. ඒක නිසා මෙතැනදි නීතිඥ සංගමයටත් ලොකු වගකීමක් තියෙනවා.

කළ යුතු වැඩ දෙකක් 

රට මේ ගැන දැනුවත් කිරීමත් අත්‍යවශ්‍ය කාරණයක්.ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැදිහත් වන පාර්ශ්ව මේ ගැන කතා කරන්න ඕනෙ. එහෙම නැති වුණොත් වෙන්නෙ ජනතාව අතර අධිකරණ පද්ධතිය ගැන සැකයක් මතුවීම. ඒක මොන පැත්තෙන් ගත්තත් යහපතක් වෙන දෙයක් නෙමෙයි. අනෙක් පැත්තෙන් මේක සම්බන්ධයෙන් කඩිනම් තීන්දුවක් අධිකරණයෙන් ලබාගන්න මැදිහත් වෙන්න ඔ්නෙ. නැත්නම් විවිධ මත ඉදිරිපත් කරද්දි, එයා අර පැත්තෙ – මෙයා මේ පැත්තෙ කියලා බෙදන්න පුළුවන්නෙ. අධිකරණයෙන් දෙන්නෙ ස්වාධීන තීන්දුවක්නෙ.

Previous articleඅධිකරණයේදී වගේම මහ පාරෙදිත් විස්සට එරෙහිව සටන් කරනවා – එම්.ඒ.සුමන්තිරන්
Next articleතිලීපන් සමරන්න ඉඩ දෙන්නැයි ගෝඨාභයගෙන් ඉල්ලති

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here