විකාශන අධිකරිය හදන්න ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හංගයි

(තරිඳු ජයවර්ධන)
තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ තීරණයක් ගන්නා ලද කැබිනට් පත්‍රිකා මුදා හැරීම සිදුවුවද විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන අධිකරියක් හඳුන්වාදීමට පනතක් ගෙන ඒම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ලබා දීම අමාත්‍ය මණ්ඩල කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.
අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ තොරතුරු නිලධාරියා වන ඩබ්ලිව් කේ වීරවර්ධන මහතා මෙම තොරතුරු ඉල්ලීම තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ප්‍රතික්ෂේප කරන බව දැනුම් දුන්නේය. එම දැනුම්දීමට එරෙහිව එම පනත යටතේ අභියාචනයක් ඉදිරිපත් කළ අතර අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ නම් කළ නිලධාරී ලෙස කටයුතු කරන අමාත්‍ය මණ්ඩල ලේකම් ඩබ්ලිව් එම් ඩී ජේ ප්‍රනාන්දු මහතා ද අභියාචනයට අදාලව තොරතුරු නිලධාරියාගේ තීන්දුව ස්ථිර කරමින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.
එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ලබා දුනහොත් යෝජිත මාධ්‍ය බලපත්‍ර ලබාදීමේ හා නියාමනය කිරීමට අදාල නීතිය බලාත්මක කිරීමේ කර්යට බලපෑමක් සිදුවිය හැකි බැවින් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මුදා නොහරින ලෙස ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දුන් බව අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සඳහන් කළේය.
ඒ අනුව තොරතුරු දැන ගැනීමේ පනතේ 5.1.එ යටතේ මෙම තොරතුරු ඉල්ලීම හා අභියාචනය ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මණ්ඩල කාර්යාලය දැනුම්දී තිබේ.
යෝජිත විද්‍යුත් විකාශන කොමිෂන් සභාව පිහිටුවීමේ පනත් කෙටුම්පතේ අවසන් නොවූ පිටවතක් ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් විද්‍යුත් විකාශකයන්ගේ සංසදයට ලබාදී තිබුණු අතර එම කෙටුම්පතේ සදහන් විධිවිධාන මගින් ජනමාධ්‍ය නිදහසට දැඩි බලපෑමක් එල්ල විය හැකිබවට බරපතල චෝදනා එල්ල විය. මෙලෙස තොරතුරු පනත අනුව ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත්තේ එම කෙටුම්පත සකස් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවයි.
තොරතුරු නිලධාරියාගේ ප්‍රතිචාරය පහත දැක්වේ.
CB/RTI/01/02(2023/67)                                                                                                                     2023‑06‑12
ලියාපදිංචි අංකය 2023/67
තරිඳු ජයවර්ධන මහතා
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ ඉදිරිපත් කරන ලද තොරතුරු ඉල්ලීම: තීරණය දැනුම් දීම
විද්‍යුත් තැපැල් මගින් මෙම කාර්යාලයට ලැබුණු ලියාපදිංචි අංක 2023/67 දරන ඔබගේ 2023‑06-05 දිනැති තොරතුරු ඉල්ලීම හා බැඳේ. 
02.       එකී තොරතුරු ඉල්ලීමේ ඔබ විසින් ඉල්ලා ඇති අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන් තොරතුරු බාහිර පාර්ශ්ව වෙත හෙළි කිරීමෙන් යෝජිත මාධ්‍ය බලපත්‍ර ලබාදීමේ හා නියාමනය කිරීමට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමේ කිර්යයට බලපෑමක් සිදුවිය හැකි බැවින් එකී තොරතුරු හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන බව අදාළ තොරතුරු මෙම කාර්යාලය වෙත සපයන ලද ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඉහත පනතේ 29(2) වගන්තිය යටතේ මා වෙත වෙත දැනුම් දී ඇත.
03.       එබැවින්, 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 5(1)(එ) උපවගන්තියේ විධිවිධාන අනුව ඔබගේ තොරතුරු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව කණගාටුවෙන් දැනුම් දෙමි.
 04.       ඉහත තීරණය හෝ අදාළ කාලරාමු පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවේ නම් සති දෙකක (02) කාල සීමාවක් තුළ RTI 10 ආකෘතිය මඟින් හෝ ලිපියක් මඟින් පහත සඳහන් නම් කළ නිලධාරි වෙත අභියාචනය කළ හැකි බවද දන්වමි.
නම් කළ නිලධාරිගේ (අභියාචන බලධාරියාගේ)
නම                –   ඩබ්ලිව්. එම්. ඩී.ජේ. ප්‍රනාන්දු
තනතුර           –   අමාත්‍ය මණ්ඩලයේ ලේකම්
ලිපිනය           –   අමාත්‍ය මණ්ඩල කාර්යාලය, ලොයිඩ්ස් ගොඩනැගිල්ල, ශ්‍රිමත් බාරොන් ජයතිලක මාවත, කොළඹ 01.
මෙයට – විශ්වාසී,
ඩබ්ලිව්.කේ. වීරවර්ධන
තොරතුරු නිලධාරි/ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
අමාත්‍ය මණ්ඩල කාර්යාලය
දුරකතන අංකය – 0112431011
විද්‍යුත් තැපැල් – info@cabinetoffice.gov.lk
Previous articleකාන්තාවක් වසර 22කට පසු අපයෝජනය ගැන හත්වැනි වරටත් සාක්කි දෙයි
Next articleගෝඨාභයගේ පලිගැනීම් කොමිසමේ සාමාජිකයන් අධිකරණයට කැඳවයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here