ඔප්පු කරන්න බැරි නිසා නීතිපති හිජාස්ගේ නඩුව මඟහරින බවට චෝදනා

අත්අඩංගුවට ගැනීමෙන් පසු ගෙතූ සාක්කි මත අධිචෝදනා නඟා තිබෙන නීතිඥ හිජාස් හිස්බුල්ලාට එරෙහි නඩු ඔප්පු කිරීමට නොහැකි බව පැමිණිල්ල දන්නා නිසා නීතිපති දෙපාර්තමේන්තුව උසාවියට නොපැමිණ කල් ගනිමින් හිස්බුල්ලා මහතාට බලවත් අගතියක් සිදු කරන බව ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පුත්තලම මහාධිකරණයට දැනුම් දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා ඒ බව දැනුම් දුන්නේ නීතිඥ හිස්බුල්ලා මහතා සම්බන්ධ නඩුව ඊයේ (4) පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

නීතිපති දෙපාර්තමේන්තුව විනිසුරුවරුන්ගේ නිලමැදිරිවලට ගොස් විනිසුරුවරුන්ට ඉවත්වන ලෙස දැනුම් දෙමින් සහ නඩුවලට නොපැමිණ දින ගනිමින් වැරදි පූර්වාදර්ශ සපයමින් සිටින බව ද ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේය.

නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් නඩුවේ සම්පූර්ණ විස්තර සහිත වාර්තාවක් පහත දැක්වේ.
නඩු අංකය – එච්.සී 78/2021
අධිකරණය – පුත්තලම මහාධිකරණය
නීතිපතිගේ අංකය – ඊඊආර්/19/2020
විත්තිකරුවෝ – 01) හිජාස් ඔමාර් හිස්බුල්ලා,
02) සලීම්කාන් මොහොමඩ් ශකීල්
පසුබිම් විස්තර – පළමු විත්තිකරු නීතිඥවරයෙකි. ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක් වන ජනාධිපතිවරයා විසින් 2018 පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධ නඩුවටද මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි නීතිඥවරයෙකි. දෙවැනි විත්තිකරු පුත්තලම අල් සුහර්යා විදුහලේ හිටපු විදුහල්පතිවරයාය. නීතිඥ හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරකයන් සමඟ සම්බන්ධ වී ඇතැයි කියමින් 2020 අප්‍රේල් 14 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්ත්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබීය. ඊට වසරකට පමණ පසු නීතිපතිගේ උපදෙස් මත දෙවැනි විත්තිකරු අත්අඩංගුවට ගත්තේය. සේව් ද පර්ල් නම් සංවිධානය මගින් දරිද්‍රතාවෙන් පෙලෙන පවුල්වල දරුවන්ට ලබාදෙන අධ්‍යාපන ශිෂ්‍යත්වය හරහා පුත්තලම මදුරංකුලියේ අල් සුහර්යා පාසලට ළමයින් පිරිසක් යොමු කර තිබිණි. එම පාසලේ ළමයින්ට ප්‍රචණ්ඩත්වය සම්බන්ධ දර්ශන පෙන්වූ බව කියමින් මේ දෙදෙනාට නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබේ. එනම් 2018 අගෝස්තු පළමු වැනිදා සහ 2018 අගෝස්තු 31 වැනිදා අතර කාලයේදී පුත්තලව අල් සුහර්යා මද්‍රසා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන්ට ආගමික කණ්ඩායම් අතර ආගමික අසංගතිය හෝ එදිරිවාදී හැඟීම් ඇති වීමට සලස්වන්නා වූ දේශනයක් පැවැත්වීම, යුදමය දර්ශන පෙන්වීම සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙන්ම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ චෝදනා නඟා තිබේ. මාස 22කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග සහ රිමාන්ඩ් බාරයේ සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට 2022 පෙබරවාරි මාසයේදී අභියාචනාධිකරණ නියෝග මත ඇප ලැබිණි.  අවුරුද්දක පමණ කාලයක් රිමාන්ඩ් බාරයේ සිටි දෙවැනි විත්තිකාර විදුහල්පතිවරයාට ඉන් පසුව ඇප ලැබිණි.
නඩුවේ මීට පෙර සංක්ෂිප්තය – මෙම නඩුවට අදාලව 2022 ජනවාරි මස 28 වැනිදා චෝදනා කියවාදීමෙන් පසු කුමාරි අබේරත්න මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ නඩු විභාගය ඇරැඹිණි. පුත්තලම අල් සුහර්යා විද්‍යාලයේ සිසුවකු බව කියන මොහොමඩ් නසාර් මොහොමඩ් මලික් නම් අවුරුදු 18ක තරුණයකු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ සහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවියගේ මෙහෙයවිම යටතේ සාක්කි ලබා දුන්නේය. 2022 පෙබරවාරි 18 වැනි දා පළමු විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළ අතර එහිදී අනාවරණය වූයේ පළමු සාක්කිකරු අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 යටතේ මහේස්ත්‍රාත් නිල මැදිරියේ ලබා දුන් ප්‍රකාශයක් එදිනම ජනමාධ්‍යවෙත යෑම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සාක්කිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවයි. එම ප්‍රකාශය වැඩිදුර හරස් ප්‍රශ්න සඳහා අවශ්‍ය බව හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටීමෙන් පසු එම ප්‍රකාශය සහිත තොරතුරු පොත ජුනි මස 10 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නියෝග කරමින් වැඩිදුර විභාගය එදින තෙක් කල් තැබිණි.
ඒ අනුව ජුනි මස 10 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී පුත්තලම මහාධිකරණ විනිසුරුවරිය ලෙස නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය පත්වී තිබුණාය. මෙම නඩුව තමා ඉදිරියේ විමසීම සම්බන්ධයෙන් විරෝධයක් ඇත්දැයි නඩුවේ පාර්ශ්වකරුවන්ගෙන් විමසීම් කළ අතර ඊට විරෝධයක් නැති බව දැන්වීමෙන් පසු නඩු විභාගය ආරම්භ විය.  පළමු විත්තිකරු වන හිස්බුල්ලා මහතා වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම අවසන් කෙරිණි. එදින දෙවැනි විත්තිකාර විදුහල්පතිවරයා වෙනුවෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළද සාක්කිකරුගේ මුල් ප්‍රකාශය සහිත තොරතුරු පොත් ගෙනැවිත් නොමැතිවීම නිසා නඩු විභාගය යළිත් වරක් කල් තැබීමට සිදුවූ අතර අගෝස්තු 22 සහ 23 වැඩිදුර විභාගය සඳහා කැඳවීමට නියෝග කළේය. එමෙන්ම තොරතුරු පොත් අධිකරණයට රැගෙන ඒම පැහැර හැර මේ ආකාරයට ක්‍රියා කරන නිලධාරීන් සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිට දන්වා යවන ලෙස අධිකරණයේ ලේඛකාධිකාරීට නියෝග කෙරෙිණි.
ඒ අනුව අගෝස්තු 22 යළි නඩුව කැඳවූ අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව (පැමිණිල්ල) වෙනුවෙන් නඩුව මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය නොපැමිණෙන බව දැනුම් දුන් නිසා නඩු විභාගය ඔක්තෝබර් 04 වැනිදා තෙක් කල් තැබිණි.
2022 ඔක්තෝබර් 04 සිදුවීම –  නඩුව පෙරවරු 10.00ට පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවිණි.
නීතිඥ හෆීල් ෆාරිස්, නීතිඥ ශෙහානි වත්සලා, නීතිඥ චලන පෙරේරා, නීතිඥ සංජීව කොඩිතුවක්කු ඇතුළු නීතිඥවරුන් පිරිසක් සමඟ ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා පළමු විත්තිකාර හිජාස් හිස්බුල්ලා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ වීනාෂ්වරී ජයතිලක, නීතිඥ ක්‍රිෂානි වත්සලා ඇතුළු නීතිඥවරු පිරිසක් සමඟ නීතිඥ චමින්ද අතුකෝරල මහතා දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.  පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ නිමේෂා ද අල්විස් මහත්මිය පෙනී සිටියාය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් නීතිඥ රංජන් පෙරේරා මහතා නඩුවේ නිරීක්ෂකයකු ලෙස සහභාගී විය.
රජයේ නීතිඥ නිමේෂා ද අල්විස් – මෙම නඩුවට අදාලව මීට පෙර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා සහ ලක්මිණී ගිරිහාගම මහත්මිය පෙනී සිටියා. මේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවන්නේ ලක්මිණී ගිරිහාගම මහත්මිය. නමුත් ඇය ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියේ විභාග වන වෙනත් නඩුවකට සහභාගී වීමා නිසා අද සහභාගීවීමට නොහැකිබව දැනුම් දී තිබෙනවා. එම නඩු විභාගය අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පැවැත්වෙන නිසා වෙනත් දිනයක් ඉල්ලා සිටිනවා.
ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස – මගේ සේවාදායකයා නීතිඥවරයෙක්. අත්දැකීම් සහිත නීතිඥවරයෙක්. ඔහු නඩුවට පෙනී සිටීමට උසාවි එනවා. අපි උසාවි එනවා. නමුත් නීපති දෙපාර්තමේන්තුව එන්නේ නෑ. මෙහෙම උසාවියේ කාලය නාස්ති කරන්න දෙන්න බෑ. මේ නඩුවට අදාල සිදුවීමේ පළමුවෙනි කටඋත්තරය අරං තියෙන්නේ පළමු විත්තිකරු අත්අඩංගුවට අරගත්තටත් පස්සේ. පසුගිය නඩු දිනය අධිකාරණයේ නිවාඩු කාලය වෙලත් කැඳවන්න දින දුන්නේ අධිකරණය මේ නඩුව කඩිනමින් විභාග කරන්න. නමුත් පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ට කාර්ය බහුල නිසා එන්න වෙන්නේ නෑ කිව්වා. අධිකරණ කටයුත්තකුත් නොවන, පෞද්ගලික කටයුත්තකුත් නොවන කාරණයක් නිසා එන්න වෙන්නේ නෑ කිව්වා. ඒ නිසා අපි ආවේ නෑ. අපි ලෑස්ති වෙලා හිටියේ. අදත් කියන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩුවක් නිසා එන්න වෙන්නෑ කියලා. මේ කාරණය ඇය පසුගිය නඩුව වෙද්දි දන්නවා. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්ට බැරි නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ඉන්නවා. මේ දෙන්නාගෙන් එක්කෙනෙක්ට හරි එන්න තිබ්බා. ගොතපු, පවත්වාගෙන යන්න බැරි නඩුවක් දාලා තියෙන්නේ. ඉස්සර මෙහෙම නඩු දැම්මට ඇත්ත කියලා ඉවත්කර ගන්නවා. හැබැයි දැන් දින අරගෙන කල්දානවා.  මේක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දාපු නඩුවක්. එවැනි නඩු හැකි ඉක්මනින් අවසන් කරන්න කියලා නීතියේම ප්‍රතිපාදන තියනවා. ඒ නිසා පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර දෙවැනි විත්තිකරු වෙනුවෙන් හරස් ප්‍රශ්න අහන්න ඔහුගේ නීතිඥයාට අවස්ථාව දෙන්න කියා ඉල්ලා සිටිනවා.
නීතිඥ චමින්ද අතුකෝරල – මේක ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දාපු නඩුවක්. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ප්‍රකාශිතවම තියෙනවා ප්‍රමුඛත්වය දීලා අහන්න ඕන කියලා. අගෝස්තු 22 සහ 23 අධිකරණය නිවාඩු කාලෙත් මේක විභාග කරන්න දින ලබා දුන්නා. එදින විත්තිය සූදානම් වෙලා හිටියා. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව කල් ගත්තා. එදින වෘත්තීය ගරුත්වය සහ ආචාරධර්ම සලකලා අපි විරෝධය දැක්වූයේ නෑ. මේ නඩුවේදි පළමු සාක්කිකරුගෙන් මූලික සාක්කි විභාගයේදී එකම දවසේ දෙන්නෙක් සාක්කි මහෙයෙව්වා. අද එක්කෙනෙක්වත් ඇවිත් නෑ. මේහේතුව නිසා මේක කල් දානවාට අපි විරුද්ධයි. මගේ සේවාදායකයා පොලිසියෙන් අත්අඩංගුවට ගත්තෙත් නෑ. නීතිපති කියලා අත්අඩංගුවට අරං අවුරුද්දක් ඇතුළේ තිබ්බා. අද දින හරස් ප්‍රශ්න අහන්න අපි සූදානම්.
රජයේ නීතිඥවරිය – ලක්මිණී ගිරිහාගම මහත්මිය පැමිණිල්ල මෙහෙයවන එච් සී ටීඒබී 3887/2022 නඩුව සඳහා සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම දින නියම කර තිබේනවා.
විනිසුරුවරිය – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකුත් මේ නඩුවේ පැමිණිල්ල මෙහෙයවලා තිබෙනවා නේද?
රජයේ නීතිඥවරිය – ඒ ගැන උපදෙස් ලැබිලා නෑ. විත්තියේ නීතිඥවරුන් කිව්වා පසුගිය නඩු වාරයෙත් ආවේ නෑ කියලා. නමුත් එදා විරෝධය දක්වලා නෑ.
විනිසුරුවරිය – ගිරිහාගම මහත්මිය සහභාගී නොවන බව එම නඩු දිනයේදී දැනුම් දුන්නානේ.
රජයේ නීතිඥවරිය – නමුත් එදා විරෝධයක් දැක්වුවේ නෑ.
විනිසුරුවරිය – වෘත්තීමය ගරුත්වය නිසා එදා විරෝධය නොදැක්වූ බව නීතිඥවරයා කිව්වා.
රජයේ නීතිඥවරිය – මෙම නඩුවට අදාලව පැමිණිල්ලේ ගොනුව තිබෙන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය බාරයේ. අද දින විත්තියට හරස් ප්‍රශ්න අහන්න අවස්ථාව දුන්නොත් පැමිණිල්ලට අගතියක් වෙනවා. ඒ නිසා වෙනත් දිනයක් අයැද සිටිනවා.
විනිසුරුවරිය – මෙම අධිචෝදනාපත්‍රය භාරදුන් නඩු දිනයේදී ලක්මිණී ගිරිගාහම මහත්මිය සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකුට පෙනී සිටියත් අද දින පැමිණ නැත. රජයේ නීතිඥවරිය සතුව පැමිණිල්ලේ නඩු ගොනුව නොමැති නිසා අද දින හරස් ප්‍රශ්ස විමසීමට අවස්ථාවදීම තුලින් පැමිණිල්ලට අගතියක් වන බව නිරීක්ෂණය වේ. මෙම නඩුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ගොනු කරන ඇති නිසා නඩු විභාගය ඉක්මනින් අවසන් කළ යුතු බවට විත්තිය අවස්ථා කිහිපයකදීම දන්වා ඇත.
විනිසුරුවරිය – නඩු විභාගය සඳහා වෙනත් ළඟම දිනයක් ලබා දියයුතුයි.
විත්තියේ නීතිඥවරු – ඔක්තෝබර් 14
රජයේ නීතිඥවරිය – ලක්මිණී ගිරිගාගම මහත්මිය සහ සුදර්ශන මහතා දින ලබාදී තිබෙනවා. නොවැම්බර් 25, දෙසැම්බර් 02…
විනිසුරුවරිය – මාස එක හමාරකටත් එහා දවස්. මේ මාසෙ දවසක් නැද්ද?
රජයේ නීතිඥවරිය – ලබාදී තිබෙන දින මේවා. මේ මාසෙ අනිත් දිනවල ගිරිහාගම මහත්මියට අපහසු බව කිව්වා.
විනිසුරුවරිය – ඔක්තෝබර් 14 ළඟ දිනයක්. ඔක්තෝබර් 14 ඇයට පුලුවන්ද කියලා අහලා බලන්න.
රජයේ නීතිඥවරිය – මා සතුව අංකය නෑ. කාර්යාල කාර්ය සහායකගෙන් අරගෙන අහන්නම්.
විනිසුරුවරිය – ඔක්තෝබර් 14ට පුලුවන්ද අහන්න. නඩුව පසුව ගන්නවා.
පසුව මිනිත්තු 15කින් පමණ නඩුව යළි කැඳැවිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරයා රජයේ නීතිඥවරියට දැනුම් දුන්නේ ලක්මිණි ගිරිහාගම මහත්මියට එදින සහ ඔක්තෝබර මාසයේ කිසිම දිනෙක නොහැකි බවයි. ඇයට හැකියාව ඇත්තේ නොවැම්බර් 25 බව දැනුම් දුන්නේයැයි ඔහු කීවේය.
ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස – නීතිපති දෙපාර්තමේන්තුව වැරදි විදිහට දැන් වැඩ කරන්නේ. විනිසුරුවන්ට ඉවත්වෙන්න කියලා නිල මැදිරියට ගිහින් කියනවා. වෙනත් නඩුවක එහෙම වෙලා තියෙනවා. ඒ ගැන නීතිඥ සංගමයේ අවධායනයත් යොමුවෙලා තිබෙනවා. මම නීතිඥ සංගමයේ සභාපතිටත් කතා කළා.  විනිසුරුවරුන්ට කැමති නැත්නම් ඉවත් වෙන්න කියනවා, නැත්නම් කල් ගන්නවා. මේවා වැරදි පූර්වාදර්ශ. නොවිය යුතු දේවල්. ඒ වගේම තමයි සීඅයිඩිය පොත් ගේන්නේ නෑ.
නීතිඥ චමින්ද අතුකෝරල – මෙම පළමු සහ දෙවැනි සාක්කිකරු මහේස්ත්‍රාත් ඉදිරියේදි නිල මැදිරියේ දුන්නු ප්‍රකාශ ජනමාධ්‍යවෙත යෑම ගැන කොළඹ අපරාධ කොට්ඨාසයට විමර්ශනයක් කරන්න මේහ්ස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණා. එම විමර්ශනයට අදාලව මෙම සාක්කිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා. එම සටහන් සහිත පොත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පෙබරවාරි මාසයේදී අධිකරණය නියෝග කළා. අදත් එම පොත් ගෙනැවිත් නෑ.
විනිසුරුවරිය – අද සීසීඩීය ඇවිත් ඉන්නවද?
රජයේ නීතිඥවරිය – නැහැ
විනිසුරු – නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියට හෝ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට පුලුවන් ළඟම දවස මොකක්ද?
රජයේ නීතිඥවරිය – නොවැම්බර් 25
විනිසුරුවරිය – නඩුව එදිනට කල් තබනවා. පළමු සහ දෙවැනි සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කරනවා. තුන්වැනි සාක්කිකරු තාවකාලිකව මුදා හරිනවා. මහේස්ත්‍රාත් ඉදිරියේ දුන් ප්‍රකාශයක් ජනමාධ්‍යවලට යෑම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය කළ විමර්ශනයට අදාලව සාක්කිකරු ලබා දුන් ප්‍රකාශ සහිත තොරතුරු පොත් ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නියෝග කරනවා. එම නියෝගය අද දිනම ෆැක්ස් මගින් දැනුම් දෙන ලෙස මෙම අධිකරණයේ ලේඛකාධිකාරීට නියෝග කරනවා. එමෙන්ම සාක්කිකරුවන්ගේ ප්‍රකාශ සහිත තොරතුරු පොත් ඊළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කරනවා. එම නියෝගය අදම ෆැක්ස් මගින් දැනුම් දෙන ලෙස ලේඛකාධිකාරීට නියෝග කරනවා.
මීට පෙර නඩු විභාග ගැන මාධ්‍ය වාර්තා –
https://medialk.com/archives/6752
https://medialk.com/archives/3343
https://medialk.com/archives/3676
https://medialk.com/archives/3701
https://medialk.com/archives/5336
https://medialk.com/archives/2601
https://medialk.com/archives/6042
https://medialk.com/archives/5101
https://medialk.com/archives/5162
Previous articleත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගත් සංඛ්‍යාව ලබාදීම පොලිසිය ප්‍රතික්ෂේප කරයි
Next articleචෝදනා නෑ ; දින 50කට පසු හෂාන් ජීවන්ත නිදහස් කරයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here