හිජාස් හිස්බුල්ලා සමග කතා කරන්න නීතීඥවරුන්ට අවසර

මාස අටක් පමණ රැඳවුම් බාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා සමග පෞද්ගලිකව සාකච්ඡා කිරීමට අද (15) අභියාචනාධිකරණයෙන් නීතිඥවරුන්ට අවසර ලැබිණි.

අද පෙත්සම කැඳවු අවස්ථාවේ නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසූවේ හෙට(16) හිස්බුල්ලා මහතාගේ නීතිඥවරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී හිස්බුල්ලා මහතා හමුවීමට අවස්ථාව සලසා දෙන බවත් පෞද්ගලිකව කතා බහ කිරීමට අවස්ථාව සලසා දෙන බවත් ය.⁣ පෙත්සමේ සහන දැනටමත් ලැබී ඇති හෙයින් පෙත්සම නිෂ්ප්‍රභා කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.

හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට ප්‍රකාශ කර සිටියේ නීතිඥ සහය ලබාගැනීමට හෙට ඉඩ ලබා දෙන බවට පැවසූ නමුත් හෙටින් පසු ඉඩ ලබා නොදීමට හැකි බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ නොකර බහා තබන ලෙසයි. එවිට අවශ්‍ය වුවොත් එනම් නීතිඥ සහය ලබාගැනීමට ඉඩ නොදුනහොත් නැවත පෙත්සම කැඳවීමට ඉල්ලා සිටිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

නමුත් මෙහිදී අධිකරණය ප්‍රකාශ කළේ පෙත්සමේ සහන දැනටමත් ලැබී තිබෙන බවත් නැවත නීතීඥ සහය ලබාගැනීමට ඉඩ නොදුනහොත් පෙත්සම්කරුට අලුතින් අභියාචනයක් යොමු කළ හැකි නිසා මෙය නිෂ්ප්‍රභා කරන බවත්ය.

ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ මෙම නඩුව කැඳවිණි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව සඳහන් කරමින් 2020 අප්‍රේල් 14 වැනිදා නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එතැන් සිට ඔහු මේ දක්වා රඳවා තබා ගනු ලැබ සිටී. ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසිදු හේතුවක් දක්වා නොමැති බව ද ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.

එම කාලයේදී මාධ්‍ය හමුවකදී පොලිස් ප්‍රකාශකයෙකු කියා සිටියේ 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ වලදී ඔහුට එරෙහිව හමු වූ සාක්ෂි හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.

ඔහුට නිසි පරිදි නීතිඥ සහය ලබාගැනීමට අවස්ථාව ලබා දී නැති බවට ද නීතිඥයින්ට ප්‍රවේශ වීමට අවසර දුන් අවස්ථාවලදී ද ලබාදී ඇත්තේ ඇත්තේ රහස් පොලිසියේ නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ සීමිත ප්‍රවේශයක් පමණක් බවටද ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.

ඔහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට නීතිඥ සංගම්, දේශීය සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් නිවේදන නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ වාර්තා පහතින්…

Previous articleපහරදෙන්නන් සහ පහරකන්නන් !
Next articleඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඉල්ලීම් වෙනුවෙන් විරෝධතාවයේ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here