දින 408කට පසු හිජාස්ට මව සමඟ කතා කරන්න අවස්ථාව 

අත්අඩංගුවට ගැනීමෙන් දින 408කට පසුව නිතීඥ හිජාස් හිස්බුල්ලා මහතාට අද (27) වැලිකඩ බන්ධනාගාරයේ සිට ඔහුගේ මව සහ පවුලේ අය සමග කතා බහ කිරීමට අවස්ථාව හිමි වී තිබේ.
අද සවස 3.15 සිට විනාඩි 15ක පමණ කාලයක් වීඩියෝ ඇමතුමක් හරහා කතා බහ කිරීමට හිස්බුල්ලා මහතාට අවස්ථාව ලබා දුන් බව බන්ධනාගාර නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බව සඳහන් කරමින් 2020 අප්‍රේල් 14 වැනිදා නීතිඥ හිජාස් හිස්බුල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මාස 10ක පමණ කාලයක් ඔහු අධිකරණයකට ඉදිරිපත් නොකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියේය. හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කිසිදු හේතුවක් දක්වා නොමැති බව ද ඔහුගේ නීතිඥවරුන්  අධිකරණයට ප්‍රකාශ කර තිබිණි.
හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගෙන සති කිහිපයක් යන තුරු නීතිඥ සහ⁣ය ලබා ගැනීමටද අවස්ථාව ලබා දී නොතිබිණි.ඒ සඳහා ඔහුගේ නීතිඥවරුන්ට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට සිදු විය.
එම කාලයේදී මාධ්‍ය හමුවකදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ  2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ වලදී ඔහුට එරෙහිව හමු වූ සාක්ෂි හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා කටාර් චැරිටි නම් කටාර්හි නීතිවිරෝධී ආයතනයකින් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අයත් ‘සේව් ද පර්ල්’ සංවිධානයට රුපියල් මිලියන 13 ක් බැර කර ඇති බවටත් පසුව චෝදනා එල්ල කළේය. කටාර් චැරිටි යනු ත්‍රස්තවාදීන්ට මුදල් සපයන ආයතනයක් බව ද රහස් පොලිසිය මුලින් ප්‍රකාශ කළේය. නමුත් කටාර් චැරිටි යනු ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලයේ FL162614 දරණ අංකය යටතේ ලියාපදිංචි වී ඇති සහ ශ්‍රී ලංකා රජය සමග අවස්ථා ගණනාවකදී කටයුතු කළ පුණ්‍යායතනයක් බවත්, එම සංවිධානයෙන් නීතිඥවරයා හෝ ඔහු නියෝජනය කළ සංවිධානය ආධාර ලබා ගෙන නැති බවත් පසුව හෙළි විය.
කෙසේ වෙතත් අවසානයේ හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මද්‍රසා පාසලක ඉගෙනුම ලබන ළමයින් සම්බන්ධ සිදුවීමකට අදාලවය. මදුරංකුලිය මද්‍රසා පාසලක ඉගෙනුම ලබන සිසුන් පිරිසකට අන්තවාදී දේශන සිදු කළැයි කියමින් හිස්බුල්ලා මහතාට එරෙහිව කරුණු වාර්තා කර තිබේ.
තමන් රහස් පොලිසියට රැගෙන ගොස් හිස්බුල්ලා මහතාට එරෙහිව ව්‍යාජ සාක්කි ලබාදෙන ලෙස රහස් පොලිස් නිලධාරීන් බලපෑම් කළ බව කියමින් හිස්බුල්ලා මහතාට එරෙහිව ප්‍රකාශ දුන් බව කියන සිසුන් හතර දෙනෙක් නීතීඥ නුවන් බෝපගේ මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.
රැඳවුම් බාරයේ වසරකට ආසන්න කාලයක් තබාගැනීමෙන් පසු නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා 2021 පෙබරවාරි 17 උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව හිස්බුල්ලා මහතා පෙබරවාරි 18 වැනිදා සවස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. හිස්බුල්ලා මහතාට එරෙහිව ළමයින් පිරිසකගෙන් රහස් පොලිසිය බලහත්කාරයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බත්, හිස්බුල්ලා මහතා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ එක සිසුවකුගේ පරස්පර ප්‍රකාශයක් මත පමණක් බවත් ඔහුගේ නීතීඥවරු එදින අධිකරණයට දැනුම් දුන්හ.
ඔහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මෙරට නීතිඥ සංගම්, දේශීය සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන ඇතුළු පාර්ශ්ව රැසක් නිවේදන නිකුත් කළේය.
2018 පාර්ලිමේන්තුව විසිරුවීමට එ⁣රෙහි මූලික අයිතිවාසිකම් නඩුවේදී හිස්බුල්ලා මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ආචාර්ය රත්නජීවන් හුල් මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු මානව හිමිකම් ක්ෂේත්‍රයේ කතා බහට ලක්වූ නීතිඥවරයෙකි.
Previous articleසීමා මැද අධිකරණ වැඩ කරන හැටි ගැන නීතිඥ සංගමයෙන් යෝජනා
Next articleපාසල් දරුවන්ගෙන් සියයට 60කට සම අධ්‍යාපන අයිතිය අහිමි වෙලා : ජනාධිපති කාර්යසාධක බලකාය කරන්නේ මොනවාද ? – ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here