‘හිජාස්ගේ දේශනය ගැන අවධානයෙන් නොසිටි නිසා ඇතැම් දෑ මතක නෑ’ – සාක්කිකරු

නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම පාසලට පැමිණ ‘ලෙක්චර්ස්’ කරද්දී තමන් ඒ ගැන අවධානයෙන් නොසිටි නිසා ඔහු ප්‍රකාශ කළ ඇතැම් කරුණු මතක නැති බව පුත්තලම අල් සුහරියා විද්‍යාලයේ හිටපු ශිෂ්‍යයකු බව කියන මොහොමඩ් නසාර් මොහොමඩ් මලික් නම් තරුණයා (18) පුත්තලම මහාධිකරණයේ සාක්කි ලබා දෙමින් ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි ලබා දෙමිනි.
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට සහ පුත්තලම අල් සුහරියා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එරෙහිව පවරා තිබූ නඩුව විභාගයට ගැනීම සඳහා පසුගිය 28 වැනිදා පුත්තලම මහාධිකරණයේදී කැඳවනු ලැබුවේ හලාවත මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය ඉදිරියේය. මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා එදින පෙරවරු 9.45ට පමණ අධිකරණයට රැගෙන ආ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි විදුහල්පතිවරයා පෙරවරු 10.05ට පමණ අධිකරණයට රැගෙන එනු ලැබීය.
මහාධිකරණ විනිසුරුවරිය පෙරවරු 10.15ට පමණ විනිශ්චයාරූඨ වීමෙන් පසු අධිකරණයේ කටයුතු ආරම්භ විය. පැමිණිල්ල සහ විත්තිය වෙනුවෙන් නීතිඥවරුන් හඳුන්වාදීම මුලින්ම සිදුවූ අතර විශේෂත්වය වූයේ මෙම නඩුවේ නිරීක්ෂණ මට්ටමින් සහභාගී වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් පිරිසක් පැමිණ සිටීමයි. මෙම නඩුවේ පළමු චූදින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයකුවන නිසාත්, ඔහු අත්අඩංගුවේ පසුවූ කාලයේ තම සංගමයේ සාමාජිකයන් වන නීතිඥවරුන්ට ඔහු හමුවීමට අපහසුතා ඇතිවූ බවට වාර්තා වන නිසා මෙම නඩුවේ නීරීක්ෂණ මට්ටමින් සහභාගී වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය තීරණය කළ බවත්, ඒ අනුව ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා සහ තමා මෙම නඩුව නිරීක්ෂණය කිරීම සඳහා සහභාගී වන බවත් නීතිඥ චරිත් කල්හේරා මහතා ප්‍රකාශ කළේය.
අනතුරුව චූදිතයන්ට චෝදනා කියවා දීම සිදු විය. පළමුවැනි චූදිත නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට සිංහල භාෂාවෙන් චෝදනා කියවා දුන් අතර දෙමළ භාෂාවෙන් පරිවර්ථනයක් අවශ්‍යදැයි අධිකරණය විමසීමක් කළේය. දෙමළ පරිවර්ථනයක් අවශ්‍ය නොවන බව කී නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා චෝදනා තුනටම තමා නිවැරදිකරු යැයි ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කළේය. දෙවැනි චූදිත වන පුත්තලම අල් සුහර්යා විදුහලේ විදුහල්පතිට සිංහලෙන් චෝදනා කියවා දුන් අතර තමාට සිංහල භාෂාව පැහැදිලිව නොතේරෙන බව විදුහල්පතිවරයා කියා සිටියේය. ඒ අනුව ඔහුට දමිළ භාෂාවෙන් චෝදනා කියවා දීමට අවශ්‍ය වැඩකටයුතු සූදානම් කර ගැනීම සඳහා පෙරවරු 10.25ට මිනිත්තු පහක කාලයක් සඳහා නඩුව කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.
නැවත වරක් 10.38ට පමණ අධිකරණයේ කටයුතු ආරම්භ වූ අතර භාෂා පරිවර්ථකයකු විසින් දෙමළ බසින් චෝදනා කියවා දුන්නේය. චෝදනා තුනට තමා නිවැරදිකරු යැයි දෙවැනි චූදිත ‘දෙමළ’ භාෂාවෙන් ප්‍රකාශ කළේය.
ඉන් අනතුරුවේ සාක්කි ගැනීම ආරම්භ විය. මුලින්ම සාක්කි සැඳහා කැඳවනු ලැබුවේ පුත්තලම අල් සුහර්යා විදශාලයේ ඉගෙනුම ලැබූ බව කියන මොහොමඩ් නසාර් මොහොමඩ් මලික් නම් තරුණයෙකි.
මහාධිකරණ විනිසුරුවරිය – ඔබේ වයස කීයද?
සාක්කිකරු මලික් – 18යි
මහාධිකරණ විනිසුවරිය – ඔබට සිංහල භාෂාවෙන් පිළිතුරු දෙන්න අපහසු නම් දෙමළ භාෂාවෙන් පිළිතුරු දෙන්න. ඔබට සිංහලෙන් අහන ප්‍රශ්න නොතේරෙනවා නම් ඔබ දෙමළ භාෂාවෙන් පරිවර්ථනයක් ඉල්ලන්න. භාෂා පරිවර්ථක ඔබට සහාය වෙයි. ඔබට වඩාත් පහසුවෙන් පිළිතුරු දිය හැකි භාෂාවෙන් පිළිතුරු දෙන්න.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා – ඔබේ සම්පූර්ණ නම?
සාක්කිකරු – මොහොමඩ් නසාර් මොහොමඩ් මලික්
නි.සො.ජ- පදිංචි ලිපිනය?
සාක්කිකරු – 171 ඒ2,……
නි.සො.ජ – රැකියාවක් කරනවද?
සාක්කිකරු – ඔව්. …. ගාමන්ට් එකේ වැඩ කරනවා.
නි.සො.ජ – ඔබ කවුරුන් සමඟද පදිංචි වෙලා ඉන්නේ?
සාක්කිකරු – අම්මා සහ අයියා සමග
නි.සො.ජ- අයියා මොකද කරන්නේ?
සාක්කිකරු – අයියා බස් එකක වැඩ කරනවා.
නි.සො.ජ – ඔබ මුලින්ම පාසල් ගියේ කොහෙද?
සාක්කිකරු – අපේ ගමේ කොලේජ් එකට.
නි.සො.ජ – එහි කොච්චර කල් හිටියද?
සාක්කිකරු – අවුරුදු දෙකක් විතර.
නි.සො.ජ – ඔබේ තාත්තා?
සාක්කිකරු – තාත්තා පොඩිකාලේ දාලා ගියා.
නි.සො.ජ – දැන් කතා කරනවද?
සාක්කිකරු – ඔව් කතා කරනවා.
නි.සො.ජ – ගමේ පාසලෙන් පස්සේ ඔබ මොකද කළේ ?
සාක්කිකරු – ළමා නිවාසෙක ගිටියේ.
නි.සො.ජ – කවුද ඔබව එහෙට බාර දුන්නේ?
සාක්කිකරු – අම්මා
නි.සො.ජ – කොපමණ කාලයක් ඔබ එහේ හිටියද?
සාක්කිකරු – පහ වසර වෙනකම් ළමා නිවාසයේ හිටියා.
නි.සො.ජ- ළමා නිවාසයේ ඉන්දි පාසල් ගියේ?
සාක්කිකරු – ගල්කිස්ස හිජාස් ඉන්ටර්නැෂනල් පාසලට.
නි.සො.ජ – කොපමණ කලක් එම පාසලට ගියාද?
සාක්කිකරු – 05 වසර වෙනකම්
නි.සො.ජ – එහේ සාමාන්‍ය අධ්‍යාපනයද, ආගමද ඉගැන්නුවේ?
සාක්කිකරු – ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවා.
නි.සො.ජ- ඒ පාසල අයිති කාටද කියලා ඔබ දන්නවද?
සාක්කිකරු – හිස්බුල්ලා කියලා සර් කෙනෙක්ට
නි.සො.ජ – එහෙ ඉන්දි යම් ප්‍රශ්නයක් වුණාද?
සාක්කිකරු – ළමයින්ට ගැහුවා කියලා පත්තරේක දාලා තියනවා දැකලා අම්මා කතා කළා.
නි.සො.ජ -අම්මා රස්සාවක් කළාද?
සාක්කිකරු – ගෙදරක වැඩට ගියා.
නි.සො.ජ – ඉන් පස්සේ කොහෙද ගියේ?
සාක්කිකරු – රතනසාර විද්‍යාලය කියන ගමේ පාසලේ සිංහලෙන් ඉගෙන ගත්තා. සිංහල කතා කරන්න පුලුවන් වුණාට ලියන්න අමාරුයි. ඊට පස්සේ අම්මා තිහාරියේ පාසලකට දැම්මා. ඒ පාසලේ මාස 8ක් විතර හිටියා. ඊට පස්සේ මාවනැල්ලේ හෙම්මාතගම දාරුල් හසනාත් ළමා නිවාසාසයේ ඉඳන් 9 වසර වෙනකම් ඉගෙන ගත්තා. ඊට පස්සේ වැල්ලම්පිටියේ ළමා නිවාසයකට ගියා. ඒකේ නොමිලයේ ඉගැන්නුවා. ඉන් පස්සේ ගෙදර ඉඳන් ගියා. ඒකට ෆීස් ගෙවාන්න බැරි වුණා. අපේ සර් කෙනෙක් කිව්වා ෆ්‍රී උගන්වන තැනක් තියනවා කියලා. අම්මා කිව්වා ෆ්‍රී උගන්වනවා නම් භාෂාව ඉගෙන ගන්නත් පුලුවන් යන්න කියලා. සුල්තාන් කියලා සර් කෙනෙක් කිව්වේ. මායි අම්මායි පාර දන්නේ නැති නිසා සුල්තාන් සර්ට කෝල් කරලා පාර අහගෙන ගියේ.
නි.සො.ජ – ආත්මාරක්ෂක සටන් ඉගෙනගෙන තියෙනවද?
සාක්කිකරු – කරාටි ඉගෙන ගත්තා. වැල්ලම්පිටියේ ළමා නිවාසයේ ඉන්න කාලේ අපේ අංකල් කෙනෙක් ඉගැන්නුවා. එතකොට වයස අවුරුදු 14ක් 15ක් ඇති.
නි.සො.ජ – පුත්තලම පාසලට යනකොට වයද කීයද?
සාක්කිකරු – 14යි. නමය වසරේ ඉන්නකොට ගියේ. 2018 වසරේ 06 හෝ 07 වෙනි මාසෙ.
නි.සො.ජ – පුත්තලම පාසල තිබුණු පරිසරය කොහොමද?
සාක්කිකරු – ලොකු ඉඩමක තිබ්බේ. ඉඩම මැද නුග ගහක් තිබ්බා. තහඩුනලින් වටකරලා තිබ්බා. යද්දිම පල්ලිය තියනවා. පල්ලිය උඩ මම හිටපු කලම්බු හොස්ටල් එක. තට්ටු දෙකේ බිල්ඩිමක් තිබ්බා දකුණු පැත්තේ. පිටිපස්සේ කුස්සිය තිබ්බා. පොඩි ගේ කෑල්ලක් වගේ. ඊට පිටිපස්සෙන් නාන කාමරේ තිබ්බා.
නි.සො.ජ – අම්මා එක්ක ගිය දවසේ විදුහලට බාර දුන්නද?
සාක්කිකරු – ඔව්
නි.සො.ජ – කාටද බාර දුන්නේ?
සාක්කිකරු – විදුහල්පතිට බාර දුන්නේ.
නි.සො.ජ – එහේ කොපමණ කල් හිටියද?
සාක්කිකරු – 2019 පෙබරවාරි වගේ වෙනකම් හිටියා.
නි.සො.ජ- විදුහල්පති සම්පූර්ණ කාලෙම එහේ හිටියද?
සාක්කිකරු – ඔව්.
නි.සො.ජ – ඔබ කොහේ ගිහින් නැවතුනේ?
සාක්කිකරු – කලම්බු හොස්ටල් එක බාර දුන්නේ. ඒකේ පොඩි සෙට් එකක් හිටියා.
නි.සො.ජ- සෙට් එක කියන වචනය අධිකරණයට ගැලපෙන්නේ නෑ. අපි කට්ටියක් කියමු.
විනිසුරුවරිය – ඔහු කියන වචනය භාවිත කරන්න දෙන්න.
නි.සො.ජ – හිටපු අයගේ නම් මතකද?
සාක්කිකරු – ඔව්. ෆවුසාන්, තවුෆික්, ලෆීස්, නෆීස්, රිකාස්, ආශික්, අබ්දුල්ලා, (තවත් නම් කිහිපයක් කියයි) එච්චරයි මතක.
නි.සො.ජ – ඒ අය මලික්ට වඩා බාලද?
සාක්කිකරු – බාල අය.
නි.සො.ජ – මලික්ට බාර දුන්නා කිව්වේ?
සාක්කිකරු – අපි දෙන්නෙක් තමයි ඒ හොස්ටල් එකේ ඉන්චාර්ච් විදිහට හිටියේ.
නි.සො.ජ – කොළඹ අය නතර වෙලාද හිටියේ?
සාක්කිකරු – ඔව්
නි.සො.ජ – තව කවුරුත් හිටියස?
සාක්කිකරු – බිරිඳ හා ළමයෙකුයි තව පොඩි ළමයෙකුයි හිටියා.
නි.සො.ජ – කොළඹ අයයි, විදුහල්පතිගේ පවුලේ අයයි හැර තව අය හිටියද?
සාක්කිකරු – පූජිකවරු හිටියා.
නි.සො.ජ- පාසලේ කොළඹ අය හැර ගිහින් ඉගෙන ගන්න තව අය හිටියද?
සාක්කිකරු – ඔව්
නි.සො.ජ – කොහේ අයද ?
සාක්කිකරු – මන්නාරම පුත්තලම වගේ අය.
 නි.සො.ජ – කොපමණ වගේ හිටියද?
සාක්කිකරු – ආගම ඉගෙන ගන්න 40ක් 50ක් හිටියා. මට වඩා බාල අයත් හිටියා. වැඩිමල් අයත් හිටියා.
නි.සො.ජ – ආගම ඉගෙන ගන්නවා කියන්නේ ?
සාක්කිකරු – කුමාරණය ඉගෙන ගන්නවා.
නි.සො.ජ- පූජකවරු වෙන්න ඉන්න කට්ටියද?
සාක්කිකරු – ඔව්
නි.සො.ජ –  ඉගෙනීම ආරම්භ වුණේ?
සාක්කිකරු – මම බලාගෙන ගියේ මට කලින් සිලබස් එක ඉගෙන ගන්නයි. ඉරිදා සෙනසුරාදා විතරක් සර්ලා එනවා. ටැමිල්, ඉංග්‍රීසි, මැත්ස් පැය ගානේ උගන්වනවා. මම අම්මට කෝල් කරලා කිව්වා හරියට උගන්වන්නේ නෑ කියලා. අම්මා කිව්වා උගන්වන්නේ නැත්නම් අයින් වෙන්න කියලා. ඒත් අයින් වෙන්න දුන්නේ නෑ.
නි.සො.ජ – සතියෙ දවස්වල මොනවද කළේ?
සාක්කිකරු – උදේ 5ට ඇහැරිලා ආගම කියලා ඉවර වෙලා උදේට කලම්බු හොස්ටල් එකේ මිදුල අතුගානවා. උදේ මව්ලවි පූජක කෙනෙක් උගන්වන්න එනවා. 12 වෙනකම් උගන්වනවා. උගම අගන්වන්නේ. 12ට එයා යනවා. අපි දවස් කෑවට පස්සේ නිදාගන්නවා. තුනට හතරට නැගිටලා ආගම කියලා සෙල්ලම් කරලා නිදාගන්නවා. සමහර අය වොලිබෝල් ගහනවා. අපි නම් කබඩි සෙල්ලම් කළා.
නි.සො.ජ – මලික් පූජකයෙක් වෙන්න බලාගෙනද හිටියේ?
සාක්කිකරු – නෑ
නි.සො.ජ -උදේ වරුවේ ඉගෙන ගන්නේ ආගම හා අරාබි භිෂාවද?
සාක්කිකරු – ඔව්.
නි.සො.ජ – සෙනසුරාදා?
සාක්කිකරු – සෙනසුරාදා ගමේ පාසලේ ගුරුවරුන් ඇවිත් උගන්වනවා.
නි.සො.ජ – පිටින් කවුරුන් හෝ දේශකයො ආවද?
සාක්කිකරු – ලෙක්චර්ස් උගන්වන්න ආවා. මුලින්ම ආවේ උපන්දිනේ දවසේ. අගෝස්තු 19 වෙනිදා. කොළඹ ඉඳන් අනස් හා සුසෙයි කියලා දෙන්නෙක් ආවා.
නි.සො.ජ – මොනවද ඉගැන්නුවේ?
සාක්කිකරු – මෝටිවේෂන් වගේ. බිත්තියට ප්‍රොජෙක්ටර්ස් ගහලා පලස්තීනෙ ගහන ඒවා පෙන්නුවා. ඒ පැත්තේ අපේ පල්ලි අල්ලං ඉන්නේ කතෝලික කට්ටියක් කියලා කිව්වා.
නි.සො.ජ – ඔබ ඡන්දය පාවිච්චි කරලා තිබෙනවද?
සාක්කිකරු – නෑ
නි.සො.ජ – පලස්තීනෙ මොකද වෙන්නේ කියලා දන්නවද?
සාක්කිකරු – ඒච්චර නෑ
නි.සො.ජ – ඉන්ටර්නෙට් යනවද?
සාක්කිකරු – නෑ
නි.සො.ජ – පාසලේ ඉන්න කාලේ දුරකතනයක් පාවිච්චි කළාද?
සාක්කිකරු – නෑ
නි.සො.ජ – ගෙදරට කතා කළේ කොහොමද?
සාක්කිකරු – මව්ලවි කෙනෙකුගේ දුරකතනයෙන්.
නි.සො.ජ – තවත් කවුරුන් හෝ දේශනවලට ආවද?
සාක්කිකරු – නවුෆර් මව්ලවි කියලා කෙනෙක් ආවා.
නි.සො.ජ – එදා පලස්තීන දේශනය කළේ කාටද?
සාක්කිකරු – පැය බාගයක් විතර අපිත් හිටියා. අපිට උගන්වන මව්ලවි ආවට පස්සේ අපි ‌ෙඉගන ගන්න ගියා. ඊට පස්සේ මොකද වුණේ දන්නේ නෑ.
නි.සො.ජ – නවුෆර් මව්ලවි ආවේ කොයි කාලෙද?
සාක්කිකරු – මාසෙකට විතර පස්සේ. හරියට මතක නෑ. නව වෙනි මාසෙ වගේ තමයි ආවේ.
නි.සො.ජ – නවුෆර් මව්ලවි මොනවද කළේ?
සාක්කිකරු – කවුන්සිලිං වගේ එකක් කළා.
නි.සො.ජ – තවත් අය ආවද?
සාක්කිකරු – ලෝයර් කෙනෙක් ආවා. එයාගේ නම දන්නෑ. එයා ආවේ 3.00ට 3.30ට විතර……… ඇම්බිෂන් එක මොකක්ද ඇහුවා. එයත් පලස්තීන විස්තරේ කියාගෙන ගියා.  පලස්තිනේ ගහන එක ගැන කිව්වා. එහේ අපේ මුස්ලිම් අයට අනිත් රිලිජන් එකේ කට්ටිය ගහනවා කියලා කිව්වා. එයා නෝට්ස් වගයක් ලියාගෙන ගියා. ඒක අපි කොපි කර ගත්තා. අනාගතේ හදාගන්න විදිහ වගේ එකක් කිව්වා.
නි.සො.ජ – පලස්තීන ප්‍රශ්නය ගැන ,,,, කොහොමද?
සාක්කිකරු – සටන් කරන්න කැමති කවුද කියලා ඇහුවා.
නි.සො.ජ – ඒ වෙලාවේ කවුද හිටියේ?
සාක්කිකරු – ළමයි හැමෝම හිටියා. ළමයි 50ක් 60ක් හිටියා.
නි.සො.ජ – සටන් කරන්න කැමතිද ඇහුවම මොකද කිව්වේ?
සාක්කිකරු – උත්තරයක් දුන්නේ නෑ. එයාලා ලෙක්චර්ස් කරද්දි අපි වැඩියේ ඒ කල්පනාවෙන් හිටියේ නෑ.
නි.සො.ජ – සටන් කරන්නේ කා එක්කද කියලා කිව්වද?
සාක්කිකරු – නමක් නම් කිව්වේ නෑ. අපිට එරෙහි රිලිජන් එකේ අය….
නි.සො.ජ – හිස්බුල්ලා කියන පුද්ගලයා කොච්චර වෙලා හිටියද?
සාක්කිකරු – පැය 2 හමාරක් විතර.
නි.සො.ජ – එදායින් පස්සේ හිස්බුල්ලා නම් පුද්ගලයා හමුවෙලා තිබෙනවද?
සාක්කිකරු – හමුවෙලා නෑ
නි.සො.ජ- මලික්ට ඒ පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වලා ප්‍රශ්න කළාද?
සාක්කිකරු – ඔව්. සීඅයිඩී එකෙන් ප්‍රශ්න කළා.
නි.සො.ජ – ඡායාරූපයෙන් අඳුනාගන්න මතක තිබ්බද?
සාක්කිකරු – පොඩි මතකයක් තිබ්බා.
(අධිකරණ ශාලාවේ විත්ති කූඩුවේ සිටින විත්තිකරු එදා පැමිණි පුද්ගලයා බවට හඳුනා ගනී)  එතකොට නම් මේ විදියට නෙමේ රැවුල සාමාන්‍යයෙන් තිබ්බා.
නි.සො.ජ – පළමුවැනි චූදින දැක්කේ කොච්චර වෙලාවක් වගේද?
සාක්කිකරු – පැය දෙක හමාරක් තුනක් වගේ.
නි.සො.ජ – එදා මුඛ ආවරණ දාලා තිබ්බද?
සාක්කිකරු – නෑ
නි.සො.ජ – මේ කොවි අවුරුද්දෙද?
සාක්කිකරු – 2018 නවවෙනි මාසේ 10 වැනි මාසේ වගේ.
නි.සො.ජ – නිශ්චිතව?
සාක්කිකරු – නිෂ්චිත මතකයක් නෑ.
නි.සො.ජ – ඔය දවසෙන් පස්සේ තවත් අය ආවද?
සාක්කිකරු – ආශික් මවුලවි ආවා.
නි.සො.ජ – කාන්තාවන් ආවද?
සාක්කිකරු – දෙන්නෙක් ආවා. කෙට්ටු සාමාන්‍ය උස අක්කා කෙනෙක් ආවා. එයා එක්ක මහත අක්කා කෙනෙක් ආවා.
නි.සො.ජ – එයාලගේ නම් ?
සාක්කිකරු – ලතීෆා කියලා කෙනෙක් හිටියා.  මහත එක්කෙනා ළමා පරිවාසේ කිව්වා. එයාලා ත්‍රීවිල් ගේම් එකක් කළා.
නි.සො.ජ – සතියේ දවසකද?
සාක්කිකරු – ඉරිදා සෙනසුරාදා දවසක
නි.සො.ජ – මලික් ඔය පාසලෙන් යම් දවසක අයින් වුණාද?
සාක්කිකරු – හොරෙන් පැනලා ආවේ.
නි.සො.ජ – මලික් විතරද එහෙම ආවේ?
සාක්කිකරු – කෞෂාල් කියන කොල්ලත් පැනලා එන්න ආවා. එයාව අල්ලගත්තා.
නි.සො.ජ- ඇයි පැනලා ආවේ?
සාක්කිකරු – එක කොල්ලෙක් බොරුවට කියලා තිබ්බා අපි එයාගේ මස්කෑල්ල කෑවා කියලා. ඊට ප්සසේ අත්දෙක බැඳලා ගැහුවා.
නි.සො.ජ – පළමු විත්තිකරු කලින් කියලු දේවල් විතරද කිව්වේ?
සාක්කිකරු – එච්චරයි මතක. අවුරුදු තුනක් විතර නිසා මතක නෑ.
නි.සො.ජ – ප්‍රොජෙක්ටර් එක භාවිත කර මොනවත් පෙන්නුවද?
සාක්කිකරු – පෙන්නුවා. මොනවා පෙන්නුවද කියලා මතක නෑ.
පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා මේ අවස්ථාවේ විරෝධයක් මතු කළ අතර ඒ අනුව සාක්කිකරු පිස්කල් වරයා බාරයේ අධිකරණ ශාලාවෙන් ඉවත් කරනු ලැබීය.
පැමිණිල්ලෙන් පිළිතුරු හැඟවෙන ප්‍රශ්න දිගින් දිගටම විමසන බවත්, එයින් විත්තියට දැඩි අගතියක් සිදුවන බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ. පැමිණිල්ල ඔප්පු කිරීම සඳහා කැමති කැමති දේවල් ඇසිය නොහැකි බවත්, සාක්කි ආඥාපනත අනුව කටයුතු කළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.  දෙවැනි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා ද එම විරෝධතාවය මතු කළේය. ඒ අනුව පිළිතුරු හැගවෙන ප්‍රශ්න ඉදිරිපත් නොකරන ලෙස මහාධිකරණ විනිසුරුවරිය දැනුම් දුන්නාය. ඉන් පසුව යළිත් වරක් සාක්කිකරු කැඳවිණි.
සාක්කිකරුගෙන් ප්‍රශ්න කිහිපයක් අසද්දී යළිත් වරක් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දෙවැනි විත්තිකරු සිටියාදැයි ප්‍රශ්නයක් ඇසූ අතර දෙවැනි විත්තිකරුගේ නීතිඥ චමින්ද අතුකෝරගල මහතා නැගී සිට ඊට විරෝධය පළ කළේය. පිළිතුර ඇඟවෙන ප්‍රශ්න අධිකරණයේ අවසරයක් නැතිව සාක්කිකරුගෙන් විමසීමෙන් දෙවැනි විත්තිකරුට දැඩි අගතියක් සිදුවන බව ඔහු ප්‍රකාශ කළේය.
නි.සො.ජ – ඒ ප්‍රශ්නය ඇසිය යුතුයි.
විනිසුරුවරිය – ඔ්ක වෙන විදිහකට අහන්න පුලුවන්. ඔබ අත්දැකීම් සහිත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙක්. මේක වෙන විදිහකට ගන්න පුලුවන්. ඔබ අහන විදියෙන් නඩුවට අගතියක් වෙන්නේ. එය කණගාටු දායකයි. අධිකරණයේ අවසරයක් නැතිව පිළිතුරු ඇඟවෙන ප්‍රශ්න ඇසීමෙන් වලකින ලෙස උගත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාට තරයේ අවවාද කරනවා.
එලෙස අවවාද කිරීමෙන් පසු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දහවල් 12.00ට රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවියට අවස්ථාව ලබා දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – අපරාධ නඩු විධාන සංග්‍රහයේ 167 වන්තිය අනුව අධිචෝදනා සංශෝධනය කළ හැකියි. මේ නඩුවෙදි අපි අද තමයි සාක්කිකරුට සම්මුඛ වෙන්නේ. සාක්කියෙදි අනාවරණය වන කාරණා අනුව චෝදනාපත්‍රය සංශෝධනය කළ හැකියි. මෙම සාක්කිකරු ඔහුගේ සාක්කියෙදි ප්‍රකාශ කළා සිදුවීමට අදාල කාලය නව වැනි හෝ 10 වැනි මාසයේ බව. ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 167 වගන්තිය අනුව අධිචෝදනා සංශෝධනය කිරීමට අවසර ඉල්ලා සිටිනවා.
ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස – බරපතල ලෙස විරුද්ධ වෙනවා. චෝදනාපත්‍රයේ 2018 අගෝස්තු මාසයේ වරද කළා කියලා තියෙන්නේ. ඊට අනුව තමයි අපි විත්තිවාචක හදාගන්නේ. අපෙන් ප්‍රශ්න කරලා තියෙන්නේ 2018 අගෝස්තු මාසයේ ආවද කියලයි. චෝදනාපත්‍රයේ දිනය විය යුත්තේ විමර්ශනවලින් අනාවරණය වූ දිනයයි. 2021/02/13 වැනිදා සාක්කිකරු කටඋත්තරයක් දෙමින් කියලා තියනවා ඵලවෙනි විත්තිකරු අගෝස්තු මාසයේ පැමිණි බව. එදා අම්මා ඔහුව බලන්න පැමිණි බවත් කියා තිබෙනවා. සාක්කිවලදි වෙන දිනයක් කිව්වා කියලා චෝදනාපත්‍රයේ දිනය සංශෝධනය කරන්න බෑ. එහෙම සංශෝධනය කළොත් අපට බලවත් අගතියක් වෙනවා.
නීතිඥ චමින්ද අතුකෝරල – මෙහි පළමු විත්තිකරුට අදාල කාරණා දෙවැනි විත්තිකරුටත් බලපානවා. අපරාධ චෝදනාව ඔප්පුවන පරිදි සාක්කි මෙහෙයවා වෙනුවට සාක්කි ලැබෙන ආකාරට චෝදනා සංශෝධනය කරන්න එපා. චෝදනා සංශෝධනය කළහොත් දෙවැනි චූදිතටත් දැඩි අගතියක් වන බැවින් ඊට ඉඩ දෙන්න එපා.
එම අවස්ථාවේ චෝදනා සංශෝධනය කරන්නේ කුමනාකාරයෙන්දැයි විනිසුරුවරිය විමසා සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ප්‍රකාශ කළේ චෝදනාපත්‍රයේ කාලවකවානුව ලෙස 2018 අගෝස්තු පළමුවැනි දා සිට 2018 අගෝස්තු 31 වැනිදා  යන්න 2018 ඔක්තෝබර 31 ලෙස සංශෝධනය කිරීමට අවසර ඉල්ලා සිටියේය. තමා මෙම ඉල්ලීම ඉල්ලන්නේ කරුණු දෙකක් මුල් කරගෙන යැයි ද ගිරිහාගම මහත්මිය සඳහන් කළාය. 2021 අප්‍රේල් 21සාක්කිකරු ලබා දුන් ප්‍රකාශයක මෙම සැකකරු පැමිණියේ වෙනත් මාසයක යැයි සඳහන් වන බව ද ඇය කීවාය.
එයින් පෙනෙන්නේ මෙම සාක්කිකරු අවස්ථාවෙන් අවස්ථාව විවිධ දෑ කියන විශ්වාසයක් නැති සාක්කිකරුවකු බව යැයි කී නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මෙම සංශෝධනය කළහොත් විත්තියට බලවත් අගතියක් වන බව ද සඳහන් කළේය.
‘මෙම නඩුව ගොනු කරන්න පෙර පැමිණිල්ලට (නීතිපතිට) මේ සියලුම කටඋත්තර ලැබිලා තිබුණා. විමර්ශන ගොනුවම අධීක්ෂණය කරලා තමයි අධිචෝදනා ගොනු කරන්නේ. අපට කඩදහි කෑල්ලක්වත් ලැබුණේ නෑ. මෙම සංශෝධනයට තදින්ම විරුද්ධ වෙනවා. ඊට ඉඩ දෙන්න එපා.’ යැයි ජනාධිපති නීතිඥවරයා කීවේය. දෙවැනි චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා ද එම විරෝධයම මතු කළේය.
චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට ඉඩ දෙන්නේද නැද්ද යන්න ගැන තීන්දුව දිවා විවේකයෙන් පසුව ලබා දෙන බව කී මහාධිකරණ විනිසුරුවරිය අධිකරණයේ කටයුතු දිවා විවේකය සඳහා අදහවල් 12.50ට මිනිත්තු 45ක කාලයක් සඳහා කල් තැබුවාය.
දිවා විවේකයෙන් පසු අදහවල් 1.50ට පමණ නැවත අධිකරණ කටයුතු ආරම්භ විය. පැමිණිල්ලෙන් ඉල්ලා සිටින සංශෝධනය සිදුකළහොත් එයින් විත්තියට අගතියක් වන බව තීරණය කළ අධිකරණය චෝදනා පත්‍රය සංශෝධනය කිරීම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව ලක්මිණී ගිරිහාගම මහත්මියගේ මෙහෙයවීම යටතේ පළමුවැනි සාක්කිකරු සාක්කි ලබා දුන්නේය.
රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – පළමු වැනි විත්තිකරු ඔබේ පාසලේ දේශනයට ආවේ කවද්ද?
සාක්කිකරු – මතක නෑ හරියටම. පළමුවෙනි දේශනය අවසන්වෙලා මාසයකට විතර පස්සේ.
ර.ජ්‍යෙ.නී – ඇයි මතක නැත්තේ?
සාක්කිකරු – අවුරුදු තුනකට විතර පස්සේ නිසා හරියටම මතක නෑ.
ර.ජ්‍යෙ.නී – පළමු විත්තිකරු ආපු දවසේ හිෆ්ල් වැඩ පටං ගත්තේ කීයටද?
සාක්කිකරු – මට මතක නෑ. සාමාන්‍යයෙන් උදේ ඉඳන් රෑ වෙනකම් යනවා.
ර.ජ්‍යෙ.නී – ඔබ හිෆ්ල් පන්තියට සහභාගී වුණේ නැත්නම් පළමුවැනි විත්තිකරුගේ දේශනය තියනවා කියලා කොහොමද දැනගත්තේ?
සාක්කිකරු – හැමෝටම එන්න කියලා කිව්වා.
ර.ජ්‍යෙ.නී.- කවුද කිව්වේ එන්න කියලා?
සාක්කිකරු – අපිව බලා ගන්න පූජකලා. අබුබකර් මව්ලවි, වසීර් මවුලවි, ලුක්මාන් මවුලවි ප්‍රින්සිපල් සකීල්.
ර.ජ්‍යෙ.නී.- මොනවා කරන්නද එන්න කියලා කිව්වේ?
සාක්කිකරු – දේශනයකට.
ර.ජ්‍යෙ.නී – මොකක්ද දේශනය කියලා දැනගෙන හිටියද?
සාක්කිකරු – නෑ. ඇතුළට ගියාම දැනගත්තේ.
ර.ජ්‍යෙ.නී – මොනවගේ ඇඳුමක්ද එතනට යද්දි ඇඳගෙන යන්නේ?
සාක්කිකරු – දිග ඇඳුමයි, තොප්පියයි. මද්‍රසා එකක ඉගෙන ගන්නවා කියන්නේ ඒ ඇඳුම දාන්න ඔ්නා.
ර.ජ්‍යෙ.නී -කීයටද ඔබ දේශනයට ගියේ?
සාක්කිකරු – 4ට විතර ඇති.
ර.ජ්‍යෙ.නී – කවුද ඔබ එක්ක එතනට ගියේ?
සාක්කිකරු – කලම්බු හොස්ටලේ එකේ හිටපු ඔක්කොම ගියා.
ර.ජ්‍යෙ.නී- ශාලාව මොනවගේ තැනක්ද?
සාක්කිකරු – පන්ති කාමරයක් වගේ. එක දොරයි තිබ්බේ.
ර.ජ්‍යෙ.නී – දේශනය අහන්නේ කොහොමද?
සාක්කිකරු – බිම ඉඳගෙන අහන්නේ.
ර.ජ්‍යෙ.නී – කී දෙනකුට විතර දේශන ශාලාවේ ඉන්න පුලුවන්ද?
සාක්කිකරු – 60ක් 50ක් වගේ
ර.ජ්‍යෙ.නී – අධිකරණ ශාලාවත් එක්ක බලලා කිව්වොත් කොපමණ විෂාලද?
සාක්කිකරු – මේකෙන් බාගයක් විතර ඇති.
ර.ජ්‍යෙ.නී – දේශන ශාලාවට ඇතුළුවෙද්දි මොනවද දැක්කේ?
සාක්කිකරු – ඉස්සරහා දාලා තියන පැදුරු.
ර.ජ්‍යෙ.නී – ඒ පැදුරු දාලා තියෙන්නේ ඇයි?
සාක්කිකරු – හිෆ්ල් කියවන අය නිදාගන්නේ එහේ.
ර.ජ්‍යෙ.නී – කට්ටියට වාඩිවෙන්න කොච්චර වෙලාවක් ගියාද?
සාක්කිකරු – විනාඩි 05ක් විතර
ර.ජ්‍යෙ.නී – මොඩිවෙලා ඉන්නකොට මොකක් හරි වුණාද?
සාක්කිකරු – වාඩිවෙලා ඉන්නකොට තමයි මෙයා දේශනය පටං ගත්තේ.
ර.ජ්‍යෙ.නී – කවුද මෙයා කියන්නේ?
සාක්කිකරු – පළවෙනි විත්තිකරු
ර.ජ්‍යෙ.නී – ශිෂ්‍යයො වාඩි වෙලා ඉන්නේ මොන පැත්ත බලහංද?
සාක්කිකරු – වැනිස්ට්‍රා බෝඩ් ගහලා තියනවා එහා පැත්තේ. ප්‍රින්සිපල්ලා ඉන්නේ. ඒ පැත්ත බලාගෙනයි ඉඳගත්තේ.
ර.ජ්‍යෙ.නී – වාඩිවුණාම දකුණේ මොකක් තිබ්බේ?
සාක්කිකරු – බිත්තිය
ර.ජ්‍යෙ.නී – ඉස්සරහින්?
සාක්කිකරු – විදුහල්පතිලා ඉන්න පැත්ත.
ර.ජ්‍යෙ.නී – වැනිස්ටා බෝඩ් වලින් වෙන් කරලා තියනවා කිව්ව එක පැහැදිලි කරන්න.
සාක්කිකරු – හෝල් එක වගේ එක දිගට තියනවා. මැදින් බෝඩ්වලින් වෙන් කරලා ඇතුළේ ප්‍රින්සිපල් ඉන්නවා. ප්‍රින්සිපල්ගෙ වයිෆ් කැන්ටිමක් කලා. කැන්ටිම එහා පැත්තේ තිබ්බා.
ර.ජ්‍යෙ.නී – කොපමණ වෙලාවක් වාඩි වෙලා හිටියද?
සාක්කිකරු – පැය දෙක හමාරක් තුනක්.
ර.ජ්‍යෙ.නී – එච්චර වෙලා මොනවද කළේ?
සාක්කිකරු – මේගොල්ලොන්ගේ දේශනය අරං හිටියේ.
ර.ජ්‍යෙ.නී – ඒගොල්ලො කිව්වේ කාටද?
සාක්කිකරු – පළවෙනි විත්තිකරු
ර.ජ්‍යෙ.නී – ඔබ දේශනයේ ඉන්න තැන ඉඳන් කොච්චර දුරකින් වගේද පළමුවැනි විත්තිකරු හිටියේ?
සාක්කිකරු – මීටර තුනක් විතර.
සාක්කිකරු සිටින ස්ථානයේ සිට අධිකරණ ශාලාවේ කොපමණ දුරින්දැයි විනිසුරුවරිය විමසූ අතර සාක්කි කූඩුවේ සිට විනිසුරු අසුන දක්වා දුරක් ඔහු පෙන්වීය. එය මීටර තුනකට ආසන්න දුරක් බව බව අධිකරණ කාර්ය මණ්ඩලය විනිසුරුවරියට දැනුම් දුන්නාය.
ර.ජ්‍යෙ.නී – පළමුවැනි විත්තිකරු දේශනය පැවැත්තුවේ මොන ඉරියව්වෙන්ද?
සාක්කිකරු – එයා හිටගෙන හිටියේ
ර.ජ්‍යෙ.නී – පළමුවැනි විත්තිකරු ඇඳගෙන හිටියේ මොකක්ද?
සාක්කිකරු – කළු කලිසමක් හා ලා නිල් පාට අත්දික ෂර්ට් එකක්.
ර.ජ්‍යෙ.නී – ඔබ කිව්වා තොප්පි දාගෙන හිටියා කියලා. කවුරුවත් කොප්පි දාගෙන නැතිව හිටියද?
සාක්කිකරු – හැමෝම දාගෙන හිටියේ. තොප්පි දාන්නැතුව හිටියේ කවුද කියලා මතක නෑ.
ර.ජ්‍යෙ.නී – දේශන කරන වෙලාවේ මවුලවිලා තුන්දෙනා කොහෙද හිටියේ?
සාක්කිකරු – එයාලා අපේ පිටිපස්සෙන් බිතිය අයිනට වෙලා පුටු දාලා ඉඳගෙන හිටියා.
ර.ජ්‍යෙ.නී – විදුහල්පති දේශනයට ආවද?
සාක්කිකරු – එයා ආවා. ඇවිත් පස්සේ ගියා. සැරෙන් සැරේ ඇවිත් ගියා. මොනවද කරන්නේ බලන්න.
ර.ජ්‍යෙ.නී – කීපරක් විදුහල්පති ඇවිත් ගියාද?
සාක්කිකරු – දෙතුන්පාරක් ඇවිත් ගියා.
ර.ජ්‍යෙ.නී – ඇවිත් ගියා කියන්නේ?
සාක්කිකරු – අලුතෙන් එක්කෙනෙක් ආවම ළමයි දඟලන නිසා ඇවිත් ඉඳා හිටලා බලලා ගියා.
ර.ජ්‍යෙ.නී – එදා ඔතන හිටපු අලුත් කෙනා කවුද?
සාක්කිකරු – පළමුවෙනි විත්තිකරු
ර.ජ්‍යෙ.නී – පළමුවැනි විත්තිකරු දේශනය ආරම්භ කළේ මොන කරුණු කියලද?
සාක්කිකරු – එක එක්කෙනාගේ නම ගම කියලා ඉන්ට්‍රඩියුස් කරන්න කියලා ඇම්බිෂන් එක ඇහුවා. මම කිව්වා කවුන්සිලින් කරන්න කියලා.  හැමෝම ඇම්බිෂන් කිව්වා.
ර.ජ්‍යෙ.නී – ඊළඟට විත්තිකරු මොකද කළේ?
සාක්කිකරු – කතා කරගෙන ගියා.
ර.ජ්‍යෙ.නී – මොනවද කිව්වේ?
සාක්කිකරු – පලස්තීනෙ ප්‍රශ්නෙ ගැන කිව්වා. වෙන රිලිජන් එකක අය අපේ පලස්තීන පල්ලි අල්ලං ඉන්නේ, අපිටත් ඔ්න නම් සටන් කරන්න පුලුවන් කිව්වා. සටන් කරන්න කැමතිද ඇහුවා. සමහරු කිව්වා හා කියලා. අකමැති අය නිකං හිටියා. මං මුකුත් කිව්වේ නෑ. කැමති අයට අත උස්සන්න කිව්වා. ගොඩක් අය අත ඉස්සුවේ නෑ. මම අත ඉස්සුවේ නැත්තේ මං රණ්ඩු වෙන්න කැමති නෑ.
ර.ජ්‍යෙ.නී – කා එක්ක රණ්ඩු වෙන්නද කැමති නැත්තේ?
සාක්කිකරු – කා එක්කවත් රණ්ඩු වෙන්න කැමති නෑ.
ර.ජ්‍යෙ.නී – අත උස්සපු නැති ළමයි මොකද කළේ?
සාක්කිකරු – නිකං කතා කර කර හිටියා. රෑට ආගම කියන වෙලාවේ යන්න කිව්වා.
ර.ජ්‍යෙ.නී – පළමුවැනි විත්තිකරු මොනවද කතා කළේ?
සාක්කිකරු – නිකං කතා කර කර හිටියේ. ජෝක් එකට වගේ නිකං කතා කර කර හිටියා.
ර.ජ්‍යෙ.නී – සටං කරන්න කැමති අයට අත උස්සන්න කිව්වා කිව්වානේ. ඔවුන්ට සම්බන්ධයෙන් මොකද වුණේ?
සාක්කිකරු – වාඩි වෙන්න කිව්වා. මුකුත් වුණේ නෑ.
ර.ජ්‍යෙ.නී – පලස්තීන කතාව අවසන් වුණේ කොහොමද?
සාක්කිකරු – අත උස්සලා පහත දැම්මට පස්සේ කතා වුණේ නෑ.
ර.ජ්‍යෙ.නී – කා එක්ක සටං කරන්න කැමතිද කියලද කියලද කිව්වේ? කොහෙදි සටං කරන්න කියලද කිවේවේ?
සාක්කිකරු – එහෙම කිව්වේ නෑ. කොහෙද කිව්වේ නෑ.
ර.ජ්‍යෙ.නී – ප්‍රොජෙක්ටර් එක කොහෙද තිබ්බේ?
සාක්කිකරු – මේසෙ උඩ
ර.ජ්‍යෙ.නී – ඒක කවුද පාවිච්චි කළේ?
සාක්කිකරු – පළමු වැනි විත්තිකරු
සාක්කිකරු – පලස්තීනේ ගහන එකක් පෙන්නුවේ.
ර.ජ්‍යෙ.නී – ඒකෙ මොනවද දැක්කේ?
සාක්කිකරු – නිකං වෙඩි තියනවා වගේ.
ර.ජ්‍යෙ.නී – වෙඩි තියන දර්ශන කියලා කිව්ව දේ පැහැදැලි කරලා දෙන්න.
සාක්කිකරු – ඊශ්‍රායෙල්වලින් අපේ පල්ලිවලට වෙඩි තියන දේවල් දැක්කේ.
සාක්කිකරු – මෙහෙම තමයි මෙයාලා අපේ පල්ලිවලට වෙඩි තියන්නේ කිව්වා.
විනිසුරු – පල්ලිවල හැඩය?
සාක්කිකරු – මුස්ලිම් පල්ලි
ර.ජ්‍යෙ.නී – පලස්තීනෙ තියන අපේ පල්ලිවලට ගහනවා කියලා තමයි ඒයවා කිව්වේ කියලා ඔබ කිව්වා. කොච්චර වෙලාවක් ඔක දර්ශනය වුණාද?
සාක්කිකරු – විනාඩි දෙකක් වගේ.
ර.ජ්‍යෙ.නී – දර්ශන විස්තර කළේ කොයි වෙලාවකද?
සාක්කිකරු – ප්‍රොජෙක්ටරේ ඔ්ෆ් කළාට පස්සේ.
ඉන් අනතුරුව කතා බහ කළ දෑ සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ප්‍රශ්න කළ අතර සාක්කිකරු ප්‍රකාශ කළේ මද්‍රසාවේ හොඳින් ඉගෙන ගත් පසු මඩකලපුවේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගැනීමේ අවස්ථාව ලබා දිය හැකි බවයි.
සාක්කිකරු – එයාලගේ කැම්පස් එකක් කියලා කිව්වේ.
ර.ජ්‍යෙ.නී – එයාලගේ කියලා ඔබ අදහස් කළේ කාගේද?
සාක්කිකරු – පළමුවෙනි විත්තිකරුගේ.
ර.ජ්‍යෙ.නී – මේ අවස්ථාවේ මවුලවිලා තුන් දෙනා කොහෙද හිටියේ?
සාක්කිකරු – හිටපු තැනමයි.
පළමුවැනි විත්තිකරු තවදුරටත් ප්‍රකාශ කළ දෑ ගැන රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය ප්‍රශ්න කළ අතර සාක්කිකරු සඳහන් කළේ තමාට මතක ඇති පරිදි ඔහු ප්‍රකාශ කළේ එපමණක් පමනක් බවයි.
හිජාස් හිස්බුල්ලාට සම්බන්ධ සාක්කි එතැනින් අවසන් වූ අතර ඉන් අනතුරුව මද්‍රසා පාසලට පැමිණි වෙනත් අය ගැන සාක්කි විමසීය. නවුෆර් මව්ලවි මද්‍රසා පාසලට පැමිණි බවත්, තවත් කාන්තාවන් දෙදෙනකු ද පැමිණි බවත්, ඔවුන් දෙදෙනා බෝම්බවලින් මිය ගිය බව පසුව දැනගත් බවත් සාක්කිකරු ප්‍රකාශ කළේය.
සවස 2.55ට සාක්ෂි විභාගය අවසන් විය.
ඉන් අනතුරුව පළමුවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයේදී නීතිපතිවරයාගේ කැමැත්ත ඇප ලබාදීමට ලැබී ඇති හෙයින්, ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුවරිය ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
ඒ අනුව පස්වරු 3.15ට පමණ නඩු විභාගය පෙබරවාරි 18 වැනිදා තෙක් කල් තැබිණි. නඩු විභාගය කල් තබා මිනිත්තු 10කින් පමණ විත්තිකරුවෝ දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන යනු ලැබූහ.
පළමුවැනි චූදිත හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, නීතිඥ හෆීල් ෆාරිස් ඇතුළුව නීතිඥවරු 11 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පෙනී සිටියහ. දෙවැනි චූදිත විදුහල්පතිවරයා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරල මහතා ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක්/ පැහැදිලි කිරීමක්/ නිවැරදි කිරීමක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleරුපියල් කෝටියක් දක්වා දඩ නියම කරන්න අධිකරණයක් නොවන ආයතනයකට බලය දෙන්න යයි
Next articleයුක්තිය වසර 20ක් පමාවෙයි : 2001 නඩුවක් විභාගයට දින දෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here