ලංකාවේ ආරාධනයෙන් බිම්ස්ටෙක් රැස්වීමට ආ මියන්මාර මිලිටරි ජුන්ටාව

­බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) ඊයේ(01) පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීමට නීතිවිරෝධී හමුදා පාලනයක් පවතින මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ නියෝජිතයකු සහභාගි කරවාගෙන තිබේ.
බංග්ලාදේශ, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල් ඊයේ පැවති රැස්වීම සහභාගි වූ බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. මෙම රැස්වීම ඊයේ ශ්‍රී ලංකාවේ කොළඹදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.
එම රැස්වීම⁣ට සහභාගි වන ලෙස දැනට නීතිවිරෝධී හමුදා පාලනයක් පවතින මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකා රජය ඉකුත් මාර්තු 02 වැනිදා ආරාධනා කර තිබිණි.හමුදා පාලනයේ විදේශ ඇමති වුන්නා මවුන්ග් ල්වින්ට මෙම රැස්වීමට සහභාගි වන ලෙසට ආරාධනා කර තිබුණද මීට සහභාගි වී ඇත්තේ මියන්මාරයේ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ අමාත්‍ය යූ කෝ කෝ ලායිං මහතාය.
බංග්ලාදේශ විදේශ අමාත්‍ය ආචාර්ය ඒ. කේ. අබ්දුල් මෝමන්, භුතාන විදේශ ඇමති ආචාර්ය ටැන්ඩි ඩෝර්ජි, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර්, මියන්මාරයේ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ අමාත්‍ය යූ කෝ කෝ ලායිං, නේපාලයේ විදේශ කටයුතු අමාත්‍ය ප්‍රදීප් කුමාර් ගයවාලි මහතා, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරකා බාලසූරිය සහ තායිලන්තයේ නියෝජ්‍ය අගමැති හා විදේශ කටයුතු අමාත්‍ය දොන් පරමුද්විනායි මහතා යන අමාත්‍යවරුන්⁣ මෙම රැස්වීමට සහභාගි වී තිබේ.
එම සංවිධානයේ සභාපතිත්වය සහ අමාත්‍ය රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරනු ලැබූ අතර, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මෙම ආරාධනාව සිදුකරනු ලැබ තිබිණි. මියන්මාර හමුදා පාලනයට මේ සඳහා ආරාධනා කිරීම මියන්මාර සිවිල් ක්‍රියාකාරීන් ද දැඩි ලෙස විවේචනය කළ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල විය. එම සමාජ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට ආරාධනා කළ බවයි.

17 වැනි ‘බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ’ රැස්වීම

බිම්ස්ටෙක් රටවල කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ ප්‍රඥප්තිය කඩිනමින් අවසන් කරන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පැවති 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඉල්ලා සිටි බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. මෙමගින් කථානායකවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩි අවබෝධයක්, විශ්වාසයක් හා මිත්‍රත්වයක් ඇති කර ගැනීමටත්, පාර්ලිමේන්තු භාවිතයන් පිළිබඳ අදහස් හා තොරතුරු හුවමාරු කර ගැනීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම කෙරෙහි ඇති කැපවීමටත් ඉඩ සැලසෙන බව විදේශ අමාත්‍යවරයා දැනුම් දී තිබේ.
රැස්වීමේ සභාපතිවරයා ලෙස විදේශ අමාත්‍යවරයා කටයුතු කළ අතර රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ මුලසුන හොබවා ඇත. මාර්තු 31 වැනිදා අමාත්‍ය රැස්වීමට පෙර පැවති ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශේෂ රැස්වීමේදී ශ්‍රී ලංකා දූත පිරිසේ මුලසුන විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොලම්බගේ මහතා විසින් දරනු ලැබූ බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. ආර්ථික කටයුතු පිළිබඳ අතිරේක ලේකම් පී.එම් අම්සා, ආර්ථික කටයුතු පිළිබඳ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අංසුල් ජාන්, නියෝජ්‍ය නීති කටයුතු ටී.එච්.ආර් සිල්වා සහ විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ විධායක සහකාර කලනි ධර්මසේන යන පිරිස ද ශ්‍රී ලංකාවේ දූත පිරිස නියෝජනය කර තිබේ.
බිම්ස්ටෙක් අභිනව මහලේකම් ලෙස භුතානයේ ටෙන්සින් ලෙක්ෆෙල් මහතා පත්කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාව සභාපති ධුරයට පත්වූ 2018 දී කත්මණ්ඩු නුවර පැවති සිව්වන බිම්ස්ටෙක් සමුළුවේ සිට ලබා ඇති ප්‍රගතිය බිම්ස්ටෙක් අමාත්‍යවරුන් සමාලෝචනය කළ බව ද විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
COVID 19 වසංගතයෙන් එල්ල වන අභියෝගයන්ට මුහුණ දීම සඳහා සාමාජික රටවලට ප්‍රතිචාර දැක්වීමට සහ සහාය දැක්වීමට බිම්ස්ටෙක් හි සාමාජික රටවල් ගෙන ඇති පුළුල් ක්‍රියාමාර්ග ඇමතිවරුන් අගය කර ඇති අතර දරිද්‍රතාවය, ස්වාභාවික විපත්, දේශගුණික විපර්යාස, වසංගත හා වෙනත් මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා, ත්‍රස්තවාදය සහ අන්තර්ජාතික අපරාධ, ආහාර හා බලශක්ති සුරක්‍ෂිතතාව වැනි අභියෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා සාමූහික ක්‍රියාමාර්ග ගැනීමට අදාළ සියලු අංශ සහ උප අංශ බලමුලු ගන්වන ලෙස සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිට තිබේ.
5 වන බිම්ස්ටෙක් සමුළුව පැවැත්වීමට නියමිත දිනය ඉදිරි මාසවලදී සාමාජික රටවල් සමඟ බිම්ස්ටෙක් මහලේකම් කාර්යාලය හරහා සාකච්ඡා කිරීමෙන් අනතුරුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා නියෝජිතයින් රැස්වීමට දැනුම් දී ඇත.5 වන බිම්ස්ටෙක් සමුළුවේදී අත්සන් කිරීමට සහ සම්මත කර ගැනීමට අපේක්‍ෂා කරන අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශ ඇතුළු අවසන් කරන ලද බිම්ස්ටෙක් ගිවිසුම්, සම්මුතීන් හා අවබෝධතා ගිවිසුම් සහ වෙනත් ලියකියවිලි මෙහිදී අමාත්‍යවරුන් විසින් අනුමත කරන ලද බව ද විදේශ අමාත්‍යාංශය කියයි.

කෝ කෝ ලායිං කවුද?

කෝ කෝ ⁣ලායිං හමුදා පර්යේෂකයෙකු හා ලේඛකයෙකු වන අතර මියන්මාරයේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දේශපාලන උපදේශක ලෙස හිටපු ජනාධිපති තීන් සේන් යටතේ සේවය කළේය.
1976 දී ඔහු ආරක්ෂක සේවා ඇකඩමියෙන් උපාධිය ලබා ගෙන ඇති අතර ඊළඟ වසරේදී ඔහු මියන්මාර හමුදාවට බැඳී තිබේ. 1991 සිට 2004 දක්වා ඔහු යුධ කාර්යාලයේ පළමු පන්තියේ ප්‍රධාන පර්යේෂකයකු ලෙස සේවය කර ඇත. 2004 දී ඔහු රටේ ප්‍රධාන තොරතුරු-වාරණ ඒජන්සිය වන තොරතුරු අමාත්‍යාංශයේ පුවත්පත් විමර්ශන හා ලියාපදිංචි කිරීමේ අංශයේ උපදේශක තනතුරට උසස් කරනු ලැබ තිබිණි.
අප්‍රේල් 2011 අප්‍රේල් 19 වැනිදා සිට 2016 මාර්තු 31 වැනිදා තෙක් මියන්මාරයේ ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දේශපාලන උපදේශකයකු ලෙස සේවය කර තිබේ.
ඔහු මියන්මාරයේ ජාත්‍යන්තර සහයෝගීතා අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස පත්වීම ලබන්නේ ඉකුත් පෙබරවාරි පළමුවැනිදා එරට හමුදාව නීති විරෝධී ලෙස රටේ පාලන බලය ලබගැනීමෙන් අනතුරුවය.

බිම්ස්ටෙක් හී මෙම රැස්වීමට සහභාගී වීමට මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැන නැගුණු විරෝධය සම්බන්ධයෙන් MediaLK කළ වාර්තාවක් මෙතැනින්
ශ්‍රී ලංකාව මියන්මාර මිලිටරි ජුන්ටාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් MediaLK කළ වාර්තා පහතින්…
මියන්මාර හමුදා පාලනය ගැන MediaLK කළ වාර්තා පහතින්..
Previous articleමාස දෙකට ජීවිත 543ක් බිළි ගත් හමුදා පාලනයක් : දරුවන් 43කුත් ඝාතනය කරලා !
Next articleවව්නියාව ගම සමග පිළිසඳර – අද සැලසුම මෙන්න !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here