ලංකාව – මියන්මාරය : චරිත දෙකේ නායකයන්ගේ කැමැත්ත ඉටුකළ ලිපිය !

ප්‍රජාතන්ත්‍ර විරෝධී මියන්මාර හමුදා රජයේ විදේශ ඇමැති වුන්නා මවුන්ග් ල්වින් (Wunna Maung Lwin) යනු ප්‍රජාතන්ත්‍රවාදය අගය කළ පුද්ගලයෙකි.
2007 – 2011 කාලයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මියන්මාර තානාපති ලෙස කටයුතු කරන ලද්දේ ඔහු ය. ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා මියන්මාරයට ගෙන්වාගැනීමේ මෙහෙයුමේදී මෙන්ම අනෙකුත් රටවල් සමග මියන්මාර සම්බන්ධතා ශක්තිමත් කිරීමේ මෙහෙයුමේදී ද ඔහු විශාල කාර්යභාරයක් කළ අයෙකි. ඔහුගේ අතීත ක්‍රියාකාරිත්වය එසේ වුවද, දැන් ඔහු මියන්මාර හමුදා රජයේ විදේශ ඇමැති ය.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන මියන්මාර ජනතාව ඝාතනය කරන හමුදා පාලනය ආරක්ෂා කිරීම වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනීසිටින්නෙකි. මියන්මාර හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වූ ඔහු, එයින් ඉවත්වීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිට, දැන් යළිත් අතීතයට ගොස් සිටී.
මේ කියන වුන්නා මවුන්ග් ල්වින්ට ය, ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන නිල ආරාධනයක් කර ඇත්තේ. මෙය දිනේෂ් ගුණවර්ධන විසින් වුන්නා මවුන්ග් වෙත යැවූ ලිපියක් නොවේ. ලංකාවේ විදේශ ඇමැතිවරයා විසින් රටක් ලෙස මියන්මාරයට යොමුකරන ලද ආරාධනයකි. ඒ කියන්නේ ලෝකය ප්‍රතික්ෂේප කරන, එරට ජනතාව ඝාතනය කරන හමුදා පාලනය නිල වශයෙන් පිළිගැනීමකි. මොන කතන්දර කිව්වද, මීට වඩා ප්‍රවේශම් සහගත ලෙස රාජ්‍ය තාන්ත්‍රික කටයුතු හැසිරවිය යුතු අවස්ථාවක ලංකා ආණ්ඩුව එසේ කර නැත.
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් එම ධුරය දරන කාලයේදී සිදු කළ බවට චෝදනා එල්ල වන අපරාධ රාශියකි. ඒවා එකක්වත් අධිකරණයකින් ඔප්පු කර නැතත්, අධිකරණය ඉදිරියේ ඒ සම්බන්ධයෙන් වන ක්‍රියාවලීන් ගෝඨාභය රාජපක්ෂව කේන්ද්‍ර කරගෙන සිදු වූ බව මාධ්‍ය වාර්තා කර තිබේ. උදාහරණයක් ලෙස මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුව, ගෝඨාභය රාජපක්ෂ වෙත කේන්ද්‍රගත වන විට ඔහු දිගින්-දිගටම නඩුවේ සාක්ෂි දෙන්නට යාපනයට යෑම මගහැරියේය. ආරක්ෂක හේතු මත අධිකරණයේ සාක්ෂි දෙන්නට යෑමට නොහැකි බව කී ඔහු, ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යාපනයට ගියේය.
කෙසේ වෙතත් ඉන්පසු ඔහු ප්‍රජාතන්ත්‍රවාදී සහ එක රටක් – එක නීතියක් වැනි සංකල්ප පිළිබඳව දැඩි උනන්දුවෙන් කතා කළේය. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව වුවද, ඔහු නායකයෙකු වන්නට උත්සාහ දරන බවක් ප්‍රකට කළේය. ජනතාවත් එය විශ්වාස කළේය. ඉන්පසුව ඔහුට තමන්ගේ නම පිළිබඳ ප්‍රශ්නයක් නිසා කේන්ති ගොස් කිව්වේ තමන් ළඟ චරිත දෙකක් ඇති බවත්, එකක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අනෙක ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ බවත් ය. එයින් කියන්නට හැදූ දේ ජනතාව ග්‍රහණය කරගත්තේය.
හරියටම මියන්මාරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා රජයේ විදේශ ඇමැතිවරයා පසුගිය කාලය පුරා චරිත දෙකක් රඟපා තියෙනවා වගේ ය. හමුදා නිලධාරියා, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටින්නා, දැන් යළිත් ආඥාදායක පාලනයක් ආරක්ෂා කරන්නා ඔහුගේ භූමිකාවන් ය.

සත්කාරක රටේ භූමිකාව

ලංකාවේ විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන විසින් මියන්මාර ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා පාලනයේ විදේශ ඇමැතිවරයා වෙත යවන ලද ලිපිය සම්බන්ධයෙන් මෙරට විදේශ අමාත්‍යංශය පසුගිය 11දා නිවේදනයක් නිකුත් කළේය.
‘2021 අප්‍රේල් මස 01 වැනි දින කොළඹදී අතථ්‍ය ලෙස පැවැත්වෙන 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීමට සහභාගි වීම සඳහා මියන්මාරයේ විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනයක් සම්බන්ධයෙන් තොරතුරු සමාජ මාධ්‍යවල වාර්තා වී තිබේ.
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) සභාපතිත්වය දරන රට සහ මෙම අමාත්‍ය රැස්වීමේ සත්කාරක රට ලෙස, මෙම වසර අග භාගයේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේක්ෂිත 5 වැනි බිම්ස්ටෙක් සමුළුව පිළිබඳ ලේඛනවල කටයුතු අවසන් කිරීමේ අරමුණින් යුතුව, සාකච්ඡාවලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සියලුම සාමාජික රටවලට (බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය සහ තායිලන්තය) ආරාධනා කර ඇත.’
ඔවුන්ගේ නිවේදනයේ පිළිගත යුතු කරුණක් තිබේ. ලංකාව සත්කාරක රට ය. එම නිසා ආරාධනා කළ යුතුය. එහෙත් මෙය තමන්ගේ කැමැත්ත මත පමණක් ආරාධනා කළ හැකි මංගල උත්සවයක් නොවේ. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියකි. ලෝකයේ වැඩිම රටවල් ප්‍රමාණය නියෝජනය කරන එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලෝක සංවිධාන, ලෝකයේ රටවල්වලින් අති බහුතරය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති මියන්මාර හමුදා පාලනයට රාජ්‍යයන් අතර පවතින නිල සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීම යනු තනි කැමැත්තට කළ හැක්කක්ද?

අනෙක් රටවල් අදාළ නැද්ද?

මියන්මාර හමුදා පාලනයේ විදේශ ඇමැති වුන්නා මවුන්ග් ල්වින් ජිනීවාහි මියන්මාර තානාපති නියෝජිතයා ලෙස කටයුතු කරන කාලයේ ලංකාවේ එහි නියෝජිතයා ලෙස කටයුතු කරන ලද්දේ ආචාර්ය දයාන් ජයතිලක ය. අදාළ ලිපිය සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ලංකාවේ විදේශ අමාත්‍යංශයට බිම්ස්ටෙක් සමුළුව නියෝජනය කරන අනෙකුත් රටවල මතය විමසිය හැකිව තිබූ බවයි. එසේ කළේ නම්, ඔවුන්ගේ ප්‍රතිචාර සමග අදාළ ලිපිය යැවුවද ගැටළුවක් මතු නොවන බවයි. එහෙත් කලබලකාරී, ප්‍රවේශම් සහගත නොවන රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයකට මේ ලිපිය යැවීම මගින් විදේශ අමාත්‍යංශය නොසිතුවද, මියන්මාර හමුදා රජය පිළිගැනීමක් සිදුව ඇතැයි ද ඔහු සඳහන් කළේය.
මෙවැනි කරුණු සම්බන්ධයෙන් අදහස් පළකිරීමේදී සහ කටයුතු කිරීමේදී සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගෙන් ආදර්ශ ගත හැකි යැයි ද රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු මෙන්ම දේශපාලන විචාරකයෙකු ද වන දයාන් ජයතිලක පෙන්වා දෙයි. අගමැතිවරියගේ කාලයේදී චීනය සහ ටිබෙටය අතර ඇති වූ ගැටළුවක් සම්බන්ධයෙන් ලංකාව කිසිදු අදහසක් පළනොකර, රාජ්‍යයන් දෙක සමග ම පැවැති සම්බන්ධතා තවදුරටත් පුළුල් කරගැනීම ඊට උදාහරණයක් ලෙස ද ඔහු පවසයි.

‘ඉවත් කර නැති නිසා ආරාධනා කළා’

අදාළ ලිපිය කඩිනමින් සහ රාජ්‍ය තාන්ත්‍රික විශ්ලේෂකයන් පවසන ආකාරයට අනාගත ප්‍රතිඵල ගැන කිසිදු වගකීමකින් තොරව යැවීම සම්බන්ධයෙන් විමසීමට විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ ඔවුන් දෙදෙනාම දුරකතනයට පිළිතුරු ලබානොදීම නිසා ය. කෙසේ වෙතත් විදේශ අමාත්‍යංශයේ ලේකම් ජයනාත් කොළඹගේ රොයිටර් ප්‍රවෘත්ති සේවයට මේ පිළිබඳව අදහස් දක්වා තිබිණි. ලේකම්වරයා සඳහන් කර තිබුණේ බිම්ස්ටෙක් සංවිධානයෙන් මියන්මාරය ඉවත් කර හෝ එහි සාමාජිකත්වය අත්හිටුවීමක් කර නැති නිසා, අදාළ ආරාධනය යොමුකිරීමේ නිල වගකීමක් ලංකාවට ඇති බවයි. මියන්මාර හමුදා රජය, ශ්‍රී ලංකා රජය විසින් නිල වශයෙන් පිළිගන්නා බවක් එමගින් අදහස් නොවන බව ද ඔහු සඳහන් කර තිබිණි.

‘කරපු ලොකුම උදව්ව’

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් මියන්මාරයේ ප්‍රකට සිවිල් ක්‍රියාකාරිනියක වන තින්ෂාර් ෂුන්ලෙයි යී පැවසුවේ හමුදා පාලනය කොතෙක් උත්සාහ කළද, තවමත් ඔවුන්ට මියන්මාරයේ බලය මුළුමනින්ම පැහැරගැනීමට හැකියාවක් ලැබී නැති බවයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජනතාව කරන සටන ඊට හේතු වී ඇති බවත්, ලෝකයේ පිළිගත් රාජ්‍යවලින් මෙවැනි ලිපි නිල වශයෙන් එවීම යනු ප්‍රමාණවත් බලයක් නැති හමුදා පාලනය නිල වශයෙන් පිළිගැනීමක් බවත් ඇය සඳහන් කළාය. ‘එය ඔවුන්ගේ පැත්තේ සිට කරන විශාල සහායදීමක්’ ලංකා රජයේ ලිපිය සම්බන්ධයෙන් ඇය එසේ ද පැවසීය. වෙනත් කිසිදු රටක් මෙතෙක් මෙවැනි සහායදීමක් ඔවුන්ට කර නැති බවද ඇය අවධාරණය කළාය.

ඝාතන 50ක් – 2,000ක් අත්අඩංගුවේ

මියන්මාරයේ මැතිවරණයෙන් තේරීපත් වූ නායිකා නායිකා අවුන්සාන් සුකී මේ වන විට අත්අඩංගුවට ගැනීමෙන් පසු, රඳවා තබාගෙන සිටී. ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා පාලනයට එරෙහිව එරට වැසියන් උද්ඝෝෂණ පවත්වන අතර, එරට හමුදාව උද්ඝෝෂණවලට සිදුකළ වෙඩි තැබීම්වලින් විරෝධතාකරුවන් 50කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ. මාධ්‍යවේදීන්, සිවිල් ක්‍රියාකාරීන් ඇතුළු 2,000කට අධික පිරිසක් මේ වන විට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂයෙන්ම මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් හමුදාව දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කරන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මැතිවරණ වංචාවට මෙතෙක් සාක්ෂි නෑ

පසුගිය පෙබරවාරි 01 දා අලුයම මියන්මාර හමුදාව විසින් එර⁣ට පාලනය තම්න අතට ගන්නා ලදි. ඒ මියන්මාර නායිකා අවුන් සාන් සුකී සහ තවත් දේශපාලනඥයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. පසුගිය නොවැම්බර් 08දා පැවැති ඡන්දයෙන් සුකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය (එන්එල්ඩී) ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන (සියයට 83ක්) දිනා ගත්තද, එහිදී මැතිවරණ වංචා සිදු වූ බවට එරට හමුදාව චෝදනා ක⁣⁣ළේය. ඉන්පසු එරට ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන්ග් රාජ්‍ය බලය අත්පත් කර ගත්තේය. නමුත් මැතිවරණයේදී වංචාවක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු මෙතෙක් කටයුතු කර නැත. එරට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු, රඳවාගෙන සිටී. මෙසේ මැතිවරණ කොමිසමට සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා විසින් ලිපියක් ද නිකුත් කර තිබිණි.

මිලිටරි මියන්මාරය

1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගැනීමෙන් පසු ව්‍යවස්ථාමය රජයක් මියන්මාරයේ ස්ථාපිත කරන ලද අතර, වූ නු ස්වාධීන මියන්මාරයේ අගමැතිවරයා ලෙස නම් කරන ලදි. එහෙත් එවකට පැවති තත්ත්වය හමුවේ රටේ එක්සත්භාවය පවත්වාගැනීමට ඔහු යටතේ පැවති සිවිල් ආණ්ඩුවට නොහැකි විය. 1958 දී එරට පාලක පිරිස් අතර බෙදීමක් ඇති වූ අතර, හමුදා කුමන්ත්‍රණයක් දියත්කරන බවට තර්ජන ද එල්ල විය. මේ නිසා වූ නු විසින් ජෙනරාල් නෙ වින් යටතේ භාරකාර රජයක් පිහිටුවීමට හමුදාවට ආරාධනා කළේය. එම හමුදා පාලනය 1960 වසර දක්වා පැවතිණි.
1960 මැතිවරණයෙන් පසු වූ නු විසින් පිහිටුවන ලද සිවිල් රජයට පෙර පැවති ගැටළු විසඳීමට නොහැකි වූ අතර, ජෙනරාල් නෙ වින් යටතේ 1962 මාර්තු 2 වැනිදා යළි හමුදා කුමන්ත්‍රණයක් සිදු විය. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් කරමින් ජෙනරාල් නෙ වින් යටතේ සෘජු මිලිටරි පාලනයක් මෙමගින් ආරම්භ විය. හමුදා නිලධාරීන්ගේ දූෂණ, පොලිස් කෘරත්වය, මිලිටරි ආඥාදායකත්වය සහ තවත් බොහෝ බරපතළ කාරණා හේතුවෙන් 1988 දී මියන්මාරය පුරා විරෝධතා මාලාවක් ආරම්භ වූ අතර, එය ‘8888 නැගිටීම’ ලෙස හැඳින්වේ. ඊට හේතුව විරෝධතා ව්‍යාපාරවල ප්‍රධාන සිදුවීම් 1988 අගෝස්තු 8 වැනිදා සිදු වීම ය.
2011 දී මිලිටරි පාලනයේ හිටපු ජෙනරාල් තීන් සේන් යටතේ අර්ධ-සිවිල් රජයක් දක්වා බලය අත්හැරීමට පියවරක් තැබුවේය. එතෙක් තහනම් කර තිබූ එක්රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා වූ සීමා ඉවත් කිරීම ඇතුළුව බොහෝ මූලික අයිතිවාසිකම් එරට ප්‍රතිස්ථාපනය කෙරිණි.
Previous articleසීනි ව්‍යාපෘතියේ තොරතුරු : මහවැලියට එරෙහිව නඩු පවරන්නැයි ඉල්ලයි : තොරතුරු කොමිසමට එරෙහිව පළමු නඩුව පවරයි !
Next articleප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව දෙවැනි වතාවටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here