මියන්මාර ලිපිය : ලංකාවට කළ හැකිව තිබූ එකම දේ එපමණක් ද ?

ප්‍රජාතන්ත්‍ර විරෝධී හමුදා පාලනයේ විදේශ ඇමති වුන්නා මවුන්ග් ල්වින්ට බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගිතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) රැස්වීමකට ලිඛිතව ආරාධනා කිරීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන කටයුතු කිරීම ලංකාවට මේ මොහොතේ කළ හැකිව තිබූ එකම දේ බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය පවිත්‍රා ජයවර්ධන පැවසීය.
ලංකාව වෙනත් ආකාරයකට මෙහිදී කටයුතු කළ යුතුව තිබුණද, ලංකාවට කළ හැකිව තිබුණේ මේ ලිපිය යොමු කිරීම බව ද ඇය සඳහන් කළාය. ඊට හේතුව ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනීසිටීමට ඇති ශක්තියේ ප්‍රමාණය බව ද අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය, මේ සංවිධානයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට මේ මොහොතේ ආරාධනා නොකර සිටියහොත් ලංකාවට වැඩි අවාසිදායක තත්ත්වයකට මුහුණදීමට සිදුවන බව ද පැවසීය.
ඊට හේතුව කලාපීය වශයෙන් වන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යන ආකාරය බව ද පැහැදිලි කළ ඇය, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳ ගැටළුව වැනි අවස්ථාවලදී ලංකාව රටක් ලෙස හැසිරුණු ආකාරය සමනය කිරීමට මේ සමුළුව අවස්ථාවක් කරගත හැකි බව ද සඳහන් කළාය. මේ අවස්ථාවේ ලංකාවට තීරණ දෙකක් ගැනීමට හැකියාව තිබූ බවත්, බිම්ස්ටෙක් සමුළුවට මියන්මාරයට ආරාධනා කිරීම සහ මියන්මාර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට විරෝධය පළකිරීම ඒ අවස්ථා දෙක බවත් පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ කථාකාචාර්යවරිය, ලංකා ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් මෙන්ම රට තුළදීද කටයුතු කර ඇත්තේ ජනතා අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයෙන්ද යන්න ගැටළුවක් බවත්, එම නිසා මෙහිදී ජනතාවගේ පැත්තෙන් ශක්තිමත් තීරණයක් ගනු ඇතැයි විශ්වාසය පළකළ නොහැකි බවත් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මියන්මාර හමුදා පාලනය සම්බන්ධයෙන් මීට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ ආණ්ඩුව පාර්ශ්වයෙන් නිශ්චිත අදහසක් පළකර තිබුණේ නම්, මේ ලිපිය සම්බන්ධයෙන් මෙවැනි ගැටළුවක් මතුනොවනු ඇති බවත්, ආණ්ඩුවේ උපායමාර්ගික නොවන පටු ක්‍රියාමාර්ග මේ තත්ත්වය ඇති කර තිබෙන බවත් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තානාපති සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ කලාපීය වශයෙන් දකුණු ආසියානු කලාපයේ ශක්තිමත් කලාපීය සංවිධාන නොමැති නිසා රටවල අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් මැදිහත් නොවීමට බිම්ස්ටෙක් සාමාජිකයන් තීරණයක් ගෙන ඇති බවත්, එම නිසා මෙහිදී ලංකාවට යම් ආවරණයක් පවතින බවත් ය. එහෙත් මියන්මාරයෙන් මෙන්ම ලෝකයේ බොහෝ රටවල ප්‍රකට ක්‍රියාකාරීන් විසින් මේ ලිපිය සම්බන්ධයෙන් විරෝධය පළකරන තත්ත්වයක් සහ ලංකාව තවමත් මියන්මාර හමුදා පාලනය සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් ලබානොදෙන තත්ත්වයක් තුළ ඉදිරියේදී ජාත්‍යන්තර සම්බන්ධතාවලට මේ ලිපිය තීරණාත්මක ලෙස බලපෑම් කරනු ඇතැයි ද අදාළ නිලධාරියා පෙන්වා දුන්නේය.
Previous articleප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව දෙවැනි වතාවටත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
Next articleඋණව⁣ටුන ජනතාව බිය කිරීමේ තැතක් : අරලිය හෝටලය අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here