හමුදා පාලනය පිළිනොගන්නේ නම් එහි සාමාජිකයෙකුට ආරාධනා කරන්නේ ඇයි? – මියන්මාර ජනතාව ලංකාවෙන් ප්‍රශ්න කරයි !

හමුදා ත්‍රස්තවාදීන් සමග කටයුතු නොකරන ලෙසට ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි තමා ශ්‍රී ලංකාවේ සමාජ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින බව මියන්මාරයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන තින්සාර් ෂුන්ලෙයි යී පවසන්නීය.
ට්විටර් පණිවිඩයක් හරහා ඇය මේ බව සඳහන් කළාය.

බිම්ස්ටෙක් එනම් බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගි වන්නැයි, හමුදා පාලනයක් පවතින මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාට ශ්‍රී ලංකා රජය ආරාධනා කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.
එමෙන්ම එම ආරාධනාව මුල් කරගෙන මේ වන විට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපවාදයකට හේතුවිය හැකි විරෝධයක් මියන්මාරයේ ඇතිවෙමින් පවතී. ට්විටර් ඇතුළු සමාජ මාධ්‍යවලත් ජාත්‍යන්තර මාධ්‍යවලත් මෙම ආරාධනාව ප්‍රමුඛ පෙළේ මාතෘකාවක් බවට පත්ව තිබේ. මියන්මාර වැසියෝ ට්විටර් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවට දැඩි විරෝධයක් එල්ල කරති.
නීත්‍යානුකූල නොවන සහ බලහත්කාරයෙන් සිදුකරගෙන යන හමුදා පාලනයක පුද්ගලයෙකුට ආරාධනා කිරීම ඔවුන් හෙළා දකින අතර අනෙකුත් රටවල් සහ සංවිධාන මියන්මාර හමුදා පාලනය පිළිනොගන්නා වටපිටාවක මෙලෙස ශ්‍රී ලංකාවපසහ බිම්ස්ටෙක් සංවිධානය එම හමුදා පාලනය පිළිගන්නේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.
තවද හමුදා පාලනය පිළි නොගන්නේනම් එහි සාමාජිකයකුට ආරාධනා කරන්නේ ඇයිදැයි ඔවුහු විමසති.
මේ සම්බන්ධයෙන් එරට වැසියන් පළ කළ අදහස් කිහිපයක් පහතින්..
“ඔහු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ විදේශ ඇමතිවරයා නොව ත්‍රස්ත කණ්ඩායමක සාමාජිකයෙකි. ශ්‍රී ලංකාව ගැන ලැජජයි !!! “

“මියන්මාරයේ විදේශ ඇමති වූන්නා මාවුං ල්වින්ට ආරාධනා කිරීම ගැන මියන්මාර පුරවැසියන් වන අපි ශ්‍රී ලංකාව හෙළා දකිනවා. ඔහු පත් කරනු ලැබූවේ නීති විරෝධී ලෙස කුමන්ත්‍රණයක් දියත් කළ ත්‍රස්ත හමුදාව විසිනි. ඔවුන් අපේ රජය නොවේ. ඔවුන් ත්‍රස්තවාදීන්.”

“ශ්‍රී ලංකාව හමුදා පුද්ගලයෙකුට ඇමතිවරයකු ලෙස ආරාධනා කිරීමට දැඩි ලෙස මා විරුද්ධයි. ආසියා රටවල් සහ ඉන්දියාව පවා මියන්මාර හමුදා රජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා. මේ ආකාරයේ ආරාධනයක් යනු මියන්මාර ජනතාවට අගෞරව කිරීමකි.”

“එම ප්‍රකාශය අපි තරයේ හෙළා දකිනවා. ඉන්දීය අගමැතිතුමනි කරුණාකර අපට ඇහුම්කන් දෙන්න. කරුණාකර මියන්මාර ජනතාවට උදව් කරන්න! කරුණාකර නීති විරෝධී රජය සමඟ සම්බන්ධ නොවන්න (ඔවුන් ත්‍රස්තවාදීන්). අපි ඔබව විශ්වාස කරනවා.”

“අපි එයට තදින්ම විරුද්ධ වෙනවා. එය ශ්‍රී ලංකාවට සහ බිම්ස්ටෙක් සංවිධානයට පිටුපසින් හිඳ පිහියෙන් ඇනීමක්. බිම්ස්ටෙක් රැස්වීමට සහභාගී වන ලෙස අමාත්‍ය වුන්නා මාවුංට සිදුකළ ආරාධනය නිල ආරාධනයක්. ASEAN වැනි සංවිධාන පවා මියන්මාර හමුදා රජය පිළිගැනීම ප්‍රතික්ෂේප කරනවා.”

“ශ්‍රී ලංකාව වෙත, වුන්නා මාවුං කියන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයෙක්.
අපේ විදේශ ඇමති අවුන් සාන් සූ කී තමයි.”

“මියන්මාර හමුදාව සමඟ කටයුතු කිරීම යනු යනු ඔබේ අත්වල ලේ ගෑවි ඇති බවයි.”

“මියන්මාර ජනතාවගේ කැමැත්ත නොතකා නීතිවිරෝධී ත්‍රස්ත කණ්ඩායමක් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් බිම්ස්ටෙක් දැඩි ලෙස හෙළා දකිනවා.”

“අපේ විදේශ ඇමති අවුන් සාන් සූකි මිස ඔහු නෙවෙයි. ASEAN සංවිධානය කවදාවත් ඔහුව විදේශ ඇමති ලෙස පිළිගන්නේ නෑ. ඔහුට කිසිදු රැස්වීමකට ආරාධනා කරන්නෙත් නෑ.”

“ශ්‍රී ලංකාව සහ බිම්ස්ටෙක් වෙත, නීතිවිරෝධී විදේශ ඇමති වුන්නා මාවුං ල්වින්ට නිල වශයෙන් බිම්ස්ටෙක් රැස්වීමට සහභාගී වන ලෙස ආරාධනා කරමින් මියන්මාර හමුදා කුමන්ත්‍රණ ත්‍රස්තවාදී කණ්ඩායමට සහයෝගය දැක්වීමට ඔබ උත්සාහ කරන්නේ ඇයි!”

“අප මාරාන්තික අර්බුදයක සිටින අතරතුර බිම්ස්ටෙක් රැස්වීම්වලට සහභාගී වන ලෙස නීතිවිරෝධී මිලිටරි තන්ත්‍රයට ශ්‍රී ලංකා විදේශ ඇමතිවරයා කළ ආරාධනය මියන්මාරයේ ජනතාව වන අපි තරයේ හෙළා දකිමු. ශ්‍රී ලංකාව හැර කිසිදු රටක් ජුන්ටාව පිළිගෙන නැහැ.”

“ඔබ හමුදා කුමන්ත්‍රණය පිළිගන්නේ නැත්නම්, ඔබ ඔවුන්ගේ නියෝජිතයාට ආරාධනා කරන්නේ ඇයි? විශ්වාස කළ නොහැකි දෙයක්. මෙය පිළිගත නොහැකි දෙයක්. ශ්‍රී ලංකාව – අවංක වෙන්න !”

“ලැජ්ජයි ශ්‍රී ලංකාව, ත‍්‍රස්තවාදීන් පිළිගැනීම යන්නෙන් අදහස් වන්නේ ඔබ ද ත‍්‍රස්තවාදීන් බවයි. මියන්මාර හමුදාව සමඟ වැඩ කිරීම යනු ඔබේ අත්වල ද ලේ ගෑවී ඇති බවයි. “

“බිම්ස්ටෙක්, කරුණාකර අපගේ ඡන්ද වලට ගරු කරන්න. ජුන්ටාව අපේ රජය ලෙස සඳහන් කරන්න එපා. හමුදා කුමන්ත්‍රණයට සහාය දක්වන්න එපා. ඔබගේ ආරාධනා ලිපිය අපි බරපතල ලෙස හෙළා දකිනවා.”

“බිම්ස්ටෙක් රටවල් මියන්මාරයේ ජනතාවට උදව් නොකරන්නේ නම්, අපි අපේ ප්‍රශ්න විසඳගන්නා අතරතුර අවම වශයෙන් ත්‍රස්තවාදී ජුන්ටාව ඔබේ රැස්වීම්වලින් ඉවත් කරන්න.”

“ශ්‍රී ලංකාව මියන්මාර ජුන්ටාවේ නීති විරෝධී විදේශ ඇමතිවරයාට ආරාධනා කරලා. මියන්මාර හමුදා කවුන්සිලය නීති විරෝධී බව කවුරුත් දන්නවා. ශ්‍රී ලංකාව ඔවුන්ට ආරාධනා කිරීම යනු මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් අනුමත කරන බවයි.”
Previous articleඅලි කළමනාකරණ රක්ෂිත ගැසට් පත්‍රය ප්‍රමාද කරන්නේ ආණ්ඩුවේ හිතවතුන්ට ඉඩම් දෙන්න – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්
Next articleහිජාස් ඇතුළු මානව හිමිකම් සුරකින්නන්ට ගරු කරන්න – යුරෝපා රටවල් 8ක් ලංකා ආණ්ඩුවෙන් ඉල්ලයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here