මාස දෙකට ජීවිත 543ක් බිළි ගත් හමුදා පාලනයක් : දරුවන් 43කුත් ඝාතනය කරලා !

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුවූ පෙබරවාරි 01 වැනිදා සිට මේ දක්වා මාස දෙකක කාලය තුළ මියන්මාර හමුදාව විසින් එරට ළමයින් 43 දෙනකු ඝාතනය කරනු ලැබ ඇතැයි සේව් ද චිල්ඩ්‍රන් (Save the Children) සංවිධානය පවසයි.
ළමයින්ගේ ජීවිත කෙරෙහි මියන්මාර හමුදාව දක්වන අගෞරවය පෙන්නුම් කරමින් පසුගිය දින 12 තුළ ළමයින්ගේ මරණ සංඛ්‍යාව දෙගුණයකින් පමණ වැඩි වී ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි. මියන්මාර මිලිටරි ජුන්ටාවේ ලාබාලතම ගොදුර වූයේ වයස අවුරුදු හයක ගැහැණු දරුවකු බව සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය පවසයි. ඝාතනය කරනු ලැබුවන් අතර වයස අවුරුදු 16 ට අඩු ළමුන් 15 දෙනෙකු සිටින බවත් වයස අවුරුදු 9 සහ 11 ළමුන් ද ඔවුන් අතර වන බවත් එම සංවිධානය සඳහන් කරයි. හමුදාවෙන් පලායාමට උත්සහ කළ 13 හැවිරිදි පිරිමි දරුවකුට හමුදාව විසින් හිසට වෙඩි තබා ඇතැයිද 14 හැවිරිදි පිරිමි දරුවකුට සිය නිවස තුළ හෝ නිවසින් පිටත සිටියදී හිසට වෙඩි තබා ඝාතනය කර ඇතැයිද වාර්තා වූ බව එම සංවිධානය කියයි.
හමුදා කුමන්ත්‍රණයට පසු ඇතිවූ ප්‍රචණ්ඩත්වය නිසා ශාරීරිකව තුවාල ලැබූ දරුවන් සංඛ්‍යාව නිසි ⁣පරිදි නොදන්නා නමුත් එය සැලකිය යුතු මට්ටමක පවතින බවත් තුවාල ලැබූවන් අතර සිටින වයස අවුරුදු එකක බිළිඳකු⁣ගේ ඇසට රබර් උණ්ඩවලින් වෙඩි තබා ඇති බවත් සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය සඳහන් කරයි. දිගින් දිගටම සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇති වන බිය, ආතතිය හා ශෝකය මියන්මාරයේ මිලියන සංඛ්‍යාත දරුවන්ගේ මානසික තත්ත්වයට දැඩි බලපෑමක් ඇති කරන බව සේව් ද චිල්ඩ්‍රන් පවසයි.
මාර්තු 29 වැනිදා ගුවන් ප්‍රහාර මාලාවක් අතරතුර කයින් ප්‍රාන්තයේ පාසලකට බෝම්බ හෙලීම හේතුවෙන් දහස් සංඛ්‍යාත ජනතාවකට පලායාමට සිදු වූ බව එම සංවිධානය පෙන්වා දෙයි. පාසල හිස්ව තිබූ බවද ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන්ම පාසල විනාශ වී ඇති බව ද පාසල්වලට එරෙහි ප්‍රහාර දරුවන්ගේ අයිතීන් බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවද කිසිදු තත්වයක් යටතේ එය සාධාරණීකරණය කළ නොහැකි බවද සේව් ද චිල්ඩ්‍රන් අවධාරණය කරයි.
එම සංවිධානය මෙසේද පවසයි.
“ළමයින්ට හානි සිදුවීම වළක්වා ළමයින් ආරක්ෂා කර දෙන ලෙස නැවත නැවතත් ඉල්ලා සිටියද, ළමයින් මෙම මාරාන්තික ප්‍රහාරවල ඉලක්ක අතර දිගින් දිගටම සිටීම ගැන අපි කම්පාවට පත් වෙනවා. මෙම දරුවන් කිහිප දෙනෙක් නිවසේදීම ඝාතනය කර ඇති බව වාර්තා වීම විශේෂයෙන්ම බිහිසුණු තත්ත්වයක්.
මෙය දිනෙන් දින දිග හැරෙන බියකරු සිහිනයක්. අහිංසක දරුවන්ගේ අනාගතය අමානුෂික ලෙස ඔවුන්ගෙන් උදුරාගෙන තියෙනවා. තම සහෝදර සහෝදරියන් සහ දෙමාපියන් මිය යන අයුරු දකින කුඩා දරුවන් සිතාගත නොහැකි වේදනාවක් විඳිමින් සිටිනවා. ළමයින් ප්‍රචණ්ඩත්වය හා භීෂණය දකිමින් සිටිනවා. මියන්මාරය තවදුරටත් දරුවන්ට ආරක්ෂිත ස්ථානයක් නොවන බවට පැහැදිලියි.
විරෝධතාකරුවන්ට එරෙහි මෙම මාරාන්තික ප්‍රහාර වහාම අවසන් කරන ලෙස අපි නැවත වරක් හමුදාවෙන් ඉල්ලා සිටිනවා. ඕනෑම අර්බුදයක අහිංසක ගොදුරු වන්නේ දරුවන් බව නැවත නැවතත් අපට පෙනෙන්න⁣ට තියෙනවා. මියන්මාරයේ ළමයින් ආරක්ෂා කිරීමට ඇති එකම ක්‍රමය වන්නේ සියලු මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියාවන් වහාම නතර කිරීමයි.”
වින්දිතයන් බවට පත් ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආධාර සැපයීම, ප්‍රචණ්ඩත්වය අත්විඳි දරුවන්ට මානසික සහය ලබා දීම සහ දැඩි මානසික සෞඛ්‍ය අවශ්‍යතා ඇති දරුවන් විශේෂඥයින් වෙත යොමු කිරීම වැනි සහයෝගයන් සේව් ද චිල්ඩ්‍රන් සංවිධානය මගින් සිදුකරයි.

543 දෙනකු ඝාතනය කරලා

එරට දේශපාලන සිරකරුවන් සඳහා වන සහායක සංගමයට අනුව මේ වන විට මියගිය මුළු සංඛ්‍යාව 543 කි. තම සංවිධානය විසින් ලේඛනගත කර තහවුරු කරන ලද සංඛ්‍යාව මෙය වුවද මරණ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ යන බැවින් සත්‍ය මරණ සංඛ්‍යාව බොහෝ සෙයින් වැඩි විය හැකි බව දේශපාලන සිරකරුවන් සඳහා වන සහායක සංගමය පවසයි.
අපේ‍්‍රල් පළමුවැනිදා වන විට මෙම හමුදා කුමන්ත්‍රණයට අදාළව පුද්ගලයන් 2741 දෙනකු රඳවාගෙන සිටින බවත් ඔවුන්ගෙන් 38 දෙනෙකුට සිර දඬුවම් නියම කර ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි. තවත් 126 දෙනෙකු සඳහා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර ඇත.
“හමුදා කුමන්ත්‍රණයෙන් සහ මෙම ත්‍රස්තවාදී හමුදා කණ්ඩායම විසින් සිදු කරන ලද සියලු ආකාරයේ හිංසාවන් විඳදරාගෙන මාස දෙකක් ගත වී ඇත. ඝාතන, තුවාල ලැබූවන් හා අත්අඩංගුවට ගැනීම් දිනෙන් දින ඉහළ යමින් තිබුණද, ඒකාධිපති පාලනය අවසන් කොට ප්‍රජාතන්ත්‍රවාදය ළඟා කර ගැනීමට ජනතාව තවමත් සටන් වදිමින් සිටිනවා.” යැයි ද එම සංවිධානය සඳහන් කරයි.

හමුදා කුමන්ත්‍රණය

පසුගිය පෙබරවාරි 01 දා අලුයම මියන්මාර හමුදාව විසින් එර⁣ට පාලනය තම්න අතට ගන්නා ලදි. ඒ මියන්මාර නායිකා අවුන් සාන් සුකී සහ තවත් දේශපාලනඥයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. පසුගිය නොවැම්බර් 08දා පැවැති ඡන්දයෙන් සුකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය (එන්එල්ඩී) ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන (සියයට 83ක්) දිනා ගත්තද, එහිදී මැතිවරණ වංචා සිදු වූ බවට එරට හමුදාව චෝදනා ක⁣⁣ළේය. ඉන්පසු එරට ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන්ග් රාජ්‍ය බලය අත්පත් කර ගත්තේය. නමුත් මැතිවරණයේදී වංචාවක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු මෙතෙක් කටයුතු කර නැත. එරට මැතිවරණ කොමිසමේ නිලධාරීන්ද හමුදාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු, රඳවාගෙන සිටී. මෙසේ මැතිවරණ කොමිසමට සිදුකරනු ලබන අත්තනෝමතික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා විසින් ලිපියක් ද නිකුත් කර තිබිණි.

මිලිටරි මියන්මාරය

1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබාගැනීමෙන් පසු ව්‍යවස්ථාමය රජයක් මියන්මාරයේ ස්ථාපිත කරන ලද අතර, වූ නු ස්වාධීන මියන්මාරයේ අගමැතිවරයා ලෙස නම් කරන ලදි. එහෙත් එවකට පැවති තත්ත්වය හමුවේ රටේ එක්සත්භාවය පවත්වාගැනීමට ඔහු යටතේ පැවති සිවිල් ආණ්ඩුවට නොහැකි විය. 1958 දී එරට පාලක පිරිස් අතර බෙදීමක් ඇති වූ අතර, හමුදා කුමන්ත්‍රණයක් දියත්කරන බවට තර්ජන ද එල්ල විය. මේ නිසා වූ නු විසින් ජෙනරාල් නෙ වින් යටතේ භාරකාර රජයක් පිහිටුවීමට හමුදාවට ආරාධනා කළේය. එම හමුදා පාලනය 1960 වසර දක්වා පැවතිණි.
1960 මැතිවරණයෙන් පසු වූ නු විසින් පිහිටුවන ලද සිවිල් රජයට පෙර පැවති ගැටළු විසඳීමට නොහැකි වූ අතර, ජෙනරාල් නෙ වින් යටතේ 1962 මාර්තු 2 වැනිදා යළි හමුදා කුමන්ත්‍රණයක් සිදු විය. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් කරමින් ජෙනරාල් නෙ වින් යටතේ සෘජු මිලිටරි පාලනයක් මෙමගින් ආරම්භ විය. හමුදා නිලධාරීන්ගේ දූෂණ, පොලිස් කෘරත්වය, මිලිටරි ආඥාදායකත්වය සහ තවත් බොහෝ බරපතළ කාරණා හේතුවෙන් 1988 දී මියන්මාරය පුරා විරෝධතා මාලාවක් ආරම්භ වූ අතර, එය ‘8888 නැගිටීම’ ලෙස හැඳින්වේ. ඊට හේතුව විරෝධතා ව්‍යාපාරවල ප්‍රධාන සිදුවීම් 1988 අගෝස්තු 8 වැනිදා සිදු වීම ය. 2011 දී මිලිටරි පාලනයේ හිටපු ජෙනරාල් තීන් සේන් යටතේ අර්ධ-සිවිල් රජයක් දක්වා බලය අත්හැරීමට පියවරක් තැබුවේය. එතෙක් තහනම් කර තිබූ එක්රැස්වීමේ සහ ප්‍රකාශනයේ නිදහස සඳහා වූ සීමා ඉවත් කිරීම ඇතුළුව බොහෝ මූලික අයිතිවාසිකම් එරට ප්‍රතිස්ථාපනය කෙරිණි.
Previous articleනැගෙනහිර වෙරළ එංගලන්ත සමාගමකට : මං ආවට පස්සෙ නම් දුන්නෙ නෑ – පරිසර ඇමති
Next articleලංකාවේ ආරාධනයෙන් බිම්ස්ටෙක් රැස්වීමට ආ මියන්මාර මිලිටරි ජුන්ටාව

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here