සතියක් යන්නටත් පෙර එපා වූ හමුදා පාලනය !

මියන්මාරයේ දියත් කෙරුණු හමුදා කුමන්ත්‍රණයට එරෙහිව සහ ඡන්දයෙන් තේරී පත්වූ එරට නායිකා අවුන් සාන් සු කී නිදහස් කරන ලෙසට ඉල්ලමින් එරට සිවිල් වැසියෝ හතරවැනි දිනටත් මහා මාර්ගවලට රැස්ව විරෝධතාවයේ නියැලී සිටිති.
“අධිරාජ්‍යවාදය එපා – අපට ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙන් සඳහන් පුවරු සහිතව මෙම විරෝධතා පැවැත්වෙයි. හමුදා පාලනයට එරෙහි මෙම විරෝධතා පාගමන්වලට භික්ෂූන් ද සහභාගි වී සිටින අතර විරෝධතාකරුවෝ බෞද්ධ ධජ සහ අවුන් සාන් සුකීගේ පක්ෂයේ (එන්එල්ඩී) ධජ අතැතිව සිටිති. තවත් එක් විරෝධතා පුවරුවක මෙසේ කියැවිණි: “අපගේ නායකයින් නිදහස් කරනු, අපේ ඡන්දවලට ගරු කරනු, හමුදා කුමන්ත්‍රණය ප්‍රතික්ෂේප කරමු.”

මහා වැඩ වර්ජනයක් !

මිලිටරි ආඥාදායකත්වය පරාජය කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස රාජකාරී කටයුතුවලින් ඉවත් වන ලෙසට රජයේ සේවකයින්ගෙන් ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරීන් මහා වැඩ වර්ජනයකට මුල පුරා ඇතැයි මියන්මාර් නව් පුවත්පත සඳහන් කරයි. ඊට සහයෝගය පල කරමින් හෙදියන්, ගුරුවරුන් සහ සිවිල් සේවකයින් විරෝධතාවලට එක්ව ඇති බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
තමන් ජෙනරාල්වරුන් වෙනුවෙන් වැඩ නොකරන බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇති අතර ගුරුවරුන් සහ අනෙකුත් සිවිල් සේවකයින් සති අන්තයේ දී විරෝධතා රැලිවලට එක්ව තිබේ.

ඔළුවට වෙඩි – අමානුෂිකත්වය ගැන බියක් !

2007දී හමුදාව විසින් අමානුෂික ලෙස මර්දනය කරනු ලැබූ, භික්ෂූන් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට පසු එරට පැවැත්වූ විශාලතම විරෝධතා ව්‍යාපාරය මෙය බව විදෙස් මාධ්‍ය පවසයි. මෙතෙක් විරෝධතා සාමකාමී වූ නමුත් 2007 දී පමණක් නොව 1988 දී ප්‍රජාතන්ත්‍රවාදී ගැති විරෝධතාකරුවන්ට එරෙහිව සිදු කළ පරිදි හමුදාව මාරාන්තික සහ අමානුෂික බලයක් යොදනු ඇතැයි නිරීක්ෂකයෝ බිය පළ කරති. එම බිය තවත් වැඩි කරමින් අද පැවති විරෝධතාවකදී පොලිසිය එල්ල කළ වෙඩි තැබීම්වලින් දෙදෙනකු තුවාල ලබා ඉන් එක් අයෙක් බරපතල තත්ත්වයක පසුවන බව විදෙස් මාධ්‍ය පවසයි. බරපතල තත්ත්වයේ සිටින කාන්තාවගේ හිසට වෙඩි තබා ඇතැයි ද වාර්තා වේ.
රජය විසින් මෙහෙයවනු ලබන එම්ආර්ටීවී නාලිකාවේ ප්‍රකාශයක් කරමින් හමුදාව අනතුරු ඇඟවූයේ විනයක් නොමැතිවීමෙන් “ප්‍රජාතන්ත්‍රවාදය විනාශ විය හැකි” බවත් “රාජ්‍යයේ ස්ථාවරත්වයට, මහජන ආරක්ෂාවට සහ නීතියේ ආධිපත්‍යයට හානි කරන” අයට නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට සිදුවන බවත්ය.

අයිතිවාසිකම්වලට තිත

අද (09) එරට රජය මහජන රැස්වීම්වලට සීමාවන් පැනවූ අතර ප්‍රධාන නගර සඳහා ඇඳිරි නීතිය ද පැනවීය.
මියන්මාරයේ ග්ලෝබල් නිව් ලයිට් පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද නිවේදනයකට අනුව, පස් දෙනෙකුට වැඩි පිරිසකට එක්රැස් වීම තහනම් කර ඇති අතර, පාගමනින් හෝ මෝටර් රථයකින් විරෝධතා පාගමනට සම්බන්ධ වීම තහනම් කර ඇති අතර ප්‍රසිද්ධ ස්ථානවල දේශපාලන කතා පැවැත්වීම තහනම් කර තිබේ. රාත්‍රී 8 සිට අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර සීමාවන් ඉවත් කරන්නේ කවදාදැයි ප්‍රකාශ කර නැත.

මාධ්‍යවේදීනුත් අත්අඩංගුවට

රටේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ හි පැවති විරෝධතා අතරතුර අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන ආකාරය පටිගත කළ මාධ්‍යවේදියෙකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි එරට මාධ්‍ය තහවුරු කරයි. ඉදිරි දිනවලදී තවත් මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ඇතැයි එරට මාධ්‍ය විශ්වාස කරයි. මීට පෙර හමුදා පාලනය තිබූ කාලවලදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ ප්‍රකාශනයේ අයිතිය දැඩි ලෙස සීමා කර තිබූ අතර ස්වාධීන මාධ්‍ය ආයතනවලට ක්‍රියාත්මක වීමට ද අවසර ලබා දී තිබු⁣⁣⁣ණේ නැත.

හමුදා කුමන්ත්‍රණය හෙළා දකිනවා

“මම හමුදා කුමන්ත්‍රණය මුළුමනින්ම හෙළා දකිනවා. මර්දනයකට මම බය නෑ” යැයි 20 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙකු වන කියි ෆියු කියාව් විරෝධතා අතරතුර ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.
“අමායි සූ (අවුසාන් සුකී) නිදහස් කරනකම් සෑම දිනකම විරෝධතාවලට එනවා. අපි හැමෝම ඇය සමගයි.”
“මෙම මිලිටරි ආඥාදායකත්වය අපගේ ඊළඟ පරම්පරාවට ලබා දීමට අපි ඉඩ තියන්නේ නෑ. මෙම ආඥාදායකත්වය පරාජය කරන තෙක් අපි මේ විරෝධතාවය දිගටම කරගෙන යනවා,” යැයි යැන්ගොන්හි වැසියෙක් සීඑන්එන් වෙත පැවසීය.

අවුන් සාන් සු කී සහ මැතිවරණය

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කටයුතු කිරීම වෙනුවෙන් අවුන් සාන් සූ කී 1991 දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගත් අතර වසර 50 කට ආසන්න හමුදා පාලනය අවසන් කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ අරගලයක යෙදී සිටියදී වසර 15 කට ආසන්න කාලයක් නිවාස අඩස්සියේ ද ගත කළාය. 75 හැවිරිදි ඇය මෙවර හමුදා කුමන්ත්‍රණයෙන් පසු තවමත් රඳවා තබාගෙන ඇති අතර වෝකි ටෝකි හයක් නීතිවිරෝධී ලෙස ආනයනය කිරීමේ චෝදනාවකටද ලක්ව සිටින්නීය. ඇයගේ නීතිඥයා මාධ්‍යයට පවසා ඇත්තේ ඇයව බැලීමට පවා මෙතෙක් අවසර දී නොමැති බවයි.
ඉකුත් පළමුවැනිදා අලුයම මියන්මාර හමුදාව විසින් එර⁣ට පාලනය සියතට ගනු ලැබූවේ මියන්මාර නායිකා අවුන් සාන් සූ කී සහ තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගනිමිනි. පසුගිය නොවැම්බරයේදී පැවැති ඡන්දයෙන් සූ කීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය (එන්එල්ඩී) ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් ආසන දිනා තිබියදීත් එහිදී මැතිවරණ වංචා සිදු වූ බවට එරට හමුදාව චෝදනා ක⁣⁣ළේය. ඉන්පසු පෙබරවාරි පළමුවැනිදා එරට ජ්‍යෙෂ්ඨ ජෙනරාල් මින් අවුන්ග් රාජ්‍ය බලය අත්පත් කර ගත්තේය. නමුත් වංචාවක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු මෙතෙක් කටයුතු කර නැත. මීට පෙර රටේ මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම එවැනි ප්‍රකාශ ප්‍රතික්ෂේප කළද, වැඩි කල් යන්නට මත්තෙන්, මැතිවරණ වංචා සම්බන්ධයෙන් ‘ක්‍රියාමාර්ග ගන්නා’ බවට හමුදාව තර්ජනය කළේය. එරට මැතිවරණ කොමිසමේ නිලධාරීන් ද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන මේ වන තෙක් රඳවාතබාගනු ලැබ සිටී.
නොවැම්බර් 8 වැනිදා පැවති මැතිවරණයෙන් එන්එල්ඩී පක්ෂය ලබා ගත හැකි ආසනවලින් 83% ක බහුතරයක් දිනා ගත් අතර බොහෝ පිරිස් විශ්වාස කළේ එය සූ කීගේ සිවිල් රජය පිළිබඳ පැවති ජනමත විචාරණයක් බවයි.

කඩාකප්පල් වූ දෛනික ජන ජීවිතය

එතෙක් ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වූ විරෝධතා මේ වන විට මියන්මාරයේ ප්‍රදේශ ගණනාවකට පැතිර ගොස් තිබේ. විරෝධතා හමුවේ කෝපාවිෂ්ඨ වූ මියන්මාරයේ හමුදා බලධාරීන් සෙනසුරාදා අන්තර්ජාල සේවා අවහිර කර තිබූ අතර පසුව එම සේවා යථා තත්වයට පත් කෙරුණ ද විටින් විට ඒවා අවහිර වන බව වාර්තා වේ. ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ද අවහිර කර තිබිණි. 1962-2011 සිට වසර 50ක හමුදා පාලනය තුළ මෙන් යළි හුදෙකලා තත්ත්වයට පත්වනු ඇතැයි හා එම කාලයේ මෙන් දැඩි දරිද්‍රතාවයට පත්වනු ඇතැයි බියකින් සිටි ජනතාව අන්තර්ජාල සේවා අවහිර කිරීමත් සමග තවත් බියට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
හමුදාව බලය අල්ලා ගැනීමෙන් පසු ප්‍රධාන නගරවල අන්තර්ජාල සම්බන්ධතා සහ සමහර දුරකථන සේවා කඩාකප්පල් වූවා මෙන්ම බැංකු, සාප්පු සංකීර්ණ, කඩ සාප්පු වැනි බොහෝ ව්‍යාපාර ස්ථාන අකර්මණ්‍ය වී තිබේ. බොහෝ ප්‍රදේශවල ජනතාවට හමුදා ක්‍රියාකාරකම් හේතුවෙන් එදිනෙදා වැඩ කටයුතු කරගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි පැවසේ. ජනතා විරෝධය දිනෙන් දින වැඩිවීමත් සමග මෙම තත්ත්වය ඉදිරියේදී තවත් වැඩි වනු ඇතැයි සිවිල් ක්‍රියාකාරීහු බිය පළ කරති.

මියන්මාරයේ මිලිටරි ජුන්ටාව

1948 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදී ජාතියක් ලෙස ව්‍යවස්ථාමය රජයක් එරට ස්ථාපිත කරන ලද අතර වූ නු (U Nu) ස්වාධීන මියන්මාරයේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කරන ලදී.
එවකට රටේ පැවති ජාතිවාදී ගැටළු මධ්‍යයේ සහ අනෙකුත් ගැටළු නිසා රටේ එක්සත්භාවය පවත්වාගැනීමට ඔහු යටතේ පැවති සිවිල් ආණ්ඩුවට නොහැකි විය.
1958 දී, එරට පාලක පිරිස් අතර බෙදීමක් ඇති වූ අතර හමුදා කුමන්ත්‍රණයක් දියත්කරන බවට තර්ජන එල්ල විය. මෙම නිසා වූ නු ජෙනරාල් නෙ වින් (Ne Win) යටතේ භාරකාර රජයක් පිහිටුවීමට හමුදාවට ආරාධනා කළේය. එම හමුදා පාලනය 1960 වසර දක්වා පැවතුණි.
1960 මැතිවරණයෙන් පසු වූ නු විසින් පිහිටුවන ලද සිවිල් රජයට පෙර පැවති ගැටළු විසඳීමට නොහැකි වූ අතර ජෙනරාල් නෙ වින් යටතේ 1962 මාර්තු 2 වැනිදා යළි හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අවසන් කරමින් ජෙනරාල් නෙ වින් යටතේ සෘජු මිලිටරි පාලනයක් මෙමගින් ආරම්භ විය. හමුදා නිලධාරීන්ගේ දූෂණ, පොලිස් කෘරත්වය, මිලිටරි ආඥාදායකත්වය සහ තවත් බොහෝ බරපතල කාරණා හේතුවෙන් 1988 දී මියන්මාරය පුරා විරෝධතා මාලාවක් ආරම්භ වූ අතර එය ‘8888 අරගලය’ ලෙසද හැඳින්වේ. මන්දයත් විරෝධතා ව්‍යාපාරවල ප්‍රධාන සිදුවීම් 1988 අගෝස්තු 8 වැනිදා සිදුවූ නිසාය.
මෙම අර්බුදය අතරතුර, අවුන් සාන් සූ කී ජාතික වීරවරියක ලෙස ඉස්මතු වූ අතර 1990 දී මිලිටරි තන්ත්‍රය විසින් විරෝධතා ගැටළුව විසඳීම සඳහා මැතිවරණයක් සංවිධානය ක⁣ළේය. සු කීගේ පක්ෂය වන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය (එන්එල්ඩී)එම ඡන්දයෙන් මුළු ආසන 492 න් (81%) ආසන 392 ක් දිනා ගත්තේය.
කෙසේ වෙතත්, මිලිටරි ජුන්ටාව එම මැතිවරණයේද ප්‍රතිඵල පිළි නොගත් අතර මහජනතාවගේ තීන්දුව ප්‍රතික්ෂේප කරමින් මිලිටරි ජුන්ටාව රාජ්‍ය නීතිය හා සාමය ප්‍රතිසංස්කරණ සභාව ලෙස රට දිගටම පාලනය කළ ක⁣⁣ළේය. ඒ අතර සූ කී නිවාස අඩස්සියේ තබන ලදී.
2010 නොවැම්බරයේදී මිලිටරි ජුන්ටාව යළි මැතිවරණයක් පැවැත්වූ අතර හමුදාවේ සහයෝගය සහිත එක්සත් සහයෝගිතා සහ සංවර්ධන පක්ෂය (USDP) ජයග්‍රහණය ක⁣ළේය. සු කීගේ එන්එල්ඩී පක්ෂය ඇතුළු තවත් බොහෝ පාර්ශවයන් එම මැතිවරණය සඳහා සහභාගී නොවීය. මැතිවරණයෙන් සතියකට පසු, සූ කී නිදහස් කරනු ලැබුවේ ඇගේ අවසන් අවුරුදු 20 න් 16 ක් නිවාස අඩස්සියේ ගත කිරීමෙන් පසුව ය.
2011 දී මිලිටරි ජුන්ටාව හිටපු ජෙනරාල් තීන් සේන් යටතේ අර්ධ-සිවිල් රජයක් දක්වා බලය අත්හැරීමට පියවරක් තැබුවේය. එතෙක් තහනම් කර තිබු එක්රැස්වීමට සහ ප්‍රකාශනයේ නිදහස සඳහා වූ සීමාවන් ඉවත් කිරීම ඇතුළුව බොහෝ මූලික අයිතිවාසිකම් ප්‍රතිස්ථාපනය කරන ලදි.

ජනවාර්ගික ඝාතන

රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සමූහ ඝාතනය කිරීම නිසා 2017 අගෝස්තු මාසයේදී ලක්ෂ සංඛ්‍යාත රෝහින්ග්‍යා මුස්ලිම්වරුන් සිය ජීවිත වෙනුවෙන් රටින් පලා ගිය අතර මියන්මාරයේ හමුදාව මෙම ජන සංහාරයට වගකිව යුතු බවට ජාත්‍යන්තර සංවිධාන චෝදනා කළේය.
ඔවුන් මෙම චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කළ අතර හමුදාව රොහින්ග්‍යා සටන්කාමීන්ට එරෙහිව පමණක් සටන් කරන බවත් සිවිල් වැසියන් ඉලක්ක නොකළ බවත් එරට ආණ්ඩුව ප්‍රකාශ කළේය.
අවම වශයෙන් ළමුන් 730 ක් ඇතුළුව රෝහින්ග්‍යා 6700 ක් මෙම ව්‍යසනයෙන් මිය ගිය බවට ඇතැම් වාර්තා පෙන්වා දෙන අතරම සමහර වාර්තා වල සඳහන් වන්නේ 24000-43000ත් අතර මිය ගොස් ඇති බවයි.
1991 දී සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනාගත් අවුන් සාන් සූ කී, වරක් මානව හිමිකම් වීරවරියක ලෙස ප්‍රසිද්ධියත් ඉසිලූ අතර රෝහින්ග්‍යා සිද්ධියට වගකිව යුතු බවට චෝදනා එල්ල විය.
මානව හිමිකම් රැකීමට ඇය කළ මෙහෙය වෙනුවෙන් කැනඩාව විසින් ලබා දී තිබූ ගෞරවනීය පුරවැසිභාවය 2018 ඔක්තෝබර් 2 වන දින ඉවත් කරන ලදී. ඒ ඇයගේ පාලන කාලයේදී රෝහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සිදුවූ වෙනස්කම්වලට එරෙහිව නැගී නොසිටීම සහ රොහින්ග්‍යා ප්‍රජාවට සිදුවූ වෙනස් කොට සැලකීම් හෙළි කළ රොයිටර් මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කිරීම යන චෝදනාව මතය.

(ඡායාරූප – අන්තර්ජාලයෙනි)
Previous articleශක්තික සත්කුමාර නිදොස් කොට නිදහස් : කෙටිකතාවෙන් ආගමික අපහාසයක් නෑ !
Next articleඋපන් බිමේ ඡන්ද අයිතිය අහිමි වූ මන්නාරම් වැසියෝ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here