වව්නියාව ගම සමග පිළිසඳර – අද සැලසුම මෙන්න !

(තරිඳු ජයවර්ධන)
ඡායාරූප – තරිඳු ජයවර්ධන, ඉෂාරා මධුවන්ති සහ සිතුම් චතුරංග
ජනාධිපතිවරයාගේ ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහන අද (03) පෙරවරුවේ වව්නියාව, බෝගස්වැව නව ගම්මානයේදී පැවැත්වීමට නියමිත ය.
වසර ගණනාවක් අත්හැර දැමූ ගමක් ලෙස පැවැති බෝගස්වැවේ කැඩුණු පාරවලට පැලැස්තර දැමීම මේ වැඩසටහන නිසා ඊයේ (03) මධ්‍යම රාත්‍රිය වනතුරුත් සිදු කරනු දක්නට ලැබිණි. ජනපති පැමිණෙන බෝගස්වැව පාසල ලහි ලහියේ පිළිසකර කරනු ලැබුවේ පාසල් සිසු-සිසුවියන්ගේ ද උදව් ඇතිව ය.
පිළිසඳරට පෙර
එසේම ගම සමඟ පිළිසඳරකට එන ජනපතිවරයාට තමන් වසර ගණනක් තිස්සේ මුහුණ දෙන ගැටළු කියන්නටවත් ගම්මාවාසීන්ට අද උදෑසන වනතුරුත් අවස්ථාව ලැබී තිබුණේ නැත. ඊට හේතුව තෝරාගත් කිහිප දෙනකුට පමණක් කලින් සකස් කරන ලද ප්‍රශ්නාවලියක් දී ඇති නිසා බව ගම්වාසීහු චෝදනා කරති.
ගමේ ජනතා ප්‍රශ්න සහ යථාර්ථය වෙනුවට ‘සීමා නිර්ණය හේතුවෙන් කොටස්වලට වෙන්ව තිබෙන බෝගස්වැව ඇතුළු ගම්මාන වව්නියාව දිස්ත්‍රික් ලේකම්ගේ පරිපාලනයට බාරදෙන්න.’ වැනි සිංහල දේශපාලනඥයන්ට වාසි වන දේශපාලන ඉල්ලීම් අද වැඩසටහනේදී ජනපතිගෙන් ඉල්ලා සිටියහොත් පුදුම විය යුතු නැත.
‘වසර ගණනක් තිස්සේ පදිංචිව සිටින තමන්ට මහවැලිය යටතේ හෝ ඔප්පු ලබාදෙන්න.’, ‘රැකියා නැති අයට කැලෑ කපා කර්මාන්ත ශාලා ඉදි කර දෙන්න.’, ‘වන අලි ගැටලුවට සහ ජල ගැටලුවට විසඳුම් දෙන්න.’, ‘වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඉඩම් කුඹුරු සඳහා ලබාදෙන්න.’, ‘හමුදාව යොදවා වැව් අටක් කපා දෙන්න.’, ‘සිසුන් 850ක් පමණ සිටින බෝගස්වැව විදුහල ජාතික පාසලක් කර දෙන්න’, ‘බෝගස්වැව රෝහල නේවාසික පහසුකම් සහිතව ආරම්භ කරන්න.’ යන ඉල්ලීම් ගම සමඟ පිළිසඳරේදී ජනතා ඉල්ලීම් ලෙසින් මතුවීමට නියමිත බව වාර්තා වේ.
මුදල් නැතැයි කියමින් සංවර්ධනය නොකළ බෝගස්වැව පාසලේ ඉන්ටර්බ්ලොක් අතුරා සකස් කිරීම, කිලෝමීටර් 40ක් පමණ දුරැති බෝගස්වැව මාර්ගයේ අලි නාවන වලවල් දින තුනක් ඇතුළත පුරවා සකස් කිරීම ගැන ජනතාව ජනපතිට ස්තූති කිරීමට ද නියමිත ය.

වව්නියාව දිස්ත්‍රික්කයෙන් මුලතිව් රක්ෂිතයට සම්බන්ධ වන්නට තිබූ කැලෑව රක්ෂිතයක් බවට පත් කරනු ලැබුවේ එකදාස් නවසිය තිස් ගණන්වල මුල භාගයේ ය. තිස් වසරකට ආසන්න කාලයක් පැවැති යුදමය වාතාවරණය නිසා උතුරු පළාතේ කැලෑ පෙදෙස් ආරක්ෂිත වී තිබුණත් යුද්ධයෙන් පසු කැලෑ රැකීමට යුද්දයක් කරන්නට වන තැනට තල්ලු විය. ඒ නැවත පදිංචි කිරීම් සඳහා සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහා උතුරේ වනාන්තර මහා පරිමාණයෙන් කපන්නට පටන් ගැනීමත් සමඟය.
2009 වසරේ දී බෝගස්වැව තත්ත්වය
2009 වසරේ දී යුද්ධය අවසන් වීමත් සමඟ ‘උතුරු වසන්තය’ නමින් ව්‍යාපෘතියක් ආරම්භ විය. එම ව්‍යාපෘතිය අනුව උතුරේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ වූ අතර, ඊට සමගාමීව කැලෑ හෙළි කිරීමද ආරම්භ විය. ඇතැම් ව්‍යාපෘති සඳහා වනාන්තර හෙළිපෙහළි කළේ නියමිත අවසරයකින් පවා තොරවය. ‘වව්නියාව දිස්ත්‍රික්කයේ කැලෑ එළිපෙහළි කරමින් ගම්මාන කිහිපයක් ද ඉදිකළේය. ඒ් 2010 සහ 2014 අතරතුරදී ය. නන්දිමිත්‍රගම, සැලළිහිනිගම, නාමල්ගම, බෝගස්වැව 01 සහ බෝගස්වැව 02 එම ගම්මාන පහ ය. මෙම ගම්මාන අතරින් නන්දිමිත්‍රගමට හොඳ නිවාස ඉදි කර දුන් අතර, අනෙකුත් ගම්මානවලට එලෙස නිවාස ඉදි කර දුන්නේ නැත. ලංකාවේ විවිධ ප්‍රදේශවල පදිංචිව සිටි එවකට ආණ්ඩුවේ ආධාරකරුවෝ රැසකට අදාළ ප්‍රදේශවල ඉඩම් ලබා දෙන ලදි. ඊට එකම කොන්දේසිය වූයේ තවකාලිකව හෝ පදිංචිව සිටිය යුතුය යන්න පමණි. ඒ අනුව විවිධ ප්‍රදේශවල සිට පැමිණි පිරිස් වෙත රූස්ස ගස් කපා දමා කැලෑ හෙළි පෙහෙළි කොට ඉඩම් කට්ටි කර ලබා දුන්නේය. ඉඩම් කට්ටියක් ලබා ගැනීමට ඔවුන්ට ඕනෑ විය යුතු එකම සුදුසුකම වූයේ ඒ වන විට සිටි ප්‍රදේශයේ ඡන්ද හිමි නාමලේඛනයෙන් නම ඉවත් කර ගැනීම පමණි. ඡන්ද හිමි නාමලේඛනයෙන් නම ඉවත් කර ගන්නා ඕනෑම කෙනකුට වව්නියාවේ බෝගස්වැව ඇතුළු ප්‍රදේශවලින් ඉඩම් දීමට එවකට පැවති රජය කටයුතු කළේය. වරක් මාධ්‍යවේදීන් පිරිසක් උතුරේ සංචාරයකට කැඳවාගෙන ගිය අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍යවේදීන්ට ද එම යෝජනාව කර තිබිණි.
2011 වසරේ මේ ගම්මාන පිහිටුවා ජනතාව පදිංචි කිරීම ආරම්භ කළේය. ඒ වන විට වව්නියාව දිසාපතිව සිටි බන්දුල හරිස්චන්ද්‍ර මහතාට ඉහළින් මෙම ව්‍යාපෘති බාරව කටයුතු කළේ යුද හමුදා ප්‍රධානීන් පිරිසකි. ඒ අතර මේජර් ජනරාල් බොනිෆස් පෙරේරා මුලින්ම සිටියේය. රක්ෂිතය විනාස වනු බලා සිටිය නොහැකි තැන වන සංරක්ෂණ නිලධාරීන් තීරණයක් ගත්තේය. ඒ ගම්වාසීන්ගේ ආරක්ෂාවට බව කියමින් අලි වැටක් ඉදි කිරීමය. අලි වැට ඉදි කිරීමේ සැබෑ අරමුණ වූයේ ගම්මුන් ආරක්ෂා කිරීම නොව රක්ෂිතය ආරක්ෂා කිරීමය. කැලෑව තවදුරටත් විනාශ වීම මදක් හෝ අඩු වූයේ ඒ අලි වැටේ සීමාව නිසාය. කැලෑ වනසමින් ගම්මානය ඉදි කිරීම ගැන වාර්තා කළ මාධ්‍යවේදීන් හමුදා කඳවුරුවලට ගෙන්වා ප්‍රශ්න කර තිබිණි.
වනාන්තර එළිකර සකස් කළ ගම
මෙලෙස නන්දිමිත්‍රගම ඓතිහාසික ස්ථානවලින් සමන්විත වූ ප්‍රදේශයක් බව ගම්වාසීහු කියති. එම ඓතිහාසික දෑ, ගම්මාන ඉදි කරද්දී විනාශ කළ බවට ඔවුහු චෝදනා කරති. යුද්ධයට පෙර නන්දිමිත්‍රගම පවුල් කිහිපයක් පදිංචිව සිටියහ. නමුත් බෝගස්වැව එසේ නැත.
වව්නියාව නගරයේ සිට ත්‍රිකුණාමලය පාරේ කිලෝමීටර දෙක හමාරක් ගොස් මාමඩුව හංදියෙන් වමට හැරී (903/1 බස් මාර්ගය) කිලෝමීටර 40ක් පමණ ගිය විට බෝගස්වැව ගම්මානය හමුවෙයි. උතුරු පළාතේ වව්නියාව දිස්ත්‍රික්කයේ වව්නියාව දකුණ (සිංහල) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ පාලනය යටතේ ඇති බෝගස්වැව ගම්මානය අයත් වන්නේ සී213සී පිරප්පම්මඩුව්‍ ග්‍රාම සේවා වසමටය.
රාජපක්ෂ රජය සමයේ 2011 සිට බෝගස්වැව ඉඩම් දෙද්දි ඔප්පු ළඟදීම දෙන බව කීවද 2015 ජනවාරියේ ආණ්ඩු පෙරළෙද්දීවත් ඔප්පු ලබා දීමට නොහැකි විය. ඊට හේතුව අදාළ ඉඩම් රක්ෂිතයෙන් මුදා හැර නොතිබුණු නිසාය.
බෝගස්වැව මාර්ගයේ තත්ත්වය 2016 දී
2015 වන විට බෝගස්වැව මාර්ගයේ ලංගම බස් රථ දෙකක් හා පෞද්ගලික බස් රථයක් ධාවනය වුවද මාර්ගයේ අබලන් තත්ත්වය නිසා ඇතැම් දිනවල ගමන් ගත්තේ එක් බස්රථයක් පමණි. බෝගස්වැවට යෑමට ඇති කිලෝමීටර 40 ක පමණ මාර්ගයේ සෑම අඩියක් පාසාම ඒ් දිනවල වළවල් හැරී තිබුණු අතර පාරට තාර හෝ කොන්ක්‍රීට් අතුරා තිබුණේ නැත. ගමේ ගෙවල් පහ හයක් හැර ඉතිරි සෑම නිවසක්ම කටු මැටි ගෙවල් විය. ඔවුනට තිබූ එකම පහසුකම විදුලි බලය පමණි. කටු මැටි ගෙවල් රැසකට විදුලිය ලැබී තිබිණි.
2016 වසරේදී ජනමාධ්‍ය කළ අනාවරණයෙන් පසු නිවාස සෑදීම ආරම්භ කරමින්
2012 දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමෙන් තමන්ට ඉඩම් ලැබුණු බවත්, නිවසක් සාදා ගැනීමට තහඩු 12ක් ලැබුණු බවත් බෝගස්වැව ගොවි සංවිධානයේ ලේකම් අර් පී අයිරාංගනී (53) මහත්මිය 2015 වසරේ දී කීවාය.
‘අපේ මහින්ද මහත්තයාගේ කාලේ නාමල් රාජපක්ෂ මහත්තයා මැදිහත් වෙලා අපට ඉඩම් දුන්නා. පවුල් 2600කට පමණ ඉඩම් ලැබුණා. තහඩු 12ක් ලැබුණා. අපි මැටි ගසා ගෙවල් හදා ගත්තා. මාස හයක් පමණ යන තුරු වියළි සලාකයක් ලැබුණා. ඉන් පසු එය නැවතුනා. ගොඩින් අක්කරයයි මඩින් අක්කරයයි දෙනවා කියලයි ඒ කාලේ නිලධාරීන් කිව්වේ. නමුත් තවම මඩ ඉඩම් අක්කරය ලැබුණේ නෑ. උතුරු වසන්තය යටතේ අපට විදුලිය ලැබුණා. ගමේ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට ජීවත් වෙන්න රස්සා නැති එක. කුඹුරු කරන්න මඩ ඉඩම් දුන්නෙත් නෑ. සමහර වෙලාවට වැස්ස නිසා වගා පාළු වෙනවා. නැත්නම් අවුව නිසා පාළු වෙනවා. ගල්, සිමෙන්ති වලින් ගෙවල් හදා දෙනවා කිව්වට තවම ලැබුණේ නෑ. මුල් කාලයේ වගා පාළු වුණාම ගානක් දුන්නත්, කාලෙකින් එය ලැබුණේ නෑ. සමෘද්ධි සහනාධාර ලැබුණෙත් නෑ. මෙහෙට පානීය ජලය නෑ. එයත් ලොකු ප්‍රශ්නයක්. ගෙවල් 26කට පමණ එක් නළ ළිඳක් තියෙනවා. ඒ වතුරත් බීමට ඒ තරම් හොඳ නෑ. ජල ප්‍රශ්නය උග්‍රයි. ‘‘ යයි ද අයිරාංගනී මහත්මිය 2015 දී පැවසුවාය.
කළින් සිටි ප්‍රදේශයේ ඡන්ද නාමලේඛණයෙන් නම ඉවත් කළ ගමන් බෝගස්වැවෙන් ඉඩම් දුන්නද ගම්වැසියන්ට ඔප්පු පිරි නැමීමේ වැඩ පිළිවෙළක් සකස් නොකළ බව ගම්වැසියකු මෙන්ම ලේඛකයකු ද වන අරුණ සංජීව මහතා (40) 2016 වසරේදී කීවේය. 2006 දී ඩී ආර් විජයවර්ධන සම්මාන උළෙලේ කුසලතා සම්මානයක් දිනූ ඉන්ද්‍රචාපා නවකතාව අරුණ මහතාගේ කෘතියකි.
‘‘මෙහේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මිනිස්සුන්ට තිබෙන ආදරේට ඉඩම් දුන්නා කියලයි. යුද්දෙන් පස්සේ මායිම් ගම්මාන නැති කරන්නයි මෙහේ ගම්මාන හදලා මිනිසුන් පදිංචි කළේ. කළින් සිටි ප්‍රදේශයේ ඡන්ද නාමලේඛණයෙන් නම අයින් කරගත් ගමන් මෙහේ ඉඩම් දුන්නත් තවම ඉඩම් ඔප්පු ලබා දී නැහැ. ගමේ ගෙවල් රැසකට හරියට වැසිකිළියක්වත් නෑ. වැසිකිළි ආධාර දුන්නේ හිතවතුන්ට. ගමේ තිබෙන දුෂ්කරතාව නිසා සමහරු ඉඩම් අතහැරලා යනවා. වහින කාලෙට මෙහේ පාරවල් වල යන්නත් බෑ. පායන කාලෙට යන්නත් බෑ. වහිද්දි මඩ ගොහොරුවක් වෙනවා පාරවල්. පායද්දී දූවිලි. ගමේ පාසලේ රජයේ ගුරු පත්වීම් ලැබු අය ඉන්නේ කිහිප දෙනයි. අතිරි පිරිස ස්වේච්ඡා. ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැනත් ගැටළු තිබෙනවා. රෝහලේ නේවාසික පහසුකම් නෑ. රෑට වෛද්‍යවරයෙක් නෑ. පාරත් හොඳටම සවුත්තුයි. හදිසියේ අසනීපයක් වුණොත් වව්නියාවට ගෙනියන්න වෙනවා. ඒ පාරේ ගෙනියද්දි ලෙඩා මැරෙනවා.‘‘ යි අරුණ සංජීව මහතා 2016 වසරේදී කීවේය.
රුපියල් දෙකෝටි පනස් තුන් ලක්ෂ හැට තුන් දහස් පන්සිය පහක වියදමින් ඉදි කළ බෝගස්වැව රෝහලට ප්‍රතිකාර සඳහා දිනකට රෝගීහු 150ක් පමණ යති. එනමුත් එහි සිටිනුයේ එක් වෛද්‍යවරයෙක්, සාත්තු සේවිකාවන් කිහිප දෙනකු හා ස්වේච්ඡා සේවකයන් කිහිප දෙනකු පමණි. දිනකට ප්‍රතිකාර ලැබීමට එන රෝගීන් ප්‍රමාණය අනුව අඩු තරමේ වෛද්‍යවරුන් තිදෙනකු, හෙද නිලධාරීන් හය දෙනකු, ඖෂධවේදීන් තිදෙනකු හා සාත්තු සේවකයන් හය දෙනකුවත් සිටිය යුතුය.
පිළිසඳරට පෙර දැමූ පැලැස්තර
ගමේ පාසල බෝගස්වැව මහා විද්‍යාලයයි. 2016 වන විට ළමයින් 500කට අධික පිරිසක් සිටියත් එහි රජයේ පත්වීම් ලැබූ ගුරුවරු සිටියේ විදුහල්පතිද සමග හතර දෙනකු පමණි. සරත් බණ්ඩාර, සචින්ත ද සිල්වා, ඩී එම් මද්දුමබණ්ඩාර සහ රජිතා චිත්‍රලතා ඔවුහු වූහ. පාසලේ ගොඩනැගිලි පහසුකම් ප්‍රමාණවත් නොවීය. එනිසා වැඩි පිරික් ඉගෙනුම ලැබුවේ ටකරං මඩුවලය.
ගමේ ප්‍රශ්න ගැන 2016 වසරේදී ජනමාධ්‍ය වාර්තා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස යළිත් වරක් සංවර්ධන කටයුතු ආරම්භ කළේය. එය ද මාස කිහිපයක ඇවෑමෙන් නතර විය. ඒ ගැන ගමේ පාසල් සිසුවකුගේ ඉල්ලීමට අනුව ජනමාධ්‍ය වාර්තා කරද්දී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය ගම වෙත යොමු විය. සිරිසේන මහතා ගමට එද්දීද මේ ආකාරයෙන්ම කඩිමුඩියේ කැඩුණු පාරවස් කසක් කරමින් පැලැස්තර විසඳුම් ගෙන ආවත් සිරිසේන මහතා ගමට පැමිණ මාස කිහිපයක් යද්දි පැලැස්තර කැඩී යළිත් පරණ තත්ත්වයටම පත්විය. ගමේ ගැටලුවලට ස්ථිර විසඳුම් ලැබුණේ නැත.
බෝගස්වැවට සාධාරණයක් ඉටු කරන්නේ නම් එය කළ යුතු වන්නේ ක්‍රමවේදයන් දෙකෙක් යටතේ ය. එකක් නම් වන රක්ෂිතය කපා විනාශ කළ හා අනවසරයෙන් ජනතාව පදිංචිකළ දේශපාලකයන්ට හා නිලධාරීන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමය. දෙවැන්න දේශපාලකයන්ගේ වරදට සාමාන්‍ය ජනතාව පළි නැති නිසා අනවසරයෙන් හෝ එහි පදිංචිකළවුන්ට අවශ්‍ය පහසුකම් දී ඔවුන් නගා සිටුවිය යුතුය. ඔවුන් නඟා සිටිවීමට බව කියමින් තවදුරටත් වනාන්තර හෙළි කිරීමට ගැටලුවට ස්ථිර විසඳුම නොවන බව ප්‍රදේශවාසීහුම පවසති.
බෝගස්වැව ඇතුළු ගම්මාන හදන්නට පෙර (2009) දී
බෝගස්වැව (2020)
බෝගස්වැව ඇතුළු ගම්මාන ඉදි කරන්නට පෙර (2009)
බෝලස්වැව ඇතුළු ගම්මාන ඉදි කළ පසු (2020)
2009 දී
2020 දී
2009 දී
2020 දී
බෝගස්වැව අත්හැර දැමූ නිවසක්
බෝගස්වැව සංවර්ධනය
බෝගස්වැව පාරවල් 2016 දී
හදිසියේ ඉදි කරන කානු
පිළිසඳරට පෙර දමන පැලැස්තර

Previous articleලංකාවේ ආරාධනයෙන් බිම්ස්ටෙක් රැස්වීමට ආ මියන්මාර මිලිටරි ජුන්ටාව
Next articleචීනය මැදිහත්වී මිනීමරු මියන්මාර් ජුන්ටාව බේරා ගත්හැටි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here