අසාත් සාලි නිදොස් කොට නිදහස් – වන්දි ගෙවන්නත් නීතිපති එකඟයි !

ජාතීන් අතර අසමඟිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත යටතේ අධිචෝදනා ලබා සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (02) නියෝග කළේය.
චූදිත අසාත් සාලි ආගමික කණ්ඩායම් සහ ජාතීන් අතර වෛරී සහ එදිරිවාදී හැඟීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි චෝදනා එල්ල කර තිබුණද, ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පරීක්ෂා කිරීමේදී එවැනි හැඟීමක් ඇතිවන ආකාරයක් දක්නට නොලැබෙන බව තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
අසාත් සාලි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු රූපවාහිනී නාලිකාව තත්පර 32ක් ද, දෙරණ රූපවාහිනී නාලිකාව මිනිත්තු 01යි තත්පර 36ක් ද විකාශය කර ඇති බවත්, එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවේ දී චූදිත කළ අදහස් දැක්වීම් සහ සංස්කරණය කළ කොටස් දෙක විශ්ලේෂණය කළ බවත්, කොවිඩ් තත්ත්වය යටතේ විද්‍යාත්මක පදනමකින් තොරව දේහයන් ආදාහනය කිරීමට ගත් තීරණය ගැන චූදිත තමන්ගේ අදහස් දක්වා ඇති බවත් තීන්දුවේ සඳහන් වෙයි.
තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ගැන විවේචනය කිරීම, ත්‍රස්තවාදයට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීම, එදිරිවාදිකම්වලින් තොරව හැම කෙනෙකුම එකතු විය යුතු බව ආදිය සම්බන්ධයෙන් ද එම මාධ්‍ය සාකච්ඡාවේදී චූදිත අසාත් සාලි අදහස් දක්වා ඇති බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
මුස්ලිම් පෞද්ගලික නීතිය සහ අනෙකුත් නීති සම්බන්ධයෙන් ද ඔහු සාකච්ඡා කර තිබෙන බවත්, පැමිණිලිකරුවන් සඳහන් කළ ආකාරයට මාධ්‍ය සාකච්ඡාව තුළින් එදිරිවාදී හැඟීම් ඇතිවෙනවාදැයි අධිකරණය සලකා බැලූ බවත්, මුස්ලිම් පෞද්ගලික නීතිය ව්‍යවස්ථාදායකයෙන් ඉදිරිපත් කර ඇති දැනටත් ක්‍රියාත්මක වන නීතියක් බවත්, එය ස්වේච්ඡාවෙන් සංශෝධනය කිරීමට චූදිත විරුද්ධත්වය දක්වා ඇති බවත් සඳහන් කරන මහාධිකරණය, ආගම් හෝ ජාතීන් අතර වෛරී හා එදිරිවාදී හැඟීම් ඇති වන කිසිවක් එම මාධ්‍ය හමුවේදී චූදිත ප්‍රකාශ කර නැති බව හැඟී යන බවත් සඳහන් කළේය.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයි.සී.සී.පී.ආර්) යටතේ කොළඹ මහාධිකරණ අංක 02හි 2778/21 යටතේ චූදිත අසාත් සාලිට එල්ල කර ඇති චෝදනා දෙකෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය නියෝග කළේය.
එම නියෝගයෙන් පසු අධිකරණය ඇමතූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විශේෂ ඉල්ලීමක් කරමින් මෙම බොරු පැමිණිල්ල නිසා චූදිතට වූ අගතිය සලකා බලා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17.2 වැනි වගන්තිය යටතේ වන්දියක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.
ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වසන්ත පෙරේරාගෙන් මහාධිකරණ විනිසුරුවරයා කරුණු විමසා සිටි අතර, 17.2 යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන්ට විරෝධයක් නැතත් පැමිණිලිකරුවන් ගෙන්වා ඔවුන්ගෙන් විමසීමක් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අසාත් සාලිට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ තිදෙනාට ලබන පෙබරවාරි 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.
අසාත් සාලිට එරෙහිව පැමිණිලි කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන මහත්වරුන් ය. ඔවුන් මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු, දෙවැනි සහ තෙවැනි සාක්කිකරුවෝ වූහ.
2021 මාර්තු 16 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අසාත් සාලි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටියේය.
(ඡායාරූප අසාත් සාලි මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.)

සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින් සැකකරු හිර කරලා !

මාධ්‍ය සාකච්ඡාවේ කළ ප්‍රකාශයට අසාත් සාලිට නඩු

අසාත් සාලිගේ විමර්ශනයක් අවසන් : ඉදිරි ක්‍රියාමාර්ග සතියක් තුළ – නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleපුදුකුඩුඉරිප්පු රත්‍රන් සිද්ධිය : පොලිස් ඇමතිගේ ලේකම් ඉඩම් කොල්ලයකටත් එස්ටීඑෆ් යොදාගෙන !
Next article‘විශ්වලිංගම් කටු කම්බි ඔතපු තල් පිත්ත අරන් ආවෙ ගෙදරින් ද?’ – හමුදාවේ ප්‍රකාශය ගැන මාධ්‍යවේදීහු විමසති !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here