පුදුකුඩුඉරිප්පු රත්‍රන් සිද්ධිය : පොලිස් ඇමතිගේ ලේකම් ඉඩම් කොල්ලයකටත් එස්ටීඑෆ් යොදාගෙන !

(තරිඳු ජයවර්ධන)
යුද සමයේ එල්ටීටීඊ සංවිධානයෙන් වළ දැමූ බව කියන රත්‍රන් නීතිවිරෝධීව ගොඩගැනීම සඳහා නීතිය හා සාමය අමාත්‍ය සරත් වීරසේකරගේ සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල නිලධාරීන් දෙදෙනකු පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයට ගිය බවට වූ පුවතක් ‘අරුණ’ පුවත්පත ඇතුළු මාධ්‍ය කිහිපයක් අද (01) වාර්තා කළේය.
ඒ සම්බන්ධයෙන් MediaLK.com වෙබ්අඩවිය කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ එම සිදුවීමට සම්බන්ධ නීතිය හා සාමය අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකු බව කියන පුද්ගලයාට එරෙහිව වෙනත් සිද්ධියක් සම්බන්ධයෙන් ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවක ද පැමිණිල්ලක් කර ඇති බවයි.
එම කාන්තාව පසුගිය 29 වැනිදා මෙම නිලධාරියාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට ද පැමිණිල්ලක් ලිඛිත ව යොමුකර තිබේ.
මෙම පැමිණිලිකාරියගේ සැමියාට අයත් ඉඩමක් දිවුලපිටිය, උල්වල්පොල, සියඹලාගහවත්තේ ඇති බවත්, එම ඉඩමට ව්‍යාජ ඔප්පු සකස් කිරීමක් ගැන මීගමුව විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිලි කර ඇති බවත්, නීතිය හා සාමය අමාත්‍යවරයාගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ පැමිණ ඉඩම බලහත්කාරයෙන් මැනීමට උත්සාහ කළ බවත් එම කාන්තාව යොමු කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. මේ සම්බන්ධයෙන් දිවුලපිටිය පොලිසිය ද දැනුම්වත් කළ බවත්, පොලිසියේ සහ ඇමැතිවරයාගේ මැදිහත්වීම මත එම කටයුත්ත ව්‍යර්ථ වූ බවත් එම පැමිණිල්ලේ සඳහන් වෙයි.
මේ සම්බන්ධයෙන් MediaLK එම ඉඩම හිමි කාන්තාවගේ සමීපතමයකුගෙන් තොරතුරු විමසා සිටි අතර, ඔහු මෙසේ ප්‍රකාශ කළේය.
‘පැමිණිල්ල කරපු කාන්තාවගේ ස්වාමිපුරුෂයාට එයාගෙ පුංචි අම්මාගෙන් මේ ඉඩම ලැබිලා තියෙන්නේ. මේ ඉඩමේ අවුරුදු 40ක විතර කල් ඉඳන් කෙනෙක් නැවතිලා ඉන්නවා. එයාගේ දරුවනුත් ඒ ළඟයි ඉන්නේ. මෙහෙම තියෙද්දි වෙනත් පිරිසක් මේ ඉඩමට හොර ඔප්පු හදලා බිම්සවිය සහතික පත්‍රයක් ලබාගෙන තිබෙනවා කියලා දැනගන්න ලැබුණා. පත්ඉරුවත් බලන්නේ නැතුව ඉඩම් රෙජිස්ට්‍රාර් එකේ නිලධාරියකුත් සම්බන්ධ වෙලයි මේක කරලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් කාන්තාවගේ සැමියා 2019 මාර්තු 10 වැනිදා මීගමුව විශේෂ අපරාධ විමර්ශන ඒකකයට එස්.සී.අයි.බී. 01 153/293 අංකයෙන් පැමිණිල්ලක් කළා.
ඒ පැමිණිල්ලෙ විමර්ශන යද්දි අනෙක් පැත්තෙ කට්ටිය මේ පවුලේ අයට පොලිසියෙ ඥාතීන් ඉන්නවා කියලා පොලිස් කොමිසමට පැමිණිලි කරලා තිබුණා. ඥාතීන් ඉන්න එක ඇත්ත. ඒත් සිද්ධිය ගැන විමර්ශනය කරන්න ඒක බාධාවක් නෙමෙයි. මේ පවුලේ සීයාගෙ සොහොනත් ඉඩමේ තිබුණා. හොර ඔප්පු හදාගත්තු පිරිස ඒ සොහොනත් කඩලා. ඒ ගැනත් පවුලේ පිරිස දිවුලපිටිය පොලිසියට පැමිණිල්ලක් කළා.
මේ අතරේ 2021 ජුනි මාසේ 13 වැනිදා නීතිය හා මහජන සාමය ඇමති සරත් වීරසේකර මහත්මයාගේ ලේකම්වරයෙක් ඇතුළු පිරිසක් ඇවිත් ඉඩම මනින්න ලෑස්ති වුණා. වත්තේ නැවතිලා හිටපු පිරිස මේ ඉඩමේ හිමිකරුගේ බිරිඳට කතා කරලා කිව්වම ඇය එතැන්ට ආවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසකුත් ඉඩමට එහායින් හිටියා. මේ පුද්ගලයා දිගින් දිගටම ඉඩම මනින්න ඉල්ලුවත් කාන්තාව ඉඩදුන්නේ නෑ. කාන්තාව මේ සම්බන්ධයෙන් නීතිය හා මහජන සාමය ඇමැතිවරයාට දැනුම් දුන්නා. මේ පිරිස ඇමැතිට කියලා තිබුණේ පාතාලයේ පිරිසක් ඉඩම මනින්න නොදෙන බව. ඇමැති ඒ ගැන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කෙනකුටත් දැනුම් දීලා තිබුණා. පසුව කොහොම හරි ඇමැතිගේ මැදිහත්වීමෙන් ඉඩම මනින එක නතර කළා.
ඉන්පසුව දිගටම වත්තේ නැවතිලා හිටපු අයට තර්ජන ආවා. ඔවුන් ඒ ගැන පොලිසියට පැමිණිලි කළා. නමුත් කිසිම විමර්ශනයක් වුණේ නෑ.
එස්ටීඑෆ් එක අවස්ථා දෙකකදි ඒ නිවසට ඇවිත් තර්ජනය කරලා තිබුණා. නොවැම්බර් 11 ඇවිත් කුඩු දානවා සහ වෙනත් දේවල් කියලා තර්ජනය කරලා තිබුණා. මේ සම්බන්ධයෙන් ඔවුන් දිවුලපිටිය පොලිසියට පැමිණිල්ලක් කළා. නැවත වරක් පසුගිය (නොවැම්බර්) 28 වැනිදාත් පොලිස් විශේෂ කාර්ය බලකාය ඇවිත් තර්ජනය කරලා තිබුණා. මේ සිදුවීම්වල නිමාවක් නැති නිසා පසුගිය 29 වැනිදා අදාළ කාන්තාව නීතිය හා මහජන සාමය අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිත පැමිණිල්ලක් යොමු කළා.’
නොවැම්බර් 27 වැනිදා ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පැමිණ එම ඉඩමේ නිවස සෝදිසි කර ඇති බවත්, ඊට අදාළ ව සීසීටීවී දර්ශනද තිබෙන බවත් එම කාන්තාව යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඇමැතිවරයාගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිටින නමුත්, ඇමැතිවරයාගේ කාර්ය මණ්ඩලයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව ලබා දිය නොහැකි බැවින් මේ සම්බන්ධයෙන් MediaLK කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ තමන්ට මෙම සිදුවීම ගැන තොරතුරු ලැබී නැති බවයි. සවස 7.30 වන විට මේ ගැන තොරතුරු සොයා බලා දැනුම් දිය හැකි බව ඔහු ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් රාත්‍රී 7.30 සිට රාත්‍රී 8.00 දක්වා අවස්ථා කිහිපයකදී ඇමතුම් ලබාගත්තත්, මාධ්‍ය ප්‍රකාශකවරයා දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. රාත්‍රී 8.10ට යළි ඇමතුමක් ගත් විට ඔහුගේ දුරකතනය ක්‍රියා විරහිත කර තිබිණි.
මේ සම්බන්ධයෙන් වෙනත් උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාවක් ලබා දිය නොහැකි බවයි.   මෙලෙස එම නිලධාරියා සමඟ ගොස් ඇත්තේ ඇමැතිවරයාගේ ආරක්ෂාවට සිටින පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විය හැකි බවත්, ඇමැතිවරයාගේ ආරක්ෂකයන් මෙවැනි නීතිවිරෝධී කාර්යයන්ට යොමුකිරීම බරපතළ වරදක් බවත් එම නිලධාරියා ප්‍රකාශ කළේය. නිලධාරීන්ට එවැනි නීතිවිරෝධී කටයුත්තකට උපදෙස් දීමට පෞද්ගලික කාර්ය මණ්ඩලයට හැකියාවක් නැති බවත්, එවැනි උපදෙස් පිළිපැදීමට පොලිස් නිලධාරීන් බැඳී නැති බවත් ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිය හා මහජන සාමය අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් MediaLK කළ විමසීමේදී එම නිලධාරීන් අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් බවට නැඟෙන චෝදනාව ඒ මහතා ප්‍රතික්ෂේප කළේය.
ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකු බව කියන මෙම පුද්ගලයා පුදුකුඩුඉරිප්පු පොලිස් වසමේ නීතිවිරෝධී ලෙස රන් භාණ්ඩ සහ යුද උපකරණ හෑරීමක් සම්බන්ධයෙන් ද පොලිසියෙන් ම චෝදනා ලබා ඇති පුද්ගලයෙකි. ඒ සම්බන්ධයෙන් මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා 2021 නොවැම්බර් මස 30 වැනිදා එස්එස්පී/එම්එල්/ඔ්.ඩබ්ලිව්/17167/2021 දරන අංකයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ වැඩ බලන, නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර මහතාට වාර්තාවක් ද යොමු කර තිබේ.
එම පොලිස් වාර්තාවට අනුව සිදුවීම මෙසේ ය.
පුදුකුඩුඉරිප්පු පොලිස් වසමේ එල්ටීටීඊ සංවිධානය විසින් වළ දැමූ රත්‍රන් සහ යුද උපකරණ ඇති බවට මුලතිව් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත ලද තොරතුරකට අනුව 2021 ඔක්තෝබර් 10 වැනදා ඒ්/ආර්/ 754/2021 අංකයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඉන් අනතුරුව එම ස්ථානයේ කැණීම් කළ ද කිසිවක් හමුවී නැත. එසේ තිබියදී නීතිවිරෝධී ලෙස රන් භාණ්ඩ සහ යුද උපකරණ කැණීම් කිරීමට පැමිණි පුද්ගලයන් කිහිපදෙනකු ස්කෑන් යන්ත්‍රයක් ද සමඟ අත්අඩංගුවට ගැනීමට පුදුකුඩුඉරිප්පු පොලිසිය කටයුතු කර තිබේ.
අදාළ ස්ථානයේ රත්‍රන් සහ අවි ආයුධ ඇද්ද යන්න ගැන පරීක්ෂා කිරීම සඳහා පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ඒ/ආර්/853/2021 අංකයෙන් කරුණු වාර්තා කර, අධිකරණයේ අවසරය ලබාගෙන තිබෙන අතර, එම කැණීම් සිදුකිරීමට නියමිතව තිබී ඇත්තේ පසුගිය නොවැම්බර් 25 වැනිදා ය.
පුදුකුඩුඉරිප්පු පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු ලැබ ගොස් පසුගිය නොවැම්බර් 19 වැනිදා නව ස්ථානාධිපතිවරයකු පැමිණ ඇති අතර, ඔහු උසස් පොලිස් නිලධාරීන්ට ප්‍රකාශ කර ඇති අන්දමට නොවැම්බර් 23 වැනිදා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ මාධ්‍ය ලේකම්වරයකු යැයි කියන පුද්ගලයකු සහ නීතිය හා මහජන සාමය අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු දුරකතන ඇමතුමක් ලබාදී එදින රාත්‍රී පැමිණෙන බව දැනුම් දී තිබේ. ඔවුන් 23 වැනිදා රාත්‍රී ස්ථානාධිපතිවරයාගේ නිල නිවසට ගොස් 25 වැනිදාට පෙර රත්‍රන් හා ආයුධ සොයා කැණීම් සිදුකිරීමට සහාය වන ලෙස ඉල්ලීම් කර ඇති බව පුදුකුඩුඉරිප්පු පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ යැයි මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයීය ආරංචි මාර්ග කියයි.
මේ සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන් දැනුම්වත් කර නැති බව ද දැනගන්නට තිබේ. ඔහු රාජකාරි පැහැර හැරියේද යන්න ගැන සොයා බැලීම සඳහා කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මුලතිව් සහකාර පොලිස් අධිකාරී ලසන්ත විතාරණ මහතා පත්කර ඇත.
අදාළ ස්ථානයේ කැණීම් කටයුතු දෙසැම්බර් 02 වැනිදා සිදු කිරීමට නියමිතව ඇති අතර, එම ස්ථානයට මේ වන විට පොලිස් ආරක්ෂාව ද යොදවා තිබේ.
මෙම චෝදනාවල බරපතළ බව සලකා කඩිනම් විමර්ශනයක් සිදුකරන්නේදැයි MediaLK නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් ජගත් අල්විස් මහතාගෙන් විමසීමක් කළේය. ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඇමැතිවරයා දැනුම් දී ඇති බවයි.
‘මේවා චෝදනා. තවම හරියට කරුණු කියන්න බෑ. විමර්ශනයෙන් පස්සෙ තමයි බලන්න වෙන්නේ. ඇමැතිවරයාම මේ ගැන විමර්ශනයක් සිදුකරන ලෙස දැනුම් දීලා තියෙනවා.’ යැයි අමාත්‍යංශ ලේකම් ජගත් අල්විස් මහතා ප්‍රකාශ කළේය.
දිවුලපිටියේ සිදුවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාදැයි MediaLK අමාත්‍යංශ ලේකම්වරයාගෙන් විමසා සිටි අතර, ඔහු ප්‍රකාශ කළේ විමර්ශන සිදු කරන්නේ මේ චෝදනා සියල්ලම සම්බන්ධයෙන් බවයි.
චෝදනාවල බරපතළ බව සලකා බලා අදාළ  සම්බන්ධීකරණ ලේකම්වරයා තනතුරින් ඉවත් කළ බව නීතිය හා සාමය අමාත්‍ය සරත් වීරසේකර මහතා MediaLK මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ප්‍රකාශ කළේය.
‘එහෙම චෝදනාවක් ඇවිත් තියෙනවා. තවම ඒවා චෝදනා පමණයි. කොහොම වුණත් චෝදනාවල බරපතළ බව නිසා ඔහු තනතුරින් ඉවත් කරලා ලියුමක් යැව්වා. මේ ගැන විමර්ශනය කිරීමට පොලිස්පතිට දැනුම්දෙන ලෙස අමාත්‍යංශ ලේකම්වරයාටත් දැනුම් දුන්නා. විමර්ශනයෙන් පස්සේ අපි බලමු මේවා ඇත්තද කියලා.’ යැයි ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
MediaLK – දිවුලපිටියේ ඉඩම් ප්‍රශ්නයක් ගැනත් ඔහුට චෝදනා එල්ල වෙලා තිබෙනවා නේද?
ඇමැති සරත් වීරසේකර – මේ සිදුවීම් දෙක ගැනම විමර්ශන සිදුකරන ලෙස දැනුම් දුන්නා.
MediaLK – දිවුලපිටියේ සිදුවීමට ඔහු ගොස් ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ බව දැක්වෙන සීසීටීවී වීඩියෝ ලැබී තිබෙනවා. මේ නිලධාරීන් ඔබේ ආරක්ෂාවට යෙදවූ නිලධාරීන් කියලයි චෝදනා එල්ල වන්නේ?
ඇමැති සරත් වීරසේකර – නෑ. මගේ නිලධාරීන් එයාට දෙන්න බෑ. විමර්ශනයේදී බලමු මේක ඇත්තද, කවුද ගියේ කියලා. විමර්ශනයෙන් පස්සේ අපි බලමු.
මේ සම්බන්ධයෙන් MedialK කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ පුදුකුඩුඉරිප්පු සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කරන ලෙස ඇමැතිවරයා දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

MediaLK විසින්  පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
info@medialk.com
parapura.medialk@gmail.com
news@medialk.com
Previous articleපොලිසියේ උපරිම බලයට අභියෝග කරන මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් !
Next articleඅසාත් සාලි නිදොස් කොට නිදහස් – වන්දි ගෙවන්නත් නීතිපති එකඟයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here