සාලිට එරෙහිව බුදු පිළිම සිද්ධියට සාක්කි නෑ – සංස්කරණය කළ හඬපටියකින් සැකකරු හිර කරලා !

මාවනැල්ලේ බුදු පිළිමවලට අලාබහානි කිරීමේ සිදුවීමට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතාගේ සම්බන්ධයක් නැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කර ඇතැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (14) ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුට විරුද්ධව ප්‍රමාණවත් සාක්කි ඉදිරිපත් වී නැති බව නඩු වාර්තා පරීක්ෂා කිරීමේදී පෙනී යන බව ද මහේස්ත්‍රාත්වරයා පැවසීය.
එමෙන්ම මාධ්‍ය හමුවකදී ජාතීන් අතර අසමගිය ඇතිවන ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියේ සංස්කරණය නොකළ පිටපත පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඔහු ජාතික සමඟිය ගැන ප්‍රකාශ කිරීමක් බව කී මහේස්ත්‍රාත්වරයා, සංස්කරණය කරන ලද පිටපත පරීක්ෂා කරද්දී ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයක් අදහස් වන බව ද දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සංස්කරණ නොකළ පිටපත පරීක්ෂා කර බලා, එය ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයට සංස්කරණය කර පළකර පිරිස සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද මහේස්ත්‍රාත්වරයා කීවේය.
කෙසේ වෙතත් ඔහුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ අධිචෝදනා පත්‍රයක් ගොනු කර ඇති බැවින් මෙම අවස්ථාවේ ඔහු මුදහැරීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති නිසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර් පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 120 හි 3 වැනි වගන්තිය යටතේ මුදාහරින ලෙසට කළ ඉල්ලීමක නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා මේ බව ප්‍රකාශ කළේය.
සැකකරු මුදාහරින්න බලයක් නෑ
අද (14) නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසිය සමඟ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙර්රා මහතා පැමිණිල්ල වෙනුවෙන් කරුණු දක්වමින් අසාත් සාලි මහතා මුදාහැරීම ගැන පැමිණිල්ලේ ස්ථාවරය පැහැදිලි කළේය.
අසාත් සාලි මහතාට එරෙහිව කොළඹ මහාධිකරණ අංක 02හි 2778/21 අංකයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයි.සී.සී.පී.ආර්. පනත යටතේ නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර ඇති බවත්, එය ලබන නොවැම්බර් මාසයේ දී කැඳවීමට නියමිත බවත් රජයේ නීතිඥවරයා පැවසීය.
මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති චූදිතයකු මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවා ගොනු කර තිබෙන බවත් කී රජයේ නීතිඥවරයා, මෙම අවස්ථාවේ අසාත් සාලි මහතා මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බැවින් ඔහු මුදාහැරීමට විරුද්ධ වන බව ප්‍රකාශ කළේය.
සැකකාර අසාත් සාලි මහතා වෙනුවෙන් නීතිඥ එන්.එම්. සහීඩ්, නීතිඥ රුෂ්බි හබීබ්, අශාන් නානායක්කාර, චරිත ගුණරත්න සහ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිටියහ.
පරීක්ෂණ අවසන් වෙන්නත් කලින් අධිචෝදනා
සැකකරු වෙනුවෙන් අධිකරණයේ කරුණු දැක්වීම ආරම්භ කළ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ප්‍රකාශ කළේ අසාත් සාලි මහතා රහස් පොලිසිය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපතිවරයාගේ උපදෙස් මත බවයි.
ජනාධිපති නීතිඥවරයා එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.
‘ජාතීන් අතර අනාදරයක් ඇති වන ආකාරයේ ප්‍රකාශ කිරීම, අන්තවාදී අදහස් පැතිරීම, මාවනැල්ලේ බුදු පිළිම කැඩූ පිරිසට සහයෝගය ලබාදීම ඇතුළු බරපතළ චෝදනා ගණනක් සැකකරු අත්අඩංගුවට පත්වන මොහොතේ පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු අත්අඩංගුවට ගෙන දුරකතන විශ්ලේෂණ වාර්තා ඇතුළු වාර්තා ලබාගනිමින් රහස් පොලිසිය විමර්ශන කරගෙන ගියා. ඉන් අනතුරුව රහස් පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා. (එම වාර්තාවේ පිටුවක් පෙන්වමින්) එහි සඳහන් වෙනවා, අසාත් සාලි මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිදුවීමට හෝ එහි සැකකරුවන්ට සහයෝගය දැක්වූ බවට හෝ සම්බන්ධයක් නෑ කියලා. ඒ අනුව ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තවදුරටත් තියාගන්න බෑ.’
‘සැකකරු රැඳවුම් නියෝග මත රඳවා තියාගෙන ඉඳලා පරීක්ෂණ අවසන් වෙලා උධෘත නීතිපතිට යැව්වා කියලා, ඔහුව අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු වාර්තා කළේ 2021 අගෝස්තු 17 වැනිදා. හැබැයි නීතිපති අධිචෝදනා ගොනු කරලා තියෙන්නේ 2021 ජුනි 23 වැනිදා. විමර්ශන ඉවර වෙන්න කලින් අධිචෝදනා ගොනු කරලා තියෙන්නේ කොහොමද? මේක වෙනත් විදිහකටද සිද්ධ වෙලා තියෙන්නේ?’
‘රහස් පොලිසිය වාර්තාවක් ගොනුකරලා කියනවා මාවනැල්ලේ සිදුවීමට සාක්කි නෑ කියලා. අධිචෝදනා ගොනු කරලා තියෙන්නේ මාධ්‍ය සාකච්ඡාවක් ගැන කියලා. ඒ ප්‍රකාශෙ කොහෙද තියෙන්නේ ජාතීන් අතර අනාදරය ඇතිවෙන දෙයක්? සියලුදෙනා එකට ඉන්න ඕනෙ කියලයි ඔහු මාධ්‍ය සාකච්ඡාවෙන් කියන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් නැති කරන්න අයි.සී සී.පී.ආර්. පනත යොදාගැනීම අසාධාරණයි.’
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු කිහිපයක් ද උපුටා දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, සැකකාර අසාත් සාලි මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
බුදු පිළිම සිද්ධියට සාක්කි නැති බව රජයේ නීතිඥ පිළිගනී
ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව යළිත් වරක් රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතා කරුණු දක්වමින් මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට සාක්කි නැතැයි වාර්තා කර තිබීම සත්‍ය බව ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් මහාධිකරණයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයී.සී.සී.පී.ආර්. පනත යටතේ අසාත් සාලි මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ මාවනැල්ලේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට නොව, මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාතීන් අතර අසමගිය ඇති කිරීම සම්බන්ධයෙන් බව රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේය.
අධිචෝදනා පත්‍රයක් සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් ඊට එරෙහිව කටයුතු කළ හැකි බවත්, ඒ සඳහා වෙනම තැන් ඇති බවත්, රීට් බලය ඇති අධිකරණයකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්විය හැකි බවත් ප්‍රකාශ කළ රජයේ නීතිඥවරයා, මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති අවස්ථාවක සැකකරු මුදාහැරීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව අවධාරණය කළේය.
දෙපාර්ශ්වයේම කරුණු කෙරෙහි අවධානය යොමු කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා, තම නියෝගය ප්‍රකාශයට පත්කරමින් සැකකරු මුදාහැරීමට අධිකරණ බලයක් නොමැති හෙයින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
මාධ්‍ය සාකච්ඡාවේ අදහස විකෘති කරමින් සංස්කරණය කරලා
සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 6.1 යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම පනතේ 7.1 අනුව ඇප මත මුදාහැරීමට නම් නීතිපති අවසරය අවශ්‍ය බවත් , සැකකරුගේ පාර්ශ්වයෙන් ඉල්ලා ඇත්තේ ඔහුට එරෙහිව සාක්කි නොමැති නිසා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 123 හි 3 වැනි වගන්තිය යටතේ මුදාහරින ලෙස බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සිදුවීමට සැකකරුට එරෙහිව සාක්කි නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර ඇති බව ද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අයී.සී.සී.පී.ආර්. පනත යටතේ විමර්ශන කර ඇත්තේ සංස්කරණය කරන ලද පිටපතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බව ද මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
සංස්කරණය නොකළ පිටපත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ බවත්, ඒ අනුව එම පිටපත රහස් පොලිසිය අධිකරණයට බාර දුන් බවත්, සංස්කරණය නොකළ පිටපත සහ සංස්කරණය කළ පිටපත අතර බරපතළ පරස්පරතා ඇති බව පෙනී ගිය බවත් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
සංස්කරණය කළ පිටපත පරීක්ෂා කිරීමේදී ජාතීන් අතර අසමගිය ඇතිවන බව කියන ආකාරයේ හැඟීමක් ඇති විය හැකි බවත්, සංස්කරණය නොකළ පිටපත පරීක්ෂා කිරීමේදී ජාතීන් අතර සමඟිය ගැන ප්‍රකාශ කර ඇති බව හැඟී යන බවත් ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළේ සංස්කරණය නොකරන ලද පිටපත පරීක්ෂා කර බලා ද යන්න තමන් නොදන්නේයැයි ද සඳහන් කළේය.
ජනමාධ්‍ය ගැනත් විමර්ශනයක්?
ජාතීන් අතර යම් සැකයක් හෝ අනාදරයක් ඇතිවන්නේ නම්, එලෙස සිදුවන්නේ ජනමාධ්‍ය මගින් සංස්කරණය කළ පිටපත ප්‍රචාරය කිරීම නිසා බවත්, මෙම සැකකරුට වඩා මෙය සංස්කරණය කර ප්‍රචාරය කළ පිරිස් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් මහේස්ත්‍රාත්වරයා කීවේය.
යම් යම් අය තමන්ට අවශ්‍ය ලෙසට මුල් පිටපත සංස්කරණය කර ප්‍රචාරය කර ඇතැයි පෙනී යන බව ද ඔහු කීවේය.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන්ට ඇතිවූ හැඟීම ගැන සාක්කි ලබා දුන් පිරිස එලෙස කියා ඇත්තේ සංස්කරණය කරන ලද පිටපත දැකීමෙන් බව ද, ඒ අනුව මෙම පුද්ගලයා සැකකරුවකු කර ඇති බව ද කී මහේස්ත්‍රාත්වරයා, මෙලෙස හැඟීම් මත විමර්ශනය කරද්දී සැලකිලිමත් විය යුතු බව ද ප්‍රකාශ කළේය.
වීරවංශ එ. නීතිපති නඩු තීන්දුව අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවකුට එරෙහිව සාක්කි නොමැති බවට අධිකරණයට පෙනීයන්නේ නම් ඔහු රිමාන්ඩ් කළ නොහැකි බවත්, මෙම සිද්ධියේ ද සැකකරුට කිසිම සාක්කියක් නොමැති බවට අධිකරණයට පෙනී ගියද , මහාධිකරණයේ ගොනු වී ඇති අධිචෝදනා පත්‍රයක චූදිතයකු වන නිසා මෙම අවස්ථාවේ ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත් අධිකරණයට හැකියාවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.
MediaLK පලකරනු ලබන කතාවක් සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ඇත්නම් හෝ වෙනත් තොරතුරක් ලබා දීමට ඇත්නම් පහත ඊමේල් ලිපිනවලට ඊමේල්මඟින් යොමු කළ හැකිය.
in.medialk@gmail.com
parapura.medialk@gmail.com
medialknews@gmail.com
Previous articleඅයි.පීට පහර දුන්නේයැයි එස්.එස්.පී උසාවි දාන්න උපදෙස් ; නිර්දේශය එනවිට ඩීඅයිජීත් ඇඳලා
Next articleසිරකරුවන් දණගැස්වූ බවට චෝදනා ; බන්ධනාගාර රාජ්‍ය ඇමැති ඉවත් කරන්නැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here